බොලිවුඩයේ ප්‍රේම පුරාවෘතය – Kuch Kuch Hota hai

සමහර චිත්‍රපට චිත්‍රපටම පමණක් නොවේ.කාලාන්තරයක් පුරා පැවත එන පුරාවෘත.Kuch Kuch Hota hai චිත්‍රපටය අද,ඔක්තෝම්බර් 16 වැනිදා විසිහතර වැනි උපන්දිනය සමරනවා.

අනූවේ දශකයේ කෙල්ලන්ගේ සිට වර්තමාන අප දක්වාම ආදරය කරන ෂාරුක් ඛාන් එහි මොනතරම් කඩවසම්දැයි අමුතුවෙන් කියන්නට උවමනා නෑ.ෂාරුක් තමන්ගේ ප්‍රතිරූපය තහවුරු කරගත් චිත්‍රපටිය ලෙස  Kuch Kuch Hota hai හැඳින්වෙනවා. රාහුල් – අංජලී ආදරයේ වූ තුන්වැන්නිය ටීනා නිසා හටගත් කතාන්දරය ගැන කිසිවක්ම ලිවිය යුතු වන්නේ ද නැහැ.ඒ ආදරය බලා දෑස් රතු කර නොගත් කෙනෙකු නැති තරම්.ආරම්භයේ සිට අවසානය තෙක්ම මිනිත්තුවක් හෝ මඟ නොහැර නැරඹූ චිත්‍රපටියක් ලෙස රසිකයන් මේ චිත්‍රපටිය ගැන මහා ආදරයකින් කතා කරනවා. ෂාරුක් ඛාන්,කාජල් සහ රාණි මුඛර්ජි ද සල්මන් ඛාන් ද වඩාත්ම සුන්දරව දුටු නිර්මාණය ලෙස බොහෝ රසිකයන් අදටත් සිහි කරන්නේ Kuch Kuch Hota hai චිත්‍රපටියයි.

රාහුල් අංජලී  සහ ටීනා හොඳ මිතුරන්.රාහුල්ගේ ආදරය ටීනාට හිමි වී අංජලීගේ අප්‍රකාශිත ආදරය ඇය දරා ගන්නා අන්දම ඔබට කටපාඩම් වී ඇති.අංජලීට මුණ ගැසෙන අමන් ඇයට ආදරය කරමින් ඇය හා  විවාහ ගිවිස ගත්තද අංජලීගේ සිතේ රාහුල් ගැන මතකයන් අමතක වී නෑ.හදිසියේ දියණියක සමඟ රාහුල් ආගමනය වන අතර පැරණි මතක අතර තනිව දෙලොවක ජීවත් වන අංජලී වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්නට අමන් තීරණය කරනවා 

ඒ කැපකිරීම ඔබට අමතක නැතුව ඇති.

මෙය කරන් ජෝහර්ගේ පළමු චිත්‍රපටියයි.අද සිටින තැනට කරන් ඔසවා තබන්නට මෙය විශාල හේතුවක් වූ බව නොකියාම බැහැ.ඒ වසරේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපටිය ලෙස Kuch Kuch Hota hai වාර්තා අතරට එක් වෙනවා.ඒ වසරේ වැඩිම සම්මාන දිනාගත්තේ ද Kuch Kuch Hota hai.ෂාරුක් ඛාන් හොඳම නළුවා ලෙසත්,කාජල් හොඳම නිළිය ලෙසත්,කරන් ජෝහර් හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙනුත් සම්මාන හිමි කරගන්නවා.හොඳම සහය නළුවා ලෙස සල්මන් ඛාන් ද සහය නිළිය ලෙස රාණි මුඛර්ජි ද සම්මාන දිනා ගන්නවා.ගායකයන් ද සම්මානයට පාත්‍ර වෙනවා.ඉතින්  Kuch Kuch Hota hai  කරන්ගේ වාසනාව බව කියන්නට වෙන සාක්ෂි මොකටද?

මෙය නිර්මාණය වූයේ කරන්ගේ සිතේ තිබූ Plot දෙකක් එකතු කිරීමෙන් බව ප්‍රචලිත කතාවක්.ඒ වගේම ඒ කාලයේ බොලිවුඩ් තිරයේ දුෂ්ට ප්‍රේමවන්තයන් බහුල වුණා.මේ ක්‍රමය වෙනස් කර ආදරය ගැන ආදරයෙන් පිරී ගොස් කතා කරන්නටත් සටන් ජවනිකා නැති චිත්‍රපටියක් කරන්නටත් කරන්ට අවශ්‍ය වූ බව ප්‍රකට කතාවක්.

ටීනා චරිතය වෙනුවෙන් ට්වින්කල් ඛන්නා මුලදී සහභාගී වී සතියක පමණ රූගත කිරීම්වලින් පසු ඉන් ඉවත් වී ගොස් තිබුණා.රවීනා ටන්ඩන්,ඓශ්වර්‍යා රායි,කරිෂ්මා කපූර් ආදීන් ට ටීනා වන්නට ඇරයුම් කර තිබුණා.නමුත් ඒ වාසනාව අත දැරුවේ රාණි මුඛර්ජි විසින්.අමන්ගේ චරිතය ද සල්මන් ඛාන් න්කර තිබුණේ එය සායිෆ් අලි ඛාන් ඇතුළු කිහිප දෙනෙක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.

Kuch Kuch Hota Hai”,”Koi Mil Gaya”    ,”Saajanji Ghar Aaye””Kuch Kuch Hota Hai (Sad),”Raghupati Raghav”,”Tujhe Yaad Na Meri Aayee”    ,”Ladki Badi Anjaani Hai”,”Yeh Ladka Hai Deewana” 

මේ ගීත අටම ඔබට අමතක වන්නට බැහැ.උදිත් නාරායන් ,අල්කා යාග්නික් සහ තවත් ගායන ශිල්පීන් කිහිප දෙනකුම දායක වූ මේ ගී සම්පූර්ණ චිත්‍රපටි ධාවන කාලයෙන් මිනිත්තු හතලිස් දෙකක්ම ලබා ගන්නට සමත් වුණා.මේ චිත්‍රපටිය රූගත කරද්දී කාජල් අනතුරකට ලක් වූ බව ද ජනප්‍රිය කතාවක්.

ආදරය ඇති වන්නට නම් මිත්‍රත්වය තිබිය යුතුයි! ඒ මෙහි තේමාවයි.අපේ පරම්පරාව හින්දි චිත්‍රපටි පිස්සන් කළ ගෞරවය හිමි කරගන්නේ ද Kuch Kuch Hota hai

කල්පයක් අහන්නට බලා සිටි වචන අවසානයේ අංජලීට අසන්නට ලැබෙනවා.ඇය ඇගේ ආදරය හිමි කරගන්නවා.තව දශක කිහිපයක්ම අපි ඒ ආදරය නරඹමින් කඳුළු පිසින බව සහතිකයි.

යුගයක් නිර්මාණය කළ Kuch Kuch Hota hai, සුබ උපන්දිනයක් වේවා!

Related Articles

Don't Miss


Latest Articles