වියෝ ගී ගැයෙනා හදේ – 21

0
4654

එදා හවස ගෙදර ගොස් රැයේ නිදාගන්නට යද්දී පවා මේධාවිණී උන්නේ වලාකුලු වීරවර්ධන කියන්නට යෙදුණ ඒ වචන අමතක කරන්නට බැරුවය. වෙන මොහොතක වුණානම්, තමන් කෙල්ලෙක් කියන හැඟීම හිතේ තිබුණානම්, තමන් විවාහයෙන් වෙන් වී ආ එක්දරු මවක් නොවුණානම් එවන් මිනිසෙකුගේ මුවින් නික්මුණු එයාකාර වදන් ආදරයෙන්ද ආශාවෙන්ද වැළඳ ගන්නට තිබුණා නොවේද කියන හැඟීම මේධාවිණීට එදා රැයේ නින්දක් නැතුව ඇඳේ පෙරළි පෙරළි ඉද්දී බොහෝ වාරයක් තිස්සේහිතුවාය.

“ම්ම් මට ඕන උනා ඔයා ගැන ටිකක් හොයන්න. මං ඒ නිසා එදා ශූට් එකෙන් පස්සෙ ඔයා ගැන විස්තර හොයලා බැලුවා” 

“මොනවද ඉතින් දැනගත්තෙ?” 

“දැනගන්න ඕන හැමදේම”

“මොනවද දැනගන්න ඕන උන හැමදේම කියන්නෙ?”

“ඔයා කාටහරි අයිතිද කියන එක” කියා වලාකුලු කියද්දී එයට දෙන්නට උත්තරයක් නැති තැන තමන් ඔහුවත් ඔහුගේ මනස්කාන්ත ගැඹුරු තේරුම් ගන්නට නොහැකි හැඟීමක් ගැබ්වුණ දෙනෙතද මග හැර වෙනතක් බලා ආවාය. එහෙත් හිත තිබුණේ වලාකුලු කියූ ඒ කතන්දරයට දිය යුතු උත්තරය කුමක්දැයි හිතන ගමන් ය.

වලාකුලු කියූ දැනගන්න ඕන හැමදේම දැනගත්තාය කියන කතාව ඇතුලේ තමන් ගැන සියලුම දේ ඔහු දැනගත්ත බව කියවෙන වදනක් තියු බව මතක් වෙද්දී මේධාවිණීට දැනුනේ ලැජ්ජාවකි. එහෙත් දික්කසාද වූ ගැහැණියක මවක බව කෙනෙකු දැනගැනීම ලැජ්ජා වෙන්න කාරණාවක්ද කියා ඒ සිතම අනිත් පැත්තට නොකිව්වා නොවේ.

මේධාවිණී එවන් සිතුවිලි දාමයක් සිරව ඉද්දී චිරත් උන්නේ වෙනදා මෙන් බීමත් රැයක් නින්ද නැතිව අවසිහියෙන් ගෙවමින් නොවේ. තමන් අවසිහියෙන් ගෙවන දවස් කෙතරම් ද එතරම්ම දුර තමන් පෙත්මලීගෙන් ඈත්වෙන බවට සමීර වටහා දුන් ඇත්ත චිරත්ව ආපසු වරක් ට්‍රැක් එකට එවන්නට තරම් බලවත් වී තිබුණි. චිරත් උන්නේ අතරමග නතර කර දමා ආ තමන් අරඹන්නට යන රෙස්ටුරන්ට් එකේ වැඩ රාජකාරි පිරික්සා බලන්නට කාලය යොමු කරමිනි. ඒ සියලු වැඩ රාජකාරි අතරෙත් වෙනදාට රැයේ තමන් නොනිදා මෙසේ වැඩ  කරද්දී කෝපි එකක් හදාගෙන විත් මේසය මතින් තබා “දැන්ම නිදාගන්නෙ නැද්ද?” කියා ඇසූ මේධාවිණී ගේ මතකයන් විත් හිතේ හැප්පුනේ නැතුවා නොවේ.

“ම්ම්ම්ම්” කියමින් අඩ නිදිමතින් පුටු ඇන්ද උඩ හිස හාන්සි කරවා තමන්ගේ උරපතු වලට උඩින් එබී බලන මේධාවිණීගේ මුහුණ දැන් දැන් පහත් වී තමන් ව සිපගන්නා බව චිරත් එදා දැන උන්නේය.

ඒ සිප ගැනීම් අවසන් වන්නේ කාර්‍යාල කාමරය ලෙස සකසාගෙන තිබූ කාමරයේ විසල් සෙටිය මත එකිනෙකාට තුරුලු වීය. තමන් රැයේ නිදියන්නට එන්නට පමා වන නිසාවෙන් මේධාවිණී නිදාගන්නේ පෙත්මලී තුරුලු කරගෙන නිසාවෙන් ඒ ඇඳ මත නෙවන් සොඳුරු සුයාමයන් තහනම් වෙද්දී කාර්‍යාල කාමරයේ විසල් සෙටිය තමන්ටත් මේධාවිණීටත් පාරාදීසයකට මං තැනුව බව චිරත්ට අමතක නොවේ.

“කොච්චර දවසකින්ද අපි මෙහෙම ඉන්නෙ?” කියා සියලුම අනුරාගී කෙඳිරීම්ද, සිපගැනීම්ද අවසානයේ දහදිය බිඳු නැගුන එනිසාවෙන්ම සීතලට දැනෙන තමන්ගේ පපුවට ඇගේ නිරුවත් පපුව තවරමින් දිගු රෝස පැහැ අතැඟිලි අගින් තමන්ගේ පපුවේ රෝම කූප පිරික්සමින් ආදරණීය අමනාපයකින් කියු අයුරු චිරත්ට අදටත් එදා මෙන්ම මතකය.

“ම්ම්ම්ම්”

“ඔයාට දැන් වැඩ නිසා මාව හොඳටම අමතක වෙලා තියෙන්නෙ චිරත්”

“ඉතින් බබා මම මේ රැ තිස්සෙ ඇහැරන් හැමදේම කරන්නෙ ඔයයි පැංචියි වෙනුවෙන්නෙ”

“ඒ උනාට අපිට ඔය බිස්නස් නැතිඋනා කියල අගහිඟයක් නෑනෙ. අපි දැනටත් සන්තෝසෙන් සෙට්ල් වෙලා ඉන්නවනෙ”

“ඔව් ඒ ඉතින් ඔයාලගෙ තාත්තල ඔයාට ඩව්‍රි එකට ගෙයක් එහෙම දුන්න හන්දනෙ. එහෙම නැතිඋනානම් අපිට පොඩි තැනක ඉන්න වෙන්නෙ. ඔයා දන්නවනෙ ලංකාවෙ සැලරිස් වලින් අපිට එහෙම එකපාර ලොකුවට උඩට යන්න බෑ. මොක උනත් ඔයාගෙ තාත්තල ඔයා වෙනුවෙන් දෙයක් හරිහම්බ කරල තිබුන හන්ද ඔයාට මං වගේ හිඟන්නෙක් කසාද බැඳගෙන උනත් දුක් විඳින්න ඉඩක් ලැබුණෙ නෑ. අපි අපේ දරුව වෙනුවෙනුත් එහෙම යමක් කමක් ගොඩනගල එකතු කරල තියන්න ඕන එයාට අනාගතේදි මොන දේ උනත් දුකක් විඳින්න ඉඩක් නොලැබෙන්න”

“ඔයා ඔය හිඟන්නා කතාව කිව්වොත් ඇත්තමයි චිරත් මං ආයෙ එක මොහොතක් ඉන්නෙ නෑ” කියා මේධාවිණී අමනාපයෙන් නැගී යන්නට හදද්දී තමන් ඇගේ නිරුවත් සිහින් ඉඟ වටා අත යවා තදින් ඇයව තමන් වෙත රඳවගත් බව චිරත්ට මතකය.

“මං නැතුව ඉන්න පුලුවන්ද ම්ම්ම්ම්?” කියා ස්ට්‍රෝබෙරි බොඩි ලෝශන් සුවඳ හමන ඇගේ සිහින් දිගු බෙල්ල මුල දෙතොල් තබමින් අසද්දී කෙතරම් කිති වුවත් “ඔයාට නම් වැඩ එක්ක කොහොමත් පුලුවන් වෙයි මං නැතුව ඉන්න. මට තමයි ඔයා නැතුව ඉන්න බැරි” කියා ඇය කිව් බව චිරත්ට මතකය.

ඒ ඔක්කොම කතා අමතක වී ගොස් තිබෙන්නේ මේධාවිණීටය.  තමන් අතින් යම් තාක් දුරක නොසලකීමක් මේධාවිණී විශයෙහි ඇති උන බව පිළිගත්තත් මේ වගේ දරුණු තීරණයක් අරගෙන තමන්ගෙන් සදහටම ඈත්වෙන්නට තරම් තමන් වරදක් කරාද කියන එක අමතක කරන්න ඇත්තටම චිරත්ට තවමත් බැරිය.

“මං උඹට මුලින්ම කිව්වා මේධාවිණී කතාකර වෙලාවෙ කවුන්සලින් ගිහින් කවුන්සලර් කෙනෙක් එක්ක මේ ගැන කතා බහ කරානම් උඹලට ඔය දික්කසාදෙට කලින් තියෙන වෙන හොඳ තීරණයක් ගන්න තිබ්බ කියන එක. කොහෙද උඹල එවෙලෙ මේ කවද්ද දික්කසාද වෙන්නෙ කියල බල බලනෙ හිටියෙ. දැන් ඉතින් නැට්ට ගිනි ගත්ත හනුමන්තා වගේ අඬ අඬ ඉඳපන්. යකෝ උඹල දෙන්නට එවෙලෙ හිතන්න පුලුවන් උනේ ගෑණියි මිනිහයි විදියට විතරනෙ. දරුවෙක් ඉන්න අම්මෙක් අප්පෙක් විදියට හිතන්න තරම් මොලයක් තිබ්බෙ නෑ. උඹල ගන්න මරි මොංගල් තීරණ නිසා අන්තිමේ අම්මයි අප්පයි දෙන්නම නැතිවෙන්නෙ ඒ පොඩි එකාට කියන එක උඹට කවදාවත් හිතුනෙ නෑ. මේධා හිතුවෙත් නෑ. දැන් අන්තිමේ උලමා වගේ ගේ අස්සෙ රිංගගෙන දරුව මතක් කර කර අඬ අඬ ඉන්නව. දරුව ගැන හිතන්න මතක් උනේ දැන්ද? 

කසාද ජීවිත වල ප්‍රශ්න එනවා මචං. දික්කසාද වෙන්න ඕන ලෙවල් එකේ ප්‍රශ්නත් එනව. හැබැයි උඹලගෙ තිබ්බ ප්‍රශ්නෙ දික්කසාද වෙන්න ප්‍රශ්නයක් නෙවෙයි කියන එක ඕන ගොං බූරුවෙක්ට තේරෙනව. ඒකයි කිව්වෙ කවුන්සලින් වලට පලයන් කියල. ඇහුවද ඇහුවද? කවුන්සලින් වලින් විසඳගන්න පුලුවන් වෙච්ච ප්‍රශ්නෙ අන්තිමේ දික්කසාදෙන් නතර උනේ. දැන් පුලුවන් නම් ආයෙ මට ඇහෙන්න කියපංකො කවුන්සලින් යන්න උඹට මානසික ලෙඩක් නෑ කියලයි මේධාගෙ අම්මල තාත්තල තමයි ඔක්කොම කෑවෙ කියල. කවුන්සලින් යන්නෙ පිස්සොද? උඹලගෙ ඔලුවල තාම තියෙනවනෙ අර ගම්වලින් අරගෙන ආව මෙලෝ වැඩකට නැති බහුබූත අදහස්. මෙච්චර කොළඹ කැම්පස් එකක ඉගෙන ගෙන කොළඹ කෙල්ලෙක් එක්ක යාලුවෙලා, මෙහෙම රස්සාව කරාට පස්සෙත් කවුන්සලින් යන්නෙ පිස්සො කියල හිතන්න තරම් උඹ මෝඩයෙක් වෙච්ච එකයි මට තියෙන ප්‍රශ්නෙ. අනික මේධාගෙ අම්මල මොන මගුල කිව්වත් උඹ කොන්ද පණ තියෙන මිනිහෙක් විදියට හැසිරුනා නම් තාම මේධයි දරුවයි උඹ ළඟ.ඕන මිනිහෙක්ට ඊගො එකක් තියෙනව මචං. ඒ උනාට ඔය ඕනවට වඩා ඊගො එක තියෙන එකෙන් ලංවෙන්නෙ විනාසෙ විතරයි කියන එක මං කොච්චර කිව්වත් උඹ පිළිගත්තෙ නෑනෙ. ඉස්සර ඉඳලම උඹ හිතුවෙ රණ්ඩුවක් උනොත් දෙන්න අතරෙ ඉස්සෙල්ලා සොරි කියන්න ඕන ගෑණි කියල. මට මතකනෙ ඉස්සර කැම්පස් එකේදිත් මේධා එක්ක රණ්ඩු උනාම උඹ ෆෝන් ඕෆ් කරන් නටපු නැටිලි. එකාතකින් හොඳ වැඩේ මේධාම උඹට ඔය පාඩම කියල දුන්න එක” කියා සමීර බනිද්දී චිරත් උන්නේ දැන් දැන් ඒ සියලුම කතන්දර ඇත්ත නොවේද කියන එක ගැන හිතමිනි. දික්කසාදය දෙන්නට ඉක්මන් නොවී මේධා කතා කර වෙලේ මැරේජ් කවුන්සලින් ගියා නම් තමන්, මේධා සහ පෙත්මලී මෙහෙම දෙතැනක සිරවී දුක්විඳින්නෙ නෑ නේද කියන කතාව මතක් උනත් දැන් ආපහු හැරී යාමක් නෑ නොවේද කියා මතක් වෙද්දි චිරත්ට කරන්න පුලුවන් උන එකම දේ තද හුස්මක් හෙලීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here