හොඳම යාලුවා.

“ඇත්තටම ඇයි ඔයා මට අකමැති..”

පහන්ගේ ප්‍රශ්නයට කාව්‍යා හිනා වුණේ හරිම සන්සුන්ව.කාව්‍යා ජීවිතය දිහා බලන හැටි වෙනස් බව පහන් දන්නවා.ඒ සමහර හේතු නිසා කෙළවරක් නැති රණ්ඩු ඇති වෙන වෙලාවල් නැතුවා නෙවෙයි.

“මං කොහෙද අකමැති.මං කැමතිම මනුස්සයෙක් තමයි ඔයා..”

කාව්‍යා කියන්නේ හිනා වෙන ගමන්.පහන් ඒ හිනාවට අකමැතියි.කාව්‍යා මේ හදන්නේ ප්‍රශ්නය මඟ අරින්න.

“මම කියන්නේ එහෙම නෙවෙයි..”

පහන් කියන්නේ අකමැත්තෙන්.කාව්‍යා හිනා වෙමින් එතැනින් නික්මෙන්නේ ඒ කතාව තවදුරටත් ඉස්සරහට ගෙනියන්න අකමැති නිසා.

කාව්‍යාත් පහනුත් හොඳම යාළුවෝ වෙන්නේ කාලයත් එක්ක.එකිනෙකාට වෙනස් අනාගත සිහින දකින, කැමති දේවල් සහමුලින්ම වෙනස් අයටත් යාළුවෝ වෙන්න පුලුවන් කියලා මේ දෙන්නා නිසා හැමෝටම තේරුණා.කාව්‍යා කොරියන් ටීවී සීරිස් බලනකොට පහන්ගේ කැමැත්ත වුණේ ත්‍රිලර් ශානරයේ චිත්‍රපටි.වැස්ස වහිද්දී පවා සීතල දෙහි යුෂ බොන්න පහන් කැමති වෙනකොට මහ මද්දහනක පවා කාව්‍යාට ඕනෑ වුණේ උණු කිරි කෝපි.ඒත් යාළුකමට ඒ කිසිවක්ම බාධාවක් වුණේ නැහැ.

“ඔයාලා දෙන්නා අතරේ සම්බන්ධයක් තියෙනවද?”

හැමෝටම ඒ ප්‍රශ්නය එනකොට පහන්‍ට හිත ඇතුළෙන් හීන් සතුටක් දැනෙන්න පටන් ගත්තා.ඒත් කාව්‍යා හැමෝගෙන්ම ඇහුවේ එකම ප්‍රශ්නයක්.

“ගෑනු ළමයෙක්ටයි පිරිමි ළමයෙක්ටයි හොඳම යාළුවෝ වෙන්න බැරිද? “

පහන් කියන්නේ තමන්ට ආදරේ කරන්න හොඳ කෙනා නොවෙන බව කාව්‍යා දැනගෙන හිටියා.ඉවසීම,අදහස් වගේ දේවල් සම්බන්ධයෙන් පරස්පරතා තියන දෙන්නෙක්ට එක වහල යට ජීවිතය අසීරු වෙන්න පුලුවන්.ඒත් යාලුකමට ඒක බාධාවක් නෙවෙයි.

“ඔයාට එකපාරටම මං ගැන ඔහොම හිතෙන්න ගත්තේ හැමෝම ඔලුවට දාන දේවල් හින්දා..”

පහන්ගේ ආදර යෝජනාව කාව්‍යා ප්‍රතික්ෂේප කළේ එහෙම කියමින්.කාව්‍යාගේ කැමතිම නළුවන් ඉන්න ටීවී සීරිස්,ෆිල්ම්ස් හොය හොයා ගෙනත් දුන්නු පහන් හිටිහැටියේ ඒ අය එක්ක තරහෙන් ඉන්නේ තමන්ට ආදරයකින් නොවන බව කාව්‍යා තේරුම් ගත්තා.

“ඔයා දැන් මං දිහා බලන්නේ අනිත් අයගෙ ඇස් දෙකෙන්.ඉස්සර වගේ ආයේ මාත් එක්ක රණ්ඩු අල්ලන්න පහන්..”

කාව්‍යා එහෙම කිව්වේ නිතරම ඇහෙන දේවල් දිගේ හිතන පහන්ව ආයෙත් හරි පාරට ගන්න හිතාගෙන.

හොඳ යාළුකමක් මැද්දට ආදරේ අරන් එන්න පහන් ගත්තු උත්සාහය හින්දාම මිත්‍රත්වය කියන සුන්දර හැඟීම ටික ටික පළුදු වෙන බව කාව්‍යාට තේරුම් ගියා.

“ඔයාලා තරහයිද?”

ඊළඟ ප්‍රශ්නය වුණේ ඒක.ඈත්වීම් වෙන්නේ තරහ නිසාම නෙවෙයි කියලා කියන්න ඕන වුණත් කාව්‍යා නිහඬවම හිටියා.පහන්ටත් කියන්න දේවල් තියෙන්න නැතුව ඇති.ජීවිතය රිදවන, පහරදෙන, ඇද වැටෙන තැන්වල පහන් ඉන්න තිබුණු වග කාව්‍යාට නොහිතුණා නෙවෙයි.ඒත් ඔහුට යාළුකම පරිස්සම් කරන්න බැරි වුණානම් තමන් ඒ වෙනුවෙන් දුක් වෙලා පලක් නැහැ කියලයි කාව්‍යා හිතුවේ.

“මේ හිරූ.මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.”

“ඔයා ගැන හොඳටම දන්න පහන්ට ඇත්තටම අකමැති වුණේ ඇයි?”

පහන් දවසක් හඳුන්වා දුන්නු ගැහැනු ළමයා කිසිසේත්ම තමන්ට සමාන නැති බව කාව්‍යා තේරුම් ගත්තා.ඒ තමයි ඔහුට සැබෑවටම ලැබිය යුතු කෙනා කියලා කාව්‍යා හිතුවේ සතුටින්.ලෝකය කියන දේ නොකර තමන්ගේ හදවත ඉල්ලා සිටි කෙනා තෝරා ගන්න පහන්ට හැකි වීම ගැන ඇය සතුටු වුණේ හදවතින්මයි.

කාව්‍යාගේ ගමන් සගයා වෙන්න ඇය තෝරා ගත්තු ශෙහාන් එහෙම අහනකොට කාව්‍යා හිනා වුණේ සැහැල්ලුවෙන්.

“මං පහන් ගැන හොඳට දන්න නිසා.එයා හොඳ යාළුවෙක් වුණත් මට හොඳ හස්බන්ඩ් කෙනෙක් නම් වෙන්නේ නෑ.ඔයා දන්නවද ශෙහාන්, එයාටත් කේන්ති ගිහින් මටත් කේන්ති ගියාම එතන කොහෙද හොඳ පවුලක් හැදෙන්නේ?”

ශෙහාන්ට කාව්‍යා දරා ගැනීම හරි පහසු දෙයක් වුණා.ඔහු මහ මද්දහනෙත් කෝපි බොන කාව්‍යාට බැන බැන ලයිම් ජූස් පොවන්න හැදුවේ නැහැ.කාව්‍යාට කැමති දෙයක් බොන්න ඇරලා ඔහු කෝලා බීම එකක් බොන්න පටන් ගත්තා.
කාව්‍යා තොරතෝංචියක් නැතුව තමන් කැමති පොත් ගැන කියවද්දී ඔහු ඒවාට හූමිටි තිය තියා පාපන්දු තරග බැලුවා.

කැමති දේවල් සමාන නැහැ තමයි! ඒත් කාව්‍යාට ශෙහාන් ළඟ දැනුණේ පහසුවක්.

“පහන්,මම පොතක් ලිව්වා.ඒකට මිනිස්සු කැමතියි හරිද!”

කවදාහරි දවසක ලස්සන ආදර කතාවක් ලියන්න ඕනෑ බව කියන කාව්‍යාට “පොත් ලියලා කාටද හරිගියේ.කටවහන් පාඩම් කරනවා කාව්‍යා..” කිව්ව පහන් ඒ ආරංචිය අහලා ටිකක් වෙලා නිහඬව හිටියා.හිරූ විවාහ කරගෙන ඈත රටක ජීවිතය ගෙවන ඔහුට හිම වැටෙද්දී, වසන්තය උදා වෙද්දී කාව්‍යා මතක් නොවුණා නෙවෙයි.ඒත් ශෙහාන් එක්ක ගෙවන ජීවිතය කාව්‍යා ගත කරන්නෙ සන්තෝසෙන් බව ඔහු දැනගෙන හිටියා.

“කාව්‍යා,අපිට පුතෙක් ලැබුණා..”

මාස කිහිපයකට පස්සේ ඒ ආරංචිය පහන් කියද්දී කාව්‍යාට දැනුණේ ඉපිලෙන සන්තෝසයක්.අර හිතුවක්කාරයා තාත්තා කෙනෙක් වෙලා..

“ඔයාට එයාගේ නම දැන ගන්න ඕන නැද්ද?”

කාව්‍යාට දැනුණේ කුතුහලයක්.

“එයාගෙ නම අහස්.” පහන් එහෙම කියනකොට තමන්ගේ ඇස් තෙමීගෙන යන බව කාව්‍යාට දැනුණා.

“ඔයාගෙ පොතේ හිටිය අහස් මම නේද? මම ඒ නම මගෙ පුතාට දුන්නා..”

පහන් එහෙම කියද්දී කාව්‍යා අහගෙන හිටියේ කිසිම දෙයක් නොකියා.
සමහරවිට පහන් ඇත්තටම තමන්ට ආදරේ කරන්න ඇති.කාව්‍යාට නොහිතුණාම නෙවෙයි.ඒත්, ආදරය සහ යාළුකම අතරේ ලොකු වෙනසක් තියෙනවා.කාව්‍යා තවමත් එහෙම හිතනවා.ඒ නිසාම පහන් කියන්නේ ගැලපෙනම තැන නොවන බව ඇය තාමත් විශ්වාස කරනවා.

More Stories

Don't Miss


Latest Articles