ජීවිතය කවියක් නොවේ – 19

0
824

“ ඇයි බං එහෙම  අහන්නේ  ඔන්න ඔතනට  තමයි මටත් එන්න ඕන උනේ.මට කියහං උඹලා දෙන්නගේ ජීවිතේ ඇතුලේ මොනවද සිද්ධ වුණේ…”

“ සිද්ධ  නොවුනේ මොනවද කියලා අහපන් කසුන් අයියේ..ගොඩක් දේවල් සිද්ධ වුණාට පස්සේ තමයි මං මේ තීරණය ගත්තේ.හසරාට  පුළුවන් හැම කෙනෙක්ම රවට්ටන විදිහට කතා කරන්න ටීවී එකේ රේඩියෝ එකේ ගිහිල්ලා කතා කරන්නේ ලෝකෙ හොඳම ගෑනි විදිහට.සතුටින්ම පවුල් කන ගෑනි විදිහට.ගොඩක් ගෑණුන්ගේ පූර්වාදර්ශී චරිතේ වෙලා තියෙන්නේ එයා.ඒ උනාට  ඇත්ත කතන්දරය ඒක නෙමෙයි..”

ධනංජය එවර පැවසූයේ සිය දෑඟිලි වලින් නළලත මිරිකා ගනිමින්ය.කොතරම් සිත් වේදනා වුවත් අපැහැදුම් වුවත් ඔහු හසාරාහට  විරුද්ධව කිසිවක් පවසන්නට සිතුවේ නැත.එහෙත් තමා ගැන වරදවා සිතන මිනිසුන් යම් තරමකට හෝ නිවැරදි කළ යුතු යැයි ඔහු අවසන තීරණය කළේය.සිය දෙපා කුඩා ස්ටූලය මතින් තබාගත් ධනංජය වඩා හොඳින් සුවපහසු වන සේ පුටුවට බර වූයේ ඉන් පසුවය.

“ කසුන් අයියේ….අපි දෙන්න අතර නොගැලපෙන දේවල් ගොඩක් සිද්ධ වුණා.නොගැලපීම් සෑහෙන්න තිබුණා.ඔයා දන්නවා හසාරාට තවම දරුවෙක් නැහැ. ප්‍රශ්නේ තිබුණෙ මගේ නෙමෙයි එයාගේ.”

“ මල්ලි ඕව කොයි පවුල්වලත් තියෙන්න පුළුවන් සාමාන්‍ය දේවල්..”

“ අයියේ මං මේ කියන කාරණේ එකක් විතරයි.එහෙම ප්‍රශ්නයක් තිබුණා කියලා මං කොයි වෙලාවකවත් හසාරාට වෙනසක් කළේ නැහැ.එයා ඒකට ට්‍රීට්මන්ට්ස්  කලා.ඒ හැම වෙලාවකම මං එයා එක්ක හිටියා.එහෙම අඩුපාඩුවක් තියාගෙනත් මං හසාරට වෙනසක් කළේ නෑ කියලා කියන්නයි මට ඕන වුනේ.හසාරට එයාගේ ටැලන්ට් පෙන්නන්න පුදුම උණක් අයියේ තිබුණේ.ලෝකෙට පේන්න එයා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ගැහැණියෙක් විදියට කතා කළාට ඇත්තටම එයා හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න දැනගෙනන හිටියේ නෑ…”

“ මල්ලි මේ උඹ කියන දේවල් මට තේරෙන්නෙ නෑ.”

“ ඒක තමයි අයියේ මං කිව්වේ මතුපිටින් බලල මේ ප්‍රශ්නෙ ගැන තීරණ ගන්න ලේසියි.ඒ උනාට අවුරුදු ගානක් තිස්සේ මමත් මේ ගේ ඇතුලේ විඳෙව්වා.හසාරා  වගේම මමත් ලෝකෙට පේන්න රඟපෑවා.හැමදාම හසාරා  බොස් උනා.මං එයාගේ සේවකයෙක් වගේ උනා..”

ධනංජය එසේ පැවසූයේ අවඥාවෙන් හිනැහෙමින්ය.

“ මට මේවා මතක් වෙද්දි හිනාත් යනවා කසුන් අයියේ..අන්තිමට එයා පුරුදු  උනා එයාගේ ඔෆිස් එක වගේම මේ ගෙදරත් පාලනය කරන්න”

“ ඉතින් උඹ මේවා ගැන හසාරා එක්ක  කතා කළේ නැද්ද”

“ සමහර අවස්ථාවල කතා කළා. සමහර අවස්ථාවල අඟවන්න උත්සාහ කළා.හැබැයි මං ගහලා බැනලා එයාගේ ගමන නතර කළේ නෑ.එහෙම කරන්න තරම් හිතක් මට තිබුණේ නෑ.ගෑණියෙක්ට අත උස්සන්න තරම් පහත් මනුස්සයෙක් වෙන්න මට බැරි උනා.අන්තිමට මම සරුංගලේ අතෑරලා  බලාගෙන හිටියා.එයා පාවෙලා උඩටම ගියා කසුන් අයියේ..හැබැයි එයාට අමතක උනා, එයාට උඩට නගින්න උදව් කලේ කවුද කියලා..එයා නූල කඩලා දැම්මා.දැන් එයා ඒ අහසේ පාවෙනවා….”

“ ඒ කිව්වේ…”

“ එයා නිතරම අගවන්න ගත්තා මම නිකම්ම නිකං ගවර්මන්ට් එකවුන්ටන් කෙනෙක් විතරයි එයා ලක්ෂ ගානක සැලරි එකක් ගන්න එක්සෙකටියු ලෙවල් එකේ ජොබ් එකක් කරන්නේ කියලා.තීරණ එයාගේ විතරක් වුණා.බලපෑම් එයාගේ විතරක් උනා.අන්තිම කාලේ වෙද්දි අයියේ මේ ගෙදර වෙන්නෙ මොනවද නොවෙන්න මොනවද කියලවත් මම දැනගෙන හිටියේ නෑ.ධනා ඔයා අරක කරන්න මේක කරන්න කියලා කියනකොට තමයි මම දන්නෙ හසාර හිතලා තීරණත් අරගෙන ඒවා ක්‍රියාත්මකත් කරන්න පටන් අරගෙන කියලා..අයියාම චුට්ටක් හිතලා බලන්න සුබානි අක්කා  ඒ විදිහට හැසිරෙනවානම් ගෙදර අයියගේ  තත්වෙ මොකක්ද..මං දන්නෑ මං ආත්මාර්ථකාමීද කියල හැබැයි මං ආසයි ගෙදර පිරිමියාගේ තැන ගන්න සැමියාගේ තැන ගන්න.අපේ අම්ම තාත්තට සැලකුවේ දේවත්වයේ තියාගෙන.එහෙම හිතන්න තරම් මං ගතානුගතික මිනිහෙක් නෙමෙයි.හැබැයි මං කැමතියි අයියේ එයා මගෙ තැන මට දෙනවනම්.ඒ ගරුත්වය මට දෙනවනම්.ඒකට හැම මිනිහෙක්ම ආසයි.මොකද එයාට උඩට යන්න දීලා මං  උපරිමයෙන්  සපෝර්ට්  කළා අයියේ.මං මාව නැතිකරගෙන එයාට උදව් කළා.මොකද එයාගේ හීන ගැන මට හොඳ අවබෝධයක් තිබුණා.”

ධනංජය කියවාගෙන ගියේ කටපාඩම් කරගෙන සිටියා සේය.

“ මෙච්චර දේවල් උනාද බං….”

“ ඔය ටිකයි අයියේ…මට දැණුන දේවල් වලින් ටිකයි..”

“ එතකොට ඔබට වෙන එෆෙයා එකක් පටන් ගන්න තරම්.මල්ලි මට බොරු කියන්න එපා.ඔෆිස්  එකේ කීප දෙනෙක්ම දැකලා තියෙනවා..”

“ ඔව්.. තවදුරටත් මට ඒ ගැන හංගන්න වුවමනාවක් තිබුණෙ නෑ කසුන් අයියේ.මම ජීවිතේ විඳවන්න නෙමෙයි විඳින්න කැමති මිනිහෙක්.මගේ හිතට ගැලපෙන තැනක මං නතර වෙච්ච එක වරදක්ද.එහෙම නොවුන නං හසාරා  මගේ ඉවසීමේ සීමාව පන්නනවා.මං දන්නෙ නෑ කොතැනක මොනම වෙලා නතර වෙයිද කියලා….මට එයාට ගහන්න බනින්න ඕනෙ නෑ අයියේ.මට එයාව රිද්දන්න ඕනෙත් නෑ.එයාගේ වැරදි මේ ලෝකෙ හැම කෙනා එක්කම කියලා එයාව පාච්චල්  කරන්න ඕනෙත් නෑ.ඒ මොකුත් නොකර මං තීරණය කරා මට සුදුසු තැනක නවතින්න.කාලයක් ගත වෙලා හරි එයත් හරිම තීරණය ගනියි..මං අසාධාරණ නෑ කියලා මං දන්නවා..අපි දෙන්නටම තවම අවුරුදු විසි නවයයි..වැරදුන තැන ඉදලා හැමදාම විඳවන්න ඕනද කසුන් අයියේ…”

“ උඹ ඒ තීරණේ විශ්වාසයෙන් අරගෙනද තියෙන්නේ “

“ ඔව් අයියේ…”

“ නොගැලපෙන මිනිස්සු එකට පෑහෙන්න ගියහම ප්‍රශ්න වැඩියි.මොකද මං හිතන්නේ නෑ එයාට මේ වෙලාවේ මට ගැලපෙන කෙනා වෙන්න පුළුවන් කියලා.ඇත්තටම කිව්වොත් මට ඒ ගැන විවෘතව එයා  එක්ක කතා කරන්නත් බෑ.මොකද එහෙම වුනොත් එයා හිතනවා ඒක මගේ බුද්ධි මට්ටමේ අඩුවක් කියලා.එහෙම නැත්නම් මං ගතානුගතික මිනිහෙක් කියලා.අයියට තේරෙනව ඇති මං කියන දේ.එහෙම දෙයක් එකට වාඩිවෙලා කතා කරන්න පුළුවන් තත්වෙකවත් අපි දැන් නෑ..”

“ ඒ කියන්නේ මේ ප්‍රශ්නේ සෑහෙන්න උඩු දුවලා.”

“ ඔව් මං හිතන්නෙත් එහෙම.එහෙම දෙයක් කතා කරන්න ගිහිල්ලා තවදුරටත් එයාගේ ළඟ මගේ අභිමානය නැති කරගන්න මට බෑ…”

“ ඒ වුණාට මල්ලි උඹ මෙහෙම තීරණයක් ගන්න කලින් නංගි දැනුවත් කරලා තිබ්බනං ඒක හොඳයිි නේද…”

“ ගෙවිලා ගිය අවුරුද්දක් පුරාවටම මං ඒක එයාට ක්‍රියාවෙන් දැනෙන්න දුන්නා.මිනිහෙක් නැතුව ජීවත් වෙන්න බැරි ගෑණු ඉන්නවා අයියේ.ඒත් හසාරට එහෙම ප්‍රශ්නයක් නෑ.අපි වෙන්‍ උනත් හසාරා ඒක එයාගේ වාසියකට පෙරල ගනියි. එයා කියයි ගෑනියෙක්ට ජීවත් වෙන්න මිනිහෙක් ඕනෙම නෑ කියලා.ගෑනියෙක්ට පුළුවන් උගත්කම නිසා ස්වාධීන වෙන්න කියලා.පුළුවන්නම් කියයි උගත් ගෑනියෙක් කොහොමටවත් මිනිහෙක්ට රැවටෙන්න ඕන නෑ කියලා.එයා එහෙම ගෑණු චරිතයක් අයියේ..මං ආස කළේ ගෑනියෙක්ගෙ ගැහැණුකමට.තමන්ට තමන්ගේ පිරිමියා නැතුව කිසි දෙයක් කරගන්න බෑ කියලා හිතෙන ගෑණියෙක් ලඟ ඕනවටත් වඩා ආදරේ තියෙනවා අයියේ.එහෙම බැරිකමක් කාටවත් නෑ..ඒ උනාට එයාලා එහෙම අගවනවට පිරිමි කැමතියි..ඒක අයියට උනත් මට වුණත් පොදුයි.ඒකයි අයියේ මං කලින් කිව්වේ, තුවාලෙ තියෙන මිනිහා තමයි ඒකෙ වේදනාව දන්නෙ කියලා.අයියා අයියගේ හිතින් අහලා බලන්න මං කොච්චර දුරට හරිද කියලා..”

“ හරි දැන් මොකක්ද උඹේ ප්ලෑන් එක..එක පාරක්වත් උඹල දෙන්න කතා නොකර ඩිවොස් වෙනවද..”

“ ඔව් සමහරවිට ඩිවෝස් එකේදී මං එයාගේ ළඟ නැතිවෙයි.හැබැයි මම එයාට ඕන කරන හැම ඩොකියුමන්ට් එකක්ම සයින් කරලා තියනවා..”

“ මල්ලි උඹේ ජීවිතය ගැන උඹ  තීරණයක් අරගෙනනම් මට තව දුරටත් උඹත් එක්ක මේ ගැන වාද කරන්න බෑ.හැබැයි සිය වාරයක් හිතලා හොඳම තීරණය ගනින්.හසාරා එහෙමයි කියලා පිළිගන්න තාමත් පොඩි කම්මැලිකමක් මගේ හිතේ තියෙනවා බං.හැබැයි මම කියන්නේ නෑ හසාරා  හරිම කියලා.උඹ හරියි කියලා මං කියන්නෙත් නෑ. උඹලා දෙන්නා කතා නොකරම වෙන් වෙන්න තීරණය කල එක හරිම තීරණයක් නෙමෙයි. හොඳට මතක තියා ගනින් අවුරුදු පහක් විතර ආශ්‍රය කරලා ජීවිතේ ගන්න ඕන හරිම තීරණේ තමයි මේ කියලා සිය දහස් වාරයක් හිතල තමයි උඹ හසාරව ජීවිතේට ලං කර ගත්තේ.එම තීරණත් වැරදුනානම් හදිසියේ  ගන්න තීරණ වරදින්න ලොකු කාලයක් යන්නේ නෑ බං..ඒ නිසා මොනව කලත්  දෙපාරක් නෙමෙයි සිය දහස් වාරයක් හිතුවත් පාඩු නෑ…”

අවසන කසුන් පැවසූයේ මද හඬකින්ය.මේ ප්‍රශ්නය දැන් දෙපසට කතා කරමින් නිරාකරණය කල නොහැකි තරමටම උඩුදුවා ඇතැයි ඔහුට සිතිණ.ඊයේ පෙරේදා ඔහු රජයේ සේවයෙන් ඉවත් වුවත් ඔහු ගැන තවමත් කාර්යාලය තුළ විවිධ කටකතා පැතිරෙමින් පවතී.ධනංජය ගැහැණියක සමග නිදහසේ ගැවසෙනවායැයි ඊයේ පෙරේදා කාර්යාලීය  මිතුරන් කිහිප දෙනෙකු පැවසූ බව කසුන්ට මතකය.ඔහුගේ බිරිඳ තවමත් සිටින්නේ  හසාරාට දැඩි අසාධාරණයක් වූවායැයි  සිතෙනා තැනය.කසුන්ට දැන් සිතෙන්නේ දෙදෙනාම තම  තමාගේ අභිමානයන් රැකගන්නට සිය ආදරණීය හැඟීම් කැප කර ඇති බවය.

කසුන් තව මොන මොනවාදෝ පැවසුවත් ධනංජය ඊට පිළිතුරු දුන්නේ උදාසීනවය.දොර පලු දෙක දෙපසකට හැර දමා තිබූ උළුවස්ස උඩ සිටගෙන සිටින රුව දුටු ඔහු  තිගැස්සුනේ එකවරමය.එවේලෙහි ඇගේ  පැමිණීම ඔහු කොහොමටවත් අපේක්ෂා නොකළේය.කලබලයෙන්  කසුන්ට සමුදුන් ධනංජය අඩියක් දෙකක් ඉදිරියට තැබුවේ දෑස් විසල්  කරගෙනය.

( යළිත් හමු වෙමු ආදරයෙන්……)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here