සීත මාරුතේ – 35

ප්‍රේමයේ ඊර්ෂ්‍යාව කියනා දේ මා පළමු වරට අත් විඳින්නට වූයේ ඒ සිදුවීම ඔස්සේ ය. මුණිවර ගේ රියෙහි මා තනි ව නුවර ගොස් ඇති අවස්ථා කිහිපය ද උමා ඔය අසලට හා ලොකු තාත්තා බලන්නට පුහුල් පොල මහ ගෙදරට ද ගිය ගමන්, සිනමා පටයක රූප රාමු සේ මා මනසෙහි පෙනී සිටින්නට වූයේ ය. ඒ සියලු අවස්ථා වල ඔහු හැසිරුණේ හැබෑ මහත්මයෙකු ලෙස බව මම දනිමි. මගේ ඇඟිලි තුඩක් හෝ ස්පර්ශ කරන්නට ඔහු පෙළඹී නැත්තේ ය. එදා මිස්ට් ෆීල්ඩ් හෑන්ඩ්ලූම් පැරඩයිස් විවෘත කළ මොහොතේ පිටාර ගැලූ සෙනෙහස් හැඟීමක් මත ඔහු මා වැළඳ ගත් බව ඇත්ත ය. නමුත් එය මගේ වෙහෙසට ස්තූති කිරීමක් සේ පසුව ඔහු හැඟවූයේ ය.

ධාරා කියන්නේ මුණිවරට විවාහ වීමට යෝජනා වූ, නමුත් ඔහු ගෙන් ප්‍රතික්ෂේප වූ ගෑනු ළමයා ය. ඒ නිසා ඇය කෙරේ ඔහු ගේ හැසිරීම ගැන මා සැකයක් ඇති කර ගැනීම අසාධාරණ ය. නමුත් ධාරා ගේ හිතේ ඔහු ගැන වන ආතුර බව ගැන මොනවට දන්නා මට සැහැල්ලුවෙන් මේ ගමන අමතක කරන්නට නුපුළුවන. ධාරා වූ කලී හැඟීම් සඟවා ගන්නට හෝ යටපත් කර ගන්නට උත්සාහ කරන ගෑනු ළමයෙකු නොවේ!

“මොකද මූණ ඇඹුල් කරං…”

මා මගේ කාර්යාල කුටියට ගොස් අසුනෙහි හිඳ මේසය මත කොපුලක් තියාගෙන කල්පනා කරමින් සිටියදී ය ඒ හඬ නැගුණේ. මම වහා නෙතු විවර කොට බැලුවෙමි. දසුන් මා අභියස අසුන ඇද හිඳගනිමින් සිටියේ ය.

“නිකං අයියෙ. ටිකක් මහන්සියි”

මම ඉක්මන් සිනහවක් නගා ගනිමින් අසුනේ හරි බරි ගැසුනෙමි. ඔහු මා විනිිවිද දකින්නට උත්සාහ කළා කියා සිතමි.

“මහන්සිද නැත්තං හිතට හරි නෑද..”

“හිතට මොනා වෙන්නද…ඔය තියෙන්නෙ තිබුණ විදිහටම…අද ටිකකි වැඩිපුර එහාට මෙහාට දිව්වනෙ…ඒකයි”

“හ්ම්”

“මං කල්පනා කර කර හිටියෙ මේ සෙනග ටිකම වෙනදටත් මිස්ට් ෆීල්ඩ් එකේ හිටියට කවුරුවත් ඉන්නවද කියලවත් පේන්න නෑනෙ. ඒත් අද…මෙහෙම කලබලේට දකිනකොට මිස්ට් ෆීල්ඩ් නෙවෙයි වගේ”

වෙනදා ට හාත්පස වන සන්සුන් බව කොහේද කියා හෝ අද සොයා ගත නො හැකි තරම ය. හැම තැනක ම පෙනෙන්නේ එහෙ මෙහෙ දුව පැන ඇවිදින මිනිසුන් ය. ගැහැනුන් ය. ඒ පා පහර වලට තැලී පොඩි වී ගිය හරිත වන් තණ පලස ය. කට හඬවල් ය. 

“කෝ විදුනි ගියාද…”

“ඔව්. එයා බබාවත් දාලනෙ ඇවිත් තිබුණෙ. ඒක නිසා ඉක්මනට ගියා”

“බඩගිනියි අප්ප දැං…කෝ මේකා නෑනෙ තාම”

දසුන් හැරී වීදුරු පව්රෙන් පිටත බැලුවේ ය. මම නිහඬ ව සිටියෙමි. ඇතැම් විට ධාරා වදයෙන් පොරයෙන් මුණිවර ව දිවා ආහාරය සඳහා පිටත තැනකට කැටුව ගියා වන්නට ද බැරි නැත. 

“ආ…කියනකොට ම ආව”

සතුටකට වඩා මට දැනුණේ නොරිස්සුමකි. තව ටිකක් ඔවුන් ප්‍රමාද වුණා නම් හොඳය වැනි හැඟීමකි එය. එසේ වී නම් මට තව තවත් දැවෙමින් ද විකාර මවා ගනිමින් ද සිටින්නට තිබිණ.

“අපි ආවා…”

ධාරා මගේ කුටියට එමින් සතුටෙන් සිනාසුණා ය. අලුත් පිච්චීමක් මගේ සර්වාංගය පුරා පැතිර ගියේ ය. නමුත් මම ඒ බව කිසි සේත් නො හඟවා සිනහවක් ඇය ට තිලිණ කළෙමි.

“මං අරයත් එක්ක එළියෙන් ලන්ච් එක ගන්න හැදුවෙ. කොහෙද…බෑ කියල මෙහෙටම ආවනෙ. දසුන් බලං ඉඳී කිව්වෙ”

එතකොට ම මුණිවර ඉක්මන් ගමනින් අප වෙත එන්නට වූයේ ය.

“කමු කමු. බඩගිනි ඇති නේ..”

ඔහු ඒ ඇසුවේ මගෙන් ද දසුන් ද කියා පැහැදිලි නැත. මා මුණිවර දෙස හිතා මතා ම නො බලා සිටියෙන් ඔහු බැලුවාද කියා හෝ මා දන්නේ නැත. කෑමට ඇරයුම් කරමින් ම ඔහු යළි නික්මුණේ අනිත් අය ඔහු පසු පස එනු ඇතැයි බලාපොරොත්තුවෙන් විය යුතු ය. 

“යං එහෙනං කාල ඉමු”

කියමින් දසුන් ද නැගී සිටියේ ය. නමුත් මම නො සෙල්වී සිටියෙමි.

“ඇයි මන්දි කන්නැද්ද නංගි…”

ධාරා පසු පස හැරී බලා, මා නො එන බව දැක ඇසුවා ය. දසුන් ද නැවතී හැරී බැලුවේ ය.

“මට බඩගිනි නෑ. පස්සෙ කනව. ඕගොල්ලො කන්න”

මම හැකි තාක් වෙනසක් නො හැඟෙන සේ කීවෙමි. නමුත් දසුන් යළිදු මා විනිවිද බැලූ බව දැනිණ. 

“ඒක මාර බඩගිනි නැති කමක්නෙ. උඹට තියෙන්නෙ රබර් බඩක්ද…”

“ඇත්තටම බඩගිනි නෑ අයියෙ. ඔයාල කන්නකො”

මට ඕනෑ වූයේ පලි දරන්නට ද? මුණිවර සමග එකට කෑම ගන්නට මට කිසිදු ඕන කමක් නැති බව හඟවා ඔහු රිදවන්න ද? ධාරා එක්ක නිදහසේ ඔහු ට ඕනෑ දෙයක් කර ගන්නට ඉඩ දී පාඩුවේ පැත්තකට වෙන්න ද? නැත්නම් ඔහු නො කළ වරදක් අල්ලා ගෙන මගේ ම හිත රිදවා ගන්න ද? මම නො දනිමි.

“මටනං මාර බඩගිනී අප්ප. එහෙනං මං කන්නද නංගි”

ධාරා ඇසුවා ය.

“කන්න කන්න. ඔයාල කන්නකො. මං තව ටිකක් වෙලා ගිහිං කනව”

නමුත් ඇත්තට ම මා සිටියේ කුස ගින්නෙන් පීඩා විඳිමිනි. නමුත් අහිංසක අප ව එසේ පීඩාවට පත් කොට සතුටු වීමේ විකෘති සිතිවිල්ලක් ඇතැම් විට අප තුළ උපදී.

ලොකු තාත්තා කෑමට නොගිය බව මම දුටුවෙමි. කොඩි දමමින් සිටි ඔහු ට දසුන් කතා කරත්දී ලොකු තාත්තා යමක් විමසනු ද දසුන් ඊට පිළිතුරු දෙනු ද පෙනුණ අතර, ලොකු තාත්තා මගේ කාර්යාල කාමරය දෙස බලමින් යමක් කීවේ ය. දසුන් ලා නො පෙනී ගියහ. මම නැවත ද හිස මේසයෙහි තබා ගතිමි. මුණිවර මා කෑමට කැඳවා ගෙන යනු වස් මෙහි එනු ඇත කියා ද මා එන තුරු ඔහු ද කෑම නොකා සිටිනු ඇත කියා ද මට සිතුණේ ය. ඒ බලාපොරොත්තුවත් එක්ක මම තවත් ටික වෙලාවක් හීන ලෝකයකට වී සිටියෙමි.

“යමු යමු දුව කාල ඉමු”

කියා ගෙන ලොකු තාත්තා ආවේ ඒ අතරවාරයේ ය. 

“බඩගිනිත් නෑ ලොකු තාත්ත”

මම ලැජ්ජාශීලී සිනහවක් පෑවෙමි. හෙතෙම මා අභියස අසුන් ගත වූයේ ය.

“බඩගිනි නැති වෙන්න අමුතු දෙයක් කාල නෙවෙයිනෙ ඉන්නෙ. හ්ම් හ්ම්. ඕවයින් වැඩක් නෑ යමු”

මේ වන විට මුණිවර ලා කෑම ගෙන නිම වී ඇතැයි අනුමාන කළෙන් මම නැගී සිටියෙමි. කොහොමටත් මට ඕන වී තිබුණේ නොකා සිටින බව නොව ඔහුත් සමග කෑම නො ගන්නා බව අඟවන්නට වන්න ඇත.

අප භෝජනාගාරයට ඇතුළු වන විට ඔවුන් කෑම ගෙන නිම වී කතා කරමින් සිටි අතර, මම ඒ මේසයට නොගොස් වෙනත් මේසයක් වෙත ගියෙමි. ඒ නිසා ලොකු තාත්තාට ද එහි එන්නට සිදු විය.

“දැං එක්කෙනෙක් බඩගිනි නෑ කිව්ව නේද…මේ ටිකට බඩගිනි වුණාද…”

ඒ දසුන් ගේ හඬ ය. 

“මේ ලොකු තාත්ත එක්ක බෑනෙ අප්ප”

මම මුණිවර දෙස නො බලන්නට ප්‍රවේසම් වෙමින්, දසුන් හා ධාරා දෙස බලමින් පිළිතුරු දුන්නෙමි. මුණිවර ගේ ඇස් මා මත දැල්වී ගෙන ඇති බව නො දැනුණා නොවේ. තවත් මොහොතක ඇවෑමෙන් ඔහු නැගිට භෝජනාගාරයෙන් නික්මිණි. එය සිය සගයන් ට දැනුම් දීමකින් කළ නික්ම යාමක් නො වන්නට ඇත. ඔවුන් නැගිට ගත්තේ ඔහු දොර ළඟටත් ගිය ඉක්බිති ය.

මගේ හදවත කවදාවත් විඳ නැති විකෘති සතුටක් විඳිමින් සිටියේ ය.

“මේ උඩැක්කිය යන්නැද්ද…”

ලොකු තාත්තා හදිසියේ ම ප්‍රශ්න කළේ මගේ හිතේ තිබුණ කැළඹීම වටහා ගෙන ද කියා නො දනිමි. මම මෝඩ පන්නයේ සිනහවක් නගා ගතිමි.

“පිරිමියෙක් තමුන්ට කැමති නෑ කියල මූණටම කිව්වට පස්සෙ මොන ගෑනියෙක්ද මෙහෙම දැවටි දැවටි පස්සෙන් එන්නෙ…ශිහ්”

“අනේ එහෙම කියන්න එපා ලොකු තාත්ත”

මගේ ගැහැනු හදවතෙහි හොඳ ළමයා ගේ පැත්ත වහා ම ධාරා වෙනුවෙන් පෙනී සිටියේ ය. මා මුණිවර සොයා ගෙන මෙහි පැමිණියේ ද එහෙම හැඟීමක් මත බව මා ඔහු ට කොහොම පැහැදිලි කොට කියන්නද?

ප්‍රේමය එක එක වෙලාවට එක එක පාට ය. එක එක හැඩැති ය. ඒ නිසා ප්‍රේමය හෝ ගැහැනු ළමයෙකු ගේ ප්‍රේමය මෙසේ විය යුතු යය අප රාමුවක් තුළ අරුත් ගන්වන්නේ කෙසේ ද? මුණිවර කවුද කියා හෝ නො දැන, බොරලන්දේ අවන් හලක දී දුටු ඔහු කෙරේ මම උන්මාදයට පත් වීමි. එහෙව් මා ධාරා ගේ ප්‍රේමය අවතක්සේරු කෙරෙනා වචනයක් කොහොම කියන්න ද?

පිරිත පැවැත්වෙන්නට නියම ව තිබුණේ පසු දා ට ය. නමුත් එදා රාත්‍රිය පුරා ද පිරිත් මණ්ඩපය සෑදීමේ කටයුතු සිදු කෙරෙන බව පැවසිණ. තරමක් රෑ බෝ වන තුරු ඉන්නයි ලොකු තාත්තා මගෙන් ද ඉල්ලා සිටියේ ය.

“මං රෑට ගිහින් දාන්නං. මෙතන කවුරු හිටියත් වැඩක් නෑ දුව නැතුව”

අපි කවුරුත් ආදරයට පාත්‍ර වන්නට ආශා ඇත්තෙමු. ඇගයෙනු ලබන්නට රුචි වන්නෙමු. ලොකු තාත්තා මා කෙරේ වන ආදරය එසේ පෙන්වා සිටියදී මා ඒ කෙරේ ලෝභ වූ බව නො කිවමනා ය. එසේ නම් කල් ඇතිව ගෙදර ගොස් දිය නා ඇඳුම් මාරු කොට අප්පච්චී ගේ අවසර ද ඇති ව පැමිණෙන්නට මම ලොකු තාත්තා එකඟ කර ගතිමි. ඒ අනුව මිස්ට් ෆීල්ඩ් ස්කූටියෙන් ඔහු කාර්යාල පරිශ්‍රය ඉදිරියට ආ වෙලාවේ මම ඉක්මනින් මගේ කලමනා එකතු කර ගෙන දුවන්නට ගියෙමි. මුණිවර මගේ කුටියට ඇතුළු වෙමින් සිටියෙන් මට එහෙමම නතර වන්නට සිදු විය.

“මොකද ආ වෙලා තියෙන්නෙ..”

මං ගෙදර යන්න කියල මිස්ට මුණිවර. ලොකු තාත්ත එක්ක යන්නෙ. යන්නං”

ඔහු තවත් යමක් කියන්නට පෙර මම ඔහු පසු කර ගෙන ලොකු තාත්තා වෙත දිව ගියෙමි. මගේ හදවත සතුටේ දිය බුං ගසමින් තිබිණ. ඒ වෙලාවේ ඔහු ගේ මූණ අඳුරු වී ගිය හැටි මම හොඳට ම දුටුවෙමි. මා මහා නරක හිතුවක්කාර කෙල්ලකි. මම ඒ බව දැන සිටියෙමි. නමුත් තමන් ප්‍රේම කරන මිනිසා ඉදිරියේ මුරණ්ඩු හෝ හිතුවක්කාර වීමට ගෑනු ළමයෙකුට ඇති අයිතිය මම සිත් සේ භුක්ති විඳින්නට වීමි.

මා දිය නා යළි ලොකු තාත්තා සමග පැමිණෙනු දුටු මුණිවර ගේ මූණ ලයිට් දැමූ තොරණක් සේ එළිය වෙන හැටි ද මට දැකිය හැකි විය. ඔහු පවු කියා මට හිතුණේ ඒ වෙලාවේ ය.

“ඇති යන්තං ආව. එක්කෙනෙක්ට තව පොඩ්ඩෙන් මෙහෙ..”

මුණිවර ගේ රැවුමක් හෝ ඉඟියක් නිසා දසුන් කියන්නට ගිය දේ ගිල ගත්තේ ය. කෙසේ වෙතත් මට සැහැල්ලුවක් දැනෙමින් තිබිණ. දිය නා ගැනීම නිසා ඇති වූ කායික ප්‍රබෝධය ද ධාරා මුණිවර අස දැවටීගෙන සිටිනවා නො දැකීමෙන් ඇති වූ මානසික සැනසීම ද ඊට හේතු වන්නට ඇත. 

“පිරිමින්ට තරහක් තියනවනං එක පාර වෙඩි තියල මරල දායි මචං. හැබැයි ගෑනු පලිගන්න විදිහ උඹ දන්නෑ. දැන් ඉතිං ඉගෙන ගනිංකො. ගෑනු පලි ගන්නෙ නොමරා මර මර”

දසුන් ඒ ඇනුම් පදය කීවේ මට බව නො තේරුණා නොවේ. ඒ බව දැන දැන ම මම,

“ඇයි ධාරා අක්ක මොකද කළේ..”

කියා ඇසුවෙමි.

“ඔය..මං කිව්වෙ බොරුද…”

දසුන් කොක් හඬලා හිනැහෙන්නට ගත්තේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content