“මේධා මේ… තමුසෙ මෙන්න මේක හොඳට අහගන්නවා. තමුසෙයි මමයි ඩිවෝස් වෙච්ච එකත් තමුසෙගෙ මහ ලොකු උවමනාවට කරගන්න ඉඩ දුන්න එකෙන් අන්තිමේ දුක් විඳින්න උනේ මගෙ අහිංසක කෙල්ලට. තමුසෙටයි තමුසෙගෙ ගෙවල් වල උන්ටයි ලැජ්ජ ඇති මං වගේ ගමකින් ආව තමුසෙල තරම් සල්ලි නැති එකෙක්, තමුසෙගෙන් ඩිවෝස් උනාටත් පස්සෙ ඔය ගෙදරට යන එන එක. හැබැයි මාව නවත්තන්න නම් හිතන්න එපා. මම එන්නෙ මගෙ දරුව වෙනුවෙන්. තමුසෙගෙ තාත්තගෙ මහ ලොකු ගෙදරට නෙවෙයි මම මොන තූත්තුකුඩියකට අපායට උනත් යනවා මගෙ දරුවා වෙනුවෙන්” කියා දුරකතන ඔස්සේ තමන්ට බොහෝ දේ කිව් චිරත්ට උන්නු තැනක හිඳ තමන්ගේ ගෙදරට එන්නට ගත උනේ පැය භාගෙකටත් අඩු කාලයකි.
තමන් පුදුම විය යුත්තේ තමන්ට එයාකාරයෙන්, කොපමණ තරහ ගියත් කතා කරේ නැති චිරත් අද මෙහෙම කතා කර එක ගැනද, එහෙම නැත්තම් දුවෙක් වෙනුවෙන් ඕනම රැයක, ඕනම තැනකට එන්න පුලුවන් අන්දමේ තාත්ත කෙනෙකු තමන්ගේ දරුවට ඉන්න එක ගැනද කියා මේධාවිණී ඒ පැය බාගය ඇතුලේ කල්පනා කරද්දී “තාත්තා එනවා කිව්වා” කියා කිවාද පෙත්මලී උන්නේ මොහොතකටවත් ඒ හැඬිල්ල නතර නොකර, “තාත්තා එනතුරු පැමිණ තමාව වැලඳගන්නා තුරු මේ හැඬුම නොනවත්වමියි” කියන දැඩි තීරණයෙනි.
චිරත් ආවේ දහසක් දේවල් තමන්ගේ ඔලුව අස්සේත් පපුව අස්සේත් කියවෙන ලියවෙන අතරවාරයේය. තමන් මේධාට දුරකතනය ඔස්සේ කතා කරන්නට යෙදුන දේවල් වැරදි බව, නරක බව දන්නවා උනත් දරුවා වෙනුවෙන් හිතේ නැගගෙන එන ආදරය මැද්දේ ඒ බැණුම් වැරදි නැති බවට චිරත් විසින් තමන් විසින්ම සාධාරණීකරණය කරගනිමින් උන්නේය.
චිරත් ගෙදරට එද්දිත් මනුර සුමතිපාලගේ විසල් නිවසේ ගෙඋයන තිබුනේ උත්සව ශ්‍රීයෙන් පිරී ගොසිනි. විවිධ වර්ණයේ උත්සව ඇඳුම් හැඳගත් වැඩිහිටි පිරිස් කමින් බොමින්ද කතා කරමින් ද ඉද්දී කුඩා එවුන් කිහිප දෙනෙක් ඒ අතරේ එහෙ මෙහෙ දුව පනිමින් සෙල්ලම් කරමින් ඉන්නවා දුටුවිට චිරත්ට මතක් වුනේ එකම එක දේකි.
“හරිනම් මෙතන මේ වෙලාවෙ සෙල්ලම් කර කර ඉන්න ඕන මගෙ දරුවා නේද? මේ තියෙන්නෙ මගෙ දරුවගෙ උපන්දිනේ නේද?” කියන එකය.කඩා බිඳගෙන දරුවා වෙනුවෙන් මෙහි ආවත් ආලින්දයේ හිටගෙන අද දහවලේ පාසලේදි මුණ ගැසුන වලාකුලු වීරවර්ධන යැයි තමන්ව හඳුන්වා දුන් මිනිසා සමග කතා කරමින් උන් මනුර සුමතිපාලගේ දරදඬු, ගැඹුරු එමෙන්ම තියුණු නෙත් යුගලය තමන් වෙතම එල්ල වී තිබෙනු දකිද්දී ඒ කඩා බිඳගෙන ආ ගමන පය පැකිලී මෙන් නතර වුනේ ඉබේ බව චිරත්ට මතක තිබුණේය. තමන් මේ ආවෙ තමන්ගේ දරුවාව වඩාගෙන සනසවන්න බව උනත් මනුර සුමතිපාලගේ දෙනෙත් බැල්ම ඉදිරියේ තවමත් තමන්ගේ පිරිමිකම බයෙන් ගැහෙන බව චිරත් ඒ වෙලාවේ වඩා හොඳින් තේරුම්ගත්තේය. අනෙක් අතට හිතට තිබුන ලොකුම ප්‍රශ්නය උනේ “ෆොටෝ ගන්න ආව එකා එක්ක ඔච්චර හිනාවෙවී කතාකරන්න තරම් අංකල් කාරයට තියෙන උවමනාව මොකද්ද?” කියන එකය.
මනුර සුමතිපාලව පසුකර ගෙතුලට ගොස් දරුවා වඩාගන්න ලොකුවට උවමනාව තිබුනත්, ගෙඋයනේ පිරී ඉන්න සෙනගේ සියලුම දෙනෙත් බැල්මන් ගනන් නොගෙන ඉන්නට තරම් හයියක් හිතේ උවමනාවටත් වඩා තිබුනත් මනුර සුමතිපාල පසුකර යන්න උවමනාවක් නැති තැන චිරත් නිරුත්තරව එතන මදක් හිටගෙන උන්නේ ඊලඟට කල යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරුවය.
“අරූ මොකද අර පිස්සෙක් වගේ මෙහෙ ඇවිත් තියෙන්නෙ පාර වැරදිලාද?” කියා මදක් එහාට ගිය මනුර සුමතිපාල කමලිනීගෙන් අහද්දී වලාකුලු උන්නේ ඒ හඬ නෑසෙන දුරක නොවේ. ඒ හඬ ඇසෙන අතරවාරයේත් වලාකුලු උන්නේ එලියෙ හිටගෙන උන්නු චිරත් දෙස බලාගෙනය. පෙත්මලී අඬාගෙන ගෙට ගිය හේතුවත් චිරත් මෙහි කලබලේ මේ රැයේ එන්නට හේතුවත් අතර යම් සම්බන්ධතාවයක් තිබෙන්නට හැකි බව තේරුණත් කල යුත්තේ කුමක්ද, තමන් විසින් යමක් කල යුතුද යන්න ගැන සැකහැර දැනගන්න තුරු වලාකුලු උන්නේ නිහඬවම ඔහු දෙස ආලින්දයේ කණුවකට මුවා වී බලාගෙන ඉන්න එකය.
“දරුව අඬනවලු තාත්තව ඕන කියල. මේධා තමයි කෝල් කරල තියෙන්නෙ” කියා මනුරට හීන්සැරේ කියන ගමන් කමලිනී දෙතොල් මත ඇඳගත්ත මද සිනාවෙන් චිරත්ටත් වටේ උන්නු හිතවතුන්ටත් සංග්‍රහ කලේ “ඔයාල හිතනව වගේ තරහක් ප්‍රශ්නයක් අපි අතරෙ නෑ” කියා කියන්නට වගේය. නැතිනම් ඔය වගේ දේවල් ගැන අසන්නට ගෙදරට එන ඇමතුම් වලට පිළිතුරු දෙන්නට වෙන තමන්ට ගෙවායන්නට සිදුවන මානසික පීඩනය සහිත කාල වේලාව ගැන වගක් මේ පිරිමින්ට නැති බව කමලිනී නොදන්නවා නොවේ.
“ඉතින් තාත්තව මේ වෙලාවෙම ඕනද? මේ නෑයොයි යාලුවොයි දන්න එවුන් ඔක්කොම මෙතනට එක්කහු වෙලා ඉන්න වෙලාවෙ මේධාට පිස්සුද මුට එන්න කියන්නෙ? හෙට ආවනම් මදිද?” කියා මනුර අහද්දි උනත් කමලිනී උන්නේ ඒකට දෙන්න ඕන උත්තරේ හිතාගන්න බැරුවය.
“ඔයා හැමදේටම මට කෑගහන්නෙ ගිහින් මේධාගෙන අහන්නකො? ඔයා පොඩිකාලෙ හුරතල් කරපුව වරද තමයි මේධාට හිතට එන හැමදෙම කරන්න පාවිච්චි කරේ. දැන් ඔයා මෙතන මේ මේධා කරන කියන ඒවට් මගෙ ඔලුව කන්න හදන්න එපා” කියා තරහෙන් කිව්වත් මොහොතකටවත් දෙතොලේ ඇඳී තිබුන මදහස නතර කරනොගන්න තරම් කමලිනී දක්ශ වුණාය.
මේධා ගෙදර ඉස්සරහ දොරෙන් එලියට ආවේ ඒ වෙලාවේය. එකම තැන නතර වී කල්පනා කරමින් උන්නු චිරත්ට එතනින් මිදී ඉදිරියට යන්න හයියත් අවසරයත් ලැබුනේ මේධාගේ ඒ දර්ශනය සමගිනි. මේධා උන්නේ වලාකුලු දිහාවට එක නෙත් රැල්ලක්වත් පා කර නොයවන්නට තරම් පරීක්ෂාකාරි වෙමිනි. මේ වෙලාවේ චිරත් ඉදිරියෙදි වලාකුලු දිහාව බලන්නට බැරි තරම් කුමක් හෝ ගිල්ටි ෆීලින් එකක් තමන්ගේ හිත ඇතුලේ තිබුන බව මේධා පසුව ඒ සිදුවීම මතක් කරද්දී මෙනෙහි කර එක ඇත්තකි.
මේධා උන්නු කාමරය දැනගෙන උන්නු නිසාවෙන් මේධාව පසු කර උඩු මහලට යන පඩිපෙල අඩියට දෙකට නැග හැඬිල්ල නිසා අඩපණව උන් පෙත්මලීව වඩාගන්න වැය කලේ විනාඩියකටවත් වඩා අඩු ගාණකි.
“තාත්ති, තාත්ති ඔයා අම්මි එක්ක තරහ උනේ මං නෝටි හන්දද? මං නෝටි ද තාත්ති? කියන්නකො, රිතූ කිව්ව එයාගෙ අම්මි තාත්තියි කතා උනා කියල අම්මියි තාත්තියි තරහ උනේ මං නෝටි නිසා කියල. තාත්ති මගෙ බර්ත් ඩේ පාටි එකට ආවෙ නැත්තෙ ඒ නිසා කියල” කියමින් අඬන කෙල්ලව වඩාගෙන හුරතල් කරන්නටත්, ඇඬිල්ල ඉකිබිඳුමකටත්, ඒ ඉකිබිඳුම අවසානයේ මද මුදු සැනසිල්ලකටත් හුවමාරු කරන්නට චිරත් බොහෝ වෙලාවක් වැය කරද්දී මේධා උන්නේ උඩුමහලේ ආලින්දයක් මෙන් සකසා තිබෙන කොටසේ එහෙ මෙහෙ ඇවිදිමින් අද දවසේ වෙච්ච හැමදේම ගැන කල්පනා කර කරය.
“මං අද දරුවව අරගෙන යනවා” කියා චිරත් පෙත්මලීව වඩාගෙන කාමරයෙන් එලියට ඇවිත් කියද්දී මේධා ඒ සිතුවිලි දහරාවෙන් මිදුණ එක ඇත්තකි. ඒත් හිතට ආවේ ඊට වඩා දරාගන්න අමාරු ප්‍රශ්නයකි.
“කොහෙද?”
“මගෙ ඇනෙක්ස් එකට”
“පිස්සුද ඔයාට?”
“ඇයි?”
“ඒ ගෑණු ළමයෙක්. එයාව කස්ටඩි එකෙන් හම්බුනේ මට. ඔයාට එහෙම හිතිච්ච හිතිච්ච වෙලාවෙ ඇවිල්ල දරුව අරගෙන යන්න බැ”
“හිතිච්ච හිතිච්ච වෙලාවෙ? මං කවද්ද මේධා එහෙම හිතිච්ච හිතිච්ච වෙලාවෙ ආවෙ? මං අද ආවෙ ඇයි? තමුන්ගෙයි තමුන්ගෙ මව් දෙමව්පියන්ගෙයි උද්දච්ච තීරණ හන්දා මගෙ දරුව මෙතන කාත් කවුරුවත් නැති එකෙක් වගේ වැටිල ඉද්දි. තමුන්ගෙ මහ ලොකු නෑ පරම්පරාව පල්ලෙහාට වෙලා පාටි දදා ඉද්දි මගෙ දරවා මෙතන අඬ අඬ ඉද්දි නේද?
ඔයා කොහොමද මේධා මෙච්චර හිතක් පපුවක් නැති ගෑණියෙක් උනේ? කවද්ද ඔයා වෙනස් උනේ? කවද්ද ඔයා ඔයා ලඟ උන්නු අහිංසක ගෑණිව මරලා දැම්මෙ? කියල මං අහන්නෙ නෑ. මට අර කතා පොත් වල ඉන්න ලඳ බොලඳ පෙම්වතා වෙන්න උවමනාවක් නෑ. තමුන් මොනව කරගත්තත් මට කමක් නෑ. හැබැයි තමුන් තමුන්ගෙ පවුලෙ උන් එක්ක එක්කහු වෙලා මගෙ දරුවගෙ ඇස් වලින් කඳුලල් වට්ටවන්න හිතුල මගෙ යකා අවුස්සගන්න එපා”