සෙනසුරාදා උදා වූයේ වැස්සක් එක්ක ය. සැබවින් ඒ වැස්ස ආරම්භ වූයේ පෙර දා රාත්‍රියේ ය. ඒ ගැන දෙව්රම් සතුටු වූයේ ය. කාලෙකට පස්සේ සෙනසුරාදාවක් මුළුමනින් නිවාඩුවක් ලෙස උදා වේ. පසුගිය වසර ගණනාව පුරා ම ඔහු රංගන ක්ශේත්‍රයෙහි කාර්ය බහුල වී සිටියේ ය. නමුත් ඉන් මඳ විවේකයක් ලබා ගත යුතු බව සිතූයේ ඔහු හා සපූ අතරේ අර්බුධ ඇති වෙන්නට ගත්දී ය. එතැන්හි දී ඔහු අලුතෙන් ටෙලි නාට්‍ය භාර ගැනීම හැකි තරම් සීමා කළේ ය. සැලකිය යුතු මට්ටමේ චරිතයක් වේ නම් පමණක් එය ලබාගන්නා තැනට කටයුතු කළේ ය. එසේ කිරීම මගින් සපූව ද හෙමිහිට රංගනයෙන් නිදහස් කරගැනීම ඔහු ගේ අරමුණ විය. වඩා වැදගත් වන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ය යන්න ඔහු විශ්වාස කළ අතර, උපයා සපයාගත් ප්‍රමාණවත් මුදලක් ද ඔහු සතු විය. එයින් කොටසක් ආයෝජනය කොට ව්‍යාපාරයක් ඇරඹීමට දෙව්රම් අදහස් කරගෙන සිටියේ ය. නමුත් ඊට අත ගසන්නට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ නැත ද ඔහු ගේ රැකියාව වඩාත් සුවපහසු ජීවිතයක් ගත කරන්නට තරම් වැටුපක් ලබා දෙන්නකි. මුදල් හෝ ජනප්‍රියත්වය යනු ජීවිතය ම නොවන බව, සපූ ගේ වෙනස් වීමත් සමග පිළිගන්නට ඔහු ට සිදු විය.
භාර ගත් ටෙලි නාට්‍ය වල ද වැඩ අවසාන වෙමින් යයි. ඔහු අලුතෙන් ගෙන ඇත්තේ චිත්‍රපටයක් පමණකි. ටික කාලයකට හෝ රංගන ජීවිතයෙන් මුළුමනින් ඈත් වී සිටින්නට දැන් ඔහු ට ඕනෑ වී තිබේ. සපූ ගැවසෙන තැනකින් ඈත් වී සිටීමට ඇති කැමැත්තකි එය. නමුත් රංගනයෙන් ඉවත් වෙනවායි තවමත් ඔහු තීරණයක් ගෙන නැත.
ඇතුළට හිරිකඩක්වත් වදින්නේ නැති ගෙයක් තුළ සිටින්නෙකුට වර්ශාවෙහි ආශ්වාදයක් ලැබිය හැක. රූගත කිරීම් පවතින දිනෙක නම් වැස්ස ශාපයක් සේ දැනී ඇති අවස්ථා තිබේ. නමුත් විවේකයක් හා වැස්සක් යනු එකට අතින් අල්වාගෙන යන්නට කැමති හැඟුමන් යුග්මයකි.
ජිනාදරී නිශ්ශංකව කඩේ යවා පාන්පිටි ගෙන්වා ගත්තා ය. ඒ, මේ වැහි උදයේ රොටියක් කන්නට තිබුණා නම් හොඳ යයි ඔහු පැවසූ බැවිනි. මඳක් දවල් වන තුරු යහනට වී අලස සුවය විඳි දෙව්රම් පහළ මහළට පැමිණෙන විට රොටී සුවඳත් වැහි සුවඳත් එකට මුහු වී තිබිණ. ළූනු හා අමු මිරිස් කපා මුසු කොට තුනී ස්ථරයක් ලෙස සකසා තිබූ ඒ රොටී, රස නහර පිනවා ගිය බව දෙව්රම් ට දැනිණ.
“ඒ රොටී මාර රසයිනෙ”
ඔහු කීවේ මූණිච්චාවට නොවේ.
“ළූනු මිරිස් දැම්මහම පොල් රොටි වල ටේස්ට් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව පුතා. ඒකයි ඒ”
නිශ්ශංක කීවේ ය. මේසය මැද්දේ උණු පොල් රොටී බන්දේසියක් හා කට්ටසම්බල තසිමකි. ආදියා නිසංසලේ කෝපි පිළියෙළ කළා ය. දෙව්රම් ගේ ගෙදරට පැමිණි ගමන් ඇය පෙලූ ගැස්ම දැන් තුනී වී ගොසිනි. ඉක්මනින් ඒ තත්වයට පැමිණීමට හැකි වූයේ නිහඬව ම මුත් දෙව්රම් ගෙන් ලැබුණ සහාය නිසාවෙනි. ඔහු සමගින් ලොකු පිළිසඳරකට නො ගියාට ආදියා දැන් ඔහු ගැවසෙන තැන වුව අපහසුවක් නැතිව හැසිරෙයි. ගෙදර දී නිරන්තර පැවතුණ ආරවුලක් ගැන භීතිකාව යටපත් වී තිබේ. හිත නිදහස් බැවින් ඇගේ වත වඩාත් සව්මිය වී තිබේ.
“ඇත්තට කොහොමද දවසට දෙකට එහෙම ලස්සන වුණේ”
කියා මල්ෂා පවා විමසුවා ය. නමුත් ලස්සන වෙන්නට කියා අමුතුවෙන් කිසිත් ඈ කළේ නැත.
“හෙට ඉරිදනෙ. අපි හෙට ගෙදර යන්න කියල හිතුව පුතා”
ආදියා මේසය මතින් කෝපි කෝප්ප තබත්දී නිශ්ශංක කීවේ ය.
“හෙ… ට… එච්චර ඉක්මනට යන්නෙ ඇයි අංකල්… අර කට්ටිය මේ දවස් ටිකේ ඉතිං ගෙදර තියන දේවල් වලින් කාල බීල ඉන්න ඇතිනෙ. පාඩමක් ඉගෙනගන්න තරං කාලයක් ගියෙ නෑනෙ”
“ඒ වුණාට දිගටම මෙහෙම පුතාට කරදරයක් වෙන්නත් බෑනෙ”
“මං මෙයාට කිව්වෙ පුතා… අපි ගෙදර යනකොට අර වසවර්තිය ගෙයි උළුවහු ටිකත් ගලවල විකුණගෙන තියෙයිද දන්නෑ කියල”
“ආන්ටි ඒකට විසඳුම ඕගොල්ලො දැන්ම එහෙ යන එකනං නෙවෙයි. අද මාත් ගෙදරමනෙ. හවස් වෙලා අපි ඒ පැත්තට ගිහිං එමු අංකල්. එතකොට ගෙදර එක්ක ඕගොල්ලොංගෙ සම්බන්දෙ නැති වෙලා නෑ කියල ඒගොල්ලො දන්නවනෙ”
සැබවින් දෙව්රම් කලබල වී සිටියේ ය. සුළි කුණාටුවකින් සියල්ල ගසා ගියා වන් හිස් කමක් ක්ෂණිකව ඔහු ගේ ආත්මය තුළට කඩා වැදිණි. සපූ මේ ගෙදර අතැර යන්නට තරම් මුරණ්ඩු වූ දින වල ඔහු සිතා ගත්තේ තනිකම කියන්නේ ආශිර්වාදයක් කියා ය. යන අය සියල්ලන්ට යන්නට හැරිය යුතු බවයි. තමන් ගැන පමණක් විශ්වාස කළ යුතු බවයි. තමන් සමගින් ප්‍රේමයෙන් බැඳිය යුතු බවයි. තනිකම තරම් සුරක්ෂිත හැඟීමක් වෙන නොමැති බවයි. නමුත් නිශ්ශංකලා මේ ගෙදර සිටි දින හතර පහක කාලය ඒ සියල් සිතිවිලි අහෝසි කොට දමනා ලදී. ජීවිතයේ සතුට වෙන අය තුළින් සෙවිය යුතු නැති වී ද තමන් සතුටෙන් තබනා පුද්ගලයන් කිහිප දෙනෙකු සමග ජීවත් වීම ආත්මීය සැනසුමක් දනවයි. හදවත තෘප්තිමත් කරයි.
“එහෙනං පුතා එක්ක ගිහිං හවසට ගෙදරට ගොඩවෙලා එමු”
නිශ්ශංක ගේ නිහඬතාවයෙන් පෙනුනේ ජිනාදරී ගේ යෝජනාවට එකඟ වූ බවයි. දෙව්රම් ගේ මුහුණේ හසරැල්ලක් ඉහිර යනු ආදියා දුටුවා ය.
බිම සිට දකිත්දී පෙනෙනා කෝණයට වෙනස් ව ඉහළ සිට බලත්දී දේවල් පෙනේ. වැස්ස ද එසේ ය. දෙව්රම් ගේ මතු මහලේ වීදුරු ගෙයක් බඳු ටෙරසයේ සිට බලා සිටියදී ආදියා දුටු වැස්ස මනහර ය. තුරු පත් මතට වැහි දිය වැටෙත්දී ඒවා සසල වෙන හැටි මනරම් ය. වැස්සට පෙඟී හමා එන සුළඟ සිහිලැල් ය. වැස්ස වෙනදාට වැඩිය චමත්කාරව විඳින්නට ඇයට හැකි විය.
“කම්මැළිද…”
කියා ඇසුණ හඬ, මන්දාරම් අහසේ නොව ආදියා ගේ හදවත මැද අකුණක් පුපුරුවා හරින ලදී. ඇය මඳහසක් නගා ගත්තා ය. ඒ බැල්ම ඉක්මන් ය. නමුත් එහි අපහසුවක් තිබුණේ නැති වීම දෙව්රම් ට ද පහසුවක් විය.
“නෑ මිස්ට දෙව්රම්. වැස්ස දිහා බලං හිටිය ටිකක්”
හදවතට දැනුණා වූ ගැස්ම අතරින්, ආදියාට ඕන වුණේ ඔහු අස සාමාන්‍ය තත්වයෙන් හැසිරෙන්නටයි. දැන් ඒ හොරා පොලිස් සෙල්ලම් ඉවර ය. රහසිගත දුරකත ඇමතුම් අතීතයට එක් වී තිබේ. ඒ සියල්ල අහෝසි වූ කල ඔහු සිය රැකියා ස්ථානයේ ප්‍රධානියෙකි. ඒ හැරෙන්නට වන සියලු සබඳකම ඔහු හා තාත්තා අතරේ ය. තාත්තා ට කඩවසම් තරුණ මිතුරෙකු සිටී. ආදියා ගේ මුවට නිරායාස සිනහවක් ආවේ ය. නැවත වතාවක් ඒ දඟකාර සිනහව දැකිය හැකි වීම දෙව්රම් ට සතුටක් විය.
“තාත්තලට ගෙදර යන්න හදිස්සි වෙලා තියෙන්නෙ… ඔයා වෙන්නැති නේද හදිස්සි කරනව ඇත්තෙ…”
“අනේ නෑ. ඔන්න මාවනං අල්ගන්නෙපා ඒවට”
ආදියා වහා කීවා ය.
“සෑහෙන කාලෙකින් මං රෑ එළිවෙනකල් හොඳට නිදාගත්තෙ මෙහෙ ආවට පස්සෙ. නැත්තං නින්දක් නෑ අර මාර පුත්‍රය නිසා. තාත්ත ඔය මනුස්සය එක්ක පැටලෙන්න ගිහින් තාත්තට කරදරයක් වෙයි කියල අම්ම බයේ හිටියෙ. ඒක කිසිම දෙමව්පියෙක් විඳින්න ඕන නැති ගින්දරක් මිස්ට දෙව්රම්. ඒ වුණත් මං දන්නව… කොච්චර හිතේ සැනසිල්ලෙ මෙහෙ හිටියත් දැන් අම්මයි තාත්තයි හිතන්නෙ අක්ක ගැනම තමයි”
“දෙමව්පියො එහෙම තමයි ආදියා”
දෙව්රම් ලොකු හුස්මක් ගත්තේ ය.
“අපි කොච්චර ලොකු වුණත්… අපි කොච්චර වයසට ගියත් එයාලට එයාලගෙ දරුවො පොඩියි. ළමයි මොන වැරදි කළත්… සාගරේ වගේ උතුරන්න සමාව එයාල ළඟ තියනව. අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කියන්නෙ දරුවෙක් එක්කම අලුතෙන් ඉපදෙන මහ අමුතු අලුත් ජීවියෙක්… සොබා දහම දෙමව්පියන්ව මවල තියෙන්නෙ එහෙම”
දෙව්රම් ගේ මුව දෙස බලා සිටියා මිස ආදියා ට කියන්නට යමක් සිහි වූයේ නැත. ඕනෑ ම මොහොතක ඕනෑ ම මාතෘකාවක් ගැන කතා කරන්නට ඔහු ට පිළිවන. එදා ඔහු තේ ගැන කතා කළ හැටි ඇයට සිහි විය. නළුවෙකු වූවාට දෙව්රම් ගේ සැබෑ ජීවිතය රඟපෑමෙන් දුරස් බව ආදියාට දැන් මැනවින් දැනේ. මුල දී ඇය වසඟ වී සිටියේ ඔහු ගේ සිනහව සමගින් ඇස් ආකර්ෂණය කළ පෙනුමටයි. එය දෙව්රම් සන්දනායක නම් වන කඩවසම් නළුවාට හා නිරූපණ ශිල්පියාට අයත් වූවකි. නමුත් දැන් දැන් ඇය ඔහු ගේ මෘදු පිරිමිකම් වලට වසඟ වෙමින් හිඳී. කරුණාභරිත මිනිස්කම් වලට පැහැදෙමින් හිඳී. බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඒ සමාජශීලී තරුණයාට ගෞරව කරමින් හිඳී.
“එක්කො අංකල්ට තියෙන්නෙ ඔයාගෙ අක්ක ඉල්ලන විදිහට ගෙයින් එයාගෙ කොටස ලියල දෙන්න”
“ශෝක් එකට තියෙයි”
ආදියා ට සිනහ ගියේ ය.
“කොච්චර දේවල් දන්නව වුණත් මිස්ට දෙව්රම්ට මෙතනනං හරියට තේරුං ගන්න බෑ. බාගයක් ලියල දුන්නොත් මොකද්ද දන්නවද වෙන්නෙ…”
“මොකද්ද…”
“අර දිනේශ් අක්කට පාට් එක දාල ඒ බාගෙ විකුණගන්න එක. ඊලඟට අක්ක අනිත් බාගෙන් එයාගෙ කොටස ඉල්ලල අරගල කරයි. තාත්තලට වෙනව ඒකත් කරන්න”
“ඒක මරු”
දෙව්රම් තරමක් හඬ නැගෙන සේ සිනහ වූයේ ය. ඒ සමග ම ඔහු ට කොහේ හෝ කියවූ කතාවක් සිහි විය.
“එක අම්ම කෙනෙක් ආදියා… එයාට ලැබුණ ඇපල් ගෙඩියක් දෙකට කපල පුතාට බාගයක් දුන්නලු. දැන් ඒ ළමය ඇපල් බාගෙ කනවලු. අම්මගෙ කෑල්ල මේසෙ උඩලු. පුතා කාල ඉවර වුණාම අම්ම එයාගෙ කෑල්ල දෙකට බෙදල ඒකෙනුත් බාගයක් දුන්නලු. ඔය විදිහට දිගට ම සිද්ද වුණේ අම්මගෙ එකෙන් බාගයක් පුතාට දෙන එකලු. අම්මල තාත්තල දරුවො ගැන හිතන්නෙ කොහොමද කියල තේරුං ගන්න ඊට වැඩිය හොඳ කතාවක් නැති තරං”
“ඒත් මහන්සි වෙලා තාත්ත හදපු ගෙදර. ඒ දෙන්නට නිවී සැනසිල්ලෙ එතන වැටිල ඉන්න තියෙන්නෝනෙ මිස්ට දෙව්රම්. මට අපේ අක්ක එක්ක කේන්ති යන්නෙ ඒකයි”
“හැමදේම හොඳම විදිහට වෙයි කියල අපි හිතමු ආදියා. අංකල් හිතන විදිහට මේ දෙයිංවත් එයාල පාඩමක් ඉගෙනගනීද කියල බලමුකො”
ඒ කතාබහ නිසා එතෙක් දෙව්රම් කෙරේ පැවති දෙගිඩියාව මුළුමනින් පහව ගියා සේ ආදියා ට දැනිණ. ඔහු ඇයට පවුලේ කෙනෙකු තරම් ළඟින් දැනෙන්නට ගති.
හැන්දෑවේ ඔවුන් ගෙදර යන විටත් මඳ වැස්සක් වහිමින් තිබිණ.
“පොඩි කෙල්ලට මොනා හරි අරං එන්නං”
කියමින් නිශ්ශංක රිය නතර කරවා ගත්තේ ය. ඔවුන් දුටු සිත්මි ගේ මුහුණ සතුටින් පිරිණි.
“චූටි දුව ඉන්නෙත් මේ ලත්තන අංකල්ලගෙ ගෙදලද…”
ඔහු දෙසට බැලුම් හෙලූ දැරිය ආදියා ගේ අතක එල්ලුණා ය. ඇය දැරිය වඩා සිපගත්තා ය.
“චූටි දුව නැතුව මට හලි පාළුයි. ඉන්නකො මෙහෙ”
දැරිය එසේ වූවාට ඔවුන් දුටු කල දිනේශ් ගේ මූණ ඇද වී ගියේ ය. ඒ වෙත්දීත් ඔහු සිටියේ ගෙදරට ගෙන ආ මධු විත බෝතලයනින් විටින් විට විතින් විත දවල් සිට ම මත් වීගෙන ය.
“ඇයි ඇයි චණ්ඩි අරං ඇවිත්ද මාව බය කරන්න…”
කියා ඔහු තොල් පිස දා ගැනීමින් ද රත් වූ දෑසින් ද විචාලේ දෙව්රම් දෙස බලමිනි. ආදියා ගේ පපුව ඇතුළේ ගින්දර යළිත් ගිනිදැල් නගමින් මතුව ආවේ ය.