ජීවිතය කවියක් නොවේ – 27

0
1273

නීතිඥ සුරංජිත් පිටව  ගියේ තවත් විනාඩි දහයකට පමණ පසුවය.හසාරා ඇසූ දිග ප්‍රශ්නවලට ඔහු ළඟ වූයේ කෙටි උත්තරය.ඒ බොහෝ තැන්වලදී මේ ලිපිය කියවා සිටින්නයැයි  ඔහුු පැවසුවේය.සුරංජිත් නික්ම ගිය පසු ඉදිරිපස දොර හොඳින් වසා දැමූ  හසාරා නිවස සිසාරා බැල්මක් හෙලුවේ  වසා දැමූ දොරට පිට දීගෙනමය.වෙනදා වූ පිළිවෙල සන්සුන්කම එහි වූයේ නැත.සුවපහසු පුටුවල පිළිවෙලකට තබා  තිබූ කොට්ටා තැනින් තැන වූයේය.තේ බිව්  කෝප්ප මත්පැන් පානය කල වීදුරු,  කටගැස්ම තැබූ  බඳුන් කුඩා මේසය මත විය.යළිත් දිගු සුසුමකට දුක බර කල තරුණිය සුවපහසු අසුනකට බර වූයේ  ලිපි කවරය විවර කරමින්ය.සිදු නොවිය යුත්තක් සිදුව ඇති බව හැඟුණත් හසාරා අපමණ වෑයම් කර සිත සන්සුන් කර ගත්තාය.

“ හසාරා……”

මුලින්ම මම ඔයාගෙන් ඉල්ලා සිටිනවා මේ ලිපිය අවසාන වෙනතුරු කියවන්න කියලා.මොකද සමහර වෙලාවට මේ ලිපිය මැදක් හරිය කියවාගෙන යද්දි ඔයාට හිතෙයි මේක ගුලි කරලා විසි කරන්න.ඉරලා දාන්න..එහෙම කරන්න එපා.එහෙම උනොත් අඩු ගානේ මම කියන්න උත්සාහ කරන දේවත්  ඔයාට තේරුම් ගන්න බැරුව යනවා.ඒ නිසා ප්ලීස් ඔයාගේ වටිනා කාලය මං වෙනුවෙන් විනාඩි කිහිපයක් දෙන්න.

අපි දෙන්නා එකතු උනේ මරණයෙන් මිස්  වෙන කිසිම හේතුවකින් වෙන් වෙන්න බලාගෙන නෙමෙයි කියන එක විශ්වාසයි.ඒත් ගෙවිලා ගියපු කාලය එහෙම වෙන් වෙලා යන්න හේතු ඔයාගේ පැත්තෙන් නොවුනත් මගේ පැත්තෙන් මට හදලා දුන්නා.මේ වෙලාවේ මම වැරදිද හරිද කියලා හිතන්න මම උත්සාහ කරන්නේ නැහැ.හැබැයි තව දුරටත් ඔයාගේ ළඟ ජීවත් උනොත් මට මාව පාලනය කරගන්න බැරි වෙයි කියලා මම විශ්වාස කරනවා.ඔයාට ධෛර්‍යය දීලා ඔලුව අත ගාපු  අතින් ඔයාට කම්මුල් පාරක් දෙන්න තරම් මම ධෛර්යවන්ත මිනිහෙක් නෙමෙයි.ඒ නිසා බොහෝ දුරක් කල්පනා කලාට  පස්සේ මේ වේදනාත්මක සමුගැන්ම වඩා සුදුසුයි කියලා මම තීරණය කළා.

ඔයාට මේ වෙලාවෙ හිතෙන්න පුළුවන් ධනංජයට මාව දාලා යන්න තරම් මං මොකක්ද කරපු වරද කියලා.සමහර වෙලාවට වරදක් කියල නොහිතා අපේ අතින් සිදුවන දේවල් අනිත් කෙනාට වරදක් විදිහට පේන්න පුළුවන්.දරු සිහිනය මම අතෑරලා දැම්මේ ඔයාට ප්‍රශ්නයක් තියෙන බව දැන දැනගත්ත මුල්ම දවසේ.ඒ නිසාම මේ ප්‍රශ්නය ඇති උනේ මේ හිත් රිදීම සිදුවුණේ දරුවෙක් නිසා කියන වැරදි වැටහීම ඇතිකරගන්න එපා.

ඔයාට ගොඩක් හීන තියෙනවා කියලා මම දැනගත්තේ ඔයාව මැරි කරලා මේ වහල යටට ආවට පස්සේ.එතෙක් කල් මම හිතාගෙන හිටියේ අපිට හැමදේම ලැබිලා කියලා.අපි ජීව්තය දිනලා අවසන් කියලා.හැබැයි ඔයාගේ හීන වල තියෙන ගොඩක් දේවල් ඔයා තාම ලං  කරගත්තේ නෑ කියලා ඔයා දවසක් මමත් එක්ක කිව්වා.උපාධිය කියන්නේ  මේ ගෙදර,  මේ වාහනේ මේ රැකියාව කියන්නේ ඒ හීන කන්දට යන්න අඩිය තියපු ගමනේ මුල් පියවර කියලත් ඔයා මට කිව්වා.දවසක් ඇවිල්ලා ධනංජය මං මාස්ටර්ස් කරනවා කියලා කිව්වහම මං හිනා වෙලා ඔයාගේ ඔළුව  අත ගාලා  කිව්වා අපි කරමු කියලා.ඔයාට ඒ අතීතය මතක ඇති.

ඔයාගේ මගේ වෙනස පටන් ගත්තේ අන්න එතනින්.හසාරා මම ලැබිච්ච දේවල් වලින් සැනසෙන්න දැනගෙන හිටපු මනුස්සයෙක්.මට හීන තිබුණේ ඩිග්‍රි එක කරන්න ජීවත් වෙන්න පුළුවන් රස්සාවක් හොයාගන්න ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න මං ආදරේ කරපු ඔයාව මගේ කරගන්න  විතරයි.එතනින් එහාට මට ඕන උනේ  හීන දකින්න නෙමෙයි. හීන දැකලා ලං  කර ගත්තු ජීවිතය විඳින්න.හැබැයි ඔයාට තිබුනේ දවසින් දවසෙ මේ ජීවිතයේ ඉනිමඟ දිගේ නගින ගමනක්.ඔයාට තිබුනේ නිම නොවන හීන ගොන්නක්..

අපිට ගමනක් යන්න වෙලාවක් තිබුණේ නෑ අපිට ආදරෙන් කතා බහ කරන්න වෙලාව හරි අවමයි.වෙනද වගේ පැයක ගානක් ඔයාට මං ළඟ හුරතල් වෙන්න ඕන කමක් තිබුණේ නෑ.නිදහස් තැනක ඇවිදින්න යන්න.අලුත් තැන්වල ට්‍රැවල් කරන්න ඔයාට උවමනාවක් තිබුණේ නෑ.ඔයාට තිබුණේ  විබාගත් එක්ක උසස් වීම් එක්ක ඉදිරියට යන ගමනක් විතරයි.හැබැයි ගෙවිලා ගියපු හැම තත්පරේකම මට ඕන උනා  ජීවිතේ විඳින්න.සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.කෙටි කරලා කිව්වොත් සතුට විතරක් දකින්න.ඒකට ඕන කරන හැම දේම අපි ලඟ තිබුනා හසාරා.

මුලදී ඔයත් එක්කම නිදි  මරාගෙන ඔයාගේ ලඟට වෙලා ඔයාගේ කකුල් අත ගගා  ඔලුව අත ගගා  මං ඔයාට උදව් කලා තමයි.නොකා නොබී පාඩම් කරනකොට බලෙන් කැව්වා.නිදි මරන්න කෝපි, තේ හදලා දුන්නා.සමහර කාලවල ඔයාගේ ඇඳුම් පවා හේදුවේ මම.ඒත් කාලයක් යනකොට මට ඒ හැමදේම ඇතිවුණා.ඔයා එක එග්සෑම් එකක් ඉවර වෙන්න තවත් එග්සෑම් එකක් පටලවා ගත්තා.ජීවිතයේ අවුරුදු හතළිහක් හතළිස් පහක් ගෙවලා දාපු , මහා බරක් ඔළුව උඩ තියාගෙන  ඉන්න ගෑනියෙක් වගේ ඔයා හැසිරෙන්න ගත්තා.ඔයා ඒ ලස්සන හසාරාව මරලා දැම්මා.

මං සැහැල්ලුවෙන් පාවෙලා ගියපු හැම වෙලාවකම ඔයා මාව හිර කළා.ඔයා මට උපදෙස් දෙන්න ගත්තා.මේ ගේ  ඇතුලෙදි ඔයා ප්‍රින්සිපල් කෙනෙක් වෙද්දි මං ඔයාගේ සුවච කීකරු ගෝලයෙක් වගේ බලාගෙන හිටියා.හැම තිස්සෙම මගේ හිත මට කිව්වා හසාරා  මේ හැම හීනයක්ම හැබෑ කරගෙන එනකොට ජීවිතේ විඳින්න බැරි තරම් අපි වයසට ගිහින් ඉඳියි කියලා.මට අපි ගැන කළකිරීමක් ඇතිවුණා.අපේ සම්බන්ධකම් ගැන කලකිරීමක් ඇතිවුණා.මං නොපතපු  බලාපොරොත්තු නොවුන ලෝකෙක හුදකලා වෙන්න මට සිද්ධ උනා.

කාලයත් එක්ක මිනිස්සු මාව හඳුන්වන්න පටන් ගත්තෙ හසාරගෙ වයිෆ් මිසක් ධනංජය විදිහට නෙමෙයි.මං හිතන්නේ ඔයා ගැන මගේ හිතේ ඉරිසියාවක් ඇතිවෙන්න පටන් ගත්තේේ එතනින්.ඒ අපැහැදීම කාලයත් එක්ක ඉරිසියාවකට පෙරලුණා.ඔයාට නිදහසේ උඩ යන්න ඉඩ ඇරලා සරුංගලේ නූල අත් හැරියා වගේ හැඟීමක් මට ඇතිවුණා.මට මං ගැනම කේන්තියක් ඇතිවුණා.මං ගැනම කලකිරීමක් ඇතිවුණා.මං කවදාවත් ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්න කැමති වෙච්ච මිනිහෙක් නෙමෙයි.හදවතින් හිනා උන මිනිහෙක්.මං මේ තත්පරේ ජීවත් වෙන්න උත්සාහ කරපු මිනිහෙක්.හෙට ගැන හීනයක් හෙට ගැන බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණේ නෑ.ඔයාට උඩට උඩට උඩටම පා වෙලා යන්න ඉඩ දීලා කාලයක් තිස්සෙම මං මගේ ලෝකෙ හුදකලා වුණා.ලෝකය හමුවේ මං ඔයාගේ හස්බන්ඩ් කියන භූමිකාව රඟපෑවේ හිතට එකඟව නෙමෙයි.හැබැයි ඔයාට ඒක දැනුනේ නෑ.ඔයා හිටියෙ ඔයාගේ හීනත් එක්ක.ඔයාට ලැබිච්ච අලුත් ප්‍රමෝෂන් එකත් එක්ක.ඔයාට ලැබුණ  අලුත් යාළුවෝ .මේ රටේ ඔයාට ලැබිච්ච පිළිගැනීමෙන් ඔයා ආඩම්බර උනා.ඒක ආඩම්පර වෙන්න හේතුවක් තමයි.ඒත් ඒ සියළු සතුටවත් අතරේ මං හුදකලා වෙනවා කියලා ඔයාට දැනුනේ නෑ හසාරා.මං විදෙව්වා.සෑහෙන්න විදෙව්වා..ඔයාට කියා ගන්න බැරි  වෙච්ච සමහර දේවල් නිසා මං සෑහෙන්න විදෙව්වා.සාම්ප්‍රදායික ගෑනියෙක් විදිහට ඔයා මට යුතුකම් ඉෂ්ට කලා තමයි.තුන් වේල ඔයා මගේ කෑම බීම ගැන හොයලා බැලුවා.උදේට ඔෆිස් යන්න ලෑස්ති වෙනකොට මගේ ඇඳුම් අයන් කරලා අල්මාරියේ  එල්ලලා තිබුණා.ඔයා මමත් එක්ක එකතු වෙලා අපේ ගේ  ලස්සනට හැදුවා.ඔයා මගේ අසනීප ගැන හොයලා බැලුවා.හැබැයි ඔයාට අමතක උනා මගේ සතුට තිබ්බ තැනින් මට ඒක ගෙනත් දෙන්න.මං කවදාවත් ජීවිතේ වගකීම් පටලවාගන්න කැමති වෙච්ච මිනිහෙක් නෙමෙයි.ඔයාට අමතක උනා ධනංජය ඔයා ඇයි ඔතනම කියලා අහන්න.ඇයි ධනා ඔයා ප්‍රමෝෂන්ස් ගැන හිතන්නේ නැද්ද කියලා අහන්න…

මම ආත්මාර්ථකාමී මිනිහෙක්ද පරාර්ථකාමී මිනිහෙක්ද කියලා කියන්න මම අදටත් දන්නෙ නෑ.ඔයාට මතක ඇති ඩොක්ටර් මුලින්ම අපි දෙන්නව චෙක් කරලා ප්‍රශ්නෙ තියෙන්නේ මිසිස්ට  කියලා කියපු වෙලාවෙදි ඔයා තද කරලා මගේ අත අල්ල ගත්තා.මං ඔයාගේ ඔළුව අත ගාලා හිනා වෙලා කිව්වා ඒක  අපි දෙන්නට ප්‍රශ්නයක් නෙමෙයි කියල.ඔයාගේ ඇස් දෙකේ කඳුළු පිරිලා තියෙද්දී මං හිටියේ වෙනමම ලෝකෙක.එතනින් එහාට
මං අපේ අනාගතේ ප්ලෑන් කලේ  වෙනස්ම විදිහකට.ඔයා අඬද්දි දුක් වෙද්දි මං ඔයාට කිව්වේ අපි දෙන්න හැම අතින්ම සර්ව සම්පූර්ණයි අපි ළඟට එන්න පිනක් තියෙන කෙනෙක් කවද හරි දවසක අපි ළඟට එයි කියලා.හසාරා මම ප්ලෑන් කලේ  ඔයා එක්ක ජීවිතේ විඳින්න මේ රටේ හැම තැනකම ඇවිදින්න යන්න.සතුටින් හිනාවෙන්න.අපේ ගෙදර නිතර නිතර පුංචි පුංචි පාටි දාලා අපේ  යාළු මිත්‍රයන්ව හැමදාම අපිට සමීප කරලා තියාගන්න.ඒත් ඔයා මතක් කරන්න අන්තිමට කවදද අපේ ගෙදරට යාළුවෙක් ආවේ.ඔයා කවුරුත් එනවට කැමති උනේ නෑ.ඒක ඔයාගේ ස්ටඩීස් වලට බාධාවක් කියලයි ඔයා හිතුවෙ.

හසාරා ජීවිතේ කියන්නේ අපි දෙන්න එකතු වෙලා ගෙවල් දොරවල් හදාගෙන සල්ලි ගොඩක් එකතු කරගෙන රත්තරන් බඩු ගොඩක් එකතු කරගෙන සුවපහසුව ගත කරන කාලයට නෙමෙයි කියලා ඔයාට තේරුම් කරවන්න මං ගොඩක් උත්සාහ කළා.ඒක ඔයාට දැනෙන්න මං ඉඩ ඇරියා.සතුට තිබුනේ එතන නෙමෙයි.

ඇත්ත අපි දෙන්න කවදාවත් රණ්ඩු වෙලා නෑ.ගහ මරාගෙන නෑ..මට ආපස්සට හැරිලා බලද්දී හිතෙනවා මං හරි ඉවසීමක් තිබුණු මිනිහෙක් කියලා.මහා මනුස්සකමක් දරපු මිනිහෙක් කියලා.

හසාරා අන්තිම කාලෙදි මං මගේ හැඟීමක් ඔයා ඉස්සරහ එළියට දාන්න බය උනා.කොටින්ම කිව්වොත් මම මම නෙමෙයි උනා…

කාලයක් තිස්සේ මේ විදිහට කලකිරීමෙන් දුකෙන් පීඩනයකින් ජීවත් වෙලා ඉඳපු මම කෑලි කෑලි වලට පුපුරලා ගියේ ඔයාගේ අවෝර්ඩ් සෙරමණි එක දවසේ.එදා මං නිකම්ම නිකං රූකඩයක් විතරයි කියලා මට තේරුණා.ඔයා ගැන ලෝකයක් කතා කරද්දී  ධනංජය ගැන කිසිම කෙනෙක් කතා කළේ නෑ.ඒ හැඟීම ඕනම මිනිස් සිතකට පොදු වෙච්ච ඉරිසියාව කියන ධර්මතාවය බව මට දැනගන්න ටික දවසක් ගත වුනා.ඇත්තමයි මං ඒ හැඟීමෙන් මිදෙන්න උත්සාහ කළා.ඒත් මට අන්තිමට දැනුනේ මහා කලකිරීමක් එක්ක හිස් බවක් විතරමයි.ඒ කලකිරීම දවසින් දවස වැඩි උනා..

අවුරුද්දක කාලයක් මං මං වෙනුවෙන් ඉල්ල ගත්තා .මං ඔයා දිහා බලාගෙන හිටිය.ඔයාට මාව තේරුම් ගන්නවත් ඔයාගේ අතින් වරදක් වෙනවා කියලා තේරුම් ගන්නවත් උවමනාවක් තිබුනෙ නෑ.ඔයා මට අත පොවන්න බැරි මානෙකට පාවෙලා  පාවෙලා යන විදිහ මම බලාගෙන හිටියා.මට ඔයා නතර කරගන්න තිබුණු උවමනාව නැති වෙලා ගියා…

( යළිත් හමු වෙමු ආදරයෙන්…..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here