“හරි අමාරුයිනෙ මේ ෆස්ට් කට් එක පෙන්නන්න ක්ලයන්ට්ව අපේ ඔෆිස් එකට ගෙන්න ගන්න” කියමින් වලාකුලු වීරවර්ධන තමන් සියලු දෙනාම එක් රැස් වී උන් විශාල තිරයක් සවි කර තිබූ ස්ක්‍රීනින් රූම් එකට එද්දී නෙත් ගැස්සුන තරමට හිතත් ගැස්සුණ බව මේධාවිණිට තේරුණාය.
කාමරයේ මේසය වටා අසුන් ගෙන උන් සියලුම දෙනා වෙත තම නෙත් සැරය විදා පෑව වලාකුලු අවසානයට බැලුවේ මේධාවිණී දෙසය. ඒ දෙනෙත් මත තැවරී තිබුණ අනෙක් කිසිවෙකුට නොතේරුණ යම් හැඟීමක් තම සිත තේරුම්ගත්ත බව මේධාවිණීට වැටහුණාය. ඉන්පසුව ගෙවුන පැයකට ආසන්න කාලයක් තිස්සේ ශුට් එකෙන් ගත් ජායාරූප සහ වීඩියෝ වල හොඳ නරක අඩුපාඩු කියන්නට වැය කර අතර ඒ කාලය අතරතුරේත්, තමන් යමක් ගැන විස්තර කරන අතරතුරේත් ඒ මනස්කාන්ත දෙනෙත තමන්ගේ වතින් ඉවත් කරගන්න වලාකුලු වීරවර්ධනට අමතක වූ බව මේධාවිණීට තේරුණාය. එතරම් සෙනගක් උන්නු තැනක වුවත් එක එල්ලේ තමන් වෙතම විදාගෙන උන් දෙනෙත කියන්න හදන කතන්දරය නොතේරෙන්න තරම් තමා තේරුමක් නැති අයෙක් නොවුනත් ඒ කතාව පැහැදිලි කරගන්න උත්සහ කරනවට වඩා එසේම හිඳීම තමන්ට වඩා හොඳ බව මේධාවිණී දැන උන්නාය.
රාජකාරි කටයුතු වලින් පස්සේ මේස් ෆැශන් ආයතනයෙන් ආ පිරිස වෙනුවෙන් සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහය අතරවාරයෙ මේධාවිණි අමතන්න ඇය තනිවන වෙලාවක් එනතුරුම වලාකුලු බොහෝ ඉවසීමෙන් බලා උන්නේය.
“ඉතින්” කියා වලාකුලු ලංවෙද්දි ඔහු සමීපයේ දැනෙන අර නුහුරු එහෙත් රසබර තිගැස්ම ආයෙම වරක් තමන්ව වැලඳගන්නවා මේධාවිණීට නොදැනුනා නොවේ.
ඉතින් කියා වලාකුලු අහද්දී ඉස්සර උන්නු තරුණ. කෙලිබර මේධාවිණී අද මෙතන උන්නා නම් දෙන පිළිතුර වන්නේ “කිතුල්” යන්න වුවත් තමන් දැන් ඒ කෙලිබර කාලය අතහැර බොහෝ දුර ඇවිත් බව මේධාවිණීට මතක තිබුණාය.
“ජොබ් වෙල් ඩන් වලාකුලු. හරිම ලස්සනයි ඔයාලගෙ කැප්චර්ස්” කියා මේ කතාබහ වඩා රාජකාරිමය කතාවක් කරගන්නට උත්සහ කරද වලාකුලු එය භාරගත්තේ එතරම්ම රාජකාරිමය මට්ටමකින් නොවේ.
“තැන්ක්‍යු, ක්ලයන්ට් හැපි නම් තමයි අපි හැපි”
“අපි කියපු ෆීඩ් බැක් එක්ක රිවිශන්ස් කරලා අපිට වෙලාවට පබ්ලිශ් කරගන්න පුලුවන් වෙයි නේද කන්ටෙන්ට්?”
“ඒ ගැන ඩවුට්ස් තියාගන්න එපා. යූශුවලි මම මගෙ ඇසිස්ටන්ට්ලට තමයි මේ වගේ පොඩි ශූට්ස් භාරදෙන්නෙ. ඒ උනාට මේක මම මගේ පර්සනල් වැඩක් කියල හිතලා මම ම බලලා කරල දෙන්නම් ඔයා නිසාම” කියා වලාකුලු ආයෙම වතාවක් තමන් වෙත නැඹුරු වී කියද්දී හිත “ඔයා නිසාම” කියන කෑල්ල අල්ලගෙන බොහෝ දුර යද්දී මේධාවිණී දෙතොලින් අල්ලගෙන ඊලඟට වදන් කලේ “පොඩි ශුට්ස්” කියන කතාවට උත්තරය.
“ආ අපේ ශූට් ඔයාලට පොඩි ශූට්ස් ද?”
“නැ නෑ මම මේ ඔයාලව පල්ලෙහට දාලා කතා කරා නෙවෙයි. මේ වගේ ස්කේල් එකේ ශූට්ස් අපි නිතරම කරන නිසා අපිට ලොකු ප්‍රැක්ටිස් එකක් තියෙනවා. මීට වඩා ස්කේල් අප් කරපු ශූට්ස් තියෙනවනෙ අමාරු ඒව. ඒකයි මම එහෙම කිව්වෙ. ඩෝන්ට් මිස් අන්ඩර්ස්ටෑන්ඩ්”
“නෝ නෝ දැට්ස් ෆයින්. මම නිකන් කිව්වෙ. අයි නෝ යුවර් කැපෑසිටි. අයි හෑව් සීන් යුවර් ප්‍රීවියස් වර්ක් ඈස් වෙල්”
“ඉතින්, මට කිව්වෙ නෑනෙ ඔයාගෙ විස්තර කොහොමද කියල?” කියන ගමන් වලාකුලු තමන්ගේ ප්ලේට් එකේ තිබූ කේක් කැබැල්ලක් මුව රුවා ගත්තේයා. කේක් කුඩු වලාකුලුගේ රැවුලේ රැඳී තිබෙනු දකිද්දී අත දිගුකර ඒ ඉවත් කරන්න උවමනා උනත් ඒ වනාහී තමන්ට අයිති වපසරියක් නොවන බව දන්න හන්දාම ඒ සිතුවිල්ල හිත අස්සේම මැඩපවත්වා ගන්න මේධාවිණී වහ වහා කටයුතු කලාය.
“වරදක් නෑ ඉතින් හොඳින් ඉන්නවා”
“කොහොමද වැඩ? ඔයා හැමදාම ඔෆිස් යනවද?”
“ඔව් නැතුව බෑනෙ නේද?”
“නෑ ඉතින් කම්පනි එක අයිති තාත්තට වෙච්ච එකේ දුව මොකටද හැමදාම ඔෆිස් යන්නෙ. අනිත් අයට වැඩ ටික භාර දීලා ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න පුලුවන් නෙ”
“තමන්ගෙ දේවල් පරිස්සම් කරගන්න, බලා කියාගන්න ඕන තමන්ම නේද? අනුන්ට තමන්ගෙ දේවල් බලාගන්න දෙනවා කියන්නෙ තමන්ට ඒ දේවල් නැතිවෙන්න ඉඩක් තියෙනවා කියන එක” කියා මේධාවිණී ඒ කියද්දී ඒක මහ බැරෑරුම් කතාවක් බවත් මේධාවිණී එහෙම කියන්නට ඇත්තේ තවත් කුමක් හෝ හේතුවක් පදනම් කරගෙන බවත් වලාකුලුට නොතේරුනා නොවේ. එහෙත් එවන් දෙයක් විමසන්න තවම කල් වැඩිය.
“ඒක හරිම ඩීප් මීනින් එකක් තියෙන කතාවක්. මම ඒක පිළිගන්නවා”
“ඔයාලගෙ ඔෆිස් එක හරිම ලස්සනයි. මම හිතුවෙ නෑ මේ වගේ ලස්සන තැනක වෙන්නැති කියල ඔයාලගෙ ඔෆිස් එක තියෙන්නෙ”
“ඇයි ඒ එහෙම හිතන්න විශේෂ හේතුවක් තිබුනද?”
“අනේ නෑ විශේෂ හේතුවක් නෑ. මම අර ඔයාලගෙ ඔෆිස් එක මෙන්න මේ වගේ කියලා හිතපු දේට වඩා මෙතන වෙනස් නෙ. හරියට අර බුටික් හොටෙල්ස් තියෙන්නෙ. අන්න ඒ වගේනේ. ඒකයි. ලස්සනයි හැබැයි. අර නෝමල් ඔෆිස් එකක තියෙන බිසී ගතියට වඩා මෙතන හරි නිදහස්”
“අපි ඉතින් ක්‍රියේටිව් වැඩ කරන මිනිස්සුනෙ. ක්‍රියේටිව් මිනිස්සු ඉන්න තැනක් කොහොමත් ක්‍රියේටිව් වෙන්න ඕන නේ. ඒකයි” කියා වලාකුලු ආයෙම වරක් ඇස් වලිනුත් නෙත් වලිනුත් දෙතොලෙනුත් සිනාවෙද්දි මේධාවිණී කලින්ට වඩා පහසුවෙන් ඒ සිනාව හා මේ මොහොතේ එක්වුණාය. කලින්ට වඩා තමන් දැන් වලාකුලුව දන්නවා යැයි හිතෙන හැඟීම ඒ සිනාවට හේතු සැපයූ බවට හදවත කියන කතාවට මේධාවිණී සවන් දුන්නාය.
“ඔයා කලින් කොහෙද වැඩ කලේ?” කියා වලාකුලු තමන් සහ ඔහු අතර වූ නිහඬතාවය බිඳ දමා අහද්දී ඒ ප්‍රශ්නයට දිය යුතු පිලිතුර වෙනුවට මේධාවිණීට නැගුනේ ප්‍රශ්නයකි.
“මම කලින් වෙන තැනක වැඩ කරා කියල ඔයා දන්නෙ කොහොමද?”
“ම්ම් ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්” කියා වලාකුලු ආයෙම වරක් සිනාසෙන අතර කේක් කැබැල්ල හපන්නට මද වෙලාවක් ගත්තේය. මේධාවිණී ඒ තප්පර කිහිපය ගත කලේ ඇත්තටම නොඉවසිල්ලකිනි.
“ඒක හොඳ ප්‍රශ්නයක් නම් ඒකට හොඳ උත්තරයක් ඇති නේද?” කියා කියූ තමන්ගේ වදන්වල තිගැස්මක් වෙව්ලීමක් තැවරී තියෙන බව තේරුණත් ඒකට හේතුව කුමක්ද කියා තෝරා බේරාගන්නට මේධාවිණීට එතරම්ම පහසු උනේ නැත. “ඒකට හේතුව මං කලින් වෙන තැනක වැඩ කලා කියන එක හොයාගත්ත වගේ අනිත් දේවලුත් හොයාගෙන ඇති කියන එකද? එහෙම නැත්තම් මං ගැන මෙයා මොකටද හොයන්නෙ? කියන එකද?” යන ප්‍රශ්න දෙකම හිත ඇතුලේ දෙපසට දෝලනය වෙද්දී මේධාවිණී බලා උන්නේ වලාකුලු ඒ ප්‍රශ්නයට උත්තර දෙන තුරුය.
“ඉතින් කියන්න, කොහොමද ඒක දැනගත්තෙ?”
“ම්ම්ම්ම්ම් මම ඇත්තටම හොයලා බැලුවා”
“මොනවද?” කියා අසද්දි තමන්ගේ කටහඬ වෙව්ලන බව තේරුණත් මේධාවිණී වෙනසක් නොපෙන්වා වලාකුලු දිහාම බලාගෙන උන්නාය.
“ඔයා ගැන”
“මං ගැන? ඒ මොකටද?”
“ම්ම් මට ඕන උනා ඔයා ගැන ටිකක් හොයන්න. මං ඒ නිසා එදා ශූට් එකෙන් පස්සෙ ඔයා ගැන විස්තර හොයලා බැලුවා” කියා වලාකුලු කියද්දි මෙච්චර වෙලා ඔහුගේ මුහුණ අලංකාර කර සිනාව මුහුණෙන් මිදී වෙන කොහේ හෝ සැඟවී ගිය බව මේධාවිණීට නොතේරුනා නොවේ.
“මොනවද ඉතින් දැනගත්තෙ?” කියා අහද්දීත් කටහඬත් හිතත් තිබුනේ එක්තරා විදියක වෙව්ලීමකය.
“දැනගන්න ඕන හැමදේම” වලාකුලු වීරාවර්ධන කිසිත් සිනාවක් නැති, නොතේරෙන ගැඹුරු බැල්මක් තැවරුන දෙනෙත තමන් වෙත පා කරමින් කියද්දී මේධාවිණි උන්නේ ඒ දෙනෙත් සැරයෙන් තමන්ගේ දෙනෙත් මුදවාගන්නට වෙර දරමින් නමුත් පරාද වෙමිනි.
“මොනවද දැනගන්න ඕන උන හැමදේම කියන්නෙ?”
“ඔයා කාටහරි අයිතිද කියන එක”