හසරැලි වැස්සේ -38

ආදරය අත්හැරී යාම මහත් වේදනාවක් බව මට වැටහී සති කිහිපයකි.නමුත් වසර විසිගණනක් තිස්සේ ඒ වේදනාව විඳින පුද්ගලයෙකු මා ඉදිරිපිට සිටගෙන සිටියි.මට ඝරසරප චිත්‍රපටිය සිහි විණ.සඳරැස් සහ විද්‍යා පරිපූර්ණ සමු ගැන්මක් ලැබෙන තුරුම විඳවූ අන්දම මසිතින් කිසිදා මැකී නොයන තරම් ය.නමුත් මගේ අම්මා සුගත් අංකල්ගෙන් පරිපූර්ණ ලෙස සමුගෙන නැති බව මට වැටහෙන්නේ දැන් ය.

“අම්මා ඉස්කෝලෙ යන කාලේ පුතා වගේ අහිංසක ළමයෙක් නෙවෙයි.මහ දඟ නසරානි කෙල්ලක්.පුතා සරෝ අක්කගෙ දරුවෙක් වගේනෙ.”

අතීතය සිහිපත් වූ සුගත් අංකල් දෑස් දිලිසෙන්නට ඉඩ හරිමින් කියවාගෙන ගියේ ය.

“අම්මාට කැමති වුණේ ඇයි තාත්තේ? අම්මා ඉලත්තට්ටුවකුත් අරගෙන ලැජ්ජා වෙවී ඇවිල්ලා තාත්තාව වශී කරගත්තද?”

විවාහ සංවත්සරය සමරන්නට අම්මාට ඇමතුමක් දෙන තාත්තාගෙන් අයියාත් මාත් අසන කෝලම්කාර ප්‍රශ්නයක් මට සිහිපත් විණ.

“අම්මා සූකිරියා වගේනෙ.ලස්සනයි.අහිංසකයි.ඒ මදැයි.මට එහෙම අහිංසක කෙලිත්තක් හම්බුණේ අම්මට කැමති වුණායින්නෙ..”

තාත්තා එසේ කියද්දී මම මෙතෙක් කල් අයියාට ඇද කරමින් හිනැහුණෙමි.
තාත්තා කියන පන්නයේ අහිංසක අම්මා කෙනෙකු දැන් නැත්තේ ඇයිදැයි කිහිපවරක් සිතන්නට ද මට සිදු විණ.නමුත් අම්මා දඟකාර කෙල්ලක බව මට පිළිගන්නට නොහැකි ය.

“අනෝමා අනිත් එක මාරම පිළිවෙළයිනෙ පුතා.අස්පස් කරන් නෑ කියලා බැනුම් අහනව ඇති නේද දූලත්..”

සුගත් අංකල් මේ පවසන්නේ මොනවදැයි මම සිතීමි.අම්මා ඉඳුල් පිඟන් ද වළන් ද නොදැක්කා සේ සිටින්නට හපනියකි.පුටු මත ඇති රෙදි කඳු නමා දමන්නට සිහිනයකිනිදු නොසිතන්නියකි.ඇය කොස්සක් ඉදලක් නාල්ලන තරම් ය.

“දවස් දෙකක් මෙහෙ නොඉන්නව කියන්නේ මෙතන කැලෑව වෙනවනෙ.පුංචි උන්ට ඉගෙන ගන්න වැඩ එක්ක වළං පිඟන් හෝදන්නත් වෙනව..”

මම්මා එසේ කියමින් අම්මාට දොස් නගන්නේ මට මතක ඇති කාලයේ පටන් ය.

“මොකක්ද පොඩ්ඩි ඔය සාරිය ඇඳන් ඉන්න කැත.කොණ්ඩේ පීරගෙන පාරට බැහැපං..”

අම්මාගේ අපිළිවෙල ජීවිතය මම්මා මොනතරම් දෝස්මුර තැබුවද නොනැවතුණු බව පමණක් මම දනිමි.සුගත් අංකල් පවසන කතාව මට දැනෙන්නේ ප්‍රබන්ධයක් මෙනි.ඔහු කියන අනෝමා කෙනෙකු මා නම් හඳුනන්නේ නැත.

“දූ.. හසරැලි පුතා..”

ඔහුගේ කතාව නාසා මම වෙනත් කල්පනාවක බව දැනුණු සුගත් අංකල් මට ඇමතී ය.අම්මාගේ වර්තමාන තත්ත්වය ගැන කියන්නට හදිසි විය යුතු නැති බව මට එක්වරම සිතිණ.

“ඇයි පුතා..”

සුගත් අංකල් අසන්නේ විමසිල්ලෙනි.

“මට ගොළු හදවත මතක් වුණා.අංකලුත් ඒ සුගත් වගේ බිව්වද?”

සුගත් අංකල් හිනැහිණ.අනතුරුව ඔහුගේ මුවින් වචන ගලා ආවේ දිය ඇල්ලකට සරිව ය.පැහැදිලිව ය.පැටලීමකින් තොරව ය.

“මම ඒ තරම් විනාස වෙන්න හිතුවේ නැහැ දුව.මම විනාස නොවුණට අනෝමා තමන් ඇතුළෙම විනාස වුණු එකයි මට තියන දුක.”

ආදරය සෑම මොහොතකම විනාශ කරන්නේ ගැහැනුන් දැයි මට සිතිණ.අම්මා ඔහු කියන අන්දමේ පිළිවෙල සහ දඟකාර තරුණියක වී සතුටින් ජීවත් වූ අතීතයක් තිබී ඇත.නමුත් දැන් ඇය අතිශය නපුරු ගැහැනියකි.ඈ නිවසේ කටයුතු අතහැර දැමූ ගැහැනියකි.ඒවා එසේ වන්නටද හේතු තිබෙන්නට ඇත.

අද දවස අවසන් වන්නට පෙර මේ කතාව අසාගෙන ඒ ප්‍රහේලිකාව විසඳා ගන්නට මට ඕනෑ විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles