හෂාරාටත් ධනංජයටත් වූයේ සැබෑ කරගත නොහැකි වූ සිහින නොවේ.ජීවිතයේ පැතූ සියල්ල දෙපා මුලටම ලැබී තිබියදී ධනංජය මේ අයුරින් වෙනස් වූයේ කෙසේදැයි ඇයට නොතේරේ.දන්නා තරමින් තමා හොඳ පෙම්වතියක බිරිඳක වූ බව විශ්වාසය.ඔහුගේ ආදරනීය ඕනෑ එපාකම් මැසිවිලි නොනගාම ඉටුකල බව විශ්වාසය.
ඒ අයුරින්ම ගතව ගිය දින කිහිපයකට පසුව හසාරා ධනංජයගේ කාර්යාලයේ මිතුරෙකුට ඇමතුමක් ලබා ගත්තේ තව දුරටත් නිහඬව සිටීම යුතු නොවේයැයි සිතුණු නිසාය.නිර්මිතා පැවසූ පරිදි ඔහු යමක් තේරුම් ගන්නේනම් ඒ සඳහා ලබාදුන් කාලය හොඳටම ප්රමාණවත්ය.එහෙත් ඈ පවසන ආකාරයෙන් දික් කසාදයකට එකඟ වීමට පෙර එක් වරක් හෝ කසාදය රැක ගැනීමට උත්සහ දැරීමට සැමියෙකුට හෝ බිරිඳකට යුතකමක් ඇතැයි ඕ විශ්වාස කළාය.
“” ආ… මැඩම්….කාලෙකට පස්සේ අපිව මතක් වෙලා තියෙන්නේ. දැන් හරි ලොකු මිනිස්සුනේ.මං ඊයේ පෙරේදාත් මහත්තයාගෙන් ඇහුවා.දැන් ටිකක් බිසී කියලා කිව්වා..බිසී වෙන්න එපැයි ඉතින් තියන වැඩ රාජකාරිවල හැටියට නේද…”
එයා පසින් ඇසුනේ වෙනදා සේ ලෙන්ගතු වදන් පෙළක් නොවේ.යම් තරමකින් හෝ සිත රිදුනත් හසාරා සිතට දිරි ගත්තේ මේ කතාබහ කළ යුතුම එකක්යැයි දැන උන් නිසාය.
“ කසුන් අයියේ මට ටිකක් කතා කරන්න පුළුවන්ද..”
“ අපොයි පුළුවන් මැඩම්ලට වෙලාව නැති උනාට අපිට ඕන තරම් වෙලා තියෙනවා…”
දැන් මේ කර්කෂ වදන් හසාරාට හොඳින් හුරු පුරුදුය.මුව මත මදහසක් තබාගත් ඕ අසල වූ පුටුවකට බර වූයේ දිගු සුසුමක්ද මුදා හැරියාට පසුවය.සඳැල්ලේ මල් පෝච්චි තැබිය හැකි ආකාරයෙන් නිමවා තිබූ සැකිල්ලෙහි වූ බෝගන්විලා පඳුරු දිය වේලී ගොස් තිබිණ..වෙනදා සේ ඒවායේ පාට පාට මල් නොවීය.ඒවාට වතුර ටිකක් දමන්නට පවා තමාට අමතකව ගිය බවත් හසාරාට සිහි වූයේ එවේලෙහිය.
“ මට තේරෙන්නේ නෑ අයියා මේ දේවල් කියන්නේ ඇත්තටමද එහෙම නැත්නම් මට හින්ට් එකකටද කියලා..අයියා මං ගැන මොනවා හිතාගෙන ඉන්නවද ධනා මං ගැන අයියලා එක්ක මොනවා කියල තියනවද කියලා මම දන්නේ නෑ.ඇත්තටම මං අද මේ විදිහට කතා කලේ අයියගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්.කැම්පස් එකේ යාළුවන්ට අමතරව ධනා ගොඩක්ම ලඟින් ආශ්රය කලේ අයියා කියල මම දන්නවා…”
“ දැන් ඒ තරම්ම ලඟ යාළුකමක් නෑ නංගි..ධනංජයත් දැන් හරි බිසීනේ.කියන්න මොකක්ද මගෙන් කෙරෙන්න ඕන..”
“ කසුන් අයියේ..ගෙයි ගිණි පිටට ගෙනියන එක වරදක් කියලා දන්න නිසා මං අයියත් එක්ක මේ දේවල් මීට කලින් කතා කළේ නෑ. මේ විදිහට කතා කරන්න හිතුවෙත් නෑ.ඒත් දැන් සමහර ප්රශ්න මට තනියම විසඳගන්න බැරි තැනකට ඇවිත් නිසා මට හිතුනා ඕනම දෙයක් වෙද්දෙන් කියලා අයියත් එක්ක මේ ගැන කතා කරන්න.”
“ ප්රශ්න ගැන කතා කරන්න ඕනෙ ඒ ප්රශ්න විසඳගන්න බැරි තැනකට ආවට පස්සේ නෙවෙයි..ප්රශ්නයක් ඇතිවෙනවා කියලා දැනිච්ච මුල්ම කාලේ..මාත් ටිකක් ඔය ගැන දන්නවා..”
“ පවුලක් ඇතුලෙ ඇතිවන ප්රශ්න හිතිච්ච ගමන් එළියට දාන්න බෑ අයියේ…ගැහැණියක් විදිහට මං ගොඩක් ඉවසලා බැරිම තැන තමයි මේ කතා කරන්නේ.මට උදව් කරන්න අයියේ..”
“ නංගිට මොනවද මගෙන් දැනගන්න ඕන “
“ ධනා ගොඩක් වෙනස් වුණා අයියේ.පහුගිය කාලේ පැයෙන් පැය දවසින් දවස බලන් හිටියා මං එයා ආයේ හැරෙයි කියලා…අදටත් මට ඒකට හේතුව හොයාගන්න බෑ.මුලින්ම මුලින් මං එයා එක්ක මේ ගැන කතා කරද්දි එයාට දෙන්න උත්තර තිබුණේ නෑ.හැබැයි පහු වෙනකොට මම හීනෙකින්වත් නොහිතපු දේවල් ගැන එයා මට චෝදනා කරන්න ගත්තා.”
“ මොනවාද එයාගේ චෝදනා….මං දන්න පුංචි කතාව ඊට වඩා වෙනස් නංගි..”
“ ඒ ධනා කියපු කතාව නේද අයියේ..මගේ පැත්තෙන් මට කියන්න කතාවක් නෑ.මේ හැම කතාවක්ම එයා කියපුවා තමයි.ධනා කියනවා මං වෙනස් වෙලාලු.මගේ ඉලක්කයට යන්න මං එයාව පාවිච්චි කලාලු.අයියේ මම හැම තැනකම එයාව පාගල දාලා එක වෙන්න හදනවලු
.මේ ගේ ඇතුලේ කවදාවත් එයාට සැනසීමක් තිබුණේ නැහැලු අයියේ…මං හිතා මතාම එයාව පහත් කරනවලු…”
“ හිතා මතා නොවුනට සමහර විට ඔයාට නොදැනෙන්න එයාට ඔයාගේ අතින් වැරදි වෙන්න ඇති.මොකද ඔය දෙන්නා යන්නේ පාරවල් දෙකක.හැම අතින්ම බැලුවහම ඔයා ධනංජයට වඩා උසස් තැනක ඉන්නව නංගි..”
“ මං ඒ පාරේ ගියේ මගේ මහන්සියෙන් විතරක් නෙවෙයි අයියේ එයාගේ උදව්වෙන් .මට නවතින්න ඕක උන තැන්වලදිත් එයා මාව ඉස්සරහට තල්ලු කලා….”
“ ඔව් ..සමහර දවස්වලට ධනංජය මාත් එක්ක ඒ දේවල් කියලා තියෙනවා.මිනිහට සෑහෙන්න උවමනාවක් තිබුනා ඔයාව අද ඔය ඉන්න තැනට ගේන්න..”
“ එහෙම ගෙනත් මාව අතරමං කරපු එක හරිද අයියේ..ඇයි අයියේ එක තැනකදි මං කිසි වරදක් නොකළට එයාට මාව එපා උනේ…”
“ඔයා කොහොමද කියන්නේ ඔයා වරදක් නොකලා කියලා..මමත් එක්ක කතා කරපු සමහර දේවල් වලට අනුවනම් ඔයා ඔයාගේ ටාගට් එකට ගියාට පස්සේ එයා ඔයාගේ ජීවිතයට මදි උනාලු..”
“ මගේ ජීවිතේට…එයා…අනේ දෙයියනේ.. කවුද මේ දේවල් කියන්නේ කියන්නේ?.”
“ ඒ කවුරුත් කියපු දේවල් නෙමෙයි. ධනංජයට දැනිච්ච දේවල් නංගී.ඔයා හිතාමතා වරදක් කළාද නැද්ද කියන්න මම දන්නේ නැහැ.හැබැයි සමහර දේවල් වෙලා තිබුණා ධනංජයට හොඳටම රිදෙන්න…”
“ අදටත් මට ධනා තරම් වටින දෙයක් නැහැ අයියේ..මම හැම දෙයක්ම අතාරින්න ලෑස්තියි..අයියා දන්නවා ධනංජය කියන්නේ මට හරියට මහ ගහක් වගේ.ඒ හෙවන ඒ රැකවරණය නැතුව මට ජීවත් වෙන්න බෑ….අදටත් මං එයාට ඉස්සර තරම්ම ආදරෙයි අයියේ…”
“ නංගි ඔය කියන්නේ ටීවී එකේ කියන ලස්සන කතා නෙමෙයි වෙන්න ඇති නේද..”
“ මං දන්නෑ අයියේ.. ධනංජය කොහොමද අයියගේ හිතේ මං ගැන එහෙම වැරදි වැටහීමක් ඇති කළේ කියලා .මම මේ කතා කරන්නේ මගේ හිතට එකඟව අයියේ..ගොඩ දවසක් කල්පනා කලා මම ඔයා එක්ක උනත් මේ ගැන කතා කරනවද කියලා.”
“ ඔයා මාත් එක්ක මේ දේවල් කතා කරන එකේ කිසි ප්රශ්නයක් නැහැ. මං මේ දේවල් ධනංජය එක්ක කියන්න යන්නෙත් නැහැ..ඇත්තටම මට කියන්න පුළුවන්ද මොකක්ද ඔය දෙන්න අතර වුණේ කියලා.ධනංජය මමත් එක්ක සමහර සමහර දේවල් කතා කරල තියෙනව..හැබැයි….ඒ හැම කතාවක්ම ඇහුවේ උගේ පැත්තෙන්..”
“ ධනංජය කියන විදිහට මං හරි නරක ගෑනියෙක් නේද..මං උසස් තැනක ඉදගෙන එයා හරියට පහත් කරලා කතා කරන ගෑනියෙක් නේද..මම ඔෆිස් එකේ රෙක්ස්පෙක්ට් ගෙදරත් පෙන්නන ගෑණියෙක් නේද..එයාව තඹ සතයකටවත් මායිම් කරන්නේ නැතුව මං මට ඕන විදිහට ජීවත් වෙන කෙනෙක් නේද..මම මේ ඔෆිස් එකේ මට ඉහළ ඉන්න සමහර පිරිමින්ගේ අතේ නැළවෙන ගෑනියෙක් නේද…කොටින්ම කිව්වොත් මම මගේ මනුස්සයව බල්ලෙක් ගානට දාලා පාගන ගෑනියෙක් නේද….”
හසාරාගේ හඬ ආවේගශීලී වී තිබිණ.ඈ මේ අයුරින් කිසිවෙකු හා කතා කර තිබුණේ නැත. තවදුරටත් නොකළ වැරදි වලට චෝදනා අසා සිටින්නට පුළුවන්කමක් ඕ හට වූයේ නැත..නිවසේදී කුමක් වත් ඔහු සමාජයේ ඉදිරියේ තමා මේ සා හෑල්ලුවට ලක් කර ඇතැයි ඇය සිහිනයෙන්වත් නොසිතුවාය.
“ කතා කරන්න අයියේ ….මෙහෙම දේවල් නේද ධනංජය මං ගැන ඔයාලට කිව්වේ.තව කිව්වද මම දරුවෙක් හදාගන්න කැමති නෑ කියලා…මම ෆැමිලි ලයිෆ් එකක් ගැන හිතන් නෑ කියලා..”
එවර හසාරා ඇසුවේ එහා පස උන් මිතුරාගේ නිහඬ බව මැදය.
“ ඔයා ඇයි එහෙම කියන්නේ…”
“ ධනංජය වෙනස් වෙනවා කියලා මට තේරුනෙත් මාස කිහිපයකට කලින් අයියේ…එයාගේ පුංචි පුංචි වෙනස්කම් වලට මං එක එක හේතු ගලප ගත්තා.අන්තිමට මට තේරුණා එයත් අවසින් දවස මගෙන් ඈතට යන්න උත්සාහ කරනවා කියලා.ඒත් මට ඒකට හේතුව හිතා ගන්න බැරි උනා..එහෙම හේතු හොය හොය එයාගෙන් අහා අහා…පුංචි පුංචි වචන හුවමාරුකම් එක්ක කාලයක්ම ගත වෙලා ගියා…මං හීනෙකින්වත් නොහිතපු මේ වගේ චෝදනා මට දැන් එක එක පැති වලින් ඇහෙනවා අයියේ..මම මගේ මනසත් එක්ක පුදුමාකාර සටනක් කලා මගෙන් මේ කියපු විදිහේ එකම එක වරදක් හරි වුනාද කියලා හිත හිතා..මට විශ්වාසයි එහෙම දෙයක් උනේ නෑ අයියේ…මං මේ දේවල් ඇහුවහම එයාට දෙන්න පැහැදිලි උත්තරයක් තිබුනෙත් නැහැ…”
“ ඔයා කියන්නේ ඔයාගේ අතින් වරදක් උනේම නැහැ කියලද… .”
“ අයියේ මම දන්නෙ නැහැ නොදැනුවත්වම හරි මගෙ අතින් වරදක් උනාද කියලා.හැබැයි එහෙම වරදක් උනත් අපි දෙන්නට කතා කරලා විසඳගන්න බැරි තරම් වරදක් වුනේ නැහැ.ඒ වරද ඩිවෝස් එකක් දක්වා දුර දිග ගෙනියන්න තරම් වරදක්ද අයියේ…මං එයාගෙන් සිය දහස් වතාවක් ඇහුවා අයියේ මොකක්ද මගේ අතින් උන වරද කියලා..එහෙම වරදක් උනානම් එයා කියන විදිහකට මම එයාගෙන් සමාව ගන්නවා අයියේ..ඒ වරද හදා ගන්නවා..”
“ මට තේරෙන්නෙත් නෑ නංගි..මේක ඔය දෙන්නම ඉස්සර කතා කරන්න ඕන ප්රශ්නයක්.ධනංජය මමත් එක්ක කියපු දේවල් ඔයා එක්ක කියන එකවත් ඔයා මේ මාත් එක්ක කතා කරන දේවල් ධනංජය එක්ක කියන එකවත් තේරුමක් නැහැ.එහෙම කරලා එක්කෙනෙක් සාධාරණයි කියන්නත් බැහැ..මං කියන්නේ ඔය දෙන්නම කවුන්සලර් කෙනෙක් ලඟට යන්න….”
“ එහෙම දේකට මං ධනාට කතා කළේ එක පාරක් දෙපාරක් නෙමෙයි අයියේ….”
“ එහෙමද….එහෙම වෙලාවට ඌ මොනවද කියන්නේ?..”
“ තමුසෙට ඕනෙ ලෝකෙ ඉස්සරහ මාව පිස්සෙක් කරවන්නද කියලා ඇහුවා…”
“ ඒකත් එහෙමද…..අපි බලමු.ඔයා මාත් එක්ක මේ දේවල් කතා කරපු එක හොඳයි.සමහර වෙලාවට අපි එක පාර්ශවයක් එක්ක විතරක් කතා කරලා තීරණ ගන්නවා..මං මේ ප්රශ්නේ ගැන අක්කත් එක්කත් කතා කලා…”
“ අයියේ මට එකම දුක දෙයක් ගැන ඇත්ත කියන්න…මේ සැකය ඊයේ පෙරේරා ඉඳලා මගේ හිතේ ඇතිවෙච්ච එකක්…ඒක එහෙමයි කියලා හිතන්න මගේ හිත කැමති නෑ.ධනංජයගේ මේ වෙනස්වීම ගැන හිතලා හිතලා කල්පනා කරලා අන්තිමට මගේ හිත ගිහිල්ල නතර වුණේ එතන..”
“ මොකක් ගැනද ඔයා අහන්නේ…”
“ එයාගේ ජීවිතේට කවුරු හරි ඇවිල්ලද අයියේ..මං කියන්නේ…”
“ ඔයා මගෙන් අහන්න හදන්නේ ඔෆිස් එකේ කාත් එක්ක හරි සම්බන්ධයක් තියෙනවද කියලා නේද…”
“ ඔව්…එහෙම හිතන්න අකමැති උනත් මං මේ හේතු හොයනවා අයියේ..”
“ මං දන්නෙ නෑ මෙතනින් එළියෙ එයාට එහෙම මොනවා හරි සම්බන්ධයක් තියෙනවද කියලා.හැබැයි ඔෆිස් එක ඇතුලේ එහෙම කිසිම සම්බන්ධයක් නැහැ නැහැ.”
එයා පස උන් මිතුරා දුරකථනය විසන්ධි කළේ තවත් බොහෝ වේලා කතා කළාට පසුවය. හසාරාගේ සිතට යම් තරමක හෝ සැනසීමක් දැනෙමින් තිබිණ.ඔහුගේ ආදරයත් , ජීවිතයක් තවත් අයෙකුට හිමිවී ඇතැයි සිතන්නටත් ඇය බියය.
( යළිත් හමු වෙමු……)
ReplyForwardAdd reaction |