ගෝල්ඩන් ලීව්ස් හි දෙව්රම් සන්දනායක ගේ කුටියෙහි අසුනගත වෙත්දීත් සංකේත් හිටියේ කැළඹීමකිනි. ඔහු ගේ ඇස් වලින් ම ඒ කලබලය දැක ගත හැකි විය. දෙව්රම් සිය මේසයෙහි වඩාත් ඉදිරියට නැඹුරු වී මිතුරා දෙස බැලුවේ ය. මේ හදිසියේ දුරකතන ඇමතුමක් දී දෙව්රම් හමු වීමට අවශ්‍ය යයි කීවත් ඔහු ඊට හේතුව කීවේ නැත.
“සංකේත් ඇයි බං… මොකක් හරි අවුලක්ද…”
දෙව්රම් මිතුරාව ද සන්සුන් කරනා හඬකින් විමසී ය.
“බටකැලේට ගිනි අරං තියෙද්දිත් උඹ තාපසාරාමෙ භාවනා කරනව වගේ”
“මොකද්ද…”
“ඇයි ආරංචි නැද්ද…”
“මොකද්ද බං…”
“අද සෝශල් මීඩියා පැත්ත පලාතකට හොස්ස දාල බැලුවෙ නැද්ද…”
“හොස්සට පේන්නෑනෙ බං දැම්මත්”
“හී හී හරි හිනා. අනේ ගොං තඩියො… අන්න අරකි අරූ එක්ක සිංගප්පූරු ගිහිං”
“මොකී මොකා එක්කද බං…”
“සපුමලී. දර්ශන එක්ක”
හිස මත අකුණක් පුපුරා ගියා වන් විසුණු වීමක් දෙව්රම් ට දැනිණ. දර්ශන යනු දෙව්රම් ක්ෂේත්රයට පැමිණි කාලයේ පටන් හොඳ ම මිතුරෙකු සේ ළඟින් ම ඇසුරු කළ තැනැත්තෙකි. මුල දී රංගන ශිල්පියෙකු ව හිඳ පසුව අධ්යක්ෂණයට අත තැබූ දර්ශන සමගින් දෙව්රම් ටෙලි නාට්‍ය කිහිපයක ම වැඩ කළේ ය. ඔහු සපූ ව ක්ෂේත්රයට ගෙනාවේ ද දර්ශන ගේ ටෙලි නාට්‍යයක් හරහා ය.
“පේජ් කාරයො නිව්ස් එක ගහල එහෙ බලල මෙහෙ බලනකොට වීව්ස් ලක්ෂ ගාණක් බං”
“වීව්ස් ගන්න උං කරන ජරා වැඩ”
දෙව්රම් එසේ කීවේ මිතුරා ගේ දෑස් මගහැර මේසය දෙස බලාගෙන ය. සපූ ගැන ඒ විදිහට හිතන්නට තවමත් ඔහු ගේ හිත සූදානම් නැති බව දෙව්රම් ට දැනේ. ඇයට වරදිනවා දකින්නට හෝ ඇය වරදවාගන්නවා දකින්නට ඔහු ට ඕනෑ නැත ද සිදු වෙමින් පවතින්නේ එය විය හැක.
“බම්බුවක් තමයි. වීව්ස් ගන්න උං නිව්ස් එක ගහන්න ඇති. හැබැයි ඔය හොර ගමන බොරුවක් නෙවෙයි”
“සමහර විට වෙන්නැති. එහෙම වුණත් දැං මට වැඩක් නෑනෙ බං. සපූ දැං මගෙ කවුරුත් නෙවෙයිනෙ”
ඇත්ත එය බව දන්නවා වී ද මේ මොහොතේත් දෙව්රම් ට යම් අපහසුවක් නො දැනෙනවා නොවේ. එය ලැජ්ජාවක් කියා සිතන්නට ඔහු කැමති ය. ඔහු ගේ බිරිඳ වී සිටි ගැහැනිය රඟපෑමට අවස්ථා ලබා ගනු වස් අධ්‍යක්ෂවරුන්ගේත් නිෂ්පාදකවරුන්ගේත් නිදි යහන සරසනවා කියා හිතීමත්, සැබවින් ඔහු ට අවමානයකි.
“වැඩක් නෑ නෙවෙයි දෙව්. වැඩක් තියනව. මන්නං කියන්නෙ ඔය නිව්ස් එක ළැව් ගින්නක් වගේ පැතිරිලා යන්න අපිත් පැත්තක ඉඳං පෙට්‍රල් ටිකක් හරි විසිකරන්න ඕනෙ. කොහොමද එදා ඩිවෝස් එක ගැන ඕකි දීල තිබුණ වොයිස් කට් එක. සපූ පත්තිනිගෙ රෙද්දෙ තුත්තිරි කියල රටේ ලෝකෙ මිනිස්සුන්ට දැනගන්න මේ වෙලාවෙ උඹ ඉන්ටවීව් එකක් දෙන්න ඕනෙ”
“අයියෝ සංකේතය. මේ අහපංකො. කොහෙවත් යන ගාබේජ් ට්‍රක් පෙරළන්න ඕන්නෑ බං. අපි අපේ පාඩුවෙ ඉමු”
“නෑ මචං මේක තමයි ලෝකෙ මිනිස්සු ඔය සපූ ගෑනි ගැන ඇත්ත දැනගන්න ඕන වෙලාව”
සපූව රංගන ක්ෂේත්රය වෙත ගෙන යන ලද්දේ දෙව්රම් විසින් අතින් අල්වාගෙන වී ද ඔහු ට හැමදාමත් ඇය ළඟට වී සිටිය හැකි වූයේ නැත. දර්ශන ස්ත්‍රී ඇසුරෙහි ලෝලයෙකු බව දැන සිටි බැවින් ඔහු ඇසුරු කළ යුතු සීමාවන් ගැන දෙව්රම් විසින් මුල සිට ම සපූ ව දැනුවත් කරනු ලැබ තිබිණ. ඒ සීමාවන් ඉක්ම යන බව දැනුණු අවස්ථා කිහිපයකදී ම ඔහු සිය බිරිඳට යළි යළි අවවාද කළේ ය.
“ෆීල්ඩ් එකේ කතා හදාගන්නවට වැඩිය හොඳයි ගෙදර නතර වෙන එක සපූ. මෙතන ගැන දන්න නිසයි ඔයාට මෙච්චර කියන්නෙ. නම කැත කරගෙන මටත් මිනිස්සුන්ට මූණ දෙන්න බැරි තත්වයක් ඇති කරන්නෙපා”
මුලදී මේ අවවාද මඳහසකින් පිළිගත්තා ට කල් ගත වීමේ දී සපූ ඒ ගැන උදහස් වූවා ය. විටෙක බුම්මාගෙන සිටි අතර පහු වෙද්දී දෙව්රම් සමගින් එකට එක කියන්නට ද පටන් ගත්තා ය.
“මොකද්ද අනේ ඔයාට වෙලා තියෙන්නෙ… ඔහොම සැක කරන්න එපා. ඔයා කියන විදිහට මේ වගේ ෆීල්ඩ් එකක වැඩ කරන්න බෑනෙ. මිනිස්සු එක්ක කතා බහ කරල මූව් වෙලා සුහදව ඉන්න ඕනෙ. අනිත් එක අපි ගණං උස්සනකොට වෙන්නෙ අපිව වැඩ වලින් කැපෙන එක”
“ටීවී එකේ වැඩියෙං මූණ පෙන්නගන්න ඕනකමට තමුංගෙ චරිතෙ විනාස කරගෙන හරියනවද…”
ඉවසා බැරි තැන ඇයට සැර වන්නට ද ඔහු ට සිදු විය. නමුත් ඒ ඇය ආරක්ෂා කරගැනීම වෙනුවෙනි. ඇයට ආදරය කිරීමේ නාමයෙනි. නමුත් එවැන්නක් පිළිගන්නට බැරි තරම් සපූ මාන්නයෙන් ඉදිමෙමින් සිටියා ය. ඇය රඟපෑ ප්‍රථම ටෙලි නාට්‍යයෙන් ම අතිවිශාල ජනප්‍රියත්වයක් ලැබීම පිටුපස ඇගේ හැකියාව, වාසනාව සේ ම දෙව්රම් ගේ බිරිඳ ය යන පදවිය ද වූ බව පිළිගත යුතු ය. නමුත් සපූ පිවිසෙමින් සිටියේ ඒ තුන්වෙනි කාරණය සපුරා අමතක කරනා තත්වයකටයි.
සපූ හා දර්ශන ගේ ඇසුර වැඩි වෙමින් තිබිණ. දෙව්රම් ට සහභාගී විය නො හැකි උත්සව, සම්භාෂණ හා සුහද හමුවීම් වලට ද ඇය දර්ශන සමගින් යන්නට වූවා ය. ඒ ගැන කතා කළ විට සපූ දෙව්රම් ට චෝදනා කළා ය.
“ඔයාට යන්න බැරිවෙනව කියල මාත් නොයා ඉන්නෙ ඇයි… මං ගියාම මොකද වෙන්නෙ… ඔයාට දැං මං ජනප්‍රිය වෙන එක බලං ඉන්න බෑ”
ඒ ප්‍රථම වෙඩි මුරයයි. සපූ එසේ කියත්දී දෙව්රම් තිගැස්සී ගියේ ය. ඔහු ට වචන අමතක වී උගුර ගොළු වූ තරමි. එය එසේ නොවන බව සපූ ට තහවුරු කරවීමට ඔහු නො ගත් උත්සාහයක් නැත. නමුත් මේ වන සිටියේ ගමේ සිට ඔහු අතින් අල්ලාගෙන කොළඹට ගෙන ආ සපුමලී නොවේ. කොළඹ හතේ ඉපදුණා වාගේ පෙන්වාගෙන සිටි අලුත් සපූ කෙනෙකි. දර්ශන සිය අලුත් ම ටෙලි නාට්‍යයට ඔහු නොගෙන සපූ පමණක් සම්බන්ධ කරගත් දා දෙව්රම් තව දුරටත් දෙදරා ගියේ ය.
“මේකෙ මේන් මේල් කැරැක්ටර් එකට උඹ සෙට් වෙන්නෑ දෙව්රම්. ස්ක්‍රිප්ට් රයිටර්ටත් ඕන වුණේ ක්‍රිෂ්ව මේන් කැරැක්ටර් එකට ගන්න”
දර්ශන ට තිබුණේ එවන් නිදහසට කාරණයකි. ඒ ගැන විරුද්ධ මතයක් දරන්නට තරම් දෙව්රම් වූ කලී පටු මනස් ධාරියෙක් නොවේ. නමුත් ඕනේ නම් සපූ ට ඒ චරිතය භාර නො ගෙන ඉන්නට තිබූ බව ඔහු විශ්වාස කළේ ය. දර්ශන ට ඕනෑ වූයේ සපූව තනි කරගන්නටයි. ඔහු රිසි පරිදි ඇයව හසුරුවන්නටයි. මේ ගැන ක්ෂේත්රයේ තැන් තැන් වල රහස් කෙඳිරිලි ඇති වූ ගමන් ම දෙව්රම් කෙළින් ම දර්ශන සමග කතා කළේ ය.
“එයාගෙන් ඩියුටි එක විතරක් කරගෙන යවපං දර්ශන. මොකද මට බයයි සපූට ඕන්නැති කතාවක් හැදෙයි කියල”
දෙව්රම් කතා කළේ විනීතව ය. සිය මිතුරාට කිසි සේත් අගෞරවයක් නොවෙන සේ ය. නමුත් දර්ශන කීවේ ඔහුට කම්මුල් පහරක් ගහනවා බඳු කතාවකි.
“අනේ උඹේ ගෑනි ඓශ්චර්යා ද බං…”
ඒ සිනහවේ තිබූ සමච්චලය දෙව්රම් රිදවී ය. නමුත් ඔහු දර්ශන ඉදිරියේ හිස කෙළින් තබාගෙන කතා කළේ ය.
“එයා ඓශ්චර්යා නෙවෙයි කියල මං දන්නව බං. හැබැයි සපූ කියන්නෙ මගෙ වයිෆ්. ඒක නිසා මට එයාව ඓශ්චර්යාට වැඩිය වටිනව”
සපූ හින්දා අත් විඳින්නට සිදු වූ බොහෝ දේ එක ම සිනමා පටයක දර්ශන කිහිපයක් සේ මනස ඉදිරියේ දිගහැරෙමින් තිබිණ. දෙව්රම් යන්තම් හිස ගසා ඒ අතීතයෙන් මේ වර්තමානයට පිවිසීමේ උත්සාහයක් දැරුවේ ය.
“ඇත්ත කියන දේ ඉර එළිය වගෙයි සංකේත්. ඒක හංගල තියන්න බෑ. කොහොමහරි එළියට එනව. ඒක කරන්න අපි අමුතුවෙන් මුකුත් කරන්න මහන්සි වෙන්න ඕන නෑ. සොබා දහමට අනුව ඒක වෙනව. මොකද සොබා දහම යටපත් කරල තියන්න බෑ. ඒගොල්ලො මොනාද කරන්නෙ කොහොමද රඟපාන්නෙ කියන එකත් හැමදාම හංගල තියන්න බෑ. ඉතින් අපි අමුතුවෙන් මොනාත් කරන්නෙ මොකටද… අනිත් එක දැං මට අයිතියක්වත් ඕනකමක්වත් නෑ සපූ ගැන කතා කරන්න. දෙයක් අතාරින්න ඕනෙ බාගෙට නෙවෙයි බං. සම්පූර්ණයෙන්ම. මට ඕනෙ සපූවත් සම්පූර්ණයෙන්ම අතාරින්න. තාමත් හරියටම එහෙම කරන්න බැරි වුණත්… එහෙම කරන්න ට්‍රයි කරනව”
ඒ වචන පිට වූයේ හෙමිහිට නැවතිල්ලේ ය. ඒ අතරේ පිරිමි හදවතක ගින්දර තැවරී තිබිණ. වචන කෙළවර සුසුමක බර ද විය. නො සන්සුන් ව මේ වීදුරු කුටිය තුළට පිවිසි සංකේත් ද තරමක් නිවී සිටියේ ය. වීදුරු දොර ඉදිරියේ ආදියා සිටිනු දෙව්රම් දුටුවේ හරි හදිස්සියෙනි. එකෙනෙහි ඔහු ප්‍රශ්නාර්ථයෙන් ඇදෙස බැලුවේ ය. ආදියා දොර යන්තම් විවර කොට පියකරු සිනහවකින් හිස ඇතුළට දැමුවා ය.
“එක්ස්කියුස් මී මිස්ට දෙව්රම්… මේ අයි කම් ඉන්…”
දෙව්රම් ඈ ඇතුළට කැඳවූයේ හිසෙනි.
“සිග්නේචර් එක මිස්ට දෙව්රම්”
“ඔයා ඉතිං සිග්නේචර් එකමනෙ ඉල්ලං එන්නෙ”
ලිහිල් වීමේ සරදම් සිනහවකින් යුතුව දෙව්රම් ආදියා ගේ මූණ බැලුවේ ය. ඇය පිච්ච මලක අහිංසක බවෙන් සිනහ වූයේ ඉසියුම් දඟකාරයක් තැවරි දෑසකිනි. මොහොතකට දෑස් ඉවතට ඇදගන්නට දෙව්රම් ට අමතක වෙන තරමේ හුරුබුහුටි බවක් ඒ වෙලාවේ සමස්ථ ඇය තුළ තිබිණ. දෙව්රම් අත්සන් යොදත්දී ඇය ඒ මනරම් දිගු පිරිමි අතැඟිලි දෙස බලාගෙන ම සිටියා ය. කොයි තරම් වාර ගණනක් බලා සිටියත් ඒ ඇති වෙන දෙයක් නම් නොවේ. සැබවින් තව තවත් ඕනෑ වන්නේ අතින් පිරිමැද බලන්නටයි. දෙතොල් පෙති තබා බලන්නටයි. සිය රහස් සිතිවිල්ල ගැන ලැජ්ජාශීලී වූ ආදියා කොපුල් රතු වෙත්දී බිම බලාගත්තා ය.
“මෙහෙ ජොබ් එකක් හදල දෙන්න බැරිද දෙව්රම්…”
සංකේත් කතා කළේ ඒ අසීමිත නිශ්ශබ්ධ දැහැන බිඳ දමමිනි. මෙතෙක් ඔහු ආදියා ගේ දෑස් යොමු වී ඇති දෙස, දල්වාගත් නෙතින් බලා සිටියේ ය. අත්සනක් යොදා යටින් ඉර ද තිත ද තැබූ දෙව්රම් දෑස් ඔසවා මිතුරා දෙස ද, එකත්පස්ව සිටින ආදියා දෙස ද දෙවරකට බැලුවේ ය. ඇය සිටියේ ලිපි ගොනුව අතට ගන්නට දෑත පාමිනි. ඇයිදෝ මන්දා තවත් ටික වෙලාවක් ඇය මේ කුටිය තුළ සිටිනවා නම් වැනි අමුතු හැඟීමක් දෙව්රම් ට දැනිණ.
“ජොබ් එකක්… මෙහෙ…”
“ඔව්. බල බල ඉන්න හරි මෙහෙ ලස්සන ගෑනු ළමයි ඉන්නවනෙ”
එවර දෙව්රම් අසුනේ පිටුපසට හරිබරි ගැහෙමින් වඩාත් සැහැල්ලු ලෙස මුව හසරැල්ලක් නගා ගත්තේ ය.
“ඔන්න ආදියා… මොකද කියන්නෙ…”
“හැබැයි මෙහෙ ඉන්න ගෑනු ළමයි බලන්නෙත් ලස්සන පිරිමි ළමයි දිහා”
දෙව්රම් ක්ෂණිකව මඳක් හඬ නැගෙන සේ සිනහ වූයේ ය.
“අන්න… ඒක මරු කතාව”
“ඇයි ඇයි ඕගොල්ලො හිතන්නෙ ලස්සන පිරිමි කියන්නෙ මිස්ට ශ්‍රී ලංකාල විතරයි කියලද…”
“අපි එහෙම කිව්වෙ නෑනෙ නේද මිස්ට දෙව්රම්…”
ඈ ලිපිගොනුව ළමැදෙහි තුරුලු කොට ගෙන දොර දෙසට අඩියක් දෙකක් තැබුවේ පිරිපුන් බවකින් පිරිමි හිත් පුරවා දමමිනි. දෙව්රම් ගේ ඇස් මඳහසකින් ඇය වෙතට යොමු වී තිබියදී සංකේත් පිටුපස ද හැරී ආදියා යන දෙස බැලුවේ ය. ඈ වීදුරු කුටියෙන් නික්ම ගියත් ඔහු තුළ තවමත් ඉන්නවා වාගේ ය දෙව්රම් ට දැනුණේ.