වැසි සුවඳත් කෝපි සුවඳත් මුහු වූ විට නිපදවෙන අලුත් සුවඳට දෙත හැකි නමක් ගැන ආදියා සිතමින් සිටියා ය. වීදුරු අවන්හලට එපිටින් වන්නේ වැස්ස විසින් නිර්මාණය කරන ලද සුදු මීදුම් දුමාරයකි. කෝපි බඳුන් වලින් ද සියුම් සුදු දුමාරයක් නැගේ. සීතලත් උණුහුමත් එකට මුහු වීම තුළ මැවෙන චමත්කාර හැඟීම වායු ගෝලයේ හැම අංශුවකට ම මුහු වී තිබේ. හදෙහි වන්නේත් ශීත උණුහුම් හැඟීම් වල සමානුපාත මිශ්‍රණයකි. ආදියා දැනෙන නො දැනෙන සේ කෝපි උගුරක් බීවා ය. දෙව්රම් ආදර දෑසකින් නිසංසලේ බලා සිටියේ ය.
ඔහු තුළ අපමණ සිතිවිලි උපදී. ආයේ නම් ගැහැනු හදකට ලං නොවන්නෙමැයි සපූ වෙනස් වූ දින වල ඔහු සිතා සිටියේ ය. නමුත් සුළං කියන්නේ මකුළුදැල් බැඳ නවතාලිය හැකි යමක් නොවේ. ඒවා හමා යන්නේ අවැසි පාරවලයි. අයිති කරගත් තැන ආදරය අත්හැරී යනවා ද කියා පසු ගිය ගන්ධබ්බ සමයේ දී ඔහු සිතුවේ ය. අයිති කරගැනීම කියන්නේ ම තවදුරටත් අපට එහි වටිනාකම නො දැනී යනවා කියන එකයි. එබැවින් අත්පත් කරගැනීමකින් තොරව ආදරයට නිදහසේ පවතින්නට හැරිය යුතු යයි ඔහු සිතමින් සිටියේ ය. ආදරය ගැන ද ස්ත්‍රීන් ගැන ද බියක් ඔහු තුළ වැඩෙමින් තිබිණ. බැඳීම් බිඳී ගිය කල තනිව විඳගන්නට සිදු වූ වේදනා කන්ද තරණය කරනවාට වැඩිය, අස්ථිර වූ බැඳීම් ගොඩනගාගන්නේ නැතිව ජීවත් වෙන එක යහපත් ය කියා ඔහු සිතාගෙන සිටියේ ය.
අනිත් අතට ජීවත් වීම කියන්නේ සියල් කුණාටු පහව යනතුරු දෑත් පපුවේ බැඳගෙන බලා සිටීමට නොවේ. වැස්සට පැන නටනා හැටි ඉගෙන ගැනීමටයි. නවතාලිය නොහැකි කුණාටුවක් හමන්නට පටන් ගෙන ඇති බව දැන් ඔහු දනී. ආදියා ගේ අතක් සුරක්ෂිතව අල්වාගෙන ඒ වැස්සට පැනීමේ අදහසක් දැන් දැන් හදවත තුළින් හිස ඔසවයි.
“අම්ම කිව්ව ඔයා නළුවන්ට ආස නෑ කියල. ඇත්තද…”
ඒ ආදියා බලාපොරොත්තු නොවූ අහඹු පැනයකි. දෙව්රම් පිළිතුරක් අපේක්ෂාවෙන් හිඳී. සිහවකට ඉසිහින් රේඛා ඇතුළේ වහං වූ කාන්තිමත් ඇස් වලින් ඇය ඔව් යි හැඟවූවා ය.
“නළුකමට වැඩිය මට ඔයා වටිනවනං…”
දෙවියනි එහෙම මොහොතක්! ආදියා ට දැනුණු දරාගත නො හැකි හැඟීම් සමුදාය වෙන් කොට පහදා ගන්නට ඇයට හැකි වූයේ නැත. ඕන වුණේත් නැත. මෙහෙව් නිමේශයක් ගැන බලාපොරොත්තුවක්වත් තුන් හිතක නොවූ බව සහතික ය. දෙව්රම් සන්දනායක වූ කලී ඇයට සදාකාලික සීතල හැඟීමකි. ඒ සිනහව ඇය නිරුත්තර කරයි. පාෂාණිභූත කරයි. මේ විශ්වයේ ඇය කැමති පුරුෂ පෞරුෂය වනාහි ඔහු ය. නමුත් කිසි දාක ඔහු ට ලං වීමේ සිතිවිල්ලක් ඇයට වූයේ නැති බව ඉඳුරා පැවසිය හැක. ඔහු ඇයට උස අත්තක පිපුණු මලක් ම විය. ඒ මල නෙලා ගැනීමේ සිතිවිල්ලකුදු නොමැතිව දීර්ඝ වූ කාලයක් නිසංසලේ ඔහු දෙස බලා සිටියා ය. හදවතේ සුරක්ෂිත ම තැනෙක ඔහු සඟවාගෙන සිටියා ය. ආදරයට නිදහස් ව පවතින්නට හැර ඔහේ සිටියා ය. ඒ ලස්සන සිනහව පිරි පින්තූරයක් ඇගේ ජංගම දුරකතනයෙහි තිබේ. ඔහු ගේ අත්සන සහිත කඩදාසියක් සොර සතුරන්ට ගත නො හැකි ලෙස ඈ සිය අල්මාරි ලාච්චුවෙහි සඟවා තබා ඇත. දවසක් ඔහු අත්සන යොදන්නට ඉල්ලා ගත් ඇගේ පෑන, ඉන්පසු නැති වේ යයි බියෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ස්පර්ශ කළ පෑනක් සේ ඇගේ රහසිගත කෞතුකාගාරයේ තැන්පත් කෙරිණි. ආදියා ඒ සියල්ලට පණ මෙන් ආදරේ ය. ආදරය තියෙන්නේ එවන් ක්ෂුද්‍ර වූ සිදුවීම් තුළ හා එවන් සොඳුරු මතක සැමරුම් අතරේ ය. ඈ අදහාගෙන සිටියේ එසේ යි. එහෙම සිටි ඇය ඔහු ළඟ ගෙවෙනා මේ මොහොත කොහොම නම් විශ්වාස කරන්න ද?
“ම්… මටනං පුළුවං එහෙම හිතන්න. ජනප්‍රියකම… සල්ලි… ඔය හැම දේම මිනිස්සුන්ට ලොකුවට වටින්නෙ එක සීමාවක් වෙනකල් විතරයි. එතනිං එහාට ඒවට වැඩිය සතුට සැනසීම වටිනව කියල හිතෙන්න ගන්නව. ඔක්කෝටම වැඩිය ලස්සන නිදහස් සාමකාමී ජීවිතයක්. ජීවත් වෙන්න සල්ලි ඕන තමයි. හැබැයි ජනප්‍රියකමෙන් සල්ලි හම්බ කළේ නැතුවට දැන් මට වෙන මාර්ග හදාගන්න පුළුවන්. අපිට බැරිද අලුත් තැනකින් අලුත්ම ජීවිතයක් පටංගන්න… “
“ම්… මිස්ට දෙව්රම්”
දෙව්රම් ක්ෂණික සිනහවක් පෑවේ ය. හිරු සහසක් එකවර පෑයූවා සේ ඒ සිනහව ආලෝකවත් ය. ඇය ඒ සිනහවේ අනන්ත දුරක් ගොස් අතරමං වූවා ය.
“මිස්ට කෑල්ලක් දාන්නෙපා. මෙතන ඉන්න අයට ඇහෙයි”
ඔහු රහසින් වාගේ එහෙම කී ඉරියව්ව ආදියා තුළ ද සිනහවක් උපදවන ලදී. ඒ සිනහව අතරේ දෑස් දෑලේ කඳුළු ගංවතුරක් පිටාර ගලන්නට බලා සිටියේ ය. සිත් අහසේ නෙක පැහැ දේදුන්නක් පායා තිබිණ. කඳුළු ඇලි දෙක කොපුල් මතට පැනගත් ගමන් දෙව්රම් ඈ වෙතට ලංව කොපුලක් අතකින් ගත්තේ ය. මහපටැඟිල්ලෙන් කඳුළු රේඛාව මකා දැමිණ. ආදියා දරා ගත නො හැකි ව ඒ අත අල්වා කම්මුලට තද කොට ගත්තා ය. කියා ගන්නට දහසක් දේවල් තිබිණි ද එක වචනයක් හෝ පෙරපර ගලපා ගන්නට ඈ සමත් වූයේ නැත. කාලයක් තිස්සේ රහසිගතව පරෙස්සම් කළ ප්‍රේම කළලයක් උරුමකරුවාට පවරා දුන්නා සේ ඕ සන්තුෂ්ටියේ පරමානන්දය විඳින්නට වූවා ය.
“ලස්සනයි”
ඔහු ඒ නිකැළැල් ස්ත්‍රීත්වය නෙතු පුරා විඳිමින් සිටියේ ය. ඇය අසීරුවෙන් මුව විවර කරගත්තා ය.
“මේක ඇත්තක්ද නැත්තං හීනයක්ද කියල මට කියනවද…”
“මේක සදාකාලික ඇත්තක් වෙන්නයි ඕනෙ ආදියා. ඔයා දන්නවද මෙතන වැඩ කරන අය අපි දිහා බලනව. දැං මේ මිනිස්සු වුණත් හිතයි සපූ කියපු කතා ඇත්ත කියල. කමක් නෑ. මිනිස්සු ඕන දෙයක් හිතපුදෙං. ඕන දෙයක් කියපුදෙං. ඉමේජ් එක මේන්ටේන් කරනවට වැඩිය සතුට තියන ඇත්ත ජීවිතයක් ගතකරන එක ගොඩක් වටිනව… දැං ඒ ගැන එහෙම හිතන්න තරං මං වයසයි. අපි ලස්සනට ජීවත් වෙමු. ලෝකෙට පේන්න නෙවෙයි… අපිට දැනෙන්න. ඔයා ලොකූ ආදරයක් හදාවඩා ගත්ත කෙනෙක්. ඒක ඔයාගෙ ඇස් දෙක කියනව. දැං මට ඕනෙ එහෙම ආරක්ෂිත තැනක නතර වෙලා සැනසීමෙං උදේට ඇහැරෙන්න. ආදරෙං සතුටෙන් නින්දට යන්න. මේක චිත්‍රපටි කතාවක් නොවෙන්නයි ඕනෙ. තවත් සීනිබෝල ආදර කතාවක් නොවෙන්නයි ඕනෙ. අපි ප්‍රායෝගික ජීවිතයක් හදාගමු. ඒකෙ විශ්වාසෙයි ආදරෙයි නිදහසයි තියනවනං… අපි දෙන්නටම සැනසීමෙං හුස්ම ගන්න පුළුවං. පවුලක් ඇතුළෙ ලස්සන පවුල් ජීවිතයක් ගැන හීනයි තියෙන්න ඕනෙ. එහෙම ජීවිතයක් වෙනුවෙන් හිලව්වට ඕනදෙයක් දෙන්න මට පුළුවන් ආදියා…”
“අ… නේ…”
“මොනා හම්බ කළත් මං ආදරේ අතින් දුප්පත් වෙච්ච මිනිහෙක්. ඒත් ඔයාළඟ දෝරෙ ගලන්න ඒ දේ කියනව කියල ඔයාගෙ ඇස් මට කියනව. අපි තව අවුරුදු විසි තිස් ගාණකට පස්සෙ මිනිස්සුන්ට ඔප්පු කරලම පෙන්නමු ආදරේ කියන්නෙ මොකද්ද කියල. අද හෙට නෙවෙයි… අවුරුදු විසි තිස් ගාණකින් පත්තර වලටයි චැනල් වලටයි ඉන්ටවීව් එකක් දීල ඒක කියමු”
ආදියා මේසය වෙතට පහත් වී ඒ මත තිබූ දෙව්රම් ගේ පිටි අත්ල තදින් සිපගත්තා ය. තත්පර ගණනක් ම ඒ ඉරියව්වේ සිටියා ය. දෑස් වලින් නො නවත්වා කඳුළු ගලා ගියේ ය.
ඔවුන් සමුගත්දීත් වැස්ස පායා තිබුණේ නැත. දෙව්රම් කුඩේ යටින් ඈ වැහි පොදයකින් පවා රැකගෙන ගොස් රියට ගොඩකරවූයේ ය. අනිත් පසින් විත් රියට ගොඩ වූයේ සම්පූර්ණයෙන් තෘප්තිමත් මිනිසෙකි.
“අද මතක තියාගන්න ඕන දවසක්. අවුරුද්දක් ගානෙ ආයෙ ආයෙ මතක් කරන්න ඕනෙ සමරන්න ඕනෙ දවසක්. හැබැයි මෙමරි වලට එන්න කියල ෆේස්බුක් ස්ටේටස් අප්ලෝඩ් කරන්න බෑනෙ”
ඒ මුවග අඩ සිනහවක් තිබිණ. මේ පිරිමි හදවතේ මේ තරම් චමත්කාරයක් වෙත්දැයි ඇය බලා සිටියේ නො තේරුම්වයි.
“මං… මගින් බැහැල එන්නද…”
මගදී ඇය විමසූවත් දෙව්රම් ඊට ඉඩ දුන්නේ නැත.
“එහෙම ඕන්නෑ. ඕන්නං කෙනෙක් හිතයි මං මගදි හම්බවෙලා ඔයාව කා එකට නග්ගගත්ත කියල. එහෙම නැත්තං කැමති විදිහකට හිතපුදෙං. මගෙ හිතේ බොරුවක්වත් හංගන්න දෙයක්වත් නෑ. මේක රඟපෑමකුත් නෙවෙයි ආදියා. අපි දැන් මේකට මූණදෙමු”
ඇගේ උකුල මත වූ අතක් ඔහු මෘදු ලෙස අල්වාගත්තේ ය. යන්තම් ඔහු වෙතට නැඹුරු වූ ඕ ඒ උර මඬල මත දෙතොල් තැබුවා ය.
ගෝල්ඩන් ලීව්ස් වෙත එත්දීත් වැස්ස නො කඩවා වැස්සේ ය. ආදියා විදුලි සෝපානය වෙත ගිය අතර දෙව්රම් ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ කුටිය දෙසට ගියේ ය. පමා වී කාර්යාලයට පැමිණි ඇය දෙසට බොහොමයක් ඇස් යොමු විය.
“ආ හා… ඊයෙත් නෑ… අදත් ලේට්… හොර ගමනක් වගේ”
කවුදෝ කීහ. ආදියා ඒ ගැන අවධානය යොමු කළේ ම නැත. නමුත් මල්ෂා ට මිතුරියගේ දෑස් හැඳිනිය හැකි විය.
“ඇත්ත කියපාං… මොකද වුණේ…”
“මො… නාද…”
“මොනාද වුණේ කියල තමයි මාත් අහන්නෙ”
“ඇයි අනේ මං කෝල් කරල කිව්වෙ. අක්ක පිස්සුවක් නැටුව. මං එයාගැන බය වෙච්ච නිසයි ආවෙ නැත්තෙ. ඇත්තටම… දිව්රන්නං”
“ඊයෙ ගැන නෙවෙයි මං අහන්නෙ. අද ගැන”
“අද…”
“හ්ම් අද. මොකද වුණේ… ඔයාගෙ ඇස් දිළිසෙනව ආදියා… ඒ නිකංනං වෙන්න බෑ”
“හරි මං හෙමීට කියන්නං. ලන්ච් අවර් එකේ කියන්නං”
දෙව්රම් කාර්යාලයට පැමිණියේ තවත් මඳ වෙලාවකට පස්සේ ය. ආදියා පරිගණකය දෙස ම බලාගෙන සිටියා ය. නමුත් ඇගේ ඇස් කොනට, මල්ෂා ඇය වෙතට හෙලු අමුතු බැල්ම හසු විය. ඇස් සිනහ වෙන එක නවතාගන්නේ කෙසේදැයි ඇයට තේරුණේ ම නැත.