වියෝ ගී ගැයෙනා හදේ – 12

0
3388

පෙත්මලීව අම්මාත් තාත්තාත් ලඟ තබා මේධාවිණී සූදානම් වුණේ චිරත්ව හමුවෙන්න යන්නයි.

“මට ඔයාව හම්බෙන්න ඔය ගෙදරට නම් එන්න කියලා කියන්න එපා මේධා. ඒ වුනාට මේ ඩිවෝස් එකකට හරි මොන මගුලෙ ඩිසිශන් එකකට හරි යනවනම් ඒක මේ ෆෝන් එකෙන් කතා කරල විසඳගන්න බෑනෙ. ප්‍රශ්නයක් උනාම ඒක විසඳගන්න විදියක් තියෙන්න ඕනනෙ. ඒක නිසා අපි මීට් වෙන්න ඕන.

ඔයා ගෙදර එන්න” කියා චිරත් කිව්වද මේධාවිණී ඒ කතාව ඇත්තක් බව පිළිගත්ත නමුත් චිරත්ගේ යෝජනාව එහෙම පිටින්ම පිළිගන්න කැමති උනේ නැත.

“මම එන්නම්, හැබැයි ගෙදර යන්න බෑ චිරත්” කියා මේධාවිණී කියද්දි මෙච්චර වෙලා හිත අස්සෙ හංගගෙන උන්නු තරහ හිතෙන් පිටට වචන ඔස්සේ දෝරෙ ගලා යන්න ඔන්න මෙන්න බව තේරුණත් චිරත්ට ඒ හැඟීම පාලනය කරගන්න උවමනාවක් තිබ්බේ නැත. “ඇයි ගෙදර එන්න බෑ කියන්නෙ? ඇයි එදා මහලොකුවට ඔයාගෙ තාත්තා කිව්වෙ ඒක ඔයාගෙ දෑවැද්දට දුන්න ගෙදර, ඒක අයිති තාම එයාලට කියල. ඉතින් තමන්ගෙ තැනට එන්න ඔයා බයවෙන්න ඕන නෑනෙ” කියා කියද්දී ඒ හැඟීමත් ඒ කෝපයට එක්කහු වෙච්ච සමච්චල් සහගත හැඟීමත් තේරුම් ගන්න මේධාවිණීට බැරිවුනේ නැත.

“ප්‍රශ්නයක් වෙච්ච ගමන් තරහ අරගන්නයි, නෝණ්ඩි කරන්නයි ඉගෙන ගත්ත ඔයා වගේ මිනිහෙක් එක්ක ඔය ගේ ඇතුලෙ තනියෙන් ප්‍රශ්න විසඳගන්න ගිහින් ඒක කොච්චර දුර යයිද කියල කියන්න මට තේරෙන්නෙ නෑ චිරත්. ඒ නිසා ප්ලීස් අපි මනුස්සයො දෙන්නෙක් වගේ එලියෙ තැනකදි හම්බෙලා මේක හිමින් සැරේ කතා කරමු. මම එනවනම් එන්නෙ ඒ කන්ඩිශන් එක උඩ විතරයි” කියා මේධාවිණී කියද්දි වෙනදට වඩා කුමක් හෝ හයියක් ඒ හඬේ තැවරූ තිබිච්ච බව චිරත්ට තේරුණේය. එහෙත් එවෙලේ දුරකතනය ඔස්සේ ඒක ගැන හාරවුස්සා අහන්න යන් එක මේ හමුවීමත් මග හැරෙන්න හේතුවක් වෙන්න පුලුවන් බව දන්න හන්දා චිරත් කට පියාගෙන උන්න එක ඇත්තකි.

මේධාවිණී චිරත්ව හමුවන්න යන්න සූදානම් වුණේ ලොකු උනන්දුවකින් නොවේ. “අම්මල තාත්තලව මේකට ඉන්වෝල්ව් කරගෙන මම කලේ වරදක්ද?” කියා හිතුවිල්ලක් හිත අස්සෙ තිබුණත් “ඇත්තටම චිරත් එක්ක පහුගිය කාලයක් පුරාවට මම හිටියෙ සන්තෝසෙන් නෙවෙයිනෙ” කියන කතාවත් අමතක කර දමන්න හැකියාවක් මේධාවිණීට තිබුනේ නැත.

“දැන් ඔය චිරත්ව හම්බුවෙන්න ඔයා කොහෙද යන්නෙ?” කියා අම්මා කාමරයේ දොර ලඟින් හිස ඔබද්දීය මේධාවිණී ඒ සිතුවිලි දහරාවෙන් මිදුනේ.

“එයා කැෆේ බ්ලූ එකට එන්නම් කිව්වා” කියා මේධාවිණී කිව්වේ අම්මා දිහා බලන්නේ නැතුව, කම්මැලිකමෙන් කොණ්ඩෙ උඩ පනාව එහෙ මෙහෙ ගෙනයන ගමන් ය. 

“අනේ මන්දා ඔය තැන් තැන්වල ආයෙ ඔය මනුස්සය එක්ක ඉන්න ගිහින් තාත්ති දැනගත්තොත්” කියා අම්මා මගක් දුර ගොස් කතාව නතර කරාට මේධාවිණී හිස ගස්සා බැලුවේ ඒ කතාවේ ඉතුරු ටික හිතෙන් හිතාගෙනය.

“හරි කතාවක්නෙ අම්මි ඒක. ප්‍රශ්න තියෙන එක ඇත්තක් වුනත් මම මීට් වෙන්න යන්නෙ මගෙ හස්බන්ඩ්ව. තාත්ති ඇයි ඕනවට වඩා ඒ ඩිසිශන්ස්වලට ඉන්වෝල්ව් වෙන්න හදන්නෙ කියල මට තේරෙන්නෙ නෑ” කියද්දී මේධාවිණීගේ කටහඬේ ඕනවටත් වඩා හොඳට තරහත් අමනාපයත් ගැල්වී තිබුණද නිශ්ශබ්ද වෙන්න හිතුවේ කමලිනී සුමතිපාල නොවේ.

“තාත්ති කලබල වෙන්නෙ ඔයා අපේ ළමේක් හන්ද, අපි කියන දේ අහන්නෙ නැතුව මෝඩකමට තමන්ගෙ හිතුමතේට ඔයාලා කසාද කරගෙන දුක්විඳිද්දි ඕන දෙයක් කරගන්න කියල අතෑරල දාලා බලන් ඉන්න අපිට බැරි හන්ද.

අපිත් එහෙම වෙන අම්මල වගේ කසාදෙන් පස්සෙ ඔයාලව අතෑරල දැම්ම නම් ඔයාට අද එක්කො ඔය මනුස්සය කරන කියන හැමදේම අහන් ඉන්න වෙනවා ඉවසගෙන එහෙම නැත්තම් පාරට බහින්න තමයි වෙන්නෙ. අපි මෙහෙමවත් තාම ඉන්න හන්දා හොඳයි” කියා අම්මාගේ කටෙන් ඊතල වගේ පිටවෙච්ච වචන ඇවිත් හිත අභ්‍යන්තරයේ වැදෙද්දී මේධාවිණී ආපහු වතාවක් අම්මාගේ වතින් දෙනෙත් මුදවාගෙන කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේ රූපය මත ඒ දෙනෙත් අලවගත්තේය.

“ඔයා ගිහින් ආවට කමක් නෑ. කතාකරලා ඔය ප්‍රශ්නෙට මොකද්ද කරන්න පුලුවන් කියල බලන්න. හැබැයි ඉතින් ඔය ඉස්සරට තිබ්බ අඩිය ආපස්සට අරගෙන රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න නම් තියාගන්න එපා. මොකෝ අපේ කාලෙත් දැන් ඉවරවේගෙනනෙ යන්නෙ. ආයෙ වලවල් වල වැටිච්ච කාලෙක මමවත් තාත්තිවත් ඉන්න එකක් නෑ සපෝට් කරන්න” කියා අම්මා කාමරයේ දොර ළඟින් මැත්වෙද්දී මේධාවිණී දිගු සුසුමක් හෙලා ඇඳ උඩ තිබුණ පර්ස් එක අතට අරගත්තාය.

යන ඕන තැනක නිදහසේ සැපපසුවට ගිහින් එන්න ගෙදර වාහනයක් තිබුනද ඩ්‍රයිවර් එක්ක එහෙම යනවට වඩා පික් මි හෝ ඌබර් එකක් දාගෙන යන එක තමන්ගේ නිදහසට උදව්වක් බව මේධාවිණී හිතුවාය. කුලී රිය එනතුරු ගෙදර පල්ලෙහ සාලයේ අසුන්ගෙන ඉද්දී පෙත්මලී කොහේ දෝ ඉඳගෙන දුවගෙන ආවේම “අම්මි යන්නෙ තාත්තිව එක්කරගෙන එන්නද?” කියා අහගෙනය.

එහෙත් ඒ ප්‍රශ්නයට දෙන්න උත්තරයක් නැති හන්දාම මේධාවිණී කලේ හිනාවෙච්ච එකය්ට.

“අම්මි තාත්ති එක්කගෙන ආවම අපි ආයෙ ගෙදර යනවා නේද?” කියා පෙත්මලී අහද්දී මේධා නිහඬවම උන්නාය. එහෙත් පෙත්මලී උන්නේ ප්‍රශ්න අසන එක නතරකරගන්න ඕන බව තේරුම්ගන්න තරම් ලොකු වුණ මානසිකත්වයක නොවේ.

“තාත්ති ආවම අපි බීච් යන්ද අම්මි? කසුනි කිව්ව එයාලගෙ තාත්ති එයාව සූ එකට එක්කන් යනවා කියල හොලිඩේ එකේ. මං කිව්ව මම යන්නෙ බීච් කියලා”

“අපි බීච් යන්කො බබී ම්ම්ම්”

“ඒක තමයි අම්මි මට ෆෝන් එකෙන් තාත්තිව අරගෙන දෙනවද මම තාත්තිට කියන්නම් බීච් යන් කියලා” පෙත්මලී කියද්දී කුලී රිය ආ වග පික් මී දුරකතන යෙදවුම සංඥා කර නිසාවෙන් මේධාවිණීට ඒ ප්‍රශ්න තොගයෙන් කෙටි විරාමයක් ගන්න ඉඩක් ලැබුණ එක ඇත්තකි. ඒත් ඒ විරාමය, සැනසීම තාවකාලික බවත් සමාජය අසන කුමනාකාරයේ ප්‍රශ්නයකට තමන් ලඟ උත්තර තිබුණත් පෙත්මලී අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර තමන් ලඟ නෑ නොවේද කියන එක අමතක කරන්නට මේධාවිණිට නුපුලුවන.

වාහනයේ නැගී කැෆේ බ්ලූ වෙත එද්දිත් මේධා කල්පනා කලේ ඒ ගැනය. ප්‍රශ්න ඇතිඋනේත්, ඇතිවෙන්නෙත් තමන් සහ චිරත් අතර බව ඇත්තක් වුනත් ඒ ප්‍රශ්නවලට තමන් හෝ චිරත් දෙන කුමනාකාරයේ උත්තරයක වුව බලපෑම පුංචි පෙත්මලීට නරක අයුරකින් බලපාන්න ඉඩක් තිබෙනවා නොවේද? තරුණ තරුණියන් විදියට අපි දුර දිග නොහිතා ගන්න තීරණ ඒ තරුණ තරුණියන් දෙමව්පියන් වූ දිනක විඳවන්න වෙන්නෙ දරුවන්ට නොවේද?

වෙනදාට හැමදේටම පරක්කු වී එන චිරත් එදා සියලුම වැඩ අතරමග නතර කර දමා කලින්ම කැෆේ බ්ලූ වෙත පැමිණ උන්නේ අදත් පමා වී යාම මේධාවිණීගේ හිතේ තමන් ගැන තියෙන පුංචිම හෝ ආදරයක්, අනුකම්පාවක් බිඳ දමන්නට හේතුවක් වෙන්න පුලුවන් බව දන්න හන්දාය. උදේ දහය වෙද්දි එන්නම් කිව්ව මේධාවිණී කොහොමත් කවදත් සුපුරුදු විදියටම වෙලාවට එන බව දන්න හන්දාම චිරත් නවයයි හතලිස් පහ වෙද්දිම කැෆේ බ්ලූ එකට ගොස් වඩා සුවපහසු, එහෙත් කැෆේ එකට එන වෙන අයගෙන් බාධා නොවන තැනක අසුන්ගත්තේ කතාකරන්න යන දේ කුමක් වුවත් වඩා නිස්කලංකව කතා කරනු හිතාය.

මේධාවිණී කැෆේ එකේ වීදුරු දොරෙන් ඇතුලට එද්දිත් චිරත් උන්නේ ඇය එන දිහාවම බලාගෙනය. තාත්තා විසින් ගෙනවිත් බස්සවනු ඇතැයි කියා හෝ ගෙදර වාහනයේ ඩ්‍රයිවර් එක්ක එනු ඇතැයි කියා සිතුවද මේධාවිණී කුලි රියක එනු දැකීමෙන් චිරත්ගේ හිතට සතුටක් ආවේ ඇයව ආපසු ගෙදරට ගෙනගොස් බස්සවන්න තමන්ට ඒ හන්දා ඉඩක් ලැබෙන බව දන්න හන්දාය.

වීදුරු දොරෙන් ඇතුලට එද්දිම රෙස්ටුරන්ට් එක කෙලවර අසුනක වාඩි වී උන්න චිරත්ව මේධාවිණීත්, මේධාවිණීව චිරතුත් දුටුවද ඒ මොහොතට රියැක්ට් කල යුත්තේ කෙසේද කියා අදහසක් දෙදෙනාටම තිබුනේ නැත. මීට අවුරුදු ගණනට පෙර පෙම්වතුන්ව ඉන්න කාලයේ මෙවන් මොහොතක තමන් දෙදෙනාම එකිනෙකාව දෙනෙතින්ද දෙතොලින්ද සිනා සී පිළිගත්ත අතීත මතකයක් විත් හිතේ මොහොතකට සැරිසැරූ බව ඇත්තක් නමුත් ඒ මතකයේ තිබු සිනාවට දෙතොල මතට හෝ දෙනෙත උඩට එන්නට අවකාශයක් අවසරයක් දෙදෙනාගෙන්ම ලැබුණේ නැත.

ඒ සිනාවද, බැල්මද, ආදරයද තිබුනේ කොහේ හෝ දුර අතීතයක සිර වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here