හද සාගරේ – 35

0
6510

උදා අව් රැල්ලක් කැළණි පුද බිම පුරා පතිත වී තිබිණ. උදයෙන් ම ගෙදරින් පිටත් වූ නිසා වැඳ පුදාගෙන නිමා වන විට අව්ව සැර වී නො තිබිණ. ගඟ දිය රැල් පේන මානයේ කෘතිම පන් පැදුරක් එලා ජිනාදරී කලමනා කූඩය ඒ මතින් තැබුවා ය. කැළණිය පුද බිමෙහි පිහිටීම කොළඹින් මහ දුරක නොවූවාට ඇය මේ ගමන සඳහා සූදානම් වූයේ විනෝද ගමනක් යනවා වන් උනන්දුවකිනි. සැන්ඩ්විචස් හා කට්ලට් බඳුන් ද තේ සහිත උණුසුම් බෝතලය ද පැදුර මතින් තැබූ පසු සංකේත් ඒ මතින් හිඳගත්තේ සිනහ කටකිනි.

“පොඩිකාලෙ ශ්‍රීමහ බෝධිය වඳින්න ගිහින් බසවක්කුලම වැව ගාව කාපු හැටි එක පාරටම මතක් වුණා. අනේ ඇත්තමයි ආන්ටි. මේක මරු ආ. කොච්චර කැළණි ආවත් මේ වගේ ෆීලින් එකක් දැනෙන ෆස්ට් ටයිම් මේ”

නිශ්ශංක ද සැහැල්ලු සිනහවකින් කළු ගල් කුට්ටයක් මත අසුන්ගත්තේ ය. ආදියා සැන්ඩ්විචස් හා කට්ලට් බඳුන් විවර කොට ඒවා සංකේත් වෙතට ලං කළා ය.

“කන්න”

ඈ එසේ කීවේ පොදුවේ වී ද ඒ මොහොතේ දෑස් නතර වූයේ දෙව්රම් අසලයි. ඔහු ගේ බැල්මෙහි සඟවාගත නො හැකි ස්නේහ තරංග සරැලි නැගුවේ ය.

“ශහ්. රහයි ආ ආන්ටි. ලොකු ලොකු බ්‍රෑන්ඩ් නේම්ස් තියන හොටේල් වලවත් සැන්ඩ්විච් එක මෙච්චර රස නෑ ආ”

සංකේත් ගේ ප්‍රශංසාව මූණිච්චාවට නැගුණ එකක් නොවේ. එය වූ කලී අවංක ප්‍රකාශයක් බවට මුහුණේ හැම සෛලයක් ම සාක්ෂි දැරුවේ ය. ජිනාදරී සිනහ රැල්ලකට ඉඩ දුන්නා ය.

“කට්ලට්ස් හැදුවෙනං මං. හැබැයි සැන්ඩ්විචස්නං ඉතිං මං නෙවේ”

ගිලින්නට ගිය පාන් කැබැල්ල හිර වූවා සේ සංකේත් බොරුවට කැස්සේ ය. ආදියා මූණ නෝක්කාඩු කරගත්තා ය.

“එහෙනං සාරධාද…”

“සාරධා නෙවේ ආදියා”

ඒ නෝක්කාඩුව වචන වලට පෙරලත්දී ආදියා වඩාත් හුරතල් වූවා ය.

“ආ… අලිය”

ආදියා ට සිදු වූයේ නිහඬ වෙන්නටයි. එතනින් එහාට කතාව ගෙන යාම තමන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර වන වග ඇය දනී. නමුත් ඕ දෙව්රම් වෙතට නෝක්කාඩු බැල්මක් පා කොට හැරියා ය. සංකේත් ඒ දේවල් දන්නේ කොහොමද වැනි නෝක්කාඩුවක් ඒ බැල්මේ විය. දෙව්රම් ගේ මුහුණ සරසා තිබුණේ දඟකාර සිනහවකි. විවාහ වී ඒ විවාහය දික්කසාදයකින් ද කෙළවර කරගත් මිනිසෙකුට ඒ තරම් සැහැල්ලුවෙන් හා නැවුම් බවකින් යුතුව සිනහ විය හැකි යයි කෙනෙකු විශ්වාස නො කරනු ඇත.

“සාරධාට බිම ඉඳගන්න අමාරුයි නේද… අපිට පොඩි බංකුවක් අරං එන්න තිබුණෙ”

දෙව්රම් වට පිට බැලුවේ ය.

“නෑ කමක් නෑ”

සාරධා අහිංසක ලෙස සිනහ වූවා ය. ඇය ට කෑම බඳුන් පිළිගැන්වූයේ දෙව්රම් ය. ආදියා ප්ලාස්ටික් කෝප්ප වලට තේ දැමුවා ය. ඉඟුරු සුවඳ තේ දුම කැළණි ගං සුළඟේ මුහු විය.

පෝය දවසක් නොවූයෙන් පුද බිමෙහි ඒ තරම් සෙනඟක් වූයේ නැත. ගඟ පිස හමනා සුළඟ අව් රශ්මිය මඳක් අඩු කරවී ය. ආදියා සිත්මි සමගින් ඉවුරට ලං ව ගඟ දෙස බලා සිටියා ය.

“බෝට්ටුවෙ යංකො පුංචි”

ඇය ඇවිටිලි කළා ය. දෙව්රම් ඒ ඇවිටිල්ල දැක ඔවුන් වෙතට ලං විය.

“ඇයි බබාට බෝට් එකේ යන්න ඕනද…”

“ඔව්… මේ පුංචි එන්නෑ”

“බෝට් රයිඩ් එකක් ගිහින් එන්න ආදියා. පොඩි එකා ආස ඇතිනෙ”

“එහෙනං ඔක්කොමල යං”

නමුත් සාරධා එය ප්‍රතික්ශේප කළා ය. ඇය තනිව එතැන දමා යා නො හැකි නිසා ජිනාදරී නවතින්නට තීරණය කළා ය.

ඒ බෝට්ටු ගමන සතුට ද විනෝදය ද මතකයන්  ද හදවතේ ඉතිරි කළ ගමනකි. නිශ්ශංක මිණිපිරිය අල්වාගෙන සිටි අතර ආදියා ගඟ දිය වෙත නැවී අතකින් ජල තලය අල්වාගෙන සිටියා ය. ඇය ඒ මොහොත රස විඳිනයුරු දෙව්රම් බලා සිටියේ සැනැහුණු හැඟීමකිනි. ජීවිතයෙහි ලැබෙනා කුඩා දේවල් මත සතුටු විය හැකි සරල ගැහැනියක යනු පිරිමියෙකුට ලද හැකි මහානර්ඝ වස්තුවකි. කුඩා ම තැනකින් පිවිසි සපූ ට උවමනා වූයේ ජනප්‍රියත්වය කියනා තාවකාලික මාර්ගයේ ඇය හිණිපෙත්තට රැගෙන යන්නටයි. ඒ වෙනුවෙන් ඇය ඕනෑ ම දෙයක් කිරීමේ සූදානමක සිටියා ය. ඒ වන විටත් ඇයට ලැබී තිබූ කුඩා දේවල් සේ ම විශාල දේවල් ද කළුගල් බොරළු කැට තරමට නො වටිනා සේ සලකමින් ජනප්‍රියත්වය හඹා යන්නට වූවා ය. ඒ වෙනුවෙන් අවසානයේ ඇය ජනප්‍රිය ම නිළියට හිමි කිරුළ දිනාගෙන තිබේ. නමුත් ඒ වන විටත් ජීවිතයෙහි වූ වටිනාකම් බොහොමයක් අහිමි කරගෙන අවසාන ය. මතුවට තව මොනවා අහිමි කරගනු ඇත්දැයි සපූ ම වුව නො දන්නවා විය හැක.

ඒ දවස නිමා වන විට දෙව්රම් නිශ්ශංක පවුල කෙරේ තව තවත් බැඳී සිටි බව දෙපාර්ශවයට ම දැනිණ. ඔහු පමණකුදු නොව සංකේත් පවා පවුලේ ම කෙනෙකු තරමට සමීප ව සිටියේ ය.

එසේ ඇතිවූ සුවිශේෂ බැඳීම මත සාරධා කෙරෙහි ද දෙව්රම් ගේ අවධානය යොමු විය. ඇය පිළිබඳව නිශ්ශංක හා ජිනාදරී සමග ද ආදියා සමග පෞද්ගලිකව ද ඈ ගැන කතා කළේ ය.

“එයා ලොකු ටෙන්ශන් එකක ඇත්තෙ. ප්‍රෙග්නන්සි එකේ කම්ප්‍ලිකේශන්සුත් එකතු වුණාම ඒක හරි අමාරු ඇති. කොහොමහරි ඉතුරු ටික දවසත් අල්ලං ඉන්න ඕනෙ. පරිස්සමෙන් එයාව බලාගන්න ඕනෙ”

ඔහු ආදියා ට කීවේ  ප්‍රවේසමෙන් වචන එකතු කරමිනි.

“ප්‍රෙග්නන්සි පීරියඩ් එක ලේසි දෙයක් කියල මං හිතන්නෑ ආදියා. ඇඟ මහත් වෙලා බඩ ලොකු වෙලා… පපුව තද වෙලා වගේ හුස්මත් ගන්නෙ අමාරුවෙන්. ඇඟට දැනෙන අපහසුතාත් ඕනතරං ඇතිනෙ. ඒ වගේ කෙනෙක් ළඟින් තමන්ගෙ හස්බන් ඉන්න එක තමයි හොඳම බෙහෙත. ඔයාගෙ අක්ක ඒ වාසනාවවත් නැති ගෑනු ළමයෙක්නෙ ආදියා. ඒක නිසා එයා ලොකු පීඩනේක ඇත්තෙ. එයාව තේරුං අරං කොහොම හරි මේ කාලය ගෙවාගන්න එක තමයි කරන්න තියෙන්නෙ”

ආදියා වඩාත් අක්කා ට සමීප වන්නට උත්සාහ කරමින් සිටියා ය. සාරධා ගර්භණී සමයෙහි අවසාන කාලය වෙත ළඟා වෙමින් සිටියා ය. මේ අතරේ දිනේශ්, සති දෙකෙන් උසාවි ගෙනැවිත් නැවත නඩු     විමසීමෙන් අනතුරුව වැරදිකරු වී මාස හයක් දක්වා සිරයට නියම විය. එදාත් සාරධා ගේ මුහුණ හිස් කඩදාසියක් සේ ම විය. එහි කිසිදු හැඟීමක් කියවා ගත හැකි වූයේ නැත. මේ වන විට කොහොමටත් ඇය නිශ්ශබ්ධ වෙමින් සිටියා ය. වෙනදා වාගේ ජිනාදරී සමගින් එකට එක කියාගෙන ගියේ නැත. කන්නට කීවොත් කෑවා ය. ජිනාදරී නාන්නට කියා මතක් කළ විට නෑවා ය. ගෙදර අයිතිය ඉල්ලුවේ නැත. ඇතැම් විට සිත්මිව පවා අමතක වී බලාගත් අත ඔහේ බලා සිටියා ය. සිත්මි ගේ සියලු කටයතු සිදු වූයේ ජජිනාදරී අතිනි.

තුන් වරුවක් අංගුලිමාල පිරිත කියවා සාරධා ට ආශිර්වාද කරන්නට ජිනාදරී ට උවමනා විය. දෙව්රම් මේ ගැන උනන්දු වූයේ ය.

“ඉතින් අපි ඒක කරමු ආන්ටි. මට පුළුවන්නෙ පන්සලට ගිහින් හාමුදුරුවො වඩම්මන්න. පිරිකර එහෙම පූජ කරල සාරධා ට ආශිර්වාද කරන්න කියමු”

“ඇත්තටම පුතා ඉන්න එක දැන් මගෙ හිතට අමුතු හයියක් වෙලා. අපි පුතෙක් නැති පවුලක දෙමව්පියො පුතා”

ජිනාදරී කතා කරන්නට පටන් ගත්තේ මඳහසකිනි. නමුත් හිරවීමක් උගුර පාමුලට දැනිණ.

“කෙල්ලො දෙන්නෙක්ගෙ අම්ම තාත්ත වෙන එක පේන තරං ලේසි දෙයක් නෙවේ පුතා. හදිස්සියක කඩේකට යවාගන්නවත් කොල්ලෙක්  නැති නිසා, කොල්ලෙක් හිටියනං අපිට ලැබෙන්න තිබුණ නිදහසත් අහිමි වෙලා හිටිය දෙමව්පියො. ළමයි පොඩි කාලෙ කොහොම වුණත් දිනේශ්ගෙ ඔය ප්‍රශ්න එනකොටනං මට ඒ අඩුව තදටම දැනිල තියනව. එතකොට අංකල් හිනාවෙලා කියනව කොල්ලෙක්ට මේ මං ඉන්නෙ ජිනා කියල. එයා කවදාවත් එහෙම අඩුවක් දැනෙනව කියල පෙන්නල නෑ. අපි කොල්ලො වගේම නිදහස් කෙල්ලො දෙන්නෙක් හදමු ජිනා කියල ඉස්සරනං කියල හිනාවෙනව. අපිට නොලැබිච්ච දේ නිසා ඒ ගැන වැඩිය නොහිතා ඉන්න උත්සාහ කළත්… හිතුණ දැනුණ වෙලාවල් නැත්තෙ නෑ. පුතා මුලින්ම අපේ ගෙදරට ආපු දවසෙත් හිනා වෙලා කතා කරපු විදිහට මට ලෝබ හිතුණ. ඊලඟට ඇවිත් කෑම ටිකක් කාල ගිය දවසෙ හිත පිරුණ. ඊලඟට පුතා මෙහෙම අපේම කෙනෙක් වගේ දැනෙන එක… අමාරු තැන් වලදි අපේම පුතෙක් වගේ පොඩි හරි වගකීමක් දරන්න බරක් කරගහන්න ඉදිරිපත් වෙන එක… ඒක වචනෙන් කියන්න බැරි තරං හැඟීමක් පුතා”

“අයියෝ ආන්ටි. මාත් ඉතිං ආන්ටි වගේම අම්ම කෙනෙක්ගෙ පුතෙක් තමයි. ඒක නිසා ආන්ටිව මට හොඳට තේරෙනව. මේ ලෝකෙ හැම අම්ම කෙනෙක්ටම තියෙන්නෙ එකම විදිහෙ හදවතක් ආන්ටි”

“හැබැයි හැම පුතෙක්ටම එහෙම නෑ කියල ඔප්පු කරන්න මට සාක්ෂි තියනව”

“එච්චර හිතන්නෙපා. මට ළඟ පාත පවුලක් කියල දෙයක් නැති වෙලාවෙ… මේ ගෙදර අය තමයි පවුලක් වගේ දැනුණෙ. දැනෙන්නෙ. සාරධා දිහා නංගි කෙනෙක් වගේ බලන්න මට පුළුවන්. අපි දැන් පන්සලට ගිහිං හාමුදුරුවො එක්ක කතා කරගමු”

ආදියා ඒ මුළු කාලය පුරා සිටියේ කොයි මොහොතේ පැලී යාවිද කියා නිශ්චිත නැති හදවතක් දරාගෙනයි. ඇගේ දෑස් දෙව්රම් මත ම එල්ලීගෙන තිබිණ. ඔහු කොහොම පිරිමියෙකු ද? දිනේශ් වැනි ස්වාමි පුරුෂයෙකු සේ ම නිශ්ශංක වන් ස්වාමි පුරුෂයෙකු ද දැක තිබි ඕ, තමන්ගේ අනාගත සැමියා කෙබඳු කෙනෙකු වනු ඇත්දැයි විටෙක තිගැස්මෙන් සිතා තිබේ. විශේෂයෙන් ම ඇගේ විවාහය සිදු වනුයේ ප්‍රේම සම්බන්ධයක් මත නොවේ කියා දැන සිටියෙන්, ඇය දෙගිඩියාවක සිටියා ය. නමුත් දැන් මේ මොහොතේ ඇයට සිය අනාගතය ඇස් ඉදිරියේ මැවී පෙනේ.

“අපේ බබෙක් ඔයාගෙ බඩේ ලොකු වෙද්දිත් අපි එහෙම කරමු. අංගුලිමාල පිරිත කියමු. එයාව පරිස්සමෙන් හොඳම විදිහට ලෝකෙට ගේන්න පුළුවන් හැම දේම කරමු”

ජිනාදරී පන්සල් ගමනට සූදානම් වීමට ගිය අතරේ දෙව්රම් ආදියා ට කොඳුළේ ය. ඇය ඇස් වල පිරුණු කඳුළු ඇතිව බලා සිටියා ය.

“අක්කට ඇයි එහෙම කෙනෙක් හම්බුන්නැත්තෙ…”

ඇයට එහෙම කියැවී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here