වියෝ ගී ගැයෙනා හදේ – 16

0
3958

මේධාවිණී තාත්තගේ ව්‍යාපාරයේ රාජකාරි කටයුතු සමග කාර්‍යබහුල වෙද්දී චිරත් උන්නේ මේධාවිණී තරම් ඉක්මනට හිත හදාගන්න පුලුවන් තැනක නොවේ. මොන දේ උනත් මේධාවිණීගෙන් තොර පෙත්මලීගෙන් තොර ලෝකයක් ගැන හිතන්න පුලුවන්කමක් චිරත්ට දික්කසාදයෙන් පස්සේ ගෙවුණ මාස කිහිපය පුරාවටා තිබුණේ නැත. රාජකාරි වැඩ ද බිස්නස් එකේ වැඩ ද අතරමග නතර කර දමා චිරත් උන්නේ මේධාවිණීට දෑවැද්දට ලැබුන නිවස දික්කසාදයෙන් පස්සෙ තමන්ගේ තැනක් ලෙස හිතන්න බැරිකම නිසාවෙන් අරගත්ත කුඩා ඇනෙක්සියේ ඇඳ උඩට වී කල්පනා කරමිනි.

පැය ගණන් ද දවස් ගණන්ද ගෙවෙන බව තේරුම් ගිය මුත් ඇඳෙන් නැගිට සුපුරුදු පරිදි රාජකාරි කටයුතු වල නිරත වෙන්න උද්‍යෝගයක් හිතටවත් පණක් ඇඟටවත් තිබුණේ නැත.

“ඔහොම පුතෝ ගෙදරට වෙලා ඉන්න ගියොත් අන්තිමේ උඹට දරු පවුල විතරක් නෙවෙයි රස්සාවයි මෙච්චර දවසක් කරගෙන ආව බිස්නස් වැඩයි ඔක්කොම නැති වෙන්න තමයි යන්නෙ” කියමින් සමීර චානක එක්ක චිරත් බලන්නට ආවේ චිරත් කාර්‍යාලයෙන් දැන් නිතරම වගේ නිවාඩු ගන්නා එක කාර්‍යාලයට ගැටලුවක් වී ඇති බව තේරුම් ගිය නිසාවෙන් ය.

“එච් ආර් එකේ එකත් මගෙන් ඇහුව උඹේ මොකක් හරි අවුලක් හන්දද ඩිවෝස් වුනේ කියල”

“උන්ටත් ඕන් නැති මගුලක් නෑ” කියා සමීරගේ කතාවත් චිරත් උත්තර දුන්නේ ඕනවට එපාවට වගේය.

“උන්ට ඕන නැති මගුල් ගැන කතාකරන්න ඉඩ හදලා දීල තියෙන්නෙ උඹමනෙ. උඹ වෙලාවට වැඩට එන්නෙත් නෑ. බිස්නස් එකේ වැඩ බලන්නෙත් නෑ. ඊයෙත් අර එක වෙන්ඩර් කෙනෙක් උඹව හොයගෙන ඔෆිස් එකට ආව. දාහක් බොරු කතන්දර කියල තමයි ඌව යැව්වෙ. මොකද්ද බං වෙලා තියෙන්නෙ උඹට?”

“වෙන්න තියෙන ඔක්කොම ඉතින් වෙලානෙ තියෙන්නෙ මට. තව මොනව වෙන්නද?”

“යකෝ මේ ලෝකේ ඉන්න ඩිවෝස් වෙච්ච එකම මිනිහා වගේ හැසිරෙන්න එපා. උඹට හිතට අමාරු බව ඇත්ත. ඒ උනාට අර ඉස්කෝලේ යන කොල්ලො කෙල්ලො බ්‍රේකප් උනාම හැසිරෙනව වගේ හැසිරෙන්න තියාගත්තට උඹ හිතන්න එපා කැම්පස් කාලෙදි වගේ උඹ මේ මූඩ් ගහලා ඉද්දි මේධාවිණී ආයෙ පාරක් ඒවි කියලා”

“මට දරාගන්න බැරි මේධා ගිය එකටත් වඩා දරුවා මං ලඟ නැති එක ගැන මචං. ගෑණු දාහක් හරි හොයාගන්න පුලුවන්. මට පුලුවන්ද මගෙ දරුවව අමතක කරල ඉන්න. අඩුම ගානෙ අඩුම ගානෙ මේධාට ඒ ගැනවත් හිතන්න තිබ්බ නේද මේ මගුලෙ දික්කසාදයක් කරගන්න යන්න කලින්” කියා චිරත් කියද්දිත් චානක දිහා බලා සමීර ඇස් දෙකෙන් කිව්වේ “මූට නම් කියලා වැඩක් නෑ” කියන එකය. එකම ප්‍රශ්නයට දැන් මාස ගණනක් තිස්සේ තමන් එකම උත්තරය දුන්නත් චිරත් ඉන්නේ ඒ උත්තරය ඇහෙන හෝ පිළිගන්න තැනක නොවීම මේ සියල්ලටම හේතුව බව දන්නවා වුණත් ඒ වෙනුවෙන් කරන්න දෙයක් නැති බව දන්න හන්දාම සමීර පහුගිය ටිකේම නිහඬව උන්නේය. එහෙත් මේ ඇවිත් තියෙන්නේ චිරත්ට රැකියාවත් නැති වෙන අන්දමේ තීරණාත්මක මොහොතක් නිසා ඒ නිහඬබව තව දුරටත් ඉදිරියට කරගෙන යාම යුතු නොවෙන නිසාම මේ ගමන ආ බව දන්නෙ සමීරත් චානකත් පමණකි.

“ප්‍රශ්නෙ උනෙ උඹයි මේධාවිණී අතරෙ කියන එක ඇත්ත. හැබැයි උඹ මෙතන පිස්සා වගේ රස්සාවට නොයා ඇඳට වැටිලා ඉද්දි මේධාවිණී අරහෙ තාත්තගෙ කම්පනි එකේ රස්සාවට යන ගමන් ලස්සනට ඉන්න එක දකින පෙත්මලී හිතන්න පුලුවන් තාත්තා මං වෙනුවෙන් කිසිම දෙයක් කරේ නෑ සහ අම්මට තාත්තිගෙන් අයින් වෙන්න සාධාරණ හේතු තිබුණා කියලා. ඒ නිසා උබ දැන්වත් මෙ අපතයා වගේ ඉන්නෙ නැතුව නැගිටල රැවුල කපලා පිලිවෙලක් වෙයන්. දරුවව බලන්න යද්දි පිස්සා වගේ නොය ලස්සනට පලයන්. තැන් දෙකක ඉඳියත් උඹයි මේධයි දෙන්නම දරුවට ආදරේ බව කෙයා කරන විත්තිය පෙන්නපං

නැත්තම් ලොකු වෙද්දි පෙත්මලීට උනාත් හිතේවි අම්මා හරි කියල. අන්තිමේ උබ වරදක් නොකරම නරක මිනිහ වෙයි. මේධාවිණීව මං ඊයෙ දැක්කා කීල්ස් එකේදි. ඒකි මාව දැක්කෙ නෑ. දැක්ක නම් කතා කරාවිද දන්නෙ නැති හන්දා මම කතා කරන්න ගියෙත් නෑ. ඒත් ඒකිව දැක්කම මේ උඹ වගේ මූඩ් ගහපු දික්කසාද වෙච්ච ගෑණියෙක් කියල පේන්නෙ නෑ. ලස්සනට ඇඳල කරල හිටියා. හිතේ දුක තියෙන එක ඇත්ත මචං. ඒත් ඒක එලියට පෙන්නල නිකන් දුක මාකට් කරන්න ඕන නෑනෙ. චාටර් ඒක”

චිරත්ට ආයෙ පණ ගසා නැගිටින්න මිතුරන් සහය දක්වද්දී මේධාවිණී හිත ඇතුලට එන “තමන් දැන් කිසි වැදගැම්මකට නැති දික්කසාද ගෑණියෙක්” කියන සිතුවිල්ලෙන් මිදෙන්න හේතුවක් කරගත්තේ කාර්‍යාලයේ වැඩ රාජකාරි කන්දය. තාත්තාගේ ඔෆිස් එක හන්දා නැහීගෙන වැඩ කරන්න හේතුවක් නැතත් මේධාවිණී ඇඳුම් සම්බන්ධව කෙරෙන මේ රාජකාරියට ඉමහත් ආශාවක් දැක්වුවාය. එන එන ෆැශන් ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන්න කැමති වර්තමාන තාරුණ්‍යයට වගේම මැදිවියේ සිටින පිරිස් ද කුඩා දරුවන්ද වෙනුවෙන් කාලයට ගැලපෙන ෆැශන් අරගෙන එන්න මේධාවිණී නිතරම උත්සුක වුනාය. තාත්තාට අයත් දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයකම පැතිරී තිබෙන නිමි ඇඳුම් ජාලයක්, නිකන්ම නිකන් ඇඳුම් කඩයක් කරන්නෙ නැතුව බ්‍රෑන්ඩ් එකක් කරන්න පුලුවන් තැනකට අරගෙන එන්න මේධාවිණී නිතරම උත්සහ කරේය.

“ඔච්චර මහන්සි වෙන්න ඕනද ළමයො තාත්තිගෙ ඔෆිස් එකේ වැඩට ගිහිල්ලත්. ටිකක් ෆ්‍රී එකේ ඉන්නකො” කියා කමලිනී සුමතිපාල කිව්වේ මේධාවිණී රෑ තිස්සේ ඇහැරගෙන ඊලඟ කලෙක්ශන් එක වෙනුවෙන් රැගෙන යා යුතු ෆැශන්ස් ගැන අන්තර්ජාලය පීරද්දීය.

“මට මහන්සි නෑ අම්මි. මගෙ හිතට මාර නිදහස් මෙහෙම වැඩ කරන එක. අනික මම දැන් හම්බු කරන්නෙ මට විතරක් නෙවෙයිනෙ. මොක උනත් මට අමතක කරන්න බෑනෙ අම්මි මමත් දැන් අම්මා කෙනෙක් කියන එක. කවදහරි මගෙ දරුවටත් මට වගේ දෙයක් උනොත් එයාට තනියෙන් කකුල් දෙක පොලොවෙ ගහල නැගිටින්න මම මොනව හරි බිල්ඩ් කරල තියෙන්න ඕන. මට බය නැතුව ආයෙ ගෙදර එන්න පුලුවන් උනේ තාත්ති අපි වෙනුවෙන් දෙයක් බිල්ඩ් කරලා තිබ්බ නිසානෙ” කියා මේධාවිණී හිනා වෙවී කිව්වට කමලිනී සුමතිපාලගේ කන් දෙකට ඒ වචන වැක්කෙරෙන්නේ ලෝ දිය වගේය, මෙවන් අමිහිරි දේවල් නොවුනා යැයි සිතමින් ජීවත්වෙන්න පුලුවන් නම් කොච්චර හොඳ ද කියා කමලිනී මේධාවිණී දකින හැම වෙලාවකම කල්පනා කරත් පෙත්මලීව දකිද්දී ඒක සිතුවිල්ලක් පමණක් වන බව තේරුම්ගත් නිසාවෙන් නිහඬවම උන්නාය.

“හරි හරි ඔය කතන්දර දැන් උවමනා නෑ. අර මොකද්ද ශූට් එකකට හෙට උදේම ගාල්ලෙ යන්න තියෙනව කිව්වා නේද?”

“ඔව් අම්මා වැලන්ටයින්ස් කලෙක්ශන් එක රෙඩි. තාත්තිල මෙච්චර දවස් සෝශල් මීඩියා දැම්මෙ නිකන් ෆොටෝස් විතරනෙ ඇඳුම්වල. දැන් එහෙම නෙවෙයි අම්මි මේ ෆැශන් ඉන්ඩස්ට්‍රි එක වැඩ කරන්නෙ. මම ඒකමයි කපල් ශූට් එකක් දාගත්තෙ. හෙට ටිකක් එද්දි රෑ වෙයි”

“දැන් කවුරු කවුරුද යන්නෙ ඕක?”

“මාකටින් ටීම් එකම යනව. තව ෆොටෝග්‍රැෆර්ස්ලා, මොඩ්ල්ස්ලත් එනවා”

“ඔයාට පුලුවන්ද ළමයො තනියෙන් ඔච්චර දුර යන්න කාරෙක ඩ්‍රයිව් කරගෙන”

“අයියෝ අම්මි ගාල්ල මේ එච්චර දුරක්ද? කොට්ටාවෙන් හයි වේ දැම්මම පැයෙන් ගාල්ලෙනෙ”

“අනේ මන්දන්නෙ නෑ මේ ගෑණු ළමෙක් හදාගෙන මගෙ හිතට තාම නිවනක් නෑ. හරි හරි යන තැනක පරිස්සමෙන් ගිහින් එන්න.තාත්තිගෙන් සල්ලි ඉල්ලගෙන යන්න. පෙත්මලීව එක්කරගෙන යන්නෙ නෑ නේද?”

“නෑ අම්මි එයාව එක්කරගෙන යන එක කරදරයිනෙ. වැඩ කරන්නනෙ යන්නෙ. සෝමා ඉන්න හන්දා එයාව ගෙදර තියල යනවා” කියා මේධාවිණී ආයෙම වතාවක් ලැප්ටොප් පරිගණකය වෙත නෙත් යොමු කරගනිද්දී කමලිනී සුමතිපාල මේධාවිණීව කාමරයේ තනි කර දමා එලියට ගියේ සුසුමක් හෙලමිනි.

එක අම්මා කෙනෙක් දික්කසාද වූ තමන්ගේ යොවුන් දියණිය ගැන වද වෙද්දි ඒ යොවුන් මව උන්නේ තමන්ගේ කුඩා දියණිය ගැන වද විය යුතුද කියා සිතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here