පිරිමින් විවාහයට අම්මා වගේ කෙනෙක් හොයන්නේ ඇයි?

“මට කවදාහරි අම්මිව මැරි කරන්න පුලුවන්ද?”

මේ ලෝකයම කැරකෙන්නේ තමන්ගේ අම්මා වටා කියලා හිතන පුංචි පුතාලා ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන් අම්මාගෙන් අහනවා. එහෙම බැරි බව අම්මා කියලා දුන්නම හොස්ස එල්ලා ගන්නවා. අම්මා ජීවිතය කරගත් පුත්තු උස්මහත් වෙනවා. ප්‍රේමයක උවමනාව දැනෙන කාලය උදා වෙනවා.

“මට ඕනෑ අපේ අම්මගෙ ගතිගුණ තියන කෙල්ලෙක්”

ඔහොම කියන මිතුරන් අපි වටා ඕනෑ තරම් ඉන්නවා. ඇත්තටම එහෙම කියන්න හේතුවක් තියනවද? ඇයි පිරිමි ළමයි විවාහයටත් ප්‍රේමයටත් අම්මා වගේ ගෑනු ළමයි හොයන්නේ?

දැන් පර්යේෂකයන් සොයාගෙන ඇති නිරීක්ෂණයක් තිබෙනවා. ඒ පිරිමින්ගෙන් තුනෙන් දෙකක් පමණ නොදැනුවත්වම තම මවට සමාන කාන්තාවක් සමඟ ආදරයෙන් බැඳී ඇති බවයි. එය අධ්‍යයනයකින් හෙළි කර ගන්නටත් ඔවුන් සමත්. බ්‍රිතාන්‍ය පිරිමින්ගේ මව්වරුන්ට සහ භාර්යාවන්ට හෝ පෙම්වතියන්ට කරන ලද පෞරුෂ පරීක්‍ෂණයකින් පෙනී ගියේ ඔවුන් අතර බොහෝ පොදු දේ ඇති බවයි. අන් අයගේ අදහස්වලට ගරු කිරීම සහ කරුණාවන්ත වීම වැනි ශක්තිමත් වටිනාකම් ඇති මව්වරුන් සිටින පිරිමින්, ඔවුන්ගේ සහකාරිය තුළ ද එය සොයනවා. 

ආදරණීය මවක් සමඟ හැදී වැඩුණු අයට ද එම ගති ලක්ෂණ ඇති බිරිඳක් හෝ පෙම්වතියක් ඉන්නවා. eHarmony නම් වෙබ් අඩවියේ  පර්යේෂණ ප්‍රතිපලය ඒ ආකාරයි.

eHarmony හි සම්බන්ධතා විශේෂඥ Rachel Lloyd මෙසේ පැවසුවා: ‘අපි අප සමඟ සමාන ගතිලක්ෂණ බෙදාහදා ගන්නා පුද්ගලයින් වෙත වේගයෙන් ළං වෙනවා. ජීවිතයේ අපිට මූලික රැකවරණ දෙන්නේ අම්මා. ඒ නිසා ඇයට සමාන වටිනාකම් සහ ගුණාංග ඇති කාන්තාවන් වෙත පිරිමින් ආකර්ෂණය වෙනවා.

මව්වරුන්ගේ සහ භාර්යාවන්ගේ ප්‍රධාන පොදු ලක්ෂණ අතර කරුණාවන්ත, ඉවසිලිවන්ත සහ ඒකාකාරී බව පවතිනවා.ලොයිඩ් මෙනවිය මෙසේ පැවසුවා. ‘ඉවසිලිමත් පවුලක හැදී වැඩීම, සංවේදී මවක් ආදර්ශයක් ලෙස සැලකීම සමහර පිරිමින්ගේ ලක්ෂණ. ඔවුන් එවැනි ලක්ෂණ ඇති කාන්තාවන්ට ආකර්ෂණය වෙනවා.

ඔයාටත් අම්මා කෙනෙක් වගේ පෙම්වතියක් වෙන්න ඕනෑද?

  1. සවන්දීම

එයා බොහොම මහන්සි ඇකඩමික් දවසක් හෝ ඔෆිස් දවසක් ගෙවලා එනවා ඇති. එහෙම මහන්සි දවසක අම්මා කෙනෙක් කරන්නේ දඩිබිඩියේ තේ එකක් හදලා දෙන එක. ඔයාට පුළුවන් එයත් එක්ක කොෆී ෂොප් එකකට යන්න. මහන්සිය නිවෙනකම් එයා කියන දේවල් අහගෙන ඉන්න.

  1. කරුණාව

අපි හැමෝම පෙම්වතාට සැමියාට ආදරෙයි. ඒත් එයාලා කරුණාවන්ත හැසිරීමත් බලාපොරොත්තු වෙනවා. අසනීපෙන් ඉන්න වෙලාවක උණු සුප් එකක් හදාගෙන එයා බලන්න යන එක, යන්න බැරිනම් ඇණවුමක් හරහා රස කෑමක් යවන එක, බෙහෙත් බොන්න මතක් කරන එක, අඩු නැත්නම් අම්මා වගේ පොඩ්ඩක් සැර දාලා බේත් ගන්න එක්කන් යන එක එයාට අම්මාව මතක් කරන හැසිරීම් වෙයි.

  1. අවධානය

හිතන්න, එයා විභාගයකට පාඩම් කරනවා. හෙට උදේ එයාට වැදගත් ගමනක් යන්න තියනවා. අම්මලා නම් කරන්නේ මොකක්ද? දැන් වෙලාව හයයි කියලා පාන්දර හතරේ ඉඳලා ඇහැරවනවා. එච්චරම අම්මා වෙන්න ඕන නෑ. ඒත් පහයි පනස්පහට කෝල් එකක් අරන් ඒ ගමනට ලෑස්ති වෙන්න පාඩම් කරන්න මතක් කරන එක කරන්න බැරි වැඩක් නෙවෙයි නේද?

  1. එයාට රස කෑමක් හදන්න

කාලයකට පෙර ජනප්‍රිය වූ යුගයේ ජනප්‍රියම ආදර කතාවල ගැහැනු ළමයි වගේ චිකන් කළුවට, පරිප්පු වේලෙන්න, හීනියට ලියපු ගොටු කොළ සම්බෝල හදන්න ඔයාලට බෑ තමයි. ඒත් පුලුවන් විදියට එයා වෙනුවෙන් රස කෑමක් හදන්න. ඒ මෆින් එකක්, සැන්ඩ්විච් එකක් වෙන්න පුලුවන්. ඒත් ඔයා අම්මෙක් වගේ කියලා එයාට හිතෙයි.

  1. රාගයෙන් මෙහා ආදරය

ප්‍රේමවන්තයන් අතර සරාගය බොහොම සාමාන්‍ය දෙයක්. ඒත් සමහර වෙලාවට ඔයාගෙන් එයාට ඕනෑ සෙක්ස්ම නෙවෙයි. පොඩි උරහිස් මසාජ් එකක්, ඕඩිකොලොන් ටිකක් දාලා ඔලුව අත ගාන එක. උරහිසේ ඔලුව තියාගෙන නිදාගන්න ඉඩ හැරීම එයාට මහමෙරක් වගේ දැනෙන්න පුලුවන්

මේ අම්මා වගේ පෙම්වතියක වීම තුළ රතු එළිත් තියනවා. අපේ අම්මා නම් අඳින්නේ මෙහෙම,අපේ අම්මානම් ඔහොම රස්තියාදු ගහන් නෑ,අපේ අම්මා බැන්දට පස්සේ ගෙදර නැවතුණා වගෙ කතා කියාගෙන එනවනම් ඒවාට කියන්නේ රතු එළි.

හිත නිවන ප්‍රේමවන්තියක වීම ඔබේ ආදරණීය තෝරා ගැනීමක්..හැබැයි ඒ ඔබට ඔබ අහිමි කරගෙන නම් නෙවෙයි.

Related Articles

Don't Miss


Latest Articles