මල් තුහින -15

” උඹ ඇත්තටම හිටියේ කෝමා එකකද?”

රුවිනි මිතුරියගේ ඇඟට කඩා පැන්නා ය. පාසල් කාලයේ ප්‍රේමය පතා ආ තරුණයෙක් මේ තරම් ඉක්මනින් අමතක වීම සාමාන්‍ය විය හැකිය. එහෙත් මලිති දැන් ඔහු කෙරෙහි ප්‍රේමයෙනි. ප්‍රේමය ලබා දෙන්නට බලා සිටි කාලයේ එය ප්‍රතික්ෂේප කළ යුවතිය දැන් ගැහැනියකි. දැන් තුහිනට ඒ ආදරයෙන් ඵලක් නොවේ.

” මං රමෝද්ටනම් පොඩ්ඩක්වත් කැමති උන් නෑ. ඒ ඉතින් නුවන් අයිය නිසානෙ.”

ඒ කියන්නේ ඕපාදූප බෙදන මිතුරිය හංසිගේ සැමියා ගැනදැයි රුවිනි ව්මසුවා ය.

“නෑ අනේ. නුවන් කියන්නෙ ලංකාවෙ ඉන්න කොල්ලො සීයක් ගත්තොත් අනූ නවයකට තියන නමනෙ. මං ඔයාට කියලා තියන නුවන් එයා නෙවෙයි.”

කෙසේ නමුත් ඒ “නුවන්” ඒක පාර්ශවික ප්‍රේමය මොනතරමේ වේදනාවක්දැයි මලිතිට ඉගැන්වූ කෙනා ය. ඒ කාලයේම ඇය තරුණයෙකුට ඒ පාඩම උගන්වා තිබේ.

“ජීවිතෙ මහ අමුතු සෙල්ලං කරන්නෙ. දැන් ඔයාට පිස්සුවෙන් ලව් කරපු කොල්ලෙක්ව ඔයා රිජෙක්ට් කරා. දැන් ඔයා ඒකට ලව්. පුදුම දේවල් මේවා.”

ප්‍රේමයක් ඉපදෙන්නට මහා වෙලාවක් ගත නොවේ. නමුත් ඒ ඉපදෙන ප්‍රේමය මරා දැමීම පහසු නොවේ. ලැබීමක් නොලැබීමක් නොසිතා එහි ඇලී ගැලීම ගැන මලිතිට වේදනාවක් ඇති නොවිණ. ඇය ප්‍රේමයෙනි. එය ප්‍රමාණවත් ය.

“හිස්ට්‍රි රිපීට් වෙන එක මෙච්චර කැතට වෙනව මං දැකලා නෑ ඒත්. හිතනවකො මේව මහ ෆිල්ම් ස්ක්‍රිප්ට්. අනික රමෝද් මොකද තුහින වුණේ.”

රුවිනි අසන ඒ ප්‍රශ්නයට පිළිතුර මලිති දැන සිටියා ය. උත්පලා ඒ නම ඇගේ සමාජ ජාලා කටයුතු වෙනුවෙන් යොදා ගත්තකි. ඒ වඩා ලස්සන නම තුහින හන්දා ය.

“අනේ මන්ද ඕයි. මං පිස්සුවෙන් ක්‍රෂ් වෙලා ඉද්දී මාව අහකටම දාලා ගණන් නොගත්තු මිනිහෙක් දැන් මට ලව් කීවොත් නම් මං ඌගෙ කනට ගහනව.”

එසේ කියන රුවිනිට ඊළඟට අසන්නට ප්‍රශ්නයක් තිබිණ

“මේ ඔක්කොම මහ විකාර විදියට වෙනකොට අර කියන නුවනුත් තමුසෙට ආදරෙයි කිව්වොත් ඔයා මොකද කරන්නෙ මලී?”

රුවිනි හිනැහුණා ය. වඩා පැහැදිලි පිළිතුරක් වේ.

“නුවන්,නවීන් ඔය කවුරු අතරින් මට කෙනෙක් තෝරා ගන්න තිබ්බත් මං තෝරා ගන්නෙ තුහිනව.”

මලිති එසේ කියද්දී රුවිනි මිතුරිය දෙස බැල්මක් හෙළුවා ය. ඉනික්බිතිව ඇගේ ඇඟිලි තුඩකින් අල්ලා ගත්තා ය.

“මලී, මං ඇත්තටම තාමත් සැක කරනවා තුහිනයා ඩ්‍රග් ඇඩික්ටඩ් කියල. ඒත් මේක මහ අමුතු ලව් ස්ටෝරියක්. ඩ්‍රග් ඇඩික්ටඩ් මිනිස්සුත් බේරා ගන්න පුලුවන්නෙ.එහෙම එකක් තියනම් ඒකෙන් තුහිනව ගලෝ ගමු. ඊටපස්සෙ ඇත්තටම උඹ ඕකට ආදරේ නම් ඒක කියලා දාමු.”

රුවිනි එසේ කියා මිතුරිය දෙස බලා සිටියේ කාරුණික දෑසකිනි. ප්‍රේමය හිමි කර නොගෙන අවසන් විය යුතු නැතැයි ඇය විශ්වාස කරන්නට සතුටු ය. ඇගේ ජීවිතය කුමනාකාරයෙන් කෙළවර වුණත් මලිතිගේ ජීවිතය සැනසීමකින් කෙළවර විය යුතු බව සිතන්නට ඇය සතුටු වූවා ය.

නමුත් දෙබරයකට ගල් වැදුණේ එදින හවස් යාමයේ ය.

“මේ බලන්නකො. පැණි වරකෙට හෙණ ගහල.”

පාරමී කතා කළා නොව කෑගැසුවා ය.

“ඇයි,රංගනී වලකජ්ජ ගහලද?”

රවිඳු ඇසුවේ රංගනීගේ කාමරය වෙත නෙත් යොමු කරමින් උස් සිනා පිපෙද්දී පාරමී දෑත් ඉඟෙහි ගසාගෙන නැගී සිටියා ය.

“එහා ගෙදර පැණි වරකෙට මෝඩයිනෙ. කියන් නෑ. මෝඩ කතා කියනවනෙ”

ඇය එසේ කියද්දී අමාලි සෙසු මිතුරියන් දෙස නිස්කලංක බැල්මක් හෙළුවා ය.

“අනේ ඕක මෙයාගෙ කන්කළු ස්වරෙන් අහන්න ඕනය.ෆේස්බුක් ගිහින් උත්පලාගෙ වෝල් එක බලන්නකො”

රුවිනි එය මලිතිට පෙන්වූවා ය.

“දැඩි මත්ද්‍රව්‍ය ඇබ්බැහියට ලක් වූ මිනිසෙක් සමඟ ජීවිතයක් ගෙවීම පහසු නෑ. ලෝකයේ සිටින හොඳම බිරිඳ වෙන්නට මට ඕනෑ වුණත් පවුල් ජීවිතය ගැන කිසිම හැඟීමක් නැති මිනිසෙක් සමඟ එය කරන්නටත් අපහසුයි. ආදරේ එක්ක ජීවිතේ පිටුව මෙතැන් සිට වෙන් වෙන්නේ අසාර්ථක විවාහයකින් දුක් විඳින සහෝදරියන්ගෙ කඳුළු කතා බෙදා ගන්නට බව කියන්නට මම කැමතියි. තවදුරටත් මම වීරසේකර මහත්මිය නෙවෙයි. උත්පලා දෙනිපිටිය ලෙස ඔබ එක්ක මම සදහටම ඉන්නවා. අත් හැර දැමූ විවාහය ගැන මගෙන් අහන්නට එපා.”

උත්පලාගේ සටහන එහෙම ය. ලෝකයේ සිටින හොඳම ස්වාමි පුරුෂයාගේ වස්ත්‍ර ගැලවී යාම තරුණ පිරිස සමච්චල් කරමින් හිනැහෙද්දී මලිති නිහඬවම වීදුරු බිත්තිය වෙත ඇවිද ගියා ය. ආදරේ එක්ක ජීවිතේ රූගතවූ නිවස අඩි කිහිපයක් එහායිනි. 

ඒ කැදැල්ල බිඳී ගොස් ය.

(අපි මල් තුහින බෝනස් කතාංගයක් සමඟ අද හවස 6.30 ට මුණ ගැහෙමු)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles