විහඟ පියාපත් 29

0
4019

චරිත් කාමරයට වැදුනේ අසරණකම   කෝපයෙන් සඟවා ගෙනය.තිළිණි ගේ හැසිරීම නිසා දැනෙන්නේ හීන මානයක් නැඟෙන කෝපයකි. ඇය මෙතරම් කාලයක් තිස්සේ කිසිදිනෙක නොකලා සේ, එක්වරම තමා ප්‍රතික්ෂේප කළාය.  

මින් පෙර ඇය තමා ප්‍රතික්ෂේප කල අවස්ථා වල ඇගේ දෑස් වල වූ වේදනාව, බිය අද නොතිබු බව චරිත් ට විශ්වාසය. කල යුත්තේ කුමක්දැයි නොවැටහෙන තරමට ඔහු පැටලී උන්නේය. 

චරිත් හික්කඩුවේ යන්නට සූදානම් වූයේ රාත්‍රී අටත් පසුව තිබුණි. ඔහු ජංගම දුරකතනය විසන්ධි කර දැම්මේය. මහා පරාජයක් සිදු වූවා සේ දැනෙයි.

සිතුවේ ශයිනි නමා ගත හැකි වනු ඇති වගය. ඇය සන්සුන් වී තමා විශ්වාස කරනු ඇති වගය. එහෙත් ඕ අතිශය දරදඬු ව ඇති අපූරුව. අවධානම ඇය අතට ගෙන තමා ඉවත් කරන්නට පවා පිඹුරුපත් සකසා අවසන් කර ඇත. 

චරිත් රාත්‍රී සමාජ ශාලාව තුළට පිවිසියේ කරන්නේ කුමක්දැයි අදහසක් නැතිවය.  පළමුව ඔහු යුවතියක් වෙන් කරවාගෙන යහන්ගත වෙන්නට සිතුවේය. පසුව මත් වී සියල්ල අමතක වෙන්නට ඉඩ හරින්නට සිතුවේය. ඉන් පසුව සිදුවෙන්නට යන ඕනෑම දෙයකට ඉඩ දෙන්නට සිතුවේය.

පැය කිහිපයක් ඉක්ම යන විට චරිත් උන්නේ සැලකිය යුතු  ලෙසින් මත් වය. අන් අයෙකු හමුවීම සඳහා හික්කඩුවට පැමිණි බන්ධනා චරිත් ව දුටුවේ ආපසු යන්නට සූදානම් වෙද්දීය. කාලයක පටන් චරිත්ගේ ඉඟි හා හා වෙමින් උන් ඕ වහා චරිත්  අසලට ගියාය.  

ඒ යන මඟ එක් තැනක හදිසියේම නැවතුණාය. තිළිණි, ඇය පැමිණ සිටින්නේද?  පෙනෙන මානයේ ඇය වන් කිසිවෙක් නැති වග තහවුරු කරගන්නා තුරු ඕ චරිත් අසලට නොගොසින් වට පිට බලමින් උන්නාය. 

එහෙත් කිසිවෙකු ඔහු පිළිබඳව අවධානයෙන් සිටින වග පෙනෙන්නට නැත. චරිත් වහ වහා බන්ධනා හැඳින්නාය. ඇය හා මුහු වුණාය. බන්ධනා උන්නේ සිහියෙනි. මත් විමක් තිබුණේ හෝ නැත. එහෙත් ඕ අඩ මතක් පෙන්වූවාය.

යාබද නවාතැන්පලක සුවපහසු කාමරයක් වෙන් විණි. බන්ධනා චරිත් ට ආසක්ත වූවායැයි කීවාට වරදක් නැත. ඕ වඩා ප්‍රිය කරන ඉතා ආවේගශීලී සැලකුම් ඔහු කෙරෙන් ලැබුණි.  ඔහු ඉතා කෙළිලොල් ව ඇය තුළට පිවිසියාය. කෝපයෙන් මෙන් ඇය හා පොර බැන්දාය. ඔහු තුළ වූ සියළු ආවේගයන් ඇය තුළට මුදා හැරියාය.

වරක්, දෙවරක්, තෙවරකින්වත් රැඟුම් නැවතුණේ නැත. පසුදින රූගත කිරීම් උදෙසා තමා සහභාගි විය යුතු වග පවා අමතක කර  කොළ පැහැ විශාල ඇතිරිල්ල යට ඕ චරිත් ට් යටව උන්නාය.

“ඔයා හරි ලස්සනයි නේ පැටියෝ …”

හිරු එළිය වැටී දිලිසෙන කම්මුල් චරිත් ආවේග නොසඟවමින්ම ඉම්බේය. බන්ධනාද ඔහු හා මුහු වෙන්නට පැකිලුණේ නැත. තිළිණි ව සිහි වෙද්දී, ඕ ඔහුගෙන් ඈතට වූවා නොව තවත් ලං වෙනවා විය. 

චරිත් මේ වනවිට ඉන්නේ පියවි සිහියෙනි. තිළිණි නිසා හිතට දැනුණ අපහසු හැඟීම බන්ධනාගේ ඇසුරෙන් සම්පූර්ණයෙන්ම ක්ශයව ගොස් ඇති වග දැනෙයි. 

චරිත් යළි බන්ධනා ට ඉඟි කලේය. යළි ඇරඹුණි. 

දෙදෙනා යළි නවාතැනෙන් නික්මුණේ ජීවිත වල සෑහෙන්නම ඉඩ අත් පත් කරගෙනය. චරිත් ඇයට අපූරු කතාවක් ගෙතුවේය. ශයිනි තම වෙහෙසට හරියාකාර වටිනාකමක් නොදෙන බවත් , ඉන් මේ රැකියාව එපා වී ඇති වගත්, ඊයේ මෙහි පැමිණියේම එම කලකිරීම් සමඟ බවත් පැවසූයේ යටි සිත ඔහු හා අරගල කරද්දීය.

කොහොමටත් ශයිනි සමඟ අමනාපයෙන් උන් බන්ධනා වහා  චරිත් ට ඔහුගේ මිතුරියකගේ පෙම්වතෙකුට අයත් හෝටලයක රැකියාවක් සම්බන්ධ කළාය. 

චරිත් යනු කවුරුන්දැයි දැනගත් වහාම දැන් ලබන වැටුපටත් වඩා වැඩි මුදලකට ඔහුට රැකියාව ලැබුණි. චරිත් සහ බන්ධනා පෙරළා හෝටලයට ගියේ වෙන වෙනමය. එහෙත්, හෝටලයට ගිය මොහොතේ පටන් දෙදෙනාමට ඇමතුම් අඩුවක් නොවීය. 

දෙදෙනාම දෙදෙනාට ආසක්තව උන්නේ එකිනෙකා ගේ ජීවිත වල එතෙක් කල් තිබුහ් රිද්මය පවා වෙනස් කරමිනි.

“ඊයේ රෑ ඉඳන් කොහෙද ඔයා හිටියේ..?”

චරිත් පැමිණි වග දැනගත් මොහොතේම තිලිණි ඔහු සොයා  ගියාය. එහෙත් ඔහු ඇය ගණනකට හෝ ගත්තේ නැත. තිළිණි දිගින් දිගටම ඔහුව විමසද්දී ඇයට ඉතිරි වූයේ තද බැණුමක් පමණි. 

 ඕ අඬමින් යළි යළි විමසද්දී චරිත් ඕ කාමරයෙන් පිටතට ඇද දමා දොර වසා ගත්තේය. ඔහු සමඟ රැකියාවෙන් ඉවත් වී පැමිණෙන්නම්ද පවසද්දී ඔහු එසේ අවශ්‍ය නොවන වග පවසා යළි දොර විවෘත කර ඇයට බැණ වැදුනේ අවට අය ගැන පවා නොසිතමිනි.

“මං එන්නම් ඔයා එක්ක…”

තිළිණි වහා කාමරයට ගොස් ඔහුට කෙටි පණිවිඩය රැසක්ම යොමු කලද  ඒ එකක්වත් චරිත් පිළිතුරු එවන තරමට ගනනකට ගත්තේ  නැත. තිළිණි උන්නේ දරාගන්නට නොහැකි තරම් වේදනාවක පැටලෙමිනි. සැබැවින්ම චරිත් ආයතනය ට කල ද්‍රෝහි කමට පසුව පවා ඕ උත්සාහ කලේ ඔහු රැකගන්නටය. ශයිනි හමුවේ නිරුත්තරව ගියාට පසු ඒ තැනූ සැලසුම් විනාසව ගියා වුවද, චරිත් අත් හරින අදහසක් තුන් හිතක හෝ තිබුනේ නැත.

එහෙත් , ඔහු ගැන කෝපය අඩු නැතිව සිතෙහි තිබුම බව ඇත්තය. තමාද මුලාවේ හෙලමින් කල කී දෑ ගැන කෝප නොසිතෙනවා නම් එය පුදුමයකි. එහෙත් වසර ගණනාවක් තිස්සේ ඔහු සමඟ එක්ව දුටු හීන අතැර දමන්නට තරමේ කෝපය උස් නොවේයැයි තිළිණි සිතුවාය. 

ඇය උන්නේම හඬමිනි. චරිත් ට ගනු ලැබූ එකඳු ඇමතුමකට හෝ පිළිතුරු ලැබුනේද නැත.  ඇය කාමරය තුළටම වී උන්නාය. රාත්‍රීය පහන් කලේද කුසගින්නේමය. 

පසුදින නිවාඩුවක් දමා චරිත් නව රැකියාව පිළිබඳව සොයා බලන්නට ගියේය. අතරමඟදී නොසිතූ ලෙස බන්ධනාද ඔහු හා එක්වූයේ අසනීප බව පවසා රූගත කිරීම් අවලංගු කර ගත් බව පවසමිනි.

චරිත් ට බන්ධනාගේ ඒ හැසිරිම් සමඟ දැනෙමින් තිබුණේ අමුතුම හැඟීමකි. ඇය හා කල් ගෙවන්නට උනන්දුවකි. මසකට ලක්ශ එකයි හැත්තෑ පහක පඩියක්, පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රියක් සමඟින් චරිත් ට රැකියාව ලැබුණි. ඒ ශයිනිගේ මොණරවිල හොටෙල්ස් පේන මානයට දුරක  වූ තැනකිනි. චරිත් ඒ පිළිබඳව උන්නේද යම් සෑහීමකට පත් වන හැඟීමක් සමඟය.

ඉන් පසුව චරිත් ඇයව කැටුව ගියේ ඇඟලුම් අලෙවි සැලකටය. ඇයට තෑගි ලෙස ඉතා වටිනා ගවුමක් සහ සපත්තු ජෝඩුවක් මිලදී ගත්තේ බන්ධනාටද සිතා ගන්නට නොහැකිව බලා සිටියදීය.

“මෙහෙම එපා අය්යෝ…”

ඇය ව්‍යාජ සිනහව සඟවාගනිමින් කීවාය. එහෙත්, හිත ඉල්ලනා සෑහෙන්නම කාරණා බන්ධනා සමඟින් බෙදාගන්නට අවැසි ඇම චරිත් සකසා අවසන් කර තිබුණේය.

දෙදෙනා දිවා ආහාරය ගන්නට ගියේද විදේශ සංචාරකයන් සඳහාම වන කුඩා අවන්හලකටය. බන්ධනා ඇණවුම් කරන්නට සූදානම් වෙද්දී චරිත් ඒ සියල්ලෙන්ම ඇය වැලකුවාය. 

බන්ධනා ඔහු දෙස බලා උන්නේ පුදුමයෙනි. ඇතැම් විට තිළිණි සමඟ ජීවිතය ඔහුට කම්මැලි වන්නට ඇත. ඒ නිසාම ඔහු අන් මාවතක් සොයමින් උන්නාද විය හැක.

චරිත් පිළිබඳව විමසිල්ලෙන්, කල්පනාවෙන් සිටිය යුතුයැයි බන්ධනා කල්පනා කලාය. ඔහුට තම ජීවිතය තුළට පමණ ඉක්මවා ඇතුලු වෙන්නට අවසර අවැසි නොවීය. එහෙත් ඒ ඇතුළු වීම නිසා අකලංක ගේ ඉඩ ට බාධා නොවිය යුතුය.

දෙදෙනා වෙන් වෙන්ව යළි හෝටලය වෙතට පැමිණියෝය. 

පෙරළා පැමිණි චරිත් සැලසුම් කරමින් උන්නේ ශයිනි ගෙන් සේවා සහතිකය ගන්න හොඳම ආකාරය පිළිබඳවය.  තිළිණි ගේ දිනයේ ඇමතුම් ගණන අසූ පහකි. ඔහු ඒ දෙස බලා උන්නේ අරමුණකින් තොරවය. ඇයට කොහොමටත් ජීවිතය තුළ මහා ඉඩක් දෙන කල්පනාවක් තිබුනේ නැත. එනිසාම අතැර දැමීමට සුදුසුම අවස්ථාව මෙයය. 

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here