ජීවිතය  කවියක් නොවේ – 14

0
3922

හදිසියේ නිවසින් පිටව ගිය ධනංජය යළි නිවසට පැමිණියේ දෙදවසකට පසුවය.ඒ වන විට හසාරා  උන්නේ පිටරට ගමනට සූදානම්වය. බලාපොරොත්තුවක් නොවූවත් ඈ සෑම සවසකම ඔහුට කෙටි පණිවිඩයක් යවා කෑමට පැමිණෙන්නේදැයි විමසුවාය.දින කිහිපයකට පසුව ඇයට “  ඔව් “ යැයි පිළිතුරු ලැබී තිබිණ.සිතේ වේදනාවත් ඉතිරි දින කිහිපයේ කාර්යාලයේ නොමැති බැවින් නිම කළ යුතු වැඩ කොටසත් නිසා කායිකවත් මානසිකවත් වේදනාවට පත්ව සිටි ඕ සියල්ල අමතක කොට ධනංජය වෙනුවෙන් රාත්‍රී ආහාරය සකසන්නට වෙහෙස  වූයේ දින කිහිපයකට පසුව සිත මත තැවරූ බලාපොරොත්තුවක් ඇතුවය.

රාත්‍රියට ඔහු වඩාත් ප්‍රිය කළේ ඉඳිආප්ප වැනි යමක් ආහාරයට ගැනීමටය.ඒ කිරි හොදිත් , බිත්තරත් ,  පොල් සම්බෝලත් සමඟින්ය.විශ්ව විද්‍යාල නේවාසිකාගාරය ඉදිරිපස වූ රාත්‍රී කඩයේ ප්‍රසිද්ධම කෑම වේල වී තිබුනේත් ඒවාය.ධනංජය සමහර දිනක ඉදි ආප්ප , පොල් සම්බෝල හා කුඩා බෑගයක දැමූ කිරි හොඳිත් බිත්තරයත් කාන්තා නේවාසිකාගාරයේ ගේට්ටුව අසලට ගෙනැවිත් දේ.ජීවිතය පිළිබඳව කිසිඳු බරපතලක් නොවූ ඒ යුගය සුන්දරය.හසාරාට ඕනෑ වී තිබුණේත් ඒ අතීතයේම ගොස් නතර වන්නටය.

ඔහු තමා වෙනුවෙන් වෙන් කරන විනාඩි කිහිපයකට පවා තමා මේ සා ලෝබ වූයේ කෙසේදැයි හසාරා සිතුවේ මවිතයෙන්ය.වෙනදා ඈ මේ මුළුතැන් ගෙයි තනිවම වැඩ කල අයෙකු නොවේ.මොනවා හෝ කියවමින් ඔහු ඈ අසලම රැඳී සිටියා පමණක නොව තමාට හැකි පමණින් යමක් කරන්නටද වෙහෙස වේ.යළිත් ඒ දෑස් තෙත් වූයේ කඳළකින්ය.දැන් මේ කදුළ ඒ නෙතු වලට ආගන්තුක එකක් නොවේ.

වෙලාසනින්ම කෑම  සකසා තැබූ ඈ නිවස අස්පස් කර පිරිසිදු කළේ තත්පරයෙන් තත්පරය බිත්ති ඔරලෝසුවට දෑස් යොමු කරමින්ය.තෙමහල් නිවස පාළුවට ගොස් ඇති සෙයකි. වෙනදා සේ  ලෙංගතු වදන් , උස්සිනහ හඩවල්, ශෲංගාරාත්මක  සිප වැළඳ ගැනීම් කිසිවක් දැන් මේ නිවස තුළ නොවේ.හදවත් නැත්තවුන්   සේ දිවි ගෙවූ කාලය වසර එකහමාරකට ආසන්න වී තිබිණ.

හසරා තම නිවස නිදහස් නිස්කලංක පරිසරයක් කිරීමට වෙහෙස වූයේ  උපරිමයෙන්මය.ඒ වෙනුවෙන් ඈ නිර්ලෝභීව වියදම් කළාය.නිවස තුළ වූ සැරසිලි වරින් වර මාරු වූයේත් එනිසාය.සිතට සුව ගෙන දෙන පරිසරයක් තුළ සතුටින් ජීවත් විය හැකියැයි ඈ විශ්වාස කළාය.

“ ඔයාට නං හැමදේම ලැබිලා තියෙන්නේ.ඇත්තමයි හසාරා මේකේ ඇතුලට ආවට පස්සේ හරියට දිව්‍ය ලෝකෙකට ගියා වගේ දැනෙන්නේ.මං හිතන්නේ නෑ  ඉන්ටීරියල් ඩිසයිනර් කෙනෙක්ටවත් මේ තරං ලස්සන අයිඩියාස් තියෙනවා කියලා “

වරෙක නිවසට පැමිණි නිර්මිතා පවා හසාරා අගය කරමින් පැවසූයේ ඇය ස්වභාවික වැල් වර්ගයක් යොදා ගනිමින් නිවස තුළ සිදුකර තිබූ සැරසිලි දුටුවාට පසුවය.තවත් වරෙක ධනංජයගේ කාර්යාලීය මිතුරන් පවා ඈ අගය කරමින් පවසා තිබුනේ “ උඹේ වයිෆ් මාර ලස්සනට ගේ තියාගෙන ඉන්නවා” යනුවෙන්ය.එදවස ඒ පැසසුම් වලට තමාටත් වඩා ආඩම්බර වූයේ ඔහුය.

අවසන ඕ තෙවන  මහලට නැගුනේ ධනංජය මෑතක සිට පරිහරණය කරමින් සිටි ඔහුගේ කාමරයට යාමේ අරමුණෙන්ය..ඒ අතරවාරයේ හසාරා  තම නිදන  කාමරයට එබී බැලූවාය.මුළු නිවසටම වූ විසල්ම කාමරය එයය.නිවාස සැලසුම අදිද්දී  ධනංජයට උවමනා වී තිබුණේ නිදන  කාමරය ඒ අයුරින් විසල් ලෙස නිර්මාණය කරන්නටය.අංග සම්පූර්ණ කරන්නටය.

“ කවද හරි අපිට බබෙක් ඉන්න කාලෙක කොට් එකක්වත් තියාගන්න ඉඩ  තියෙන්න ඕනේ .අනිත් එක එයාට හොඳ වාතාශ්‍රයක් ලැබෙන්න ඕනේ….ඒ හැමදේමත් එක්ක අපිට නිදහස තියෙන්න ඕනේ. මේ ගේ  අපි දෙන්නගේ උනාට  කාලයත් එක්ක අපිට අපේ රූම් එකට වෙලා කතා කරන්න  රහස් ඕන තරම් තියේවි…”

නිවස අදියරෙන්  අදියර නිමවද්දී ඔහු පැවසූයේ එසේය.ඒ දරුවන් උස් මහත් වෙද්දී ගතවන කාලය පිළිබඳවය.

එහෙත් අද ඒ විසල් කාමරය පාළුවට ගොස් ඇත.කිසි දිනක ඒ කාමරය තුළින් කිරි සුවඳක් හමන්නේ නැතැයි සිතත්දී ඕ වෙව්ලා ගියාය.. අද එතුලට වී  කතා කරන්නට රහසක් හෝ අනාගත සැලසුමක් ඔවුනට නොවේ.

“ කොහේදිද ධනා අපිට අපිව මගහැරුනේ…”

ඕ අවසන පඩි පෙළ නැගුනේ තමාටම එසේ පවසා ගන්නා ගමන්ය.

පසුගිය දිනවල විවේකයක් නොවූ නිසා ඇයට ධනංජය උන් කාමරයට නිකමටවත් පැමිණීමට  හැකියාවක් වූයේ නැත.ඔහු නිවසට නොපැමිණ නිසා ගෙවී ගිය දින දෙකෙහිම ඇය වැඩි වේලාවක් කාර්යාලයේ රැඳී සිටියාය.ඉන්පසු නිවසට පැමිණියේ රාත්‍රී  ආහාරයට ආප්ප කිහිපයක් හෝ තැම්බූ  එළවලු වැනි යමක් රැගෙනය. තවදුරටත් හසාරා පෙර මෙන් සුකුමාල යුවතියක නොවූවාය.දැන් ඈ මේ දෙමහල් නිවසේ තනිවම සිටින්නට බිය නොවේ.

ඇඳ මතත් ඇඳුම් වැටෙහිත්  වූ කිලිටි ඇඳුම් සියල්ල එකතු කරගත් හසාරා  එහි වූ ඇඳ ඇතිරිලි පවා මාරු කළාය.

කමිස බොත්තමක පැටලී තිබූ තඹ පැහැ දිගු කෙස් ගසක් ඇගේ නෙත ගැටුණ නාන කාමරයේදීය.ඕ  බොහෝ වේලා යනතුරු එම කෙස් ගස දෙස බලා  සිටියේ දෑස්වල කඳුළු පුරවාගෙනය.නාන කාමරය තුළ වූ කිලිටි රෙදි කූඩය තුලට කමිස කිහිපයත් කලිසම් දෙකත්  දැමූ හසාරා යළි කාමරයට පැමිණියේ සැකයෙන් බියෙන් ගැහෙන ගැහැණු සිත දරාගෙනය.බොත්තමේ ඇමිණී තිබූ කෙස් ගස සුරක්ෂිතව ඇගේ දෑඟිලි අතර රැඳී තිබිණ.

ඇඳ යටත් සඳැල්ලෙහි කෙළවරකත් මත්පැන් බෝතල් කිහිපයක්ම විය.අවසන ඕ සිය සැකය සනාථ කරගන්නට සාක්ෂි සොයා වෙහෙස වූවාය.බිත්තියටම සවි කර තිබූ ඇඳුම් අල්මාරිය තුළවත් , කන්නාඩි මේසය තුළවත් , කාමරයෙහි වූ කුඩා මේස ලාච්චුව තුළවත් ඇය සෙවූ කිසිවක් හමු වූයේ නැත.අවසන හසාරා ඇඳ මතින් වාඩි වූයේ වෙහෙසකරවය.තවමත් ඇගේ දෑගිලි අතරේ ඒ තඹ පැහැ කෙස් ගසය.

“ ඔයා කියද්දි ධනංජයට වෙන සම්බන්ධයක් ඇති කියලා මං ඒක කීයටවත් විශ්වාස කළේ නෑ.දැන් මේ ඔයා කියන දේවල් අහන් ඉන්නකොට ඒක එහෙම නෑ කියලා හිතන්නත් බෑ.මනුස්සයෙකුට ඔහොම වෙනස් වෙන්න හේතුවක් තියෙන්න ඕනෙ.තරහක් ,ඉරිසියාවක් , අපැහැදීමක් කියන්නේ ඇතිවෙලා නැතිවෙලා යන හැඟීමක් මිසක් මේ වගේ කාලාන්තරයක් පවතින දෙයක් නෙමෙයි…එකපාර කලබල වෙලා තීරණ ගන්න එපා.අපි බලමු මොකද වෙන්නේ කියලා…”

පසුගිය දිනක  කාර්යාලයේදී නිර්මිතා පැවසූයේ ඒ අයුරින්ය.තමාගේ නිහඬකමම තමාට අවාසි සහගත වී ඇත්දැයි හසාරාට සිතුනේ එවේලෙහිය.

“ හැමදේම ඉවසන්න පුළුවන්..ඒත් එයා වෙන කෙනෙක් කියලා හිතන්නත් මං බයයි.ගෑනියෙකුට ඒක තමයි මේ ලෝකෙ තියෙන දරුණුම වේදනාව.මං හැමදාම ධනංජයගෙන් කිව්වේ  මගේ අතින් වරදක් උනානං මට මේ වරද කියන්න කියලා.මං ඒ වරද නිවැරදි කරගන්නම් කියලා..වරදක් නොකරන  මං වගේ  ගෑණියෙකුට  එහෙම වේදනාවක් දෙනවනම් ඒක කවද හරි එයාට සාපයක් වෙනවා….”

එවේලෙහි හසාරා පැවසූයේ සිතෙහි වූ වේදනාවටය.

“ ඕකනෙ කියන්නෙ ඔයා සමහර දේවල් වලට හරියට කලබල වෙනවා.ඔයා කොහොමද එහෙම සාප කරන්නේ..මං ඔයාට හැමදාම කියන දෙයක් තමයි ඔයා ඔයාගෙන් වරදක් වෙනවා කියලා නොහිතුවට ධනංජයට සමහරවිට ඔයාගෙන් වැරදි උනා කියලා දැනෙන්න ඇති..තමන් හරියි කියලා හැමතිස්සෙම හිතන්න එපා හසාරා.එහෙම අයට තමයි ඉක්මනින් වරදින්නේ?…”

අවසන නිර්මිතා එසේ පැවසූයේ මඳක් දැඩි වූ හඬකින්ය.ඊයේ පෙරේදා සිටම ඇයත් පවසන්නේ අගමුල නොගැලපෙන කතාය.

“ අනේ මං එහෙම හිතලා කිව්වා නෙමෙයි. මගේ හිත හරි කලබලයි නිර්මිතා.පුරුද්දට ඔෆිස් එකේ වැඩ කරගෙන ගියාට මම දන්නවා දැන් මේ ඉන්නේ මම නෙමෙයි කියලා…ධනංජයගෙන් මට එහෙම වරදක් වෙයි කියලා හිතන්නවත් මම බයයි.ඔයා ඒ වේදනාව නාඳුනන කෙනෙක් නෙමෙයිනේ…”

හසාරා අවසන පැවසූයේ දෑස් මතට ඉනූ කඳුළක් කිසිවෙකුට නොපෙනෙන්නට පිසදා ගනිමින්ය.

දිගු සුසුමක් මුදා හැර  නැගී උන් හසාරා ඉදිකට්ටක් සොයනා තරමට සූක්ෂමව යළිත් කාමරය පුරා දෑස් යැව්වේ සැකය තහවුරු කර ගත හැකි හේතුවක් සොයන්නටය.අවසන ඕ ජය ගත්තාය.පසුගිය දිනවල ධනංජය අධ්‍යන කටයුතු සඳහා භාවිතාා කළ සටහන් ගොන්නක් තුළ වූ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක   බිල්පතක් ඇගේ  ඇස ගැටුණේ එවේලෙහිය.එය කාන්තා ඇඟලුම් කිහිපයක් මිලදී ගත් බිල් පතකි.එහි පිටුපසත් සමාජ විද්‍යාව සටහන් පේළි කිහිපයක් ලියා තිබිණ.

හසාරාගේ දෑස් වලින් නොනවත්වා  කඳුළු ගලා  යන්නට වූයේ එවේලෙහිය.ඕ යළිත් ඇඳ මතින් අසුන් ගත්තේ තම දෙපා අවසඟව යනු දැනෙද්දීය.

කලක සිට ඇය වඩාත් බියෙන් පසු වූයේ  මෙවන් මොහොතකට මුහුණ දෙන්නටය.බොත්තමේ ඇමිනී තිබූ කෙස් ගස , මිළදීගෙන  තිබූ කාන්තා ඇඳුම් මේ සියල්ල එකිනෙකට සම්බන්ධ වූ ඒවා බව විශ්වාසය.

එහෙත් ඕ අවසන සිය බුද්ධිය මෙහයවා සිතුවිලි පරාජය කරන්නට සමත් වූවාය.⁣බොත්තමක ඇමිණී ඇති කෙස් ගසක් , ඇඳුමක තැවරී ඇති ලිප්ස්ටික් පැල්ලමක් හෝ පසුම්බියේ ඇති බිල්පතක් පසු පස දුවමින් ජීවිතයම අපායක් කර ගන්නේ නූගත් ගැහැණුන්ය.ප්‍රශ්න විසදීමේදී ඊට වඩා බුද්ධිමත් විය යුතුයැයි ඈ සිතුවාය.පසුගිය දිනවල ධනංජය බස් රථවල , කුලී රථවල පවා ගමන් බිමන් ගිය අයුරු හසාරාට සිහිවූයේ ඒ හදිසියේය.

අවසන මග බලා  උන් දෑස් වලට , දෙසවන් වලට විරාමයක් දෙමින් හසාරාට ඇසුණේ ධනංජය පැමිණි කුලීරිය නිවස ඉදිරිපස නතර කරන හඬය.ඕ කිසිවක් සිදු නොවූවා සේ  දෑස්  පිසදාගෙන පහත මාලයට පැමිණියාය.

ඔහු නිවසට ඇතුළු වූයේ නිවසින් පිටවද්දී රැගෙන ගිය කළු පැහැති ගමන් බෑගයත් අතැතිවය.ඒ මුවෙහි මද සිනහවක් වුවත් ධනංජය එක එල්ලේ හසාරාගේ මුහුණ බැලුවේ නැත.දැන් ඔහු  සඟවන කාරණය ඇය දනී.වසර එකහමාරක් තිස්සේම ඉවසිල්ලේ බලා උන් සිතට තරවටු කරගත් ගැහැණිය ධනංජය පඩි පෙළ නැග උඩුමහලට යන අයුරු බලා සිටියේ මඳ සිනහවක් වුව මත තබාගෙනය.

“ ඔයාට තියෙන්නේ මං ගැන ඉරිසියාවක්….මට පුළුවන් ඒ හැම දේම නිවරදි කරන්න..මං ඔයාව නිකරුනේ සැක කලා..බිල් එකක් දැක්ක පලියට කෙස් ගහක් දැක්ක පලියට එහෙම හිතන්නේ කොහොමද..ඇයි මං මේ මෝඩ ගෑනියෙක් වගේ හිතන්නේ..පාරකදි , ඔෆිස් එකකදි අහම්බෙන් කෙස් ගහක් පටලැවෙන්න බැරිද..සමහරවිට කාත් එක්ක හරි නෝට්ස් හුවමාරු කර ගනිද්දි බිල් එකක් ඒ අතර තියෙන්න බැරිද…මම මහ මනස්ගාත හිතෙනවා.අර නිර්මිතා කියන්නේ ඇත්ත.මමම ප්‍රශ්න මවාගෙන මමම ඒවට උත්තර හොයනවා.මං මේ පවුල් ජීවිතේ ඇතුලෙ හරි දුර්වල ගෑනියෙක්…ධනංජයට  මාව තවත් එපා වේවි මේ දේවල් ගැන ප්‍රශ්න කරන්න ගියොත්.එයා මට හිනා වේවි..උගත්  ගෑනියෙක්ගෙයි  නූගත් ගෑණියෙක්ගෙයි  අතර වෙනස මොකක්ද කියලා අහයි..ටීවී වල රේඩියෝ වල මොන සුරංගනා කතාද කියන්නේ කියලා අහයි..”

එවර හසාරා තමාටම මුමුණාා ගත්තේ ධනංජය වෙනුවෙන් සැකසූ තේ කෝප්පය උඩුමහලට ගෙන යමින්ය.ඇගේ දකුණතෙහි ගුලිව තිබූ බිල් පත කුණු කූඩයට  විසි වූයේත් ඒ අතරේය.කෙස්ගහ ඇයත් නොදැනුවත්වම ඒ දෑඟිලි අතරින් ගිලිහී තිබිණ.

( යළිත් හමු වෙමු ආදරයෙන්……)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here