දෙහිතක කතාවක් 17

“අක්කා කොහෙ යන ගමන්ද මේ?”

“ටවුන් එකට යනව මල්ලි”

“මොනවහරි අරගන්නද? බැංකුවටද?”

“ඩයලොග් එකට. රවුටරයක් ගන්න”

සඳරු ඒ වදන් ඔස්සේ අරවින්ද දෙස බැලුවේ “අපි අක්කව එක්කරගෙන යන්ද ටවුමට?” කියන පැනය නෙත් අස්සේ රඳවාගෙනය. සිත අස්සෙන් සතුටක අංකුර මෝදු වී ගෙන එන බව දැනුණද අරවින්ද උන්නේ ඒ සතුට නිසාවෙන් මුව මතට එන්නට දඟලන සිනහවක සේයාවන් කැළුමිණී ගෙන් සඟවාගන්නට උත්සහ දරමිනි. 

ජිප් රියේ පිටුපස සකසා තිබුනේ බඩු බාහිරාදිය දමාගෙන යා හැකි ලෙස සීට් දෙපසට සවි කරය. මෙවන් කඳු පල්ලම් සහිත පාරක එවන් සීට් එකක වාඩි වී යාම කෙල්ලකට නොවන ඕනෑම අයෙකුට අපහසුතාවයක් ඇති කරන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඉතින් ඉඩ තිබුණේ ඉදිරිපසය. එක්කෝ සඳරුගේ පැත්තේ දොර අයිනේය. නොඑසේනම් අරවින්දත් සඳරුත් මැද අසුනේය. කොල්ලන් දෙදෙනෙකු යද්දී වැඩි ආරක්ෂාවට කෙල්ලව මැදින් වාඩි කරවාගෙන යාම සිරිතය.

“අක්කා ඉස්සෙල්ල නගින්න මං පස්සෙ නගින්නම්” කියා බිමට බට සඳරු කියද්දී සිත කොතෙක් පැකිළුණද කැළුමිණී ඒ වදන් වලට හිස නැවුවේ ඒ පැකිලීමේ ගිලෙමින් කල් ගත කරහොත් මේ නපුරාට තරහා යාවියැයි සිතාය.

පෙර දින ඔහු විසින් කියන්නට යෙදුණ වදන් තවමත් සිතෙන් ගිලිහී නැත.

කැළුමිණී උන්නේ බියෙනි.තිගැස්මෙනි. මේ එහාපසින් වාඩි වි සිටින පුද්ගලයා පිළිබඳ කිසිත් යහපත් අදහසක් තමන් තුල නැත. ඔහු හා වුණ පලමු හමුවම බියෙන් සහ තැතිගැන්මෙන් ගැබ්බර වූවකි. ඉතින් ඔහුට එහාපසින් වාඩි වී, මේ කඳු පල්ලම් සහිත මගේ හෙල්ලෙමින්, ඔහු පසට විටෙක නැමෙමින් කරන ගමන දරාගන්නට අසීරු තරම් බියජනකය. සඳරු න එක එක දේවල් අසමින් උන්නද ඔහු ඉන්නේ නිහඬවමය. බුම්මාගත් මුහුණිනි.

“අක්කා රවුටරයක් ගන්න යන්නෙ මොබයිල් ඩේටා වැඩ නැද්ද?”

සඳරු විසින් නිහඬ බව බිඳිනු පිණිස කොතෙක් දේ කීවද කැළුමිණී උන්නේ තමන් විසින් කියනට යෙදෙන කුමක් හෝ කාරණාවක් මේ පුද්ගලයාගේ නිහඬ බව බිඳ හෙලමින් ඔහුව සුපුරුදු කෝපයක් තෙමාලන්නට හේතුවක් වනු ඇතැයි සිතමිනි.

“මොබයිල් ඩේටා වැඩ. ඒ උනාට ඔෆිස් එකේ වැඩ කරන්න මොබයිල් ඩේටා මදි මල්ලි. ඒකයි මම රවුටර් එකක් ගන්න යන්න හිතුවෙ”

“ඔෆිස් එකේ වැඩ කරන්න කිව්වේ අක්කා ආපහු යන්නෙ නැද්ද කොළඹ?”

සඳරුගේ ඒ ප්‍රශ්නයට ඇය ලබා දෙන පිලිතුර ගැන දැනගන්නට වැඩියත්ම ඕන උනේ අරවින්දටය. එහෙත් ඒ ප්‍රශ්නයට පිලිතුරු දෙන්නට කලින් සිතන්නට බොහො දේ කැළුමිණී ට විය. ඇය ඒ ගත් කාලය පුරා තමාට එහා පසින් අසුන්ගෙන නිහඬවම රිය හසුරුවන පුද්ගලයා උන්නේ නොඉවසිල්ලකින් බව කැළුමිනී දැන උන්නේ නැත.

අරවින්ද උන්නේ සිත ඇතුලාන්තයෙන් දැවෙමිනි. ඇය නැවත කොළඹ ගියහොත් ඇයව දැකගන්නට නොලැබෙන බව සිතීම පවා දැවීමක් බව අරවින්ද ට දැනුනි. ඒ පිලිතුර ඇයගෙන් එනතුරු අරවින්ද උන්නේ නොඉවසිල්ලෙන්ය.

“ළඟදි යැවෙන්නෙ නෑ මල්ලි. ඒ නිසායි රවුටර් එක ගන්න හිතුවෙ”

කැළුමිණී ඒ වදන් මුවින් පිටකලේ ගොරෝසුවටය. සුපුරුදු සුමට කටහඬිනේ බව පවසන්නට බැරි පරිදි උගුර යට සෙම පටලයක් බැඳි පවතින බවක් දැනෙද්දී පවා ඒ වදන් අපහසුවෙන් හෝ මුවින් පිටකරගන්නට හැකිවීම ගැන කැළුමිණී ස්තුතිවන්ත වූවාය.

“එහෙනම් හොඳයි. මං හිතුවෙ අක්කා ආපහු කොළඹ යාය කියල”

ඒ වදන් සඳරු නොව කිව යුත්තේ තමා විසින් බව සිතෙද්දී අරවින්ද රිය වේගයෙන් පදවාගෙන ගොසින් නැවැත්වුවේ ටවුමේ ඩයලොග් ආයතනය අසලය. නගර මධ්‍යයටම පැමිණ තිබුන නිසාවෙන් කැළුමිණී ව ඩයලොග් එක අසලින් බස්සවාගෙන තමාගේ රාජකාරි සඳහා පිටවයාමට අරවින්දට හැකියාව තිබුනි.

එහෙත් ආපසු යද්දීත් ඇය සමගම යන්නට තිබුණානම් කියා සිතෙන අපූර්ව හැඟිමක් සිත අස්සේ පොරකමින් තිබුණි.

“උඹේ අක්කට කියපන් යද්දිත් අපි එක්කම යන්න පුලුවන් කියල” ඒ වදන් ඇය වෙත ගෙනයන්නට සඳරු අපූරු තෝල්කයෙකි.

සඳරු විසින් කියු දේට කැළුමිණී හිස සැලුවාය. නොදන්නා පලාතක නොදන්නා මිනිසුන් රැසක් මැද යන්තමින් හෝ දන්නා හඳුනන අයෙකැයි කියා කියනට උන්නේ ඔවුන් දෙදෙනා පමණකි. ඉතින් නොදන්නා අහකට යන්නට බස් රියක් එනතුරු බලා හිඳිනවාට වඩා දන්නා දෙදෙනෙකු සමග ආපසු යැම වඩා යහපත් බව සිතට නොතේරුණා නොවේ. 

කොළඹ මෙන් මෙහි අංකයක් ගෙන අමතන තුරු හිඳිනට අවශ්‍යතවයක් තිබුනේ නැත. එක් පසෙක දුරකතන බිල්පත් ගෙවන්නට ආ පෝලිමක් උන්නද රවුටර් සබඳතා පිලිබඳ විමසන්නට තිබූ කවුන්ටරය තිබුණේ හිස්වය. ඉතින් වැඩිවේලාවක් නොගොසින් අදාල විස්තර ඉදිරිපත් කර මුදල් ගෙවා රවුටරය ලබාගන්නට කැළුමිණී ට වැඩි වේලාවක් ගියේ නැත.

බරපතලම පැනය නැගුනේ ඉන්පසුවය.

ඔවුන් දෙදෙනා එන්නට තව මද වේලාවක් ගතවන බව දැනුනද වාහනය නතර කල තැන දැන උන්නද ඒ අසලට ගොසින් සිටගෙන සිටීම වඩා යහපත් ද කියා කැළුමිණී ට තේරුනේ නැත. කෙනෙකු එය වරදවා වටහගන්නට ඉඩක් තිබේ.එහෙත් වෙන කරන්නට ද දෙයක් තිබුනේ නැත.

ටවුමක්‍ ය කියා කීවද කොලඹ තරම්.කාර්‍යබහුල නොවුද එහෙමකට කියා කඩ සාප්පු නොවුවද මිනිසුන් එහා මෙහා යමින් උන්නහ. ඒ එලවලු මලු රැගෙනය. තවකෙක් දරුවකුගේ අතින් අල්ලාගෙනය. ඒ කාර්‍යබහුල බව කාර්‍යබහුල බවක්ද කියා කැළුමිණී ට සිතුණද කොළඹත් මෙහෙත් කියා වෙනසක් නොවන පරිද්දෙන් මිනිසුන් උන්නේ එකිනෙකා හා සිනහා නොවි තම තමන්ගේ ලෝක වල ගිලීය.

රිය නතරකල අහට ගිය කැළුමිණී එතන සිටගෙන උන්නේ කරන්නට දෙයක් නොමැති තැනය. සදරු ඉක්මනට එතැයි බලාපොරොත්තුවෙන් උන්නද ඒ බලාපොරොත්තුව බිඳ වට්ටමින් සඳරුට පෙර එහි ආවේ අරවින්දය.

තනිවම තමන්ගේ වාහනය අසල සිටගෙන සිටින කැළුමිණීව දුටු අරවින්දගේ සිත තිබුනේ සතුටෙන් ඉපිලෙමිනි. එහෙත් මුහුණ තිබුණේ බුම්මාගත්වනමය. කැළුමිණී එය තේරුම්ගත්තේ වැරදියටය. ඉතින් සිත බියපත් වීම අරුමයක්ද?

අරවින්ද උන්නේ කතා කරගන්නට හේතුවක් හොයාගන්නට බැරුවය. අනෙක් අතට කැළුමිණී උන්නේ මේ මිනිසා තමාට යලි යලිත් බැන වදීවිය යන බියෙන්ය. ඉතින් අරවින්ද ඉස්සර වනට සිතුවේය.

“සඳරු තාම නෑ නේද?”

ඒ කතාබහක් අරඹන්න හොඳ වදනක් යැයි දැන උන්නේ නැතුවද කතාව අරඹාලිය හැකි වෙන ක්‍රමයක් හොයාගන්නට අරවින්දට දැනුමක් තිබුනේ නැත. වයස අවුරුදු තිස් අටක මිනිසෙක් වුවද අරවින්දට ඒ මොහොතේ දැනුනේ තමා වයස අවුරුදු 18 ක පමණ කොල්ලෙකුගේ බොළඳ බවින් තෙමී නැහැවී ගොස් හිඳින බවකි.

මේ ආදරය නම් මීට කලින් විශ්ව විද්‍යාලයේදී හමු වූ නුවනි පිළිබඳව සිත බරව තිබුනේ ආදරයෙන්මද?

“හ්ම්ම්”

කැළුමිණී ඉතාම මද සිනහවක් මුව මත රඳවාගෙන අරවින්ද දෙස එක ඇසිල්ලකින් බලා පිළිතුරු දුන්නාය. කැළුමිණී උන්නේ බියෙන් බව නොදත් අරවින්ද ඒ හැසිරීම “එයා තරහෙන් ඉන්නෙ” කියා වරදවා වටහා ගත්තේය.

ඒ වැටහීම නැතිකරලනු පිණිස තමා කතා කර යුත්තේ තමා වෙනුවෙන් බව අරවින්ද දැන් උන්නේය.

“එදා වෙච්ච දේට අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි. මම ඇත්තටම වෙන ප්‍රශ්නෙක ඉඳියෙ. ඒකයි මට තරහ ගියේ. අනික ඇත්තටම ඔයාට කරදරයක් උනා නම් ළඟ පාත හොස්පිටල් එකක් වත් නෑනෙ. ඒකයි මට හොඳටම තරහ ගියේ. වන්ස් අගේන් අයෑම් සොරි”

අරවින්ද එසේ කියා බිම බලා හිඳින කැළුමිණී දෙස බලා සිනාසුනේය. අරවින්ද කීයටවත් සමාව ඉල්ලන ජාතියේ මිනිහෙක් යැයි නොසිතා සිටි කැළුමිණී ඒ වදන් වලින් පුදුමයට පත් විය. ඒ ඔස්සේ සෙමෙන් හිස ඔසවා අරවින්ද දෙස බැලු කැළුමිණීට ඔහුගේ සිනහවට ප්‍රතිඋත්තර ලෙස සිනහවක් තිළිණ නොකර සිටින්නට හැකියාවක් තිබුණේ නැත.

“ඉට්ස් ඕකේ. ඇත්තටම මමත් වෙන කල්පනාවක ආවෙ. මම දැක්කෙ නෑ ඔයා එනවා. අයෑම් ඕල්සෝ සොරි”

“එහෙනම් දැන් අපි තරහ නෑ නේද?”

අරවින්ද කියූ දේටත් වඩා කැළුමිණීට සිනහ ආවේ ඔහු එය කියු ආකාරයටය. “ඒ මහත්තයට අවුරුදු හතලිහකට කිට්ටු කරල ඇති” කියල නැන්දා කීවට ඔහුගේ චර්‍යාවන් කියන්නේ වයසට වඩා දඟකාර බවය.

සඳරු ඈතින් එද්දී වාහනය හැර එයට නගින මෙන් කැළුමිණීට කියූ අරවින්ද ඇත්තටම උන්නේ සතුටෙනි. එහෙත් ඒ සතුට තමා සතු කරගන්නට හැකියාවක් තිබේද යන කුකුස සිත අස්සේ නොතිබුනා නොවේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles