සුහදිනී -52

ඇසිපිය සලන මානයේ රැඳෙන ප්‍රේමය ද අත පොවන දුර රැඳෙන ප්‍රේමය ද හිමිකාරියන් මොනතරමට වාසනාවන්තදැයි සකීට හැඟෙන කාලයක් නැවත එළඹෙමින් තිබිණ.අහස් සංචාරය වෙනුවෙන් පිටව ගියේ ය.ඔහු පිටව යන මොහොතට ඇය රැගෙන යන්නට සියුම් ඉදිරිපත් විය.

“එපා අයියෙ,ෆොටෝ එකක් අරගෙන කොහෙ හරි දැම්මම අහස්ගෙ මේ ටුවර් එකත් ඉවරයි.”

සකී මොනතරමට පරිණතව සිටියාදැයි කිවහොත් ඈ අහස් මව්බිමෙන් පිටව යන්නට මොහොතකට පෙර ගත් වීඩියෝ ඇමතුම පවා සාමාන්‍ය ඇමතුමකට පෙරළා ගත්තා ය.ඔහුගේ මානසිකත්වය ස්ථාවර වීම ඇගේ මොහොතක සතුටට වඩා බොහෝ වටිනා බව දැන් ඇය සිතන්නී ය.

“ඔයා ඔහොම හිතන්න පුරුදු වුණු එක නම් ලොකු දෙයක් නංගි.”

අහස් වෙනුවෙන් ඉවසිය යුතු තැන් දරා ගන්නට සකී හුරු වෙමින් හිඳීම ගැන සියුම් සන්තෝෂය පළ කළේ ය.සකී මඳ සිනාවක් නඟා ගත්තා ය.

“මොන දේවල් කොහොම වුණත් අහස් දවසක මැරි කරන්නෙනම් ඔයාව.මං ඒක දන්නව.ඒත් ඉවසීමෙන් ඉන්න එක නරක නෑ.”

සියුම් එසේ පැවසුවේ අවට සමාජයේ ඇති නිහීන බව ඔහු හොඳින් දන්නා නිසා ය.

“මේ රට කොච්චර කාලකන්නි එකක්ද කියනවනං නංගි,අඩුමතරමේ එතික්ස් තියන මාධ්‍යවේදියොවත් නෑ දැන්.”

ක්‍රීඩකයන්ගේ පෞද්ගලික සමාජ ජාලාවලට රිංගා ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට මතු ප්‍රයෝජනය වෙනුවෙන් ගබඩා කර තබා ගන්නා ක්‍රීඩා මාධ්‍යවේදින් ගැන සියුම් හෙළි කළේ පිළිකුලෙනි.

“හිතන්නකො,ඔය සෙට් එකෙන් එකෙක් රේප් කේස් එකකටවත් අහු වෙනව කියලා.අර යක්කු ඉතුරු උනුත් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක ඉන්න ෆොටෝ එහෙම පබ්ලිෂ් කරනව.සමහර වෙලාවට ලොවෙත් නැති නම් තියන ෆේස්බුක් පේජ් වලින් ඕව එළියට එනව.නැත්නම් උන් නිව්ස් වලටම දානව.”

පෞද්ගලික ජීවිතයට බලහත්කාරයෙන් පිවිසෙන මිනිසුන් ගැන සකීට දැනුණේ පිළිකුලකි.ඇය සියුම්ව අසා සිටියේ ඒ පිළිකුල සිතේ තබාගෙන ය.

“මිනිස්සු වැරැද්දක් කරාම දඬුවමක් ලබන්න අනිවාර්යයෙන් සුදුසුයි.දඬුවම් නැතුව තේරුමකුත් නෑ.ඒත් සිද්ධියක් අහළ පහළවත් නැති උනුත් වැරදි වෙන රටක් මේ.ඒ හින්දා පුලුවන් තරම් පාඩුවෙ ඉන්න එකයි ජීවත් වෙන්න පහසුම ක්‍රමේ.”

සියුම් කියන්නේ මිතුරා ගැන උපන් ශෝකයෙනි.කවදා හෝ ලෝක වාර්තා තබන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සිහිනයක සිටි කුඩා මිතුරෙකු බලහත්කාරයෙන් පන්ති කාමරයේ රඳවා ගන්නට උත්සාහ කළ කුඩා කොලුවෙකු සියුම් ට සිහි විය.එදා ඒ උත්සාහය සාර්ථක වූවානම් අහස්ට නිදහස් ජීවිතයක් හිමිවන්නට ඉඩ තිබිණ.

“ඒ වුණාට එයා එහෙම වුණානං සතුටින් ඉඳීද?”

ඒ කතාව අසා සිටි සකී ඇසුවා ය.ඇයට ඒ ගැන විශ්වාසයක් නොවේ.

“එයාට එහෙම වුණානං මැච් එකක් බලන ගාණට දුක හිතෙයි. සමහරවිට එයා වැඩියෙන්ම වෛර කරන දේ ක්‍රිකට් වෙයි.හීන අතෑරුණාම මිනිස්සු ඒ හීනෙට වැඩියෙන්ම වෛර කරන වෙලාවලුත් නැතුවම නෙවේ අයියෙ.”

සකී සිතන්නේ එහෙම ය.පූර්ණකාලීන සිත්තරියක වන්නට ආශාවෙන් හිඳ අම්මා සහ තාත්තා හන්දා ඒ සිහිනය අත් හැර දැමූ දැරියක ඈ තුළ ජීවත් වේ.අහස් වෙනුවෙන් සිතුවම් අඳින්නට පෙර ඇය චිත්‍ර ඇඳීම සදහටම අත් හරින්නට සිතූ අවස්ථා ඕනෑ තරම් ය. අහස් සිතේ පැළ කරන සිහින හන්දා දැන් ඇය හිඳින්නේ චිත්‍ර ප්‍රදර්ශනයක් පවා පවත්වන තරමේ ආශාවකිනි.කාර්යාලයක සිර වී හිඳින,අකමැත්තෙන් එහි කටයුතු කරන කෙනෙකු නොවී නිදහසේ තම සිහින හඹා යන්නියක වීමට දැන් සකීට ද සිහින වේ.ඒවා අහස් ඇයට ලබා දුන් බලාපොරොත්තු ය.

“අහස් නැත්නම් මේ පාරනම් ඉවරයි.අර සූරියකුමාරයා මෙල්ල වෙන් නෑ වෙන එකෙකුටවත්.අහස්ට සූර  පප්පගෙ මැජික් අරිෂ්ටෙ හම්බෙලාද කොහෙද?”

සෑම මොහොතකම විවේචනය පුරුදු වී සිටි රන්මිණි එසේ කියන අන්දම සකී සූරියකාන්ත මල් නාඳිමින් අසා සිටියා ය.

“ඔයාට බැරිනම් කාටද පුලුවන්.ඔයා ඔයාව ආරක්ෂා කරගන්නව.ඔයා වෙනුවෙනුත් රට වෙනුවෙනුත් ඔයා හොඳම දේ කරනවා.”

අහස් සෑම තරගයකට ම පෙර ඒ පණිවිඩය කියවූයේ ය.ඔහුගේ මැජික් අරිෂ්ටය එය බව දැන සිටි නිම්නා රන්මිණි දෙස බැලුවේ කුඩා කර ගත් දෑසකිනි.

“මං අහස්ගෙ කවුරුහරි වුණානං මිරිස් පුච්චනවා.”

ඇය අහස්ගේ කවුරුත් බව දන්නා සකී සිනාව තද කරගන්නට වෑයම් කළා ය.රන්මිණිගේ කුහකකම් වලට සෘජුව පහර ගසන නිම්නාව රන්මිණි දරා ගන්නා ආකාරයම සකීට සිනාවකි.

“ඔයා අහස්ගෙ කවුරුත් වෙන් නෑ.”

එසේ කියන රන්මිණිට හෘදයාබාධයක් ඇති කළ හැකි මට්ටමේ ඡායාරූප දුරකථන මතක ගබඩාවේ රහස් තැනක සඟවන නිම්නා කතාව ඉදිරියට ගෙනියන්නට සිතුවා ය.

“මං ඒ මනුස්සයගෙ හොඳ ෆෑන් කෙනෙක්.හැබැයි උඹලා නම් ෆෑන්ස්ලා නෙවේ.දිනනකොට පුදුම ලව් එකක්.පරදිනකොට හොර ගෑනු ගැනත් හොයනවා.”

අහස් දවසින් දවස සාර්ථක වෙමින් හිඳියි.එය පරිපූර්ණ සාර්ථකත්වයකි.ඒ හන්දා ම මඩ බලකායන් ට සිදු වූ දෙයක් නොවේ.සියුම්ගේ භාෂාවෙන් එය ගැරඬියාට භූමිතෙල් වැදීමක් බඳු ය.

“දිනනකොටත් හරි ආදරයක් දෙන් නෑනෙ.ටැලන්ට් එකට ගරු කිරිල්ලක් නෑ.ඒක මැජික් අරිස්ටෙට බාර දෙනවා.”

සකී ඇගේ නිහඬ වත බින්දා ය.පහසුවෙන් සිනාසෙන්නට හැකි විහිළු කරන්නට තරම් ඇය සාමාන්‍ය වෙමින් හිඳීම නිම්නාට සැනසීමකි.සකී නැවතත් සැහැල්ලුවෙන් හිඳින්නේ අහස්ගේ ආදරය විශ්වාස කරන හන්දා ද ඔහු සාර්ථක වෙමින් හිඳින හන්දා ද යන්න ගැන නිම්නා වැඩිදුර නොසිතුවා ය.

නමුත් සකී සැනසීමෙනි.එය ප්‍රමාණවත් ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles