වියෝ ගී ගැයෙනා හදේ – 28

0
4062

කේක් ගෙඩිය කපා අම්මාටත් ආච්චිටත් සීයාටත් අනෙක් යාලුවන්ටත් කවා අවසන් උනයින් පස්සේත් තමන් වෙනුවෙ අනෙක් අය ගෙනා තෑගි පාර්සල් සන්තෝසයෙන් “තැන්ක්‍යු” කියා භාරගත්තයින් පස්සෙත් පෙත්මලීට කරන්න තිබුන එකම දේ යාලුවන් එක්ක සෙල්ලම් කරන එක පමණකි. තමන්ගේ නිල් පාට එල්සා ප්‍රින්සස් ගවුම තරම්ම ලස්සන නැතත් ලා කහපාට ප්‍රින්සස් ගවුමක් ඇඳගෙන උන්නු රිතූ එක්ක ප්‍රින්සස් ගේම් එකක් සෙල්ලම් කරන්න පෙත්මලී යොමු වුනේ ඒ විදියටය.

“අපි තව කේක් කමුද?” කියා පෙත්මලී රිතූගෙන් ඇහුවේ අම්මල තාත්තාල ඔක්කොම එයලගෙ කතා බස් අස්සේ ගොඩාරියක් බිසී වී උන්නු හන්දාය.

“හා” කියූ රිතූගේ අතෙන් අල්ලගෙන පෙත්මලී කේක් එක ලඟට යද්දි පෙත්මලී එක්ක බෙදාගන්න රිතූට හුඟක් කතා තිබුන බව ඇත්තකි.

“මම සෝමා ආච්චිට කිව්ව අපේ තාත්තිට වීකෙන්ඩ් එකේ  එකේ ගිහින් දෙන්න ලොකූඌඌ කේක් කෑල්ලක් කපලා ෆ්‍රිජ් එකේ තියන්න” කියා කියන අතරවාරයේම අත් දෙකත් ඈත් කර කටත් උල් කර එහෙම කියන්න පෙත්මලී අමතක කලේ නැත.

“ඇයි තාත්ති ආවෙ නැත්තෙ ඔයාගෙ පාටි එකට. ඒ ඔයාගෙ පාටි එකනෙ. අපෙ තාත්තියි අම්මියි දෙන්නම හිටියනෙ මගෙ බර්ත් ඩේ පාටි එකට”

“තාත්ති උදේ ස්කූල් එකට එන්න නිවාඩු ගත්ත නිසා වැඩ ගොඩක් තියෙනව කිව්වා කරන්න. බිසී නිසා තමයිලු තාත්තිට එන්න බැරි. ඒකයි මම තාත්තිට ගෙනියන්න කේක් තියන්න කියල සෝමා ආච්චිට කිව්වෙ”

“ඔයාගෙ තාත්ති ආවෙ නැත්තෙ බිසී නිසා නෙවෙයි කියල අපේ අම්මියි තාත්තියි එන ගමන් කතා කර කර ආවෙ කාර් එකේ”

“ඒ කිව්වේ?”

“තාත්ති ආවෙ නැත්තෙ ඔයාගෙ අම්මියි තාත්තියි තරහ වෙලා නිසාලු”

“අපේ අම්මියි තාත්තියි තරහා වෙලා නෑ? ඇයි එයාලා තරහ වෙන්නෙ. තරහ නම් තාත්ති උදේ ස්කූල් එකේ පාටි එකට එන්නෙ නෑනෙ” කියා අහද්දී අතේ තිබ්බ කේක් බෙදාගන්න අරගත්ත පේපර් ප්ලේට් එක පැත්තකින් තියන්න පෙත්මලී අමතක කරේ නැත. තාත්තා කිසිම විදියකින් අම්මා එක්ක තරහ වෙන්න විදියක් නැත. තරහ නම් තමන් ඉස්කෝලෙදි කාත් එක්ක හරි තරහ ගියාම වගේ මාපටඇඟිල්ල අනිත් පැත්ත හරවා තරහයි කියා කියන්න ඕනය. තාත්තාවත් අම්මාවත් එහෙම කරනවා තමන් දැක්කේ නැත. ඉතින් එහෙම නම් අම්මාත් තාත්තත් තරහ බව රිතූ කියන්නෙ බොරුවක් විය යුතු ය.

“නැ තරහලු. ඔයායි අම්මියි මෙහෙ ඉන්නෙයි තාත්ති මෙහෙ නැත්තෙයි තරහ නිසාලු. ඔයාගෙ තාත්ති ඔයාගෙ සීය එක්කත් තරහලු”

“ඇයි අම්මියි තාත්තියි තරහ වෙන්නෙ? ඇයි සීයා එක්ක තරහ වෙන්නෙ?” කියා පෙත්මලී අහපු ප්‍රශ්නයට රිතුට ඇගේ මට්ටමෙන් දෙන්න තිබුනේ එකම එක ආකාරයක උත්තරයක් පමණකි.

“ඔයා නෝටි නිසා වෙන්නැති තාත්තියි අම්මියි තරහ වෙන්න ඇත්තෙ” කියා රිතූ කියද්දී පෙත්මලී උන්නේ උපන්දින උත්සවයේ සතුට පරදවා යන දුකකින් හිත පුරවගෙනය.

“මං නෝටි නෑනෙ”

“නැත්තම් තාත්තියි අම්මියි තරහ වෙන්නෙ නැනෙ. තාත්තියි ඔයා නෝටි නිසා තමයි අද මේ පාටි එකටත් ආවෙ නැත්තෙ” කියා රිතූ කේක් එකෙන් අයිසින් ටිකක් ඇඟිල්ලට ගාගෙන ඒ ඇඟිල්ල කටේ දාගෙන කියද්දී පෙත්මලීගේ කටෙන් දුකටත් තරහත් මිශ්‍ර වෙච්ච වචන පේළියක්ම එකපාර පිටවුනාය.

“මම නෝටි නෑ, තාත්ති ආදරෙයි මට. එයා අදත් මට ගොඩාක් ගිෆ්ට්ස් අරගෙන දුන්නා. මම නෝටි නෑ. අපේ අම්මියි තාත්තියි තරහත් නෑ. ඔයා තමයි නෝටි. ඔයාගෙ එදා කසුනිට ගැහුවෙ. ඔයයි නෝටි. ඔයාගෙ අම්මියි තාත්තියි තමා තරහා. යු ආර් නෝටි, යූ හර්ට් මී” කියා රිතූගේ ඇඟට කඩන් පැන, තරහටම කේක් ගෙඩියත් බිමට ඇද දමා දුවගෙන ගිය පෙත්මලී නතර වුනේ තමන් වෙනුවෙන් සීයාගේ ගෙදර වෙන් කර තිබූ කාමරයේ ටෙඩි බෙයා කෝනර් එකේය. ඒ ටෙඩි බෙයා කෝනර් එකේ බිම දමා තිබූ ලොකුම ටෙඩිබෙයාව තාත්ති ගෙනත් දුන්නේ උගේ ඇඟ උඩක ඇඳක වගේ හාන්සි වී පොත් කියවන්න තමන්ට පුලුවන් හන්දාය. කාලයක් තිස්සේ ඇඟේ හාන්සි වී පොත් කියවූ කාලය අවසන් වූ බව නොතේරුනත් පෙත්මලී මෙදා රැයේ කලේ ටෙඩි බෙයාගේ බඩට උඩට පැන මහ හයියෙන් අඬමින් කඳුලු පෙරූ එකය.

උපන්දින සාදය අවසන් උනේ ඒ අනුවය. අම්මාත් තාත්තාත් ආ නෑයන්ද හිතවතුන්ද එක්ක කතා බස් කරමින් පෙත්මලී නිසා ඇතිවුන අපහසුතාවය මගාරින්න උපරිම උත්සහය ගත්තහ. ඒ අතරවාරේ මේධාවිණී ඉන්නේ පෙත්මලී එක්ක කතා කරන්න උත්සහ කරමින් වුන දේ මොකද්ද කියා අහගන්න හිතාගෙනය.

“රිතූ රිතූ කිව්වා අම්මියි තාත්තියි තරහ වෙලා ඉන්නෙ කියල. මම නෝටි නිසාලු. මම නෝටි නිසාද අම්මියි තාත්තියි තරහ? ඒකද අපි සීයලගෙ ගෙදර එන්නෙ? මට බෑ තාත්ති නැතුව ඉන්න. ඉහි ඉහි ඉහි. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්…..ම්ම්ම්ම්ම්ම්ම්ම්…… තාත්තිට එන්න කියන්න. මට තාත්තිව ඕන. තාත්තිව ඕන මට. ම්ම්ම්ම්ම්ම්” කියා අඬමින් උන් පෙත්මලීව සනසවන්නේ කොහොමද කියන එක ගැන කිසිත් අදහසක් මේධාවිණීට තිබුනේ නැත. එලියේ වලාකුලු තාත්තා එක්ක කතාකරමින් උන්නු හන්දා ඔහුට තනියක් දැනෙනවා ඇතැයි කියන හැඟීම හිතට වදයක් නොවුනත් පෙත්මලී මෙහෙම තාත්තා ඉල්ලා දිගටම ඇඬුවොත් තමන්ට කරන්න දෙයක් නැති බව හිත තිබුනේ පුදුමාකාර අපහසුතාවයකින් පුරවා දමමිනි.

“බබී මේ අහන්නකො, දැන් රෑ නෙ. තාත්තිට දැන් එන්න බෑනෙ. අපි හෙට කතා කරමු තාත්තිට එන්න කියල හොඳේ” කියා අම්මා කොච්චර කිව්වත් ඇඬුම්බර මුහුණෙන් ද රතුවෙච්ච කම්මුල්ද ඉදිමිච්ච ඇස් ද එක්ක උන්නු පෙත්මලී උන්නේ ඒ කතා අසා හිත සනසගන්න අදහසක නොවේ. 

“බෑ බෑ බෑ. මට තාත්තිව ඕන. මට දැන්ම තාත්තිව ඕන. තාත්තිට එන්න කියන්න. තාත්තිට එන්න කියන්න” කියා පෙත්මලී ගවුම ඇඟෙන් ගලවා දමා යට කලිසම විතරක් ඇඳගෙන බිම වැටී සෙල්ලම් බඩු ද පොත් ද විසිකර දමා ඒ ගොඩේ වැටී දඟලද්දී චිරත්ට කතා කරනවා ඇරෙන්න මේධාවිණීට වෙන උත්තරයක් තිබුනේ නැත. 

“තාත්ති බිසීනෙ දරුවො මේ වෙලාවෙ. තේරුම්ගන්නකො. නෝටි වෙන්න එපා ඔයා. බලන්න අර පහල ඔයාගෙ යාලුවො හරි ලස්සනට ඉන්නවනෙ. අද ඔයාගෙ බර්ත් ඩේ එක නේද? කෝ එන්න බබී මේ ගවුම ඇඳගන්න හොඳ දරුවා වගෙ අපි පහලට ගිහින් ආපහු සෙල්ලම් කරමු”

“බෑ බෑ බෑ තාත්තිට එන්න කියන්න. මට බර්ත් ඩේ පාටි එපා. මට ඕන තාත්තිව”

චිරත් එවෙලේ උන්නෙ ඇත්තටම මෙතරම් මාස ගණනයක් පුරාවට අඩාල වී තිබුන අතරමග නතර කර දමා තිබුන තමන්ගේ රෙස්ටුරන්ට් එකේ වැඩ ආයෙම අලුතෙන් පටන් ගන්න හිතමින් ඒ සඳහා සැලසුම් කරමිනි. රෙස්ටුරන්ට් එක දැමීම සඳහා අවශ්‍ය බිල්ඩින් එක මිල දී ගෙන අවශ්‍ය විදියට කලර් වොශ් කර ෆර්නිචර් ද අරගෙන තිබ්බ එකෙන් දැන් තමන්ට තියෙන්නේ ඒ සියල්ල පිලිවෙලක් කර ඒ රෙස්ටුරන්ට් එක ඕපන් කරන එක පමණකි. චිරත් එදා රැයේ උන්නේ ඒ වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් සූදානම් කරගැනීම සඳහා වෙන්ඩර්ස්ලා කිහිප දෙනෙකු සමග ඇමතුම් ගනිමිනි. එහෙත් නොසිතු වෙලාවක නොසිතූ විදියට මේධාගෙන් දුරකතන ඇමතුමක් එන බව දුරකතනය හඬමින් කියද්දී ඒ ඇමතුම හා සම්බන්ධ නොවී ඉන්නට ඒ කිසිම බිස්නස් රිලේටඩ් වැඩක් චිරත්ට හේතුවක් වුණේ නැත.

ඇමතුම සම්බන්ධ උනේ ඒ අනුවය.

“කියන්න මේධා?”

“මේ බබා අඬනවා ඔයාව ඕන කියල”

“එකපාර? මොකක් හරි ප්‍රශ්නයක් උනාද?”

“පාටි එකේදි කවුරුහරි කියල ඔයයි මමයි ඩිවෝස් වෙලා තියෙන්නෙ එයා හන්ද හරි මොකක් හරි කියල. කේක් එකත් පොලොවෙ ගහල මිනිස්සුන්වත් බය කරල දැන් මේ කාමරේට ඇවිල්ල කෑගහ ගහ අඬනව ඔයාව ඕන කියල. ආහ් ඉන්න මේ ෆෝන් එක ඉල්ලනවා ඉන්න මම දෙන්නම්” කියා මේධා දුරකතනය පෙත්මලීට අතට දෙන්නට ගත් තප්පර කිහිපයෙත් චිරත් මාස ගානක දේවල් හිතා ගත්තේය.

“අනේ තාත්ති ඔයා එන්නකො. මට පාලුයි ඔයා නැතුව. මම නෝටි නෑ නේද? තාත්ති එන්නකො” කියා පෙත්මලී එහා පැත්තෙන් අඬද්දි දුරකතන ඔස්සේ කොච්චර හිත සැනසෙන්න දේවල් කියන්න පුලුවන් උනත් පෙත්මලීට මේ වෙලාවේ වඩා වැදගත් වෙන්නෙ තමන්ගේ තුරුලේ සැනසෙන්න කියන එක තාත්තා කෙනෙකු විදියට චිරත්ට නොතේරුනා නොවේ.

“මම දැන් එන්නම් මේධා” කියා චිරත් ඉන්පස්සේ දුරකතනය අතට ගත් මේධාවිණීට කිව්වේ ඒ අනුවය.

“මේ මේ චිරත්, දැන්ම නෙවෙයි ඔයාට තව පැය දෙකකින් වගේ එන්න පුලුවන්ද?” කියා මේධා අහද්දී මෙහෙම වෙලාවක එහෙම අහන්නට තරම් මේධාට පිස්සුද කියා හිතුනත් චිරත් “ඇයි?”කියා ඇහුවේ වඩා සං‍යමයකින් ය.

“මේ, රෙලටිව්ස් ලා, නේබර්ස්ලා ඔක්කොම ඇවිත් ඉන්නෙ. ඔයා ආවත් ගාර්ඩන් එක මැද්දෙන් නෙ එන්න වෙන්නෙ. එයාලා දැක්කොත් ඔයා එනව…” කියා මේධා කියද්දී හිතට ආව තරහ තවදුරටත් හිත අස්සේ තද කරගෙන ඉන්න චිරත්ට ඉතින් පුලුවන් උනේ නැත.

“මේධා මේ… තමුසෙ මෙන්න මේක හොඳට අහගන්නවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here