ජීවිතය කවියක් නොවේ – 16

0
4646

හසාරාට ගුවන් ගමන  යෙදී තිබුණේ පසුදා  පාන්දර හයටය.ඉන් පැය තුනකට පෙරවත් ඇය ගුවන් තොටුපළෙහි රැඳී සිටිය යුතු වූවාය.ඇයත් සමඟ මේ සංචාරය සඳහා කාර්යාලයේ උසස් නිලධාරීන් දෙදෙනකු ද සම්බන්ධ විය.

“ මං කිචන් එක අස්  කරන්නම්. ඔයා ගිහිල්ලා නිදාගන්න…”

විනාඩි කිහිපයකට පසුව ධනංජය පැවසූයේ මද හඩකින්ය.තමාට ඇසුණු ඒ හඬ විශ්වාස කළ නොහැකි කමකින් සේ හසාරා හිස ඔසවා බලද්දී ඔහු  ඉක්මන් වූයේ ඇගෙන් දෑස් සඟවා ගන්නටය.හසාරා ඒ බවක් නොදුටුවාය.

මේ ඔහුට නුහුරු පුරුද්දක් නොවන බව හසාරාට පසක් වූයේ මදක් ප්‍රමාදවය.මින් වසර දෙක තුනකට එහා ගිය අතීතයේදී හසාරා පශ්චාත් උපාධි කටයුතු සඳහා වෙහෙස වද්දී ධනංජය මුළුතැන්ගෙයි වැඩ කටයුතු තමා වෙත පවරා ගත්තේ සිය කැමැත්තෙන්මය.ඒ බොහෝ දිනවල ආහාරයට යමක් ගෙන්වා ගත්තේ පිටතින්ය.එසේ නොවීනම් ඔහු නූඩ්ල්ස් , මැකරෝනි,පොල් රොටි වැනි සැහැල්ලු යමක් සෑදුවේය.

“ අස් කරන්න කියලා ලොකු දෙයක් නෑ ධනා.මං ඒ ටික කරන්නම්.ඔයා මාව ඩ්‍රොප් කරනවද නැත්නම් කම්පැනි වාහනයකට එන්න කියන්නද…”

“ එපා මං ඔයාව ඩ්‍රොප් කරන්නම්..”

“ ධනා ඔයාට දවස් දෙක තුනකට සෑහෙන්න කෑම මං හදලා තියෙන්නේ.රයිස් කුකර් එකේ බත් එකක් තියාගන්න පුලුවන්නෙ නේද. බ්ලැක් ච්කන් කරි එකකුයි.සීනි සම්බෝලයකුයි, උම්බලකඩ ලූණු බැදුමකුයි, පොළොස් වෑංජනයකුයි, වම්බොටු මෝජුවකුයිත්  හදලා තියෙනවා.හදිසියේ පරිප්පු ටිකක් උයාගන්න ඔයාට පුළුවන්නේ…”

“ එච්චර දෙයක් කරන්න ඕන නෑ.ඔයා බොරුවට මහන්සි වෙලා.මට දැන් එළියෙන් කාලා පුරුදුයි.මං දැනගෙන හිටියනම් ඔයාට මේ දේවල් කරන්න දෙන්නෙ නෑ..කොයි වෙලාවෙද හසාරා මේවා කලේ..”

එවරත් ධනංජය විමසූයේ  බිම බලාගෙනය.ඒ ස්වරයෙහි වූයේ පසුතැවීමකි.

“ අද උදේ..ඔයා දැන් වැඩිපුර කන්නේ කඩෙන් තමයි.ඒ උනාට එහෙම කරන එක මගේ යුතුකමක් කියලා හිතුනා.මං නැති වෙලාවක බඩේ අමාරුවක් හරි හැදුනොත්..”

“ ඩොක්ටර්ස්ලා ඉන්නවනේ..”

ආගන්තුකයන්  දෙදෙනෙකු සේ  මේ සිදුවන කතාබහ සිතට දුකක් පමණක් වුවත් හසාරා ඉවසා සිටියාය.ඔහු හා එක්ව එක් මේසයක අසුන් ගෙන ආහාර ගත්තේ බොහෝ කාලයකට පසුවය.විවෘතව යමක් කතා කළේත් එකිනෙකා ගැන මේ අයුරින් සොයා බැලුවේත් ජීවිත ගමනේ පසු කරගෙන ආ දින ගණනාවකට පසුවය.එයම මහ මෙරක් සේ ඇයට දැනෙන්නට වූයේ එනිසාය.

‘ ආපහු හැම දෙයක්ම අලුතින් පටන් ගන්න වෙයි.කමක් නෑ…වටින්නේ වැරදුණු තැනින්ම ආපහු  පටන් ගන්න එක නෙමෙයි.චුට්ටක් නතර වෙලා.තමන්ට වැරදුනේ කොතැනද කියලා හිතලා ආපහු පටන් ගන්න එක.මං මගේ අතින් වෙච්ච වැරදි  අඩුපාඩුකම් කොහොම හරි නිවැරදි කරගන්න උත්සහ කරනවා.ධනංජයටත් එහෙම කරන්න වුවමනාව ඇති.ඉරිසියාව , වේදනාව , තනිකම මේ කියන හැම හැඟීමක්ම ඇතිවෙලා නැතිවෙලා යන හැඟීම්…’

හසාරා එසේ සිතුවේ ඔහු වෙනුවෙන් කිරි කෝපි කෝප්පයක් සාදන ගමන්ය.ඇය කැමති වූයේ යහමින් කහට යොදා සාදන කිරි තේ එකකට වුවත් ධනංජය කැමති වූයේ නෙස්කැෆේ හෝ වෙනත් කෝපි වර්ගයක් සමඟ මිශ්‍ර කර සාදන කිරි කෝපි වලටය. ඔහු දමා  යාමට දුකක් බියක් සේම හදවත නොදන්නා ලෝබකමක් හසාරාට දැනෙමින් තිබිණ.මේ තමා ජීවිත කාලය පුරාවටම ප්‍රිය කළ ආදරය කළ එකම මිනිසා බව විශ්වාසය.අතීතයේත් වර්තමානයේත් සොයන ප්‍රේමය වග විශ්වාසය.

ධනංජය නැගී සිටියේ හසාරා කිරි කෝපි කෝප්පය ඔහු වෙත දිගු කරද්දීය.එයත් රැගෙනම ඔහු උඩුමහලට නැගුනේය.මේසය මත  වූ කෑම බඳුන් අස් කර දැමූ හසාරා යළිත් ඔහු සොයා ගියේ විනාඩි ගණනාවකට පසුවය.

“ පැය දෙක තුනක් හරි ඔයා නිදා ගන්න.මට පොඩි වැඩ වගේකුත් තියෙනවා.මම ඔයාව ඇහැරවන්නම්.”

ඔහු පැවසූයේ ඇය කාමරයට පැමිණෙද්දීමය.

“ ඔයත් එන්න නිදාගන්න.හදිසි වැඩක් නෙමෙයිනම් හෙට කරන්න පුළුවන්නේ.ඔයත් මමත් එක්ක යනවනේ..”

“ ඒක ටිකක් හදිසි වැඩක් තමයි.”

“ එහෙනම් මමත් මෙහෙම ඉන්නම්..”

“ ඒක තේරුමක් නෑ හසාරා.ඔයා එහේ ගිහිල්ල බහිද්දි ටයිම් එක වෙනස් වෙන නිසා  දැන් නිදි මැරුවොත් ලොකු මහන්සියක් දැනෙයි.ඒ නිසා නිදාගන්න.මං වෙලාවට කතා කරන්නම්..”

ඒ හඬ ඕනෑවටත් වඩා කාරුණික වී තිබිණ.ඒ ගැහැණු සිත බලාපොරොත්තු වලින් පිරුණේ එනිසාය.

හසාරාට උවමනා වී තිබුණේ නින්දක් නොවේ.එළි වෙනතුරු ඔහු හා කතා කරමින් සිටින්නටය.ඒ ආලිංගනයෙහි වැතිර සිටින්නටය.ඒ සුසුමක සුවඳ එතෙරටත් රැගෙන යන්නටය.

අඩියක් දෙකක් පෙරට තැබූ ඕ ධනංජයට තුරුළු වූයේ සිය  මානයත් ලැජ්ජාවත් පසෙක තබමින්ය. ඔහුගේ උණුසුම නොමැතිව ගෙවා දැමූ කාලය වසරකට ආසන්නව තිබිණ.තමා මනසින් සේම ශරීරයෙනුත් විඳි වේදනාව සිහිව ඒ දෑස් කඳුළින් තෙත්ව යන්නට විය.කසාදයෙන් පසු කිසිඳු ගැහැණියක තනි විය යුතු නොවේ.එය මනසටත් ශරීරයටත් එකසේ වදදෙන වේදනාවකි.

දිගු සුසුමක් මුදාහළ ධනංජය තම බිරිඳගේ දෙවුරහිස් වටා සිය දෑත් යැව්වේ තත්පර කිහිපයක් ගෙවී ගියාට පසුවය.ඔහුගේ සිතට දැනෙමින් තිබුණේත් ආගන්තුක හැඟීමකි.ආගන්තුක ස්පර්ෂයකි.

“ යන්න ගිහින් නිදාගන්න..නිදි මරන්න එපා..”

සිය සිතුවිලි සමග පොර බැදූ විනාඩි ගණනාවකට පසුව මුලින්ම හඬ අවදි කලේ ධනංජයය.ඔහු ඇද උන් දුහුල් සුදු පැහැති උඩුකමිසය තෙත් කළ කඳුලක සීතල ඒ වන විටත් ඒ පපුවට දැනෙමින් තිබිණ.හෙමින් හෙමින් මතුව ආ වේදනාවටත් අනුකම්පා සහගත හැඟීමටත් ධනංජය බිය වූයේය.

“ ප්ලීස් මට ඔයා ළඟ මෙහෙම ඉන්න දෙන්න…”

හසාරා මිමිණූයේ මද හඬකින් වුවත් ඒ හඬින් ධනංජය වෙව්ලා ගියේය.ඇයව රිද්දන්නට ඔහුට වූයේ  පසුතැවීමකට සමාන වූ සිතුවිල්ලකි.තවදුරටත් සිය හදවතට ඉඩ නොදුන් ධනංජය හසාරාව තම පපුවෙන් ඉවත් කළේය.

“ කියන දේ අහල ගිහිල්ලා නිදාගන්න.අඬන්න එපා.හෙට ඔයා යන  ගමන ගැන හිතන්න.”

“ සති තුනක්… මං එනකල්  පරිස්සමෙන් ඉන්න ඔයාට පුළුවන්ද..”

“ මං පොඩි ළමයෙක් නෙමෙයි හසාරා.මං කැමති නෑ ඔයා මං ගැන එහෙම හිතනවට.”

“ පහුගිය දවස් ටිකේ මොනවද උනේ කියලා මං අහන්නේ නෑ ධනා.ඒත් මට මෙන්න මේ ටික කියන්න ඉඩ දෙන්න..”

“ මොනවද”

ඔහු එසේ ඇසුවේ කැමැත්තකින් නොවේ.

“ හැමදාම මගේ හදවතේ උඩින්ම ඉන්නේ ඔයා.ජීවිතේ  මොන දේ ලැබුණත්  ඔයා නැතුව මට වැඩක් නෑ ධනා.ලෝකෙට පේන්න හිනාවෙලා හදවතින් අඬන ගෑනියෙක් වෙන්න මට බෑ.මට ඕනෙ දුර්වල ගෑනියෙක් වෙන්න නෙමෙයි.හැම  දේම තියෙන සාර්ථක ගෑණියෙක් වෙන්න..මං මගේ මේ පවුලට හරි ආදරෙයි.ඔයාට හරි ආදරෙයි…”

“ මොනවද මේ වැඩක් නැති දේවල් ගැන කියවන්නේ.ඒක සැරයක් කිව්වහම අහල යන්න. ගිහින් නිදාගන්න.අපි මේ දේවල් ගැන හිමිහිට කතා කරමු.”

“ ඔව් ධනා අපි කතා කරමු.මේ ටුවර් එක ගිහිල්ලා ආවට පස්සේ අපි ගොඩක් කතා කරමු.නැති වෙච්ච හැම දෙයක්ම අපි ආපහු අපි ළඟට ගමු.ඔයා වෙනුවෙන් මං ඕනෙම දෙයක් කැප කරන්න ලෑස්තියි.මේ ජොබ් එක..මේ තනතුරු…ඇති වෙලා නැතිවෙලා යන දේවල් ව්තරයි.මුළු ජීව්ත කාලෙම ඔයා ලඟට වෙලා මෙහෙම ඉන්න තිබුණනම් මට ඇති කියලා හිතෙනවා වෙලාවකට.”

වෙනදා ඔහු හා  මිමිණූ ආදරනීය වදන් ඇයට අමතකව ගිය ගණනය.

“ ගුඩ් නයිට් ධනා..ඔයා ඔය වැඩේ කරලා ඉක්මනට ඇඳට එන්න.මට නින්ද යන එකක් නෑ සමහරවිට.අපි දෙන්නා මේ විදිහට අමුත්තෝ වගේ කාමර දෙකක නිදාගත්තා ඇති.අනේ ආයේ එහෙම වෙන්න එපා…”

හසාරා එසේ පැවසූයේ යළිත් ඒ වතට වාරුව අත් ගොබය මත මුව තබා ගෙනය..දිනපතා ව්‍යායාම් නොකළාට ඔහු කඩවසම් පෘෂ්ඨිමත් සිරුරක් හිමි තරුණයෙකු වූවේය.පෙරළා ඔහුගෙන් සිපුමක් ලැබේයැයි සිතුවත් එය සිතුවිල්ලකට පමණක් සීමා විය.ඒ වෙනුවට ධනංජය හිස් සුදු බිත්තිය දෙස බලා සිටියේය.

වසරක් පුරාම ඔහු තමාව මගහැර මේ උඩු මහළට නැගුනේ සිය දෑස් සඟවාගෙනය.ඒ කාලය කඳුළ සුසුම පමණක් හඳුනාගෙන ගෙවී ගිය කාලයකි.තනිකම උපරිමයෙන් දැනී ඕ විඳවූ කාලයකි.

හසාරා සිය නිදන කාමරයේ සුදු පැහැ ඇඳ  ඇතිරිලි මත වැතිරුණේ ඒ දෑස්මත්තේ බලාපොරොත්තු තබාගෙනය.හිතා මතාම ඈ යහන කෙළවරකට වූයේ ඔහුට සුව පහසු වන්නටය.සිය ජීවිතයේ අමාවක කාලය ගෙවී ගොස් අවසන්යැයි ඇයට සිතිණ.එළැබෙන දෙවෙනි වසන්තය පිළිගන්නට ඈ දෑත් දිගුකරගෙන උන්නාය.

“ අපරාදේ ගෙවිලා ගියේ අපේ ජීවිතවල ලස්සනම කාලයක් අපිට කාගේ ඇස් වහක් කට වහක් වැදුනද මන්දා…”

අවසන ඕ එසේ සිතමින් දෑස් පියා ගත්තාය. කුමන මොහොතක හෝ යහනට පැමිණෙන ඔහුගේ උණුසුමින් තමාට ඇහැරෙන බව විශ්වාසය.හාස්කමකින් හෝ පිටරට ගමන දින දෙක තුනකින් කල් යනවානම් කියා ඈ සිතුවාය.සැබවින්ම ඔහු ගැන ඈ සිතේ වූයේ ලෝබකමකි.ඒ ලෝබකම වෙනදාට වඩා වැඩියෙන් සිත රිදවන්නේ මන්දැයි ඇයට නොතේරේ.

ඔහු හා ගත කළ ප්‍රථම රාත්‍රිය ගෙවී ගියේත් මේසා නොසන්සුන්කමකින් ලෝබකමකින් බව විශ්වාසය.ඒ රාත්‍රිය දිගු වේවායි පැතූ බව මතකය.යළි යහනෙන් නැගී සිටි හසාරා සුවඳ විලවුන් බිඳු කිහිපයක් සිය ගෙළෙහිත් කන් පෙති පිටුපසත් තවරා ගත්තාය.වෙනදා සේ  ඔහු යහනට පැමිණ තමාව උණුසුම් හාදු වැස්සකින් නහවාවියැයි ඇයට සිතිණ.

“ ම්….සුවඳයි…”

කන්  පෙත්තකට ලංව ඔහු එසේ මුමුණන හඬ ඇයට සිහිනයෙනුත් ඇසෙන්නාක් සේ විය.යළිත් මේ කාමරය සතුටු සිනහවකින් අනුරාගී කෙඳිරිල්ලකින් , උණුසුම් හතිලෑමකින් පිරී යනු ඇතැයි ඈ සිතුවාය.ඒ සිතෙහි ඇතිවූයේ කෝල බවකි.අවසන සොඳුරු සිතුවිල්ලකට ඉඩ දෙමින් හසාරා  සිය දෑස් පියා ගත්තාය.

කාමරයේ දොර හොඳින් වසා දැමූ ධනංජය සඳැල්ලට පිවිසියේ මගහැරී ගිය ඇමතුම් රැසක් වූ ජංගම දුරකථනයත් රැගෙනය.

“ මට බය හිතෙනවා…එයා ඔයා ළඟද..මට ඔයාව නැති වෙයිද මන්දා…”

ඇය විසින් එවා  තිබූ කෙටි පණිවිඩය කියවූ ධනංජය  දුරකථනය කන තබා ගත්තේ මුවග රැඳී සිනහවක් ද සමඟින්ය.

“ දෙයියනේ මං පපුව පිච්චි පිච්චි හිටියේ.”

දුරකථනය නාද වූ පළමු තත්පරයේදීම එහා පසින් ඇසුණේ නොසන්සුන් හඬකි.

“ හසරා මෙතන ඉන්නවා එයාටම දෙන්නද…”

“ ඔයා විහිළු කරනවද….”

“ විහිළුවක් නෙමෙයි…නිදා ගන්න  කියලා කිව්වට අහන් නෑ මට තුරුල් වෙලා මෙතනට වෙලාම ඉන්නවා..”

“ ඇත්තමයි බබා..ඔහොම විහිළු කරලා මාව පුච්චන්න එපා.මොකද ගෑනි කියන්නේ..”

“ පව් කියලත් හිතෙනවා…”

“ ඔයාට මොනව හිතුනත් ආයෙ එයාගෙ ලඟට යන්න දීලා හිත හදාගන්නනම් මට බෑ.ඊට වැඩිය හොඳයි මං මැරෙන එක.”

 “ පිස්සු කියවන්න එපා.මං වෙනුවෙන් හැම තත්පරයක්ම කැප කරන්න පුළුවන් ගෑණියෙක් ඉදිද්දී මං  මොකටද ආපහු  හැරෙන්නේ.මොනවද ඇහැරගෙන කරන්නේ…”

“ ඔයා ගැන හිතෙනවා…”

“ එච්චරටම ආදරෙයිද…”

“ දිගක් පළලක් සීමාවක් මායිමක් ප්‍රමාණයක් දන්නෙ නැති තරම්..”

“ අපරාදේ කවියෙක් වෙන්න තිබුණේ..”

“ මං කවි කියන්න කැමති මගේ සුදු මහත්තයට විතරයි.කවියෙක් වෙලා ලෝකේ අනිත් පිරිමින්ටත් කවි කියන්න මට බෑ.එයාව එයාපෝර්ට්  ඇරලවන්න ඕනද..”

“ ඔව් මං එහෙම කරන්න හිතුවා..”

“ කමක් නෑ..මට ඔයාව විශ්වාසයි..එහෙනම් දැන් නිදිය ගන්න.නිදි මරලා ඩ්‍රයිව්  කරන්න එපා. මට බයයි.උදේ තුන හතර කියන්නේ පාරේ වාහන  නැති උනාට යන හැමෝම වේගෙන්  යන වෙලාවක්.පරිස්සමට ගිහිල්ල එන්න..ඔයා එනකල් මං නිදාගන්නේ නෑ.මං කැමතියි එයා කැබ් එකක යනවනම්.මං බයයි ඔයා ගැන…”

“ අනේ එහෙම කරන්න එපා..එක වැඩේට අපි දෙන්නම නිදි මරන එක තේරුමක් නෑනේ.”

“ ඔයා ඒ මහ රෑ ඩ්‍රයිව් කරද්දි මං කොහොමද බබා නිදාගන්නේ.හොඳ ළමයා වගේ ඇවිල්ලා මට කෝල්  එකක් දෙන්නකෝ.ආදරෙයි….”

“ මමත් ආදරෙයි….මං ඇවිත් කෝල්  එකක් දෙන්නම්..”

දුරකථන ඇමතුම නිමා  වුවත් ධනංජයට නිදන්නට සිතක් වූයේ නැත.ඔහු එහෙමම සඳැල්ලෙහි වූ වේවැල් පුටුවට බර වූයේ එනිසාය.

( යළිත් හමු වෙමු…)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here