ජීවිතය කවියක් නොවේ – 22

0
2353

ගෙවී යමින් තිබුණේ හසාරාට ඉතාමත් කාර්යබහුල වූ කාලයකි.රටවල් කිහිපයකින්ම තම මව් සමාගමේ වූ මෙම වැඩමුළුවට සහභාගී වී සිටියහ.හසාර හා කාමරය බෙදා ගත්තේ ඉන්දියානු තරුණියකි.

උදෑසන  හෝටලයෙන් පිටවී ප්‍රධාන කාර්යාලයට ගිය පසු යළිත් හෝටලයට පැමිණෙන්නේ රාත්‍රියේය.මේ දිනවල පැවති අධික රස්නය නිසා ඇයට දැනුනේ වෙහෙසකර බවකි.

හෝටලයට පැමිණි හැටියේම ඈ මුලින්ම කලේ  ධනංජයව ඇමතීමයි.ඒ බොහෝ වේලාවන්වල ඔහුගේ දුරකථනය කාර්යබහුල වී තිබිණ.එසේත් නැතහොත් විසන්ධි වී තිබිණ.එසේත් නොමැතිනම් ඔහු දුරකථනයට පිළිතුරු සැපයූවේ නැත.දෙතුන් වරක් උත්සාහ කලාට පසුව දුරකථනය හා සම්බන්ධ වූවත් ඒ කෙටි පිළිතුරුය.

කාමරය බෙදා ගෙන  උන් විදේශීය යෙහෙළිය තම සැමියා සමග පැය ගණනක් දුරකථන සංවාදයෙහි යෙදී සිටියදී හසාරා කාලය ගත කළේ සිය ලැප්ටොප් පරිගණකයේය.එසේත් නොමැතිනම් පාළුවට කාන්සියට කියවන්නට සිතාගෙන රැගෙන ආ නවකතාවක හෝ පරිවර්තනයකය.ඕ වීඩ්යෝ ඇමතුම් මගින් තම දරුවන් හා සංවාදයේ නිරතවන අයුරු හසාරා බලා සිටියේ දෑස්වල කඳුළක් තබාගෙනය.

ඇය නිර්මිතාව ඇමතූයේ පාළුවෙන් කාන්සියෙන් ගෙවී ගිය එවන් රාත්‍රියකය.

“ මම සදාකාලිකවම නවතින්න මෙහෙට ආවෙ නෑ….”

හසාරා එසේ පැවසූයේ හිනැහෙමින් වුවත් නිර්මිතා තිගැස්සී ගියාය.ඇය තත්පර කිහිපයක් නිහඬ වූයේ වචන අමතකව ගිය ගණනටය.

“ නිර්මි..නිර්මි.. උඹ ෆෝන් එකේ ඉන්නව නේද..මොකද උනේ? “

“ නෑ එහෙම එකක් නෑ…ඇයි ඔයා ඒ වගේ කතාවක් කිව්වේ..”

“ කොහොම එකක්ද…නෑ අනේ දැන් මං  ඇවිල්ලා  දවස් හතරකට වැඩියි.පරිස්සමට ගියාද කියලා අහලා මැසේජ් එකක් තිබ්බට එක දවසක්වත් මට කතා කළාද කියන්නකෝ..”

“ අනේ සොරි…මේ දවස්වල මං ලොකු වැඩ වගේක  එක හිරවෙලා ඉන්නේ..”

“ වැඩ වගේක.. මං නොදන්න වැඩ කොහෙන්ද ඔයාට.ඇයි ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද..එහෙම එකක්නම් කියන්න මං කතා කරලා ඔයාව වෙන ඩිවිෂන් එකකට මාරු කරන්නනම්…”

නිර්ම්තා හුස්මක් ඉහළට ඇද ගත්තේ කෝපයෙන්ය.ඒ වදන්වල වූයේ පුදුමාකාර ලොකුකමක්යැයි ඇයට සිතිණ.

“ එහෙම නෙමෙයි. අපි ගෙවල් මාරු කලානේ..ඒකයි..”

“ ගෙවල් මාරු කලා මේ හදිසියේ.ඇයි ඒ මටවත් කියන්නෙ නැතුව.”

“ නෑ මේ…ඉඩ  මදි වගේ හින්දා අපි අපේ ගේ රෙන්ට් කරලා වෙන ගෙදරකට ගියා.”

අවස්ථානුකූලව ඇගේ ප්‍රශ්නයට පිළිතුරක් ගලපා ගන්නට හැකිවීම පිළිබඳව නිර්ම්තාට දැනුනේ සතුටකි.

“ හදිසියෙම ඇයි  එහෙම තීරණයක් ගත්තේ.”

“ හදිසියෙමත්  නෙමෙයි. මං ටික කාලයක් ඒ ගැන හිත හිතා හිටියේ.ඒ හින්දමත් නෙමේ ඔයාට කතානොකළේ.ඔයා බිසී ඇතිනේ..ලොකු වැඩකටනේ ගියේ..”

“ බිසීනම් තමයි….එක දිගටම ට්‍රේනින්.ඒ විතරක් නෙමෙයි. ඊළඟ දවසේ යද්දී අද කරපු ලෙක්චර්ස්වල  සමරි  එකක් හදාගෙන යන්න ඕනේ..දන්නවනේ මෙහේ වැඩ.එහෙන් මෙහෙන් දමලා ගහන්න බෑ.හරි පිළිවෙලයි.අනිත් එක මාර රස්නයක් තියෙන්නේ.ඒ හින්දා හරි අමාරුයි.”

“ ඉතින්…..කෑම එහෙම කොහොමද..”

“ ඒකනම් ප්‍රශ්නයක් නැහැ කලින් ඕඩර් කරලා තිබ්බම අපිට ඕනෙ විදියට කෑම එක හම්බවෙනවා.ඉන්දියන් ලේඩි කෙනෙක් මගේ රූම් එකේ ඉන්නේ.එයත් හරි හොඳයි..”

“එහෙනම් කමක් නෑ…”

“ ධනාටත් මං සතියකට විතර කෑම රෙඩි කරලා ආවෙ.ඒ උනාට ඉතුරු සති දෙක එයා මොනවා කර ගනීද දන්නේ නෑ.”

“ එයා පොඩි ළමයෙක් නෙමෙයිනේ.එළියෙන් කාලා නුපුරුදු මනුස්සයෙකුත් නෙමෙයිනේ…තනියම වැඩ කරගන්නේ..”

“ ඔව් එහෙම කරගන්න උත්සාහ කරනවා කියලා මට පේනවා.ඒ උනාට කරගතපු දෙයක්නම් නෑ..මට ඔයාට කියන්න කතාවක් තියෙනවා.”

“ ඒ මොකක්ද…”

නිර්මිතාගේ ස්වරය වෙව්ලන්නට විය.වරදක් කරන සිත සැමවිටම නොසන්සුන්ය.නිර්මිතා මෙවේලෙහි උන්නේ ඒ නොසන්සුන් කමෙහිත් උපරිමයේමය.මේ කතාබහ නවතන්නට තිබුණානම් හොඳය.

“ මම  එන්න කලින් දවසේ ධනා  මමත් එක්ක කතා කළා.ඇත්තටම මං එයාගේ ඇස්වල පසුතැවීමක් දැක්කා.මොන විදිහේ වරදක් කළත් මොන විදිහේ වරදක් උනත් එයා ඒ ටික තේරුම් ගන්න ඇති කියලා මට හිතුනා.මං ආයෙ ලංකාවට එන්නේ එයා එක්ක  අලුත් ජීවිතයක් පටන් ගන්න බලාගෙන.මගේ අතිනුත් ගොඩක් වැරදි උනා නිර්මි..”

“ මොනවද ධනංජය කිව්වේ…”

“ එයා එදා පරණ පුරුදු දේවල් ගොඩක් මං වෙනුවෙන් කලා නිර්මි.මාව එයාර්පෝට්  එකට ඇරලවද්දී  මං දැක්ක එයාගේ ඇස්වල කඳුලක් තියෙනවා.මං කවදාවත් ධනංජයගේ ඇස්වල කඳුළු දැකල තිබුණේ නෑ.ඔයා දන්නවනේ එයා ටිකක් තද හිතක් තියෙන කෙනෙක්.ඒ කඳුළු මං වෙනුවෙන් උපන්නා කියලා මට හොඳටම විශ්වාසයි.ධනංජය වෙනස් වෙලා නෑ.හැබැයි එයා මට පාඩමක් කියලා දුන්නා.”

“ ඒ කිව්වේ…”

“ එයාට මගේ පුංචිම  ඈත්වීමක්වත් දරා ගන්න බෑ කියන එක.අපිට ආයෙත් සතුටින් ඉන්න පුළුවන්.අලුත් ජීවිතයක්..අපි කරගෙන ආපු ට්‍රීට්මන්ට් දිගටම කළානං සමහර විට මේ  වෙද්දි මම ප්‍රෙග්නන්ට්  වෙලා ඉන්නත් තිබුණා.ඒ නැති උනත් ධනා ඒ ගැන කියලා කවදාවත් මගේ හිත රිදවලා නෑ.
ධනා වෙලාවකට පොඩි ළමයෙක් වගේ.එයා මේ කලෙත් මාත් එක්ක මොකක්දෝ තරහක් හිතේ තියාගෙන විඳවපු එක…”

හසාරා දිගින් දිගටම කියවූවත් එහා පස උන් නිර්මිතා වූයේ නිහඬවය.

“ මට එදා පුදුම ලෝබකමක් දැනුනා එයාව දාල එන්න.මම මගේ හිතින් අහලා බැලුව නිර්මි.එදා වගේම මං තවමත් ධනාට ආදරෙයි..මගේ ජීවිතයට එයා නැතුව බෑ.නිර්ම්….නිර්මි….හෙලෝ….නිර්මි ඔයා අහගෙන නේද.. ඉන්නේ….”

හසාරා එසේේ ඇසුවේ නිර්මිතාගෙන්
“හුම් “ ශබ්දයක්වත් නොවූ නිසාය.

“ ඔව්  මං අහගෙන ඉන්නේ….”

“ ඇයි ඔයාගේ  කටහඬත් වෙනස් වෙලා.හෙම්බිරිස්සාව හැදිලද තියෙන්නේ.එහෙම නැත්නම් මොකකට හරි ඇඬුවද…”

“ අනේ නැහැ හසාරා..බඩු එහාට මෙහාට ඇද්දනෙ ඒ දූවිල්ලට වෙන්න ඇති  චුට්ටක් හෙම්බිරිසාව හැදෙන්න වගේ..”

“ ඒ උනාට මං නැති අතර එහෙම දෙයක් කරපු එකට නම් මං තරහයි.මටත් ඔයාට උදව් කරන්න තිබුණනේ.කොහෙන්ද අලුත් ගේ ගත්තේ?.”

“ මේ ළඟම තමයි….නංගිටත් ලේසියිනේ “

“ ඒක හොඳයි…ඔයා ධනාට  චුට්ටක් කතා කරලා බලන්න.”

“ හරි මං කතා කරන්නම්….ඔයා පරිස්සමට එන්න..”

මුලින්ම දුරකථනය විසන්ධි කර දැමුවේ නිර්මිතාය.කෑ ගසා හඬන්නට සිතුණු සිතුවිල්ල වාවාගත් ඕ ඇඳ පාමුල බිම වාඩි වූවාය. නිර්මිතාගේ මහ ගෙදර විකුණා දැමුවේ ඇගේ කැමැත්තටය.ප්‍රංශ ගමන ගැන අම්මාත් නැගණියත් මහ මෙරක් තරමට බලාපොරොත්තු තබාගෙන සිටී.අවුරුද්දක කුලී පදනම මත ලබාගත් නිවහනට බඩු ඇද්දේ  ඊයේ සවසය.එය මදක් අලුත් පන්නයේ නිවසකි.එනිසාම අම්මාත් නැගණියත් උන්නේ සතුටින්ය.

“ මං ඔයාට කවද හරි හැම පහසුකමම තියෙන ගෙයක් හදලා දෙනවා…”

තමා සන්තකයේ වූ බොහෝ ඇඳුම් පැළඳුම් නැගණිය වෙත ලබා දෙමින්  නිර්මිතා එසේ පැවසූයේ අම්මාත් ඉදිරිපිටදීමය.

නව නිවස කාමර දෙකක එකකි.එක කාමරයක් අම්මාටත් අනිත් කාමරය නැගණියටත් පිළියෙල කෙරිණි.

“ හදනවානම් හදන්න ඕනේ අපේ හසාරා  අක්කලගේ වගේ ගෙයක්.ඇත්තමයි මං දැකපු ලස්සනම ගේ ඒක..”

නැගණිය එසේ පවසද්දී පවා නිර්මිතා තිගැස්සී කියාය.ඕ අම්මාගේ දෑස් දෙස බැලුවේ හොරැහින්ය.ඒ දෑස් වල වූයේ කඳුලකි.කසාද දෙකකින්ම දික්කසාඳ වූ තම දියණිය ගැන ඒ සිත තැවෙනවාට සැකයක් නැත.බොහෝ වේලාවන්වල ඈ පවා හසාරා “ වාසනාවන්ත ගැහැණියක “ යැයි පවසා තිබේ.ඒ සෑම විටකම නිර්මිතාගේ සිත රිදුනේ තමා ගැන උපන් දුකකින්ය.නිර්මිතා නිවසට පවසා සිටියේ මේ ප්‍රංශ ගමන කාර්යාලයෙන් ඇයට ලැබෙන උසස් වීමක් බවය.එනිසාම ඇයව නවතන්නට කෙනෙකු ඒ නිවසේ සිටියේ නැත.

අම්මාගේත් නැගණියගේත්  ආරක්ෂාව ගැන හිතා ඔවුන් මෙම කුලී නිවසට රැගෙන ආ බවක් නිර්මිතා ඔවුනට  අඟවන්නට විය.මහ ගෙදර විකුණා ලබාගත් සියලු මුදල්  ස්ථාවර තැන්පතුවක දැමුවායැයි පැවසූයේ ඔවුන් තුළ විශ්වාසයක් ඇති කරවන්නටය.එහෙත් ඕ ඒ මුදල් වෙන් කර ගත්තේ ප්‍රංශයට ගොස් ජීවත් වන්නටය.

ධනංජය නිවසට පැමිණෙද්දී මධ්‍යම රාත්‍රියත් පසුව තිබිණ.ඔහුට දැනෙන්නට වූයේ අන් කෙදිනකවත් නොවූ අයුරේ පාළුවකි.කතාබහක් හෝ ඇගෑලුම්කමක්  නොවූවාට  වෙනදා හසාරා මේ නිවස තුළ ඇයට හුරු පුරුදු වූ ජීවිතය ගෙවමින් උන්නාය.ධනංජය කෑවත් නොකෑවත් ඔහු වෙනුවෙන් තුන්වේලටම ආහාර පිළියෙළ වී තිබිණ.ඇඳුම් සෝදා වේලා මැද අල්මාරියේ එල්ලා තිබිණ.ඒ සියල්ල  නොවූවත් ඉඳහිට ඈ ධනාවැයි පවසමින් කුමක් හෝ ඇසුවාය.තමා පිළිතුරක් නොදුන්නද ඈ කතා කළාය.

ගෙවී ගිය දින දෙක තුනෙහිම ඔහුට නිර්මිතාව හමු නොවුණේය.ඇයත් මෙම ගමනට තමාගේ පාර්ශවයෙන් ඉටුවිය යුතු යුතුකම් වගකීම් ඉටු කරමින් උන්නාය.ප්‍රසිද්ධ නමක් වූ  අවන්හලකින් ගෙන ආ කෑම පාර්සලය දිග හරිද්දීම ජංගම දුරකථනය නාද වූයේ හසාරාගේ අංකය සටහන් කරමින්ය.මින් පෙරත් දෙවතාවක්ම ඔහු ඒ ඇමතුම මගහැරියේය.එනිසාම කෑම පාර්සලය පසෙක තබා ධනංජය  හසාරාගේ දුරකථන ඇමතුමට පිළිතුරු දෙන්නට සිතුවේය.

“ ඔයා කොහෙද ධනා හිටියේ….”

“ මම අර බිස්නස් එක පටන් ගන්න යාළුවත් එක්ක පොඩි මීටින් එකක හිටියේ.ගෙදරට ඇවිල්ලා ප්‍රී  එකේම ඔයාට ගන්නවා කියලා හිතුවේ.”

“ ලෝන් එකේ වැඩේ කොහොමද ධනා…”

“ ඉක්මනට සෙට් වෙයි…කොහොමත් ඔයා ලංකාවට ආවට පස්සේ ඒ වැඩේ කරන්නයි මම හිතුවේ.”

“ ඇයි ඒ මාව ඕනෙ  කියලා බෑන්ක් එකෙන් කිව්වද..”

“ නෑ.. නෑ.. එහෙම දෙයක් නෙමෙයි.ඔයත් එක්කම එකතුවෙලා ඒ වැඩේ කරන එක හොඳයි කියලා හිතුනා.”

“ ඔයා එහෙම තීරණයක් ගත්ත එක හොඳයි ධනා. මං ඔයාට කියන්නේ කොහොමද කියලා හිත හිතා හිටියේ.මං දන්නවා සමහර අපි අතර ඇතිවෙච්ච හිත් රිදීම් වලට අපි ගතපු විශේෂයෙන් මම ගතපු සමහර තීන්දු තීරණ බලපෑවා කියලා.”

“ එහෙම දෙයක් නෑ හසාරා…”

“ මට ඒක දැනුනා..සමහර තැන්වලදී නොහිතා උනත් මං කරපු වැඩ වලින් ඔයාගේ හිත රිදුනා කියලත් මට දැනුනා.හැබැයි මේ වෙලාවේ හිත රිදුනත් නැතත් මට ඔයාට මේ ඇත්ත නොකිය බැහැ.”

“ ඒ කිව්වේ…”

“ ඔයාගේ හඳහන බලාපු වෙලාවෙ කිව්වා ඔයාට මේ වෙලාවේ අලුතින් කියලා කිසිම දෙයක් පටන් ගන්න ඉඩ දෙන්න එපා කියලා.ඒ නිසා ධනා  මොනවා හරි දෙයක් කරනවානම් ඒක මම මූලික වෙලා පටන් ගන්නද..අනේ ඔයා වැරදියට නං හිතන්න එපා..මං මේ කිව්වේ…”

“ නෑ.. නෑ.. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ.ඒක තමයි මමත් කිව්වේ ඔයා එනකං ඉඳලා අපි මේ දේවල් කරමුු කියලා..”

“ අනේ ධනා  ඔයා ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්.ඔයාගේ මගේ කියලා දේවල් අපිට නෑ.ඔක්කොම තියෙන්නේ අපේ දේවල් විතරයි.
මේ හැමදේම කරන්නේ අපි වෙනුවෙන්.
මං ඔයාට හරි ආදරෙයි…

“ මං ඔයාට කාලා ගන්නද හසාරා…ඩිනර් එකට  මං ඉඳිආප්ප ගෙනාවේ.පාර්සලය දිගාරිද්දිම  තමයි ඔයාගේ කෝල් එක ආවේ.ඇත්තටම දවල්ටත් හරියට කන්න බැරි වුනු නිසා මං ඉන්නෙ බඩගින්නේ..”

“ අනේ කාලා ඉන්න ධනා මං හිතුවා ඔයා තව ටිකක් රෑ වෙලා කයි කියලා. ඒකයි මං මේ වෙලාවේ කතාකළේ.අපි කාලා ඉවර වෙලා  කතා කරමු. පරිස්මෙන්..”

“ධනංජය ජංගම දුරකථනය මේසය මතින් තැබුවේ ඇය සංවාදය නිමා කරන්නටත් ප්‍රථමවය.ඔහු කෝපයෙන් වෙව්ලමින් උන්නේය.

( යළිත් හමු වෙමු ආදරයෙන්….)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here