හසාරාගේ ඉවසීමත් දරා ගැනීමත් කෙළවර වූයේ ධනංජයගේ නැගණිය දුරකතන ඇමතුමක් ලබාදී ඇයට චෝදනා කළ දිනයේ ය.මෙතෙක් කල් තම සොහොයුරියක ලෙස ජීවිතය බෙදාගත් ඈ ඒ ආකාරයෙන් තමාට චෝදනා කළේ කෙලෙසකදැයි සිතාගත නොහැකි වූ හසාරා ඇමතුම නිමා වුවත් විනාඩි කිහිපයක් ගතව යනතුරු දුරකතනය සවනතන රඳවාගෙන උන්නාය.අනතුරුව දුරකථනය පසෙකට දමා සිය දෑතින් හිස බදාගත් ඈ සුවපහසු සෝපාවට බරව උන් කාලය දෙපැයකට ආසන්න වන්නට ඇත.තමාට එකඳු වචනයක්වත් පවසන්නට ඉඩක් නොතබා හුස්ම අල්ලන්නටවත් වේලාවක් ඉතිරි කර නොගනිමින් ඈ දිගින් දිගටම හසාරාට බැන වැදුනාය.වසරකට ආසන්න වූ කාලයක් ගෙවී යමින් තිබ්ණ. නිවස තුළ කුමන ආකාරයක සිත් රිදීමක් වුවත් ධනංජය කුමන ආකාරයකින් තමාට සැලකූවත් හසාරා කිසිවිටකත් ඔවුනට කතා කරමින් තම නිවසෙහි වන ප්‍රශ්න හෝ තමාගේ දුක් අඳෝනා පැවසූ අයෙකු නොවේ.දිනපතා රාත්‍රියේ කතා කරන තම සොයුරියටවත් ඈ ඒ බවක් පැවසූයේ නැත.ඇගේ සිතට අන් කවරදාටත් වඩා තනිකමක් දැනෙන්නට වූයේ එනිසාය.තමාගේයැයි පවසන කිසිවෙකුත් දැන් ලංකාව තුල නොමැතියැයි සිතත්දී ඒ තනිකම ටොන් ගණනකින් බර වැඩ් වෙන්නට විය.පසුගිය දිනක සොයුරියගේ දරුවන් බලා ගැනීමට ඕස්ට්‍රේලියාවට ගිය අම්මාත් තාත්තාත් තවත් වසර කිහිපයකට ලංකාවට පැමිණෙන්නේ නැත.අදටත් ඔවුන් කිසිවෙකු මේ විරසකය ගැන නොදනී.එහෙත් ධනංජය අහස පොළව නුහුලන තරම් වූ කතා නිර්මාණය කරමින් තම නැගණිය හා පවසා ඇති බව ඇයට වැටහුම් වූයේ ඒ දුරකථන ඇමතුමෙන් පසුවය.
“ ගෑනියෙක් විදිහට මොනවද ඔයා අපේ අයියට කරපු යුතුකම්…ඒ මනුස්සයා තමන්ගේ ජීවිතේ හැම දේම මග හැරගෙන ඔයා වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කලා..ඔයාට හැම දාම ඕන වුණේ තමන්ගේ මනුස්සයව බිමටම අතෑරලා පාගලා දාලා ඔයාගේ තැනට යන්න.එහෙමද ගෑනියෙක් කරන්න ඕනේ..ඔයා හොඳට මතක තියාගන්න ඔයාට ඔය මුල පාදල දුන්නේ මගේ අයියා කියන එක.ඔයා මේ ලෝකෙටම ලොක්කෙක් වෙන්න පුළුවන්. ඒ උනාට අපිට ඔයාව ලොකු නෑ ඒක හොඳට මතක තියාගන්න. මං කවදාවත් ඔයා ගැන මේ විදිහට හිතුවේ නෑ හසාරා අක්කේ.අපෙ අයියා පව්…ඔයත් එක්ක ජීවත් වෙච්ච අවුරුදු ගානම එයා මොන තරම් මානසිකව විඳවන්න ඇත්ද.
ඒත් අපේ නැන්දා කිව්වා ගෑණි ගහන ගහන පදේට නටනකොට අපේ අයියට කවදාහරි නතර වෙන්න වෙන්නේ ඔතන තමයි කියලා.අන්තිමට ඒ අහිංසකයාට මුකුත් නැති උනා අක්කේ..එයා එයාගේ හැම දේම කැප කරලා ඔයා වෙනුවෙන් මොනවද නොකළේ…අද ඔයා එයාට හිනා වෙනවලු නේද… හිනා වෙලා මදි…ඒ කරපු දේවල් වලට.මතක තියාගන්න හසාරා අක්කේ… ඒ ඔයා හිනා වෙන්නේ තමන්ටමයි කියන එක.අපේ අයිය තනිවෙලා නෑ අයියත් එක්ක අපි ඉන්නවා.ඔයාට තමයි කිසිම කෙනෙක් නැත්තේ..කෝ ඔයාගේ අහිංසකකම.. අහිංසක මූණ දාගෙන එද්දි අපිත් හිතුව අපේ අයියට හම්බවුණේ හොඳමකෙනා කියලා.ඔයා අපේ අයියගේ හිත හොඳ කමින් තමයි ප්‍රයෝජන ගත්තේ..ඔයා එයාව ඉත්තෙක් කරගෙන ඔයාට ඕන පාත් එකට යන්න පාර හදාගත්තා..අපේ අයියා ආපස්සට යද්දී ඔයා දවසින් දවස ඉස්සරහට ඇවිදගෙන ගියා..අන්තිමට ඒ මනුස්සයා ඔයාගේ කකුල් වලට පෑගෙන දූවිල්ලකටත් අන්ත තත්වයකට දැම්මා..ඔයාට හෙන ගහයි අකකේ මේ කරපු දේට….පව් මගේ අහිංසක අයියා..මේ දේවල් අම්මයි තාත්තයි දැනගත්තොත් ඒ දෙන්නගෙ පපුව පැරිලා මැරෙයි…ඔයා හොඳට මතක තියාගන්න අපේ අයිය තනිවෙලා නෑ…ඔයා නැතිවුනාට එයා එක්ක අපි ඉන්නවා..මුළු ලෝකෙටම පේන්න ටීවී එකේ ගිහිල්ලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ගෑනියෙක් විදියට කතා කරන්න ඔයාට ලැජ්ජ නැද්ද අක්කේ….ඔයා හැම දේටම අපේ අයියව පාවිච්චි කළා..දැන් ඔයා ලෝකෙම ප්‍රසිද්ධ කම්පැනි එකක ලංකාවේ ඉන්න හෙඩ්…ඔයාගෙ තනතුරු වලට සල්ලි වලට බලයට අපේ අයියා ඔයාගේ කකුල් දෙක ළඟ වැටිලා ඉන්න ඕනේ කියලා හිතනවනම් ඒක හීනයක් විතරයි.ඔයා හොඳට මතක තියාගන්න ඕනවට වඩා ඉගිල්ලෙන්න දඟලන කුරුල්ලන්ට අන්තිමට සිද්ධ වෙන්නේ අත්තටුත් කඩාගෙන බිම වැටෙන්න..අන්න එදාට ඔයාට කිසි කෙනෙක් නැති වෙයි…ලොකුකම විතරක් ඉතුරු වෙයි…”
යමෙකුට මේසා වේගයකින් කතා කරන්නට හැකියාව වේදැයි හසාරා සිතුවේ පුදුමයෙන්ය.ඒ දෙසවන් රිදුම් දෙන්නට විය.
“ නංගි මේ…..”
“ ඒයි ..මේයි ගගා වචනයක්වත් කතා කරන්න එපා අක්කේ …ඔයා ගැන අපි තියන් ඉඳපු ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා ඉවරයි.ඔයා මං මේ ලෝකේ දැකපු නරකම ගෑනි.සමහරවිට ඔයා මේ තනතුරු තාන්න මාන්න ගන්න කාත් එක්ක හරි බුදිය ගත්තද කියන්න අපි දන්නේ නෑ.අයියා ඒ දේවල් දැනගෙන තව දුරටත් ඔයාගේ ගෞරවය ආරක්ෂා කරනවා ඇති.හැබැයි ඔයා හොඳට මතක තියාගන්න ඕනෑවට වඩා රඟන්න යන මොණරගෙත් පස්ස එළියේ කියලා..”
“ අනේ දෙයියනේ මොනවද මේ කියන්නේ..”
“ ඔව්… අපිටත් දෙයියන්ට කියන්න වෙන දවසක් එයි..තවමත් මගේ අය ඔයාව සුද්ද කරනවා.හැබැයි මං හොඳටම දන්නවා ඔයා මගේ අයියට මොකක්ද කළේ කියලා.තවම අපේ පවුලෙන් මේ දේවල් දන්නේ මම විතරයි.හැබැයි හරි ඉක්මන්ට අනිත් අයත් දැනගනී.ඊට පස්සේ මේ මුළු ලෝකෙම දැනගනී.හොඳට මතක තියාගන්න හසාරා අක්කේ.. මංනං නිකං ඉන්නෙ නෑ.බලන් ගියහම අපි අපේ පවුලට වත්දගෙන තියෙන්නේ කොඩිවිනයක්..මහ ජරාම ජරා ගෑනියෙක්..පව් මගේ අයියා…”
ඇය බැණ වැදුනා පමණක් නොව සාප කළාය. හඬා වැටුණාය.නිර්දෝෂී බව පවසන්නට තබා එකඳු වදනක්වත් කතා කරන්නට කිසිඳු ඉඩක් ලබා නොදුන්නාය.අවසන හසාරා කළේ හිතා මතා නිහඬවීමය.ඇය ඒ කළ කිසිදු චෝදනාවකට තමා වරදකාරියක නොවන බව හසාරා දනී.ධනංජයගේ පශ්චාත් උපාධියේ කටයුතු නිමවූයේ පෙරේදාය.ඉන්පසු නිවසින් පිටව ගිය ඔහු කොහේ ගියාදැයි හසාරා දැන ගත්තේ නිර්මිතාගෙන්ය.අදටත් ඔහු ඇගේ දුරකතන ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට පිළිතුරු සැපයූවේ නැත.
ගෙවී ගිය කාලයේ හසාරාගේ ජීවිතය ගතව ගියේ එකම එක කාල සටහනකටය.උදෑසන කාර්යාලයට යන ඇය යළි නිවසට පැමිණෙයි.ධනංජය කීයට නිවසින් පිටව යනවාද යළි කීයට පැමිණේද යන්න පවා ඇය දැන උන්නේ නැත. සුපුරුදු ලෙස ඔහු වෙනුවෙන් පිළියෙල කරන කෑම පාර්සලය බොහෝ දිනවල ඇය නිවසට පැමිණෙද්දීත් ඒ අයුරින්ම වේ.රාත්‍රියට ඔහු වෙනුවෙන් පිළියෙල කර තබන කෑම මේසය පසුදා උදෑසනටත් එසේමය..එහෙත් හසාරා අද වෙනතුරු ඒ යුතුකම , පුරුද්ද අත් නොහැරියාය.දැන් තෙවන මහල සම්පූර්ණයෙන්ම ඔහුගේ පරිහරණය සඳහා වෙන්ව තිබිණ.ඉඳහිට දිනක එහි යන හසාරා කිළිටි කූඩයේ තිබෙන ඔහුගේ කමිසයක් කලිසමක් සෝදා දැමුවත් ධනංජය යළිත් ගොස් ඒවා කිළිටි කූඩයටම දමන බව හසාරා දැනගත්තේ අහම්බයෙනි.පුරුද්දට මෙන් හසාරා සියල්ල සිදු කළත් ඇය උන්නේ හොඳ මානසිකත්වයක නොවේ.නිර්මිතා ඇරෙන්නට මේ දුක වේදනාව බෙදා ගැනීමට ඇයට කෙනෙකු නොවූවාය.
නිර්මිතා පැවසූ ඉවසීමත් දරා ගෙනම ඈ අවසන නිහඬ වූවාය.
දැන් ධනංජය පුරුද්දක් ලෙස නිවසට පැමිණෙන්නේ හොඳටම බීමතින්ය.ඊයේ පෙරේදා සිට ඔහු රාත්‍රී සමාජ ශාලාවල ගැවසීම පුරුද්දක් කරගෙන ඇති බව හසාරාට පැවසූයේත් කාර්යාලීය මිතුරෙකි.
කාර්යාලයෙන් ඈ යා යුතු වූ විදේශ ගමනට වූයෙි තවත් දින කිහිපයකි.ඒ ගැන තවමත් ධනංජය හා කතා කරන්නට ඉඩක් නොවූවාය.රාත්‍රියේදී ඔහු බීමත්ව නිවසට පැමිණෙද්දී ඈ බොහෝ දුරට ඔහුව මගහැර සිටීමට උත්සාහ දැරුවේ ගැටුමක් ඇති වේ යැයි බියෙන්ය.ධනංජයගේ සමහර වදන් , ඇනුම් පද හදවත පසාරු කරගෙන යන ඊතල මෙන් දරුණුය.
දැන් දැන් මේ දෑස්වලින් කඳුළු ගලා යාම අරුමයක් වූයේ නැත.එහෙත් ඒ කඳුළු වලට රිදවා ගන්නා තරම් සිතක් ධනංජයට නොවූවේය
අවසන ඈ නිර්මිතාට ඇමතුමක් ලබා ගත්තාය.
“ ඇයි මොක්ද ප්‍රශ්නේ..….”
එහා පස උන් මිතුරිය ඇසුවේ ඇගේ හඬෙහි වූ ඒ වෙනස නිසා විය යුතුය.
“ ධනංජයගේ නංගි කතා කරලා මට හොඳටම බැන්නා..අනේ ධනංජය එයාට ගොඩක් බොරු කියලා නිර්මි..ඒ සමහර කරපු චෝදනා අහන් ඉන්න බැරි තරම්ම ජරා ඒවා..මං දන්නෙ නෑ ඇයි මට මෙහෙම වෙන්නේ කියලා.ඔයා හොඳටම දන්නවා. මම කිසිම කෙනෙකුට වරදක් කරපු කෙනෙක් නෙමෙයි…අනේ මොකක්ද නිර්මි මං කරන්නේ.මේ මනුස්සයාගෙන් කිසිම දෙයක් අහන්න බෑ..අහල තේරුමකුත් නෑ..එයා මවා ගත්තු මොකක්දෝ බොරු ලෝකෙක අතරමං වෙලා..ඇයි එයාට මාව තේරෙන්නේ නැත්තේ..ඇයි එහෙම උනේ….”
“ ඇයි එහෙම උනේ කියන එකට උත්තර දන්නේ ඔයාලම තමයි.ගෙවිල ගිය කාලේ පුරාම මමත් ඔය දෙන්නගෙන්ම ඇහුවේ ඇයි මෙහෙම උනේ කියලා..අද මං මේ කියන දේට ඔයාට රිදෙයි.ඒත් යාළුවෙක් විදිහට ඔයා තව දුරටත් රැවටිලා ඉන්නවා දකින්න මට ඕන නෑ…”
“ අනේ ඔයා මොනවද මේ කියන්න හදන්නේ….”
“ මේ අහන්න හසාරා දැන් ඔයාලගේ බැඳීම ආපහු එකතු කරන්න බැරි තරමටම දුරස් වෙලා.ඒකට මං සෑහෙන්න උත්සාහ කළා.තවදුරටත් මේ විදිහට ඔයාලා දෙන්නා එක ගෙදරක ජීවත් වෙන එක තේරුමක් තියෙනවද…”
“ අනේ ඔයා කියන්නේ මට ධනංජයව අතාරින්න කියලද…”
“ එහෙම කරන්න වෙනවා හසාරා.නමක් විතරක් තියන බැඳීමක තේරුම මොකක්ද
ඔයාලා දැන් ඔයාලට අතෑරිලා ඉවරයි..නමට විතරක් ඔය දෙන්නා දෙපැත්තට වෙලා අල්ලන් ඉන්නවා..”
“ එහෙම හිතන්නවත් මං කැමති නෑ නිර්මි.එයා මාත් එක්ක වචනයක්වත් කතා නොකලට කමක් නෑ.මට මොන චෝදනාව කළත් කමක් නෑ.උදේ හවස මේ විදිහට එයාව දකින එකත් මට ඇති..මං..මං…කොහොමද හීනෙකින්වත් එහෙම හිතන්නේ..”
“ රටේ ජනාධිපති උනත් ඔයා ඒ බොළඳ කතාව කියයි කියලා මං දැනගෙන හිටියා..”
“ ඒකට කියන නම බොළඳකම නෙමෙයි. ඒක ආදරේ…මට හිතෙනවා මං එදාටත් වඩා දැන් ධනංජයට ආදරෙයි කියලා..එයාව මට නැතිවෙයි කියලා හිතෙන හැම තත්පරේකදිම ඒ ආදරේ වැඩි වෙනවා..ඔයා දන්නවා මං එයාට ඇබ්බැහි වෙච්ච කෙනෙක්….එයා නැති ජීවිතයක් මට නෑ…”
“ .යාළුවෙක් විදිහට තවදුරටත් ඔයා මෙහෙම විඳවනවා බලන් ඉන්නවත් මට බෑ හසාරා.එක්කෝ ප්ලීස් ඔයා මේ දේවල් මට නොකියා ඉන්න.මේ මනුස්සයාට තවදුරටත් ඔයා ඕනෙ නැත්නම් ඔයා මොකටද මේ මනුස්සයා ළඟ රැඳෙන්නේ”
“ මං කියන දේ අහන්න නිර්මිතා මට ඉන්නේ ඔයා විතරයි.මට දැන් ලෝකෙට පේන්නේ මේ කරන රඟපෑම ඇතිවෙලා.හැමෝටම අනුව ව මං හරි සාර්ථක ගෑනියෙක්…ඒත් මගේ ජීවිතේ මට මොනවද ලැබිලා තියෙන්නේ..මං හිතන්නේ ෆිල්ම් එකක ඇක්ට් කරන නිළියකට වඩා මං දැක් මගේ ජීවිතේ ඇතුලේ රඟපානවා.උදේට ගෙදරින් මේකප් එකක් දාගෙන පිටවලා ගියාට පස්සේ මං මේ මුළු ලෝකෙටම සාර්ථකම ගෑනියෙක්.හැබැයි මේ ගෙදර ඇතුලෙ මං තමයි මේ මුළු ලෝකෙම ඉන්න අසාර්ථකම ගෑනි…අනේ ධනංජය එක සැරයක් මාව තේරුම් ගන්නවා නම්…”
“ එහෙම තේරුම් ගන්නවනම් මේ ගත වෙලා ගියපු කාලේ හොඳටම ඇති.දවසින් දවස දවසින් දවස ළං වෙනවා වෙනුවට ඕගොල්ලෝ හොඳටම ඈත් වුණා.ඔයාම කිව්ව නේද ධනංජය කීප වතාවක්ම ඩිවෝස් වෙන කතාවක් කිව්වා කියලා..ඇයි එයාට නිදහස් වෙන්න දෙන්නේ නැත්තේ ඇයි ඔයා නිදහස් නොවෙන්නේ..ඉරණම ඒකනම් ඇයි ඒ ඉරණමට මුහුණ නොදෙන්නේ…”
“” ඩිවෝස් එක කියන්නේ ගෑණියෙකුට කටු ඔටුන්නක්.ඊට පස්සේ ඒ ගෑනි මේ සමාජය ඇතුලේ කිසි වටිනාකමක් නැති ජීවියෙක්.”
“ එතකොට ඔයා ජීවිතේ වටිනාකම තියාගන්න විතරයිද මේ සම්බන්ධය පවත්වා ගන්න උත්සාහ කරන්නේ….”
“ අනේ නිර්මි එහෙම කියන්න එපා…”
“ ධනංජය කියන්න වගේ ඔයාට පිස්සු.තමන්ගේ වටිනාකම දන්නේ නැතුව තවදුරටත් මේ මනුස්සයා පිටිපස්සේ එල්ලිලා ඉන්නවා….මට මීට පස්සේ මේ කිසිම දෙයක් කියන්න එපා.මට කේන්තියි ඔයා එක්ක…”
නිර්මිතා දුරකථනය විසන්ධි කළේ එසේ පවසමින්ය. අසරණ වූ හසාරා එහෙමම සුව පහසු සෝපාවේ හාන්සි වූයේ මහා හඬින් හඬා ගෙනය.යෙහෙළිය පවා මේ කෝල ගන්නේ තමාගේ දුක නිසා බැව් විශ්වාසය.
( යළිත් හමු වෙමු…)
ReplyForwardAdd reaction |