විහඟ පියාපත් 25

0
2278

පරිසර නිළධාරියා ලෙස මාපලාන කෘෂිකර්ම පීඨයේ උපාධි ලාභී විදෙස් සමාගමක සිව් වසරක් පරිසර නිළධාරියෙකු ලෙස සේවය කර තිබූ අයෙකු ශයිනි දෙවන සම්මුඛ පරීක්ෂණ වටයෙන් තෝරාගත්තේ එදිනම සවසය.

 පත්වීම ස්ථිර කරන්නට මත්තෙන් ඔහුට අවසාන සම්මුඛ පරීක්ෂණ යැයි දන්වා පසුදින හෝටලයට පැමිණෙන්නට ශයිනි දැනුම් දුන්නාය. අර්ධකාලීන රැකියාවක් ලෙස නොව පූර්ණ කාලීනව රැකියාවේ යෙදිය යුතුවගද දැනුම් දුන්නාය.  ඇය මේ සියල්ල සිදු කලේ චරිත් සහ තිළිණි ව දැනුවත් කිරීමෙන් තොරවය. 

මානව සම්පත් කලමණාකරණ අංශයෙන් සිදුවිය යුතු කාර්‍යන් සඳහා ඕ ඇමතුවේ එහි වූ දෙවෙනි නිළධාරියාවය. චරිත් ශයිනිගේ නිහැඬියාව ධනාත්මක පිළිතුරක් ලෙසින් ගත්තා වුවද, තිළිණි උන්නේ ඉන් අතිශය පීඩාවට පත්ව උන්නාය. චරිත් ද කිසිවක් පැහැදිලි නොකර මඟ හැරීම තුළ, ඇයට නිහඬව දරා ගැනීම හැරෙන්නට අන් කල හැකි දෙයක් වූයේද නැත. 

අද දිනයද ඉවසා බලා, රාත්‍රියේ හෝ ශයිනි මුණගැසී කතා කරන්නට සිතමින් තිළිණි ස්ත සන්සුන් කරගෙන රාජකාරි කටයුතු වෙනුවෙන් සිත යොමු කලාය. 

එහෙත්, ශයිනි තිළිණි ට ඉඩක් දුන්නේ නැත. ඕ ඇය මඟ හරිමින් රාත්‍රී ආහාරය ඇගේ පෞද්ගලික කාමරයට එවන ලෙස මුළුතැන්ගෙයට දැනුම්දී කාමරය තුළට වූවාය. අම්මාට ඇමතුමක් දී විනාඩි කිහිපයක් කතා කලාය. චරිත් ගේ ද්‍රෝහි වීම පිළිබඳව කිසිත් නොපවසා, අලුත්වැඩියා කිරිම් පිළිබඳව දැනුම් දුන්නේය.  

තමා සතු මුදල් කලමනාකාරණය කර ගනිමින් එම කටයුතු නිම කල හැකි බැවින්, වැඩිපුර මුදල් අනවශ්‍ය බවද තාත්තා මුදල් පිළිබඳව විමසද්දී පැවසුවාය. 

ශයිනි බාත් ටබ් එකට පුරවා ගත්තේ මද උණුසුම් ජලයය. පෙණ නැඟෙන්නට ජෙස්මින් සුවඳැති බොඩි වොශ් බෝතලය හැලුවාය. එය තුලට බැස ගෙන දෑස් පියා ගත්තාය. 

අමයුරු දිසානායක ………….,

ශයිනි ට ඔහුගේ අනන්‍යතාව වැටහෙන්නේ නැත. ඔහු උත්සාහ කරන්නේ කුමක් වෙනුවෙන් දැයි වැටහෙන්නේද නැත. තමාගේ නොසලකා හැරීම හමුවේ පවා අද දිනයේ ඔහු තමා පිළිබඳව වද වන වග පෙන්වූයේය. ඉන් නොනැවතී රැය වෙනුවෙන් බලාපොරොත්තු සකසා තබා තාවකාලිකව සමුගෙන ගියේය. 

අමයුරු දිසානායක ගේ මුල් උත්සාහය වූයේ තමා බිඳ බිම හෙලීම බවට ශයිනිට සැක නැත. එසේ නොවන්නට ඔහු ඒ ලිපිය එපරිද්දෙන් ලියන්නේ නැත. එහෙත්, ඔහු සඟවා තිබූ කාරණා ඒ සැනින් ශයිනි ට සිහිවිය. තමා සතු වූ ප්‍රධානම වැරදි වල සාක්ශි ඔහු හෙළිදරව් කර තිබුණේ නැත. 

බිඳ දැමීමට උත්සාහ කලා නම්, ඔහු ඒවා සැඟවූයේ කිනම් කාරණාවක් නිසාදැයි ශයිනිට පැහැදිලි නැත. යම් යටි අරමුණක් වූවා නම්, ඒ මුදල් විය නොහැක. එසේ නම් ඒ අරමුණ කුමක්දැයි ඕ කල්පනා කලාය. පැයක් ඉක්ම යන තුරුත් කල්පනාවේම නිමග්නව උන්නා මිසෙක ඉන්නේ කොහිදැයි ඇයට සිහි වූයේ නැත. පසෙක වූ ජංගම දුරකතනය නාද විය. ඕ පියවි සිහියට එලැඹුණේ ඒ හඬිනි. 

ජංගම දුරකතනය දෙස නොබලාම ඕ බාත් ටබ් එකේ ජලය හිස් කර හැරියාය. ඉන් පසුව ඉතා ඉක්මනින් ගත දොවාගෙන කාමරය තුළට ආවාය. ජංගම දුරකතනය ද එක් අතෙක විය. ඒත් එය පසෙක තැබූ ඕ  ජංගම දුරකතනය දෙස බැලුවේ සැහැල්ලු කලිසමක් සහ කමිසයක් හැඳ ගැනීමෙන් පසුවය. 

තිළිණි, ඇය අමතා ඇත. ශයිනි එය නොතකා උන්නාය. මේ සියල්ල පිටුපස ඇයද සිටිනවා විය හැක. ඇය එවැන්නක් නොකරන වග සිතෙනවා වුවද, චරිත් වුවද මෙවැන්නක් සිදු කරාවියැයි සිතුවේ නැත. 

” කාලා බීලාද ?”

මැසෙන්ජරය හඬ දුණි. ශයිනි ජංගම දුරකතනය ද ගෙන යහනෙහි පෙරලුණාය. මුහුණට ඉහලින් වන සේ ජංගම දුරකතනය අල්ලා ගත්තාය.

” තාම නෑ…”

ඕ හිස් මුහුණක් සමඟ යැව්වාය.

“කාලා එන්න…”

අද හෝටලයේ රාත්‍රී ආහාරය රසවත් ය. ඇයද රස බලා කුස පුරවාගන්නට ඕනෑයැයි වන ආශාවෙන් අකලංක ගේ හිත කිති කැවෙමින් තිබුණි.  ඇයගේ කාමරයේ විදුලි පහන් දැල්වී ඇත. ඝණ තිර රෙදි නිසා ඉන් එහා කිසිඳු චලනයක් පෙනෙන්නේ නැත. 

අකලංක උන්නේ බැල්කනියේ ය. බන්ධනා කාමරය තුළට විත් පැයක් පමණම නේක විධ ඕපාදූප කියවමින් උන්නාය. කෙතරම් කීවද යන්නට සූදානම් බවක් වූයේද නැත. අකලංක අවසානයේ ඇයට කාමරය තුළට වී සිටින්නට දී බැල්කනිය දෙසින් දොර වසාගෙන බැල්කනියට ආවේය. 

අංශක අනූවක කෝණයකින් පෙනෙන කාමරය ඇගේ කාමරය බව තහවුරුව සොයා ගත්තේ සවසය. අකලංක පුටුව තවත් අත් වාරුව දෙසට වන්නට වන සේ සකසා ගත්තේය. දෙපා ඉදිරියේ වූ කුඩා ටීපෝව මත තබා ගත්තේය.

අහසෙහි තරු රටා අපමණය. අඩ සඳ වට කරගෙන රඟ දෙන තරු පන්ති නිසා අහසෙහි නේක කතන්දර ය. සීතල සුළඟ අකලංක ඔසවා ඒ කතන්දර වෙත ගෙන යන්නට උත්සාහ දරන්නේය. එහෙත් අකලංක ට අවැසි කතන්දරය ඇත්තේ මේ ඉන්නා තැනට අංශක අනූවක කෝණයකින් ඇරෙන කාමරයකය. බොහෝ විට යහනක් මත විය හැක..

අකලංක යළි ජංගම දුරකතනය දෙස බැලුවේය.

“මං කෑම එකක් ගෙනල්ලා දෙන්න කිව්වා. දැන්  ගෙනේවි…”

ශයිනි එලෙස පවසා කාමරයේ ස්ථාවර දුරකතනයෙන් අමතා නූඩ්ල්ස් එකක් සහ කෝපි කෝප්පයක් ඇණවුම් කලාය. 

“හොඳයි.. එහෙනම් කාලා ඉන්න…”

අකලංක ඒ දෙස බලාගෙනම එලෙස අමුණා යැව්වේය. ශයිනි තිරයේ උඩට ගොස් යළි කෙටි පණිවිඩ කිහිපයක් කියෙව්වාය. විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් ශයිනි උන් කාමරයේ දොරට කිසිවෙකු තට්ටු කලේය. ඕ ජංගම දුරකතනය එලෙසම යහන මත දමා දොර විවෘත කලාය.

කල්පනාවට හෝ පැමිණියේ නැති ලෙසින් පැමිණ උන්නේ තිලිණි ය. ශයිනි වහා ආහාර ට්‍රේ එක ඈ අතින් ගත්තාය.

“ශයි…”

“මට මහන්සී .. ප්ලීස් .. කාලා නිදාගන්න ඕනි…”

තිළිණි ගේ උවන මත වන කිසිඳු හැඟීමක් විස්තර කරන්නට හෝ නොනැවතී දොර වසා දැමුවාය. ඒ ආවේගයෙන්ම නූඩ්ල්ස් පිඟානම හිස් කලාය. කෝපි කෝප්පය අතට ගෙන යහන අසලට ආවාය. ආපසු හැරී ගොස් කෝපි කෝප්පය මේසය මත තබා යහනටට වැටුණාය.

“චරිත්…, මගේ අකවුන්ටන්ට් .. එයා ඒකට සම්බන්ධයි…….”

එතරම් වෙලා සැලසුමක් නොතිබූ කතන්දරයට පිවිසුම ලැබුණි. අකලංක ඉදිරිපස බැලුවේය. කිසිම වෙනසක් නැත. යළි වේවැල් පුටුවේ හරි බරි ගැසී හිඳ ගත්තේය. ඇගේ පණිවිඩය යළි කියෙව්වේය. 

ඇය බොහෝ කාරණා සොයාගෙන තිබීම තමාට පහසු වග අකලංක සිතුවේ මදහාසයක් සමඟිනි. එසේ නම් ඇය අපහසුම සිදුවීම දරාගෙන ඇත. 

“තිළිණි… ඒකි සම්බන්ධ නැහැ ඕකට…”

දිනය පුරාම තිළිණි ගේ හැකිලුණු මුහුණ සහ ඇය ශයිනි සමඟ කතා කිරීමට දරමින් උන් උත්සාහය දැක තිබූ නිසාම අකලංක දෙවෙනි වැකිය එලෙස ඇමිණුවේය. ශයිනි ඒ දෙස බලා උන්නාය. ඔහු එලෙස පවසන්නේ කෙලෙසදැය් විමසීම පලකට නැත. එහෙත්;

“කොහොමද එහෙම කියන්නේ ?”

“ඒක එහෙම තමයි.. ඒකි පවු… “

ශයිනි හිස සැලුවාය. කිසිවෙකු නොවූවා වුවද ඇයට අවධාරණය කර ගත යුතු වූයේ තමාටමය.

අමයුරු දිසානායක ගේ වචනට ශයිනි මොණරවිල ට එතරමටම විශ්වාසය. 

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here