හද සාගරේ – 14

0
7642

“ඔහොම ආඩම්බර වෙන්නෙ ඇයි දූටි දුව… නළුවෙක් වෙච්ච මනුස්සය එච්චර නිරහංකාර විදිහට මේ ගෙදරට ගොඩ වෙලා ඉද්දි… අපි ඒ ගෞරවේ ඒ මනුස්සයට දීල ආගන්තුක සත්කාර කරන්න ඕනනෙ. මොනා වුණත් ඒ මනුස්සය රටේ මිනිස්සු ආදරේ කරන ජනප්‍රිය කෙනෙක්නෙ. එහෙම බැලුවාම අපිට මොනාද ආඩම්බර වෙන්න තියෙන්නෙ…”

ආදියා දෙව්රම් ට කතා කිරීමට ප්‍රතික්ශේප කිරීම ගැන නො රිස්සුමෙන් ජිනාදරී කියවාගෙන ගියා ය. අම්මා ට කේන්ති ගොස් ඇති බව දැනුණු ආදියා සිය අපහසුව නො තකමින් ජිනාදරී ව සන්සුන් කරන්නට සිතුවා ය.

“හරි හරි ඉතිං. අම්මල ආගන්තුක සත්කාර කරන්න. ඒත් මට ඉස්සරහට කතා කරන්නනං එපා. ඒක මගෙ කැමැත්තනෙ”

“එහෙනං පොඩ්ඩක් කුස්සියට එන්න. ඔය තියන දේවල් වලට ටක් ගාල මොනා හරි හදල ගමු කෑම ටිකක් කන්න දෙන්න”

පොඩි දුවගේ හැටි දන්නා ජිනාදරී ද සිය අදහස වෙනස් කරගනිමින් සිටියා ය.

“කෑම දෙන්න ඕනෙද… තේ එකක් දීල යැව්වහම මදිද…”

එවර ජිනාදරී ගේ බැල්ම දරනු බැරිව පරාජය භාර ගන්නට ආදියා ට සිදු විය. ආදියා මුළුතැන්ගෙට යන අතරේ ජිනාදරී ආලින්දයට එබී

 “පුතාට බොන්න මොනාහරි දීල ඉන්නංකො. හැබැයි කෑම කාල මිසක් යන්න බෑ”

කියා කීවා ය. සිනහ වූවා මිස දෙව්රම් ඒ යෝජනාව ප්‍රතික්ශේප කළේ නැත. නිශ්ශංක සේ ම ජිනාදරී ද ඉතාමත් මිත්‍රශීලී ය. ඔවුන් ගේ ආදරය අවංක ය. හදවතට දැනෙනා සුළු ය. අව්‍යාජ ය. හරියට ඔහු ගේ මව් පියන් සේ ය. ව්‍යාජත්වයෙන් තොර එවන් මිනිස්කම් වලට දෙව්රම් කොහොමත් ආකර්ෂණය වෙයි. ඊටත් වැඩිය ඔහු ගේ හිත යට වෙනත් යමක් කැරකෙයි. ඒ නිශ්ශංක ගේ චූටි දුව ගැන හෝඩුවාවක් සොයා ගැනීමයි. ඇය වූ කලී සව්මිය වූ ගෑනු ළමයෙකු ලෙස ඔහු ගේ යටි හිත හඳුනාගෙන තිබේ. මෙවන් මව් පියන්ගේ දුවක් එහෙම වූ එක ගැන පුදුමයක් නැත. එය එසේ විය යුතු ය.

නිශ්ශංක දෙව්රම් සමගින් සුහද පිළිසඳරේ යෙදී සිටියේ ය. ඒ අතරේ දෙව්රම් වට පිට බැලුවේ චූටි දුව ගැන හෝඩුවාවක් සොයමිනි. අඩු තරමින් රාමු කරන ලද සේයාරුවක හෝ ඇය දැකගන්නට ලැබුණේ නැත. ආලින්දය කොනක බිම තබා තිබුණේ මංගල ඡායාරූප යුගළයක් පමණකි. එකක් නිශ්ශංක හා ජිනාදරී ගේ දුඹුරු සුදු මංගල සේයාරුවයි. එය වසර විසි ගණනකට පෙරාතුව ගැමුණු ස්ටූඩියෝවේ ගන්නා ලද ඡායාරූපයකි. සාරධා හා දිනේශ් හිඳිනා මංගල සේයාරුව ගැණුනේ ඔවුන් ගේ විවාහය නිමිති කොටගෙන නොවේ. සිත්මි ද ඉපදුණාට පස්සේ ඔවුන් මහ ගෙදර පැමිණි පසු ජිනාදරී විසින් බලයෙන් ම වාගේ අලුත් ස්ටූඩියෝ එකකට කැටිව ගොස් එහි දී මංගල ඇඳුම් අන්දවා ලෝකයට පෙනෙනු වස් ගන්නා ලද ව්‍යාජ, වර්ණ මංගල සේයාරුවකි එය. ඒ    හැරෙන්නට ආලින්දයේ වූයේ සිත්මි ගේ පළමු උපන් දිනය දා ගන්නා ලද ඡායාරූපයක රාමුවක් පමණකි.

“තාත්ත ලෙමන් ගෙඩි දෙකක් කඩල ගෙනාව උදේ. ඒක මිරිකල රසට හදල ගන්න චූටි දුව”

ජිනාදරී ශීතකරණය හැර ඊට එබීගෙන සිටිනා ගමන් කීවා ය. ආදියා සීනි හා ලුණු බෝතල ද අයිස් වතුර බෝතලය ද ලං කොට ගත්තා ය. උනන්දුවෙන් හොඳට සංග්‍රහ කිරීම නිසා සිදු වන්නේ දෙව්රම් යළි යළිත් මෙහි පැමිණෙන එකයි. එසේ පැමිණි දිනෙක ඔහු ඇය දුටුවොත් කුඩු පට්ටම් වී යන්නේ ඇගේ ආත්ම ගෞරවයයි. එබැවින් හොඳ ම දෙය ඔහු ගේ  ගමන නතර කරවීමයි. ලෙමන් ගෙඩි දෙක මිරිකා ඊට සීනි එක් කොට, ලුණු බෝතලය අතින් ගෙන ආදියා කල්පනා කළා ය. ලුණු ටිකක් යහමින් එක් කොට බීම එක තනා දුන්නොත් ඔහු යළි මේ පැත්ත පලාතට නො එනු ඇත. ඕනේ නම් අම්මාගෙන් ද තාත්තා ගෙන් ද ලුණු ඇඹුල් ඇතිව බැණුම් ටිකක් අසාගන්නට සිදු වනු ඇත. ඔහු යළිත් මෙහි නෑවිත් ඉන්නවා නම් ඒ බැනුම් ටික දරා ගන්නා එක මහ දෙයක් ද?

පිරෙන්නට ලුණු කුඩු හැන්දක් ගෙන ලෙමන් යුෂයට එක් කරන්නට යත්දී ම ඇගේ හදවත මොර දී කෑගෑවේ ය. ඒ රහසිගතව වුව, ඒක පාර්ශ්විකව වුව ඈ පෙම් කරනා පිරිමියා ය. ඒ වූ කලී උමතු ආකර්ෂණයක් නොවේ. ගැඹුරු හැඟීමකි. ප්‍රායෝගික වී ද නොවී ද ප්‍රේමය යනු ප්‍රේමයයි. හදවතේ  පවිත්‍ර ම තැනෙක වඩා හිඳුවාගෙන සිටිනා ඔහු ගේ  මුවට වංචනික ලෙස ලුණු දියරයක් බොන්නට දෙන්නේ කෙසේ ද? තාත්තා විශ්වාස කරගෙන මේ ගෙදරට වෙනසක් නැතිව පැමිණි ඔහු ට, සිය ප්‍රථම සොඳුරු ප්‍රේමය වූ ඔහු ට එහෙම කරන්නට තරම් අමානුෂික වන්නේ කෙසේ ද? ආදියා වහා හිත හදා ගත්තා ය. දන්නා ශිල්ප සියල්ල යොදා ඇගේ දිවගට වඩාත් ම රසවත් ව දැනෙනා පරිදි ලෙමන් පානය සූදානම් කළා ය. ලස්සනට සිහින් ව ලෙමන් පෙත්තක් කපා, එය උස් වීදුරුවේ පසෙක රැඳවූවා ය. ජිනාදරී ගේ මුහුණ සිනහවෙන් පිරිණ.

“ඒක දැක්කත් හිත පිරෙනව. ඔයාම අරං යං ඕක”

“අනේ මේ අම්මෙ. මං කියලයි තියෙන්නෙ හොඳේ”

ආදියා වහා සැර වූවා ය. එනයින් ජිනාදරී බීම වීදුරු දෙක සහිත බන්දේසිය රැගෙන ඉස්සරහාට ගියා ය.

“අනේ කරදර වෙලානෙ. තෑන්ක් යූ ආන්ටි”

දෙව්රම් ස්තූතිවන්ත වනු ආදියා බිත්තියට කන තියාගෙන අසා සිටියා ය. ඇගේ දෙතොලතර ඉසිහින් කෝපි මල් සිනහවක් පිපිණි. ඇත්තට ම ඈ ඔහු ඉදිරියට ගියෝතින් කුමකින් කුමක් සිදු වනු ඇත්ද? එවන් මොහොතක් ගැන සිතන්නට හෝ ආදියා ට ඕන වුණේ නැත.

ජිනාදරී නිශ්ශංකව මොහොතකට මුළුතැන්ගේ දෙසට කැඳවාගෙන ආවේ භෝජන සංග්‍රහය ගැන විමසන්නටයි. ඒ අතරේ දෙව්රම් සිත්මි ව කතාවට අල්වා ගත්තේ ය. ඔහු ට ඕනෑ වූයේ දැරිය ගේ     අම්මාට නංගී කෙනෙකු සිටිනා බව තහවුරු කරගන්නටයි.

“කෝ බබාගෙ පුංචි…”

“දොයි”

“දොයි… මේ වෙලාවෙ…”

“ඕ…දොයි. ඔළුව ඌයිය වෙලා”

“ඇත්තද… මොකද්ද පුංචිගෙ නම…”

“චූටි දුව”

ඔහු සිනහවකින් පසුබෑවේ තිර රෙද්ද මෑත් කරගෙන නිශ්ශංක ගේ රුව මතු වූ බැවිනි.

“අපේ නෝන හරි කළබලේ… පුතාට හොඳ කෑම වේලක් දෙන්න ඕනයි කියල”

“අනේ විශේෂයක් ඕන්නෑ අංකල්. මට ඔය ගෙදර උයල තියන විදිහට හොඳයි”

කෑම මේසයේ දී හෝ ඇය නෙත ගැටෙනු ඇතැයි දෙව්රම් අපේක්ෂා කළේ ය. ලෙමන්  ජූස් එක රස යයි නො කියා ඉන්නට ඔහු ට නො හැකි විය.

“එහෙනං කෑමත් රහයි කියයි” කියමින් සිනහ වූවා මිස නිශ්ශංක ගෙන් චූටි දුව ගැන හෝඩුවාවක්  ලද හැකි වූයේ නැත. ඉස්සරහා කාමරයේ නිදා සිටි සාරධා නැගිට මුළුතැන්ගේ දෙසට ගියේ දෙව්රම් ට සිනහවකින් සංග්‍රහ කරමිනි. සිත්මි “අම්මේ” යි කියමින් ඈ පසු පස ගියා ය. දෙව්රම් ඒ ඥාති සබඳතා ගැන අවධානයෙන් සිටියේ ය. හාරා චූටි දුව ගැන විමසන්නට ගියහොත් නිශ්ශංක සැක හිතන්නට පිළිවන් බැවින් ඔහු හැකිතාක් ප්‍රවේසම් ද වූයේ ය.

ජිනාදරී දවල් ට උයා තිබුණේ දොළදුක් කෑම වේලකි. අඹ මාළුවක්, දැල්ලන් කිරි හොද්දක් හා උම්බලකඩ දැමූ කුරුඤ්ඤං කොළ සම්බලයකි. ඒවා එක්ක දෙව්රම් ට කන්න දෙන්නට ඇයට හිත් දුන්නේ නැත. එබැවින් තකහනියේ ශීතකරණයේ තිබූ බටර් බෝංචි ව්‍යාංජනයක් පිස පපඩමක් දෙකක් බැද්දා ය. ඒ අතරේ ආදියා ට කියා ළූනු අමු මිරිස් යහමින් දැමූ සැර බිත්තර ඔම්ලට් එකක් තනවාගත්තා ය.

“ඒ ගමන එයා මොකද හැමදාම මෙහෙ එන්න අරං තියෙන්නෙ…”

සාරධා පැමිණියේ කඩඉම් ප්‍රශ්නයක් සමගයි. ජිනාදරී කතා කළේ නැත. ආදියා නම් ඇදෙස බැලුවේවත් නැත.

“මාර සැලකිලිනෙ එයාට”

ඇය ව්‍යාංජන වලට එබී බැලුවා ය.

“මෙහෙම සැලකුවනං දිනේශ් වුණත් ඔහොම නොකරන්න තිබුණ. කොහෙද ඉතිං… නිතර දකින කුකුළගෙ කරමලේ සුදුයිලුනෙ”

“සලකනව මං කොයි වෙලාවෙ හරි උන්දට”

ජිනාදරී තොල් මතුළා ය. ආදියා මෘදු හැඟීමකින් කෑම මේසය සැකසුවා ය. සියල්ල අංශුවක් ගානේ පිළිවෙලැති බව සහතික කොටගෙන ඉක්මනට නාන කාමරයට වැදුණා ය. ඇය ට වූ එක ම ආරක්ෂිත මුරපොළ නාන කාමරයයි. සාමාන්‍යයෙන් දිය නාන්නට ගිය කල ආදියා වැඩි වෙලාවක් ගත කරයි. මේ අවස්ථාවේ ඇයට එය යම්කිසි වාසියක් විය.

    දෙව්රම් ඒ සරල භෝජන සංග්‍රහය සතුටින් රස වින්දේ ය. ජිනාදරී ඔහු ළඟට වී අඩුවැඩිය බෙදමින් සත්කාර කළා ය. දෙව්රම් වූ කලී මවක පැතිය යුතු ආකාරයේ පුතෙකි. ඔහු ගේ පින්වත් බව කතා කරන වචනයකින් වුව විද්‍යමාන වේ. පුතෙකු නැති ගෙදර මේ වාගේ රන් රුවක් සිටියා නම් යන ලෝභී සිතිවිල්ල ජිනාදරී අතැර නො ගියේ ය.

“අංකලුයි ආන්ටියි ගෙදර කට්ටියත් එක්ක දවසක මගෙ ගෙදරටත් ඇවිත් යන්න එන්න ඕනෙ. මට උයල දෙන්නෙනං චෙෆ් කෙනෙක්”

“පුතාගෙ නෝන ගැන එහෙං මෙහෙං කතා ආරංචි වුණා. අනේ ඉතිං වෙන්න තියන දේවල් වළක්වන්න බෑනෙ පුතා”

දැන් ඔහු අකමැති ම ඒ මාතෘකාවේ දී දෙව්රම් නිහඬව ම බත් පත දෙස බලාගෙන සිටියේ ය. කීවේ නො ගැලපෙන දෙයක් යයි ගැස්මක් ජිනාදරී තුළ ඇති විය.

“අපි එන්නංකො ඇවිත් යන්න එන්න. මදැයි තණකොළ කැපිල්ලක් ගිය දුර”

ජිනාදරී ගේ කතාව අකා මකා දමන්නටත් එක්ක නිශ්ශංක එසේ කියමින් හඬ නගා සිනහ වූයේ ය.

දෙව්රම් ගෙදරින් නික්ම යන තුරු ම ආදියා නාන කාමරයෙන්  පිටතට පැමිණියේ නැත. අවසන ඔහු ට යන්නට සිදු වූයේ බලාපොරොත්තු සිඳ බිඳගෙනයි. කෙසේ වෙතත් සිත්මි බබාට පුංචී කෙනෙකු සිටිනා බව තහවුරු කරගැනීමේ සතුට ඔහු ට විය. ඊටත් වැඩිය ඒ වැඩිහිටියන් සමගින් සුහද බව තව තවත් වැඩි දියුණු වූයේ ය. නමුත් රහසිගත ඇමතුම් දෙන යුවතිය ඔහු ව මගහරිනා බව දැන් ඔහු ට සහතික ය.

දෙව්රම් නික්මුණු පසු තෙත සළුව වැලට දමන්නට ගිය ආදියා තනිව සිනහ වූවා ය. එය ජයග්‍රාහී සිනහවකි. ඔහු කවදාවත් ඈ කවුරුන්දැයි සොයා ගනු නැත! ඇය විශ්වාසයෙන් සිතුවා ය.

“ඒ කෙල්ලට ඕන්නැත්තං උඹ ඉස්සරහට එන්න… පාඩුවෙ හිටහං. ඒකිව හොයල ඒකිට වදයක් නොවී. අනික හොයාගෙන කසාද බඳින්නද…”

සංකේත් තරයේ කියා සිටියේ ය.

“මං කියනවට අර ඔෆිස් එකේ කෙල්ල ගැනනං ඇහැ ගහගෙන හිටියට කමක් නෑ”

දෙව්රම් අදහසක් ප්‍රකාශ කරන්නට ගියේ නැත. ඊට තවම කල් වැඩි සෙයක් ඔහු ට දැනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here