“දැන් මේධාවිණී කියනවා වගේ උඹ ඇයි කවුන්සලින් යන වැඩේට අකමැති? උඹට හිතෙන්නෙ නැද්ද කවුන්සලින් ගියා නම් උඹලට ඔය ප්‍රශ්නෙ ඔච්චර දුර දිග අරගෙන යන්නෙ නැතුව ලස්සනට විසඳගන්න තිබුණා නේද කියල” සමීර ඇහුවේ හවස් වරුවේ චිරත්ව හම්බවුණ වෙලාවකය.
“මං මොකටද බං කවුන්සලින් යන්නෙ? මගේ කිසි වරදක් නැතුව මම මේ එක එකා ලඟට ගිහින් කියන්න ඕන මගේ ගෑණි මෙතන ඩිවෝස් එක ඉල්ලන්නෙ මම උන්ට සැප සම්පත් දෙන්න උදේ රෑ තිස්සේ නැහිච්ච හන්දා කියල. හරි කතාවක්නෙ යකෝ ඒක. කවුන්සලින් යන්න ඕන මම නෙවෙයි මේධගෙ මහ එවුන් දෙන්නා. උන් දෙන්න මේ පිණක් දහමක් කරගෙන ඉන්න ඕන කාලෙ මෙතන ළමයින්ගෙ කසාදෙ අස්සෙ ඇඟිලි ගහන්න ඇවිල්ලා ගින්න හැම පැත්තටම ඇවිලුවයින් පස්සෙ දැන් මං අහවල් රෙද්දකටද කවුන්සලින් යන්නෙ?” කියා චිරත් උත්තර දුන්නේ කෝපයෙන් ය. එනමුත් සමීර උන්නේ ඒ කෝප සහගත වදන් වලට කෝපයෙන් රියැක්ට් කරන අදහසක නොවේ. චිරත් මේ ගෙවන්නෙ ජීවිතයේ අමාරු කාලයක් බව දන්න හන්දම මිතුරෙක්ද සහෝදරයෙක්ද වශයෙන් තමන් කරන්න ඕන ඔහුට සහය දෙන එක, ඔහුව දරාගන්න එක බව සමීර දැනගෙන උන්නේය.
“මචං මේකට උන්ගෙ අම්මල තාත්තල ඉන්වෝල්ව් වෙච්ච එකෙන් ප්‍රශ්නෙ ඕනවට වඩා දුර දිග ගිය එක ඇත්ත. මම ඒක පිළිගන්නවා, ඒ උනාට මේ මැරේජ් එක උඹල දෙන්නගෙනෙ. එහෙම එකේ කසුන්සලින් ගියා නම් උඹල දෙන්නගෙ ඔලුව ඇතුලෙ තියෙන ඔය නෙගටිව් මයින්ඩ් සෙට් එක අයින් වෙලා දෙන්නටම දෙන්නගෙ හරි වැරදි දෙකම දිහා බලන්න පුලුවන්කමක් ලැබෙනව. මොකද උඹලා දෙන්නම දැන් දකින්නෙ උඹල දෙන්නගෙ වැරදි විතරනෙ. උඹල දෙන්නට උඹල දෙන්නගෙ හොඳක් පේන්නෙ නෑනෙ” කියා සමීර කිව්වට චිරත් උන්නේ ඒ අදහසට ඔලුව නවන තැනක නොවේ.
“මගේ කිසි වරදක් නැතුව මම ඔය එක එකා ලඟ චාටර් වෙන්න යන්නෙ නෑ. මේධාවිණි හිතන් ඉන්නවනම් එයාට පුලුවන් කියල මම නැතුව ළමයත් බලාගෙන ඉන්න කරලා බලන්න කියන්නකො” කියූ චිරත්ගේ වදන් පිටිපස්සේ තිබුනේ එක්තරා විදියක පළිගැනීමේ චේතනාවක් බව සමීරට නොපෙනුනා නොවේ.
“මේ වගේ ප්‍රශ්නෙකදි අරයට මෙයාට රිද්දනව කියල හිතල තිරණ ගන්න එකෙන් වෙන්නෙ මචං තමන්ටම රිද්දෙන එක. ආයෙ කවදාවත් රෙක්ටිෆයි කරන්න බැරි විදියෙ වරදක් වෙන්න ඉඩක් හැදෙන එක. ඊටත් වඩා අමතක කරන එපා උඹල දෙන්නට උඹල දෙන්නව මාර හොඳයි කියලා පෙනිච්ච කාලේ උඹල දෙන්න එක්කහු වෙලා මේ ලෝකෙට අරගෙන ආව තව අහිංසක චරිතයක් උඹලගෙ ඔය මෝඩ ප්‍රශ්න මැද්දෙ තැලිලා පඩිවෙනවා කියන එක. තීරණයක් ගනිද්දි ඒ හැමදේම ගැන හිතපං. උඹල උඹලගෙන් පලිගන්න හිතාගෙන, උඹල එක්ක තරහට ගන්න තීරණ හන්දා අන්තිමේ කොහෙවත් ඉන්න ඒ අහිංසක දරුවට දුක්විඳින්න විඳවන්න හේතුවක් උනොත් ඒක මාර පවක් අපරාධයක් කියන එක අමතක කරන්න එපා” කියා සමීර කිව්වේ ඒ හන්දාය. චිරත් සහ මේධාවිණී එකිනෙකා එක්ක තියෙන තරහව ගැල්විච්ච සිතුවිල්ලක් මූලික කරගෙන ගන්න මේ තිරණය හන්දා අන්තිමේ අසරණ දරුවෙක්ට දුක් විඳින්න වේය කියන කතාව සමීරට පහසුවෙන් අමතක කරන්න පුලුවන් උනේ නැත.
“චිරත්ට මං කවුන්සලින් යන් කිව්වම එයා නිකන් හැසිරුනේ මෙතන මම මේ ලෝක අපරාධයක් කරපු ගාණට. එයා එහෙම යන්න බෑ කියන්නෙ එයාටත් ඇත්තටන් මේ මැරේජ් එක පරිස්සම් කරගන්නවත්, කන්ටිනිව් කරන්නවත් උවමනාවක් නැති හන්දනෙ. අනික ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ එයාගෙ පැත්තෙ මිසක්කා මගෙ පැත්තෙ නෙවෙයිනෙ. එහෙම එකේ මම මොකටද තනියෙන් කවුන්සලින් යන්නෙ?” කියා මේධාවිණී ආලෝකා එක්ක කිව්වේ චිරත් චිරත්ගෙ පැත්තෙන් මේ ගමන නොයන්න සාධාරණීකරණය කරන්න හේතු කාරණා සමීරට කියද්දිය.
අම්මාගෙත් තාත්තගෙත් ප්‍රශ්න මැද්දෙ පෙත්මලී උන්නේ ඇත්තටම මිලාන වී බව කාගෙවත් දෙනෙත්වලට පෙනූනේ නැත. වෙනදා මෙන් පෙත්මලී දුව පැන ඇවිදින්නේ නැති බවත්, අම්මාගෙන් “තාත්ති එන්නෙ නැද්ද?” කියා අහපු වෙලාවක චිරත් එක්ක දුරකතනය ඔස්සේ හොඳටම රණ්ඩු වී උන්නු මේධාවිණී “මොන මල වදයක්ද ළමයො මේ තාත්තෙක් ගැන අහ අහ පස්සෙන් එන්නෙ, යනවා යන්න එහාට” කියා මේධාවිණී බැන්නයින් පස්සෙ කිසිම දවසක ආයෙම තාත්තා ගැන ඇහුවේ නැති බවද, සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු ලං කරගෙන උන්නට පෙත්මලී සෙල්ලම් කරන්නෙ නැති බවද මද පමණින් හෝ දුටුවේ ගෙදර මෙහෙකාරියව උන්නු සෝමා පමණකි.
වෙනදා දාහක් ප්‍රශ්න අහන පොඩි බේබි දැන් දැන් අහන දේකට පවා දෙන්නේ තනි වචනෙ උත්තර බව තේරුණද සෝමා උන්නේ ඒ ගැන කාටවත් කිව යුතුද කියන ප්‍රශ්නෙ තමන්ගෙන්ම අසමිනි. ඔය විත්තියක් ලොකු නෝනට හෝ බේබි නෝනට කියන්න යන එක තමන්ට බැණුම් අහන්න හේතුවක් විය හැකි බව හිතිච්ච හන්දාම සද්ද නැතුව උන්නත් “පොඩි බේබි දැන් ඉස්සරවගේ නෙවෙයි, වැඩි කතාබහක් නෑ” කියා ලොකු නෝනට වහෙන් ඔරෝ බසෙන් කියන්න සෝමා අමතක කලේ නැත.
ඒත් අවසානයේ හෝ තමන්ගේ දරුවා කරගත්ත තමන්ට සහ තමන්ගේ වත්කම් වලට නොගැලපෙන කසාදයෙන් වෙන් වෙන්න තීරණයක් අරගත්ත එක ගැන මිශ්‍ර සිතුවිලි සමග කල්පනා කරමින් උන්නු කමලිනී සුමතිපාලට එවෙලේ පෙනුනේ තමන්ගේ දරුවා මිස දරුවගේ දරුවා නොවේ. එනිසාම “මේ දවස්වල රස්නෙ එක්ක අපිටත් නැගිටන් ඉන්න අමාරු එකේ පොඩි ළමයි පොඩ්ඩක් ඈලි මෑලි වෙනවා” කියා කිව්වා මිසක ඒ ගැන වැඩි දුර හිතන්න ඇය මහන්සි උනේ නැත. අනෙක් අතට මේධාවිණී නිවසේ ගෙවෙන කාලයෙන් බොහෝවෙලාවක් ගත කලේ කාමරයේ ඇඳ මතට හෝ බැල්කනියට වී කල්පනා කරමින් නිසා ඇගේ දෙනෙත්වලටද පෙත්මලීගේ මේ වෙනස්කම් පෙනුනේ නැත. වෙනදා වගේ පෙත්මලී ඇඟේ ඇතිල්ලි ඇතිල්ලි තාත්තා ගැන අහන්නෙ නැති එක විසල් සහනයක් වගේ දැනෙද්දි ඒ වෙනස හාරවුස්සමින් පෙත්මලීගේ තෙරක් නැති ප්‍රශ්නවලට උත්තර හොයන්න මහන්සි වෙන්න මහන්සි වෙච්ච හිතකින් උන්නු මේධාවිණීට උවමනා උනේ නැත.
“ඔයාට යන්න ඕන නම් යන්න පුලුවන් මේධා. මම ඔයාව බලෙන් අල්ලගෙන හිටියා කියලා වැඩක් නැනෙ කොහොමත්” කියා චිරත් තමන්ගේ අවසන් තීරණය මේධාවිණී වෙත කියා එව්වේ දවස් ගාණක් තිස්සේ හිතා බලා, මේධා කිසිම ලෙසකින් තමන්ගේ අදහස වෙනස් කරන්න හිතන්නෙ නැති බව අවසානයේ තේරුම් ගත්තයින් පසුවය.
“උඹ ඔය අරගන්නෙ යන්නෙ කවදහරි උඹම ආපස්සට හැරිලා රිග්‍රෙට් කරන තීරණයක් කියන එක අමතක කරන්න එපා. කොහොමත් මේ දවස්වල උඹ උන්නෙ අපි කවුරුවත් කියන දෙයක් අහන තැනක නෙවෙයිනෙ. ඒ නිසා මම ආයෙ මේ ගැන උඹ එක්ක කතාකරන්න යන්නෙ නෑ. හැබැයි මෙන්න මේක හොඳට මතක තියාගනින්, සමහරවෙලාවට ලැබෙන්න ඕන හොඳම දේ අපිට ලැබිල තියෙන්නෙ. ඒක තියෙන්නෙ අපි ළඟම තමයි. හැබැයි අපේ තියෙන මොකක් හරි පවකට හරි කරුමෙකට හරි අපිට ඒක පේන්නෙ නෑ. ඒක අපිට පෙනිලා නැති විත්තිය අපිට පේන්නයි තේරෙන්නයි පටන් ගන්නෙ ඒ වටින දේවල් අපෙන් සෑහෙන ඈත් උනාට පස්සෙ” කියා ආලෝකා කියද්දිත් මේධාවිණී උන්නේ තමන් ගත් තීරණය වෙනස් නොකරන තැනකය. අනික් අතට ඉඳ හිටක ආලෝකා කියන අවවාදයකට වඩා නිතර දෙවෙලේ කණට වැටෙන අම්මාගෙත් තාත්තගෙත් අවවාද අනුශාසන හිතට අරගන්න මහගෙදර ගෙවන ජීවිතය මේධාවිණීට රුකුල් දුන්නාය.
“ඒ ගෙදර තියෙන ඔයාගෙ බඩු අරගන්න ඔයා ආයෙ එහෙ යන්න උවමනාවක් නෑ. මම ඒක කරලා දෙන්නම්. අනික ඔයා දැන් ඔය ජොබ් එකට යන්න උවමනාවක් නෑනෙ. ඔයාට රස්සාවක් කරන්නම ඕන නම් අපේ බිස්නස් වලට ජොයින් වෙන්න පුලුවන් නෙ. මම ඒත් මිස්ට කොඩිකාරට කිව්ව මගේ දුවත් බිස්නස් වලට ජොයින් වෙන්න තමයි බලපොරොත්තුවෙන් ඉන්නෙ කියල. ඔයාට ගිහින් වැඩ ටික භාරගන්න විතරයි තියෙන්නෙ” කියා තාත්තා කියද්දී “මේ ප්‍රශ්න විසඳුනාට පස්සෙ බැරිය ඉතින් බිස්නස් භාරගන්න” කියා කියන ගමන් කමලිනී සුමතිපාල මේධාවිණී දිහාවටත් මනුර දිහාවටත් පොදු සිනාවක් පා කර යැව්වාය.
ඒ සියලු සිනාවන් ද කතාවන්ද අස්සේ කෑම මේසෙට වාඩි වී උන්නු පෙත්මලී කනවට වඩා කලේ කෑම එක අත ගගා උන්නු එක බවත්, ඇගේ අවතැන් දෙනෙත තිබුණේ කොහේ හෝ ඈතකට යොමු වී කියන එකත් එතන උන් කිසිවෙකුත් දුටුවේ නැත.