වලාකුලු වීරවර්ධනත් මේධාවිණිත් ගැන හිත කිව්ව සැකයට බර කතාව ඇත්තක් බව චිරත් දැනගත්තේ නොසිතුව මොහොතක මේධාවිණීවත් වලාකුලුත්වත් එලිමහන් අවන්හලකට යනවා දැකීමත් සමගය. චිරත් උන්නේ රෙස්ටුරන්ට් එකට අවශ්‍ය දේවල් කිහිපයක් මිලදී ගැනීම පිණිස හවස් වරුවේ එලියට ගොසින් ඉද්දීය. ආපහු නවාතැන්පොලට යාම පිණිස පික් මී එකක් බලාපොරොත්තුවෙන් පාර අයිනට වී ඉද්දී වලාකුලුත් මේධාත් සිනාවෙමින් මොන මොනවා හෝ කතාකරමින් පාරෙන් එහා පැත්තේ කොබෝලීල ගස් ගොන්නකින් වට වී තිබෙන එලිමහන් අවන්හලකට යනවා දකිද්දී තවදුරටත් එතන හිටගෙන ඉන්න බැරිකම නිසාවෙන්ම චිරත් පාර පැන ඒ අවන්හල වෙත පා නැගුවේය.
වලාකුලුත් මේධාවිණිත් ලොබියේ උන් තරුණිය සමග සිනා සී කෙලවරේ ගස් ගොන්නකින් වට වී තිබෙන මේසයක් වෙතට යනවා දුටු චිරත් ඔවුන් දෙදෙනාට නොපෙනෙන පරිද්දෙන් ඒ අවන්හලේ අනෙක් අන්තයේ, නමුත් මේධාවිණී සහ වලාකුලු වාඩි වී හිඳින තැන හොඳින් පෙනෙන තැනක අසුන්ගෙන බියර් එකක් ඇණවුම් කරේය.
“දැන් ඇයි හදිසියෙම මෙහෙම එලියට එමු කියල කිව්වේ?” තමන් ඉදිරියේ හිඳගෙන සිටින මේධාවිණී සුන්දර මුහුන මත දෙතොල් විදා සිනාවක් ඇඳගෙන අහද්දී වලාකුලු ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් ඒ මුහුන දිහා තප්පර ගණනක් බලාගෙන උන්නේය. මේධා විලිබරව මෙන් බිම බලාගත්තේ වලාකුලුගේ දෙනෙත් ඔස්සේ තමන්ගේ හදවත වෙත සංසරණය වෙන කුමක් හෝ හැඟීමක් දරාගන්න බැරිකම හන්දාමය.
“මං ඇත්තටම අද එමුද කියල ඇහුවෙ පොඩ්ඩක් කතාකරන්න”
“පොඩ්ඩක් කතාකරන්න? ඉතින් අපි ෆෝන් එකෙනුත් කතා කරනවනෙ?”
“ඔව් ඒත් මට හිතුනා මේ කතාව ඔයා එක්ක කරන්න ෆෝන් එකෙන් බෑ. අපි දෙන්න මීට්වෙලාම කතාකරන එක දෙන්නටම හොඳයි කියල” වලාකුලු කියද්දි මේ ඔහු විසින් කියන්නට යන්නේ මෙතෙක් දවස් ඔහු විසින් කවදා හෝ තමන් ඉදිරියේ වචන කරනු ඇතැයි බලාපොරොත්තු උන දේ බව මේධාගේ හිත අලාමයක් නද නොකලා නොවේ. එහෙත් මතුපිටින් මේධා කලබල නොවී වලාකුලු දෙසම බලාගෙන උන්නාය. ඔහු විසින් තමන් බලාපොරොත්තු වන දේ කියන්නට යෙදුන හොත් එයට දිය යුතු පිළිතුර කුමක්ද කියා හිත අස්සෙන් හිත හිත වලාකුලු දිහාවම බලාගෙන උන්නාය.
“මං ඇත්තටම මේක ඔයාට කියන්න දවසක් එනකම් බලාගෙන හිටියෙ. මං ඔයාව දැක්ක මුල්ම දවසෙ ඉඳලම ඔයා ගැන සෑහෙන ස්පෙශල් විදියට හිතුවා. අපි හම්බෙලත් දැන් මාස කීපයක්ම වෙනවානේ. ඒ කාලෙ පුරාවටම මම කල්පනා කලේ ඔයාට කොහොමද මම මේක කියන්නෙ කියල සහ ඔයා මොන විදියට මේකට රියැක්ට් කරාවිද කියල.
මං දන්නවා ඔයා තාම හිත ඇතුලෙන් පොඩ්ඩක් හරි ජීවත්වෙන්නෙ අතීතෙ විත්තිය. ඔයා තාම සෑහෙන හිත ඇතුලෙන් රිග්‍රෙට් කරනව කියල මැරේජ් එක, ඩිවෝස් ගැන ඔක්කොම ගැන. ඔයා ඇත්තටම ඉන්නේ ඒ වගේ දේවල් ගැන රිග්‍රෙට් කරන්න ඕන වයසක නෙවෙයි කියන එක මම කොච්චර මගෙ පැත්තෙන් හිතුවත් පොඩි දරුවෙක් එක්ක තනිවෙන්න වෙච්ච ඕනම ගෑණියෙක් ඔහොම හිතනව කියන එක ගැන මට අමුතුවෙන් තේරුම්ගන්න ඕන නෑ.
මේක කලබල කරලා කියන්නෙ නෑ කියල මම හිතුවට මට ඇත්තටම මේක තව හිත අස්සෙ හංගගෙන ඉන්න බැරි හන්දයි තමයි මේධා මං මේක අද ඔයාට කියන්න හිතුවෙ. මම ඔයාට ආදරෙයි. මං හිතනව මම පහුගිය ටිකෙ කිව්ව කෙරුව දේවල් වලින් ඔයාට සමහරවිට ඒක තේරෙන්න ඇති කියලා. තේරුනත් ඔයා සමහර විට සද්ද නොකර ඉඳියෙ ඔයා තාම ඒ වගේ දෙයක් ගැන හිතුවෙ නැති හන්ද වෙන්න පුලුවන්. එදා ඔයාගෙ තාත්තා එක්ක කතාකරද්දි අංකල් කිව්ව දේවල්වලින් මම තේරුම්ගත්ත දෙයක් තමයි අංකල් උනත් එලියට නොපෙන්නුවට ඉන්නෙ හිතේ අමාරුවකින් බව ඔයාට මේ උන දේවල්වලට.සාධාරණයි ඉතින්. ඕනම පේරන්ට් කෙනෙක් තමන්ගෙ දරුවන්ගෙ දුකේදි කරදරවලදි දුක්වෙනවනෙ. මම මේක කිව්ව කියන එකේ තේරුම ඔයා කලබල වෙලා උත්තරයක් දෙන්න ඕන කියන එක නෙවෙයි මේධා.
අනික මම දන්නව මම ඔයාට ආදරෙයි කියල කිව්වට මම ආදරේ කරන්න ඕන ඔයාට විතරක් නෙවෙයි කියන එක. මම ඔයාට වගේම පෙත්මලීට, අංකල්‍ට ආන්ටිටත් ආදරේ වෙන්න ඕන. කසාදයක් කියන්නෙ දෙන්නෙක්ගෙ විතරක් එකතුවීමක් නෙවෙයිනෙ. අපි දෙන්න එක්වෙනව කියන්නෙ අපි දෙන්නගෙම ෆැමිලීස් එකතුවෙනව කියන එක. මගෙ පැත්තෙ මට ඉන්නෙ අම්මා විතරයි. මං අම්මට ඕල්‍රෙඩි ඔයා ගැන පොඩ්ඩක් පොඩ්ඩක් කියල තියෙන්නෙ. ශී රියලි වෝන්ට්ස් ටු මීට් යූ ඒත් මම ඔයාට මගෙ ෆීලින්ග්ස් කියන්නෙ නැතුව ඔයාව අම්මාව මීට් වෙන්න එක්කරගෙන යන්න බැරි හන්දයි මම මේ කතාව ඔයාට කියන්න හිතුවෙ.
ඔයා හිමින් සැරේ හිතල මට උත්තරයක් දෙන්න. ඔයාට ඕන කාලයක් ගන්න පුලුවන් ඒකට මගෙ කිසිම බලපෑමක් නෑ. ඒ වගේම තමයි මම පොරොන්දු වෙනවා ඔයා වෙනුවෙන් මම පෙත්මලීව ආදරෙන් බලාගන්නව කියල, මට එයාගෙ තාත්තගෙ තැන ගන්න ඕන නෑ. ඒ උනාට එයාගෙ ජීවිතේ එයාගෙ තාත්තගෙන් පස්සෙ ඉන්න මේල් ෆිගර් එකක් වෙන්න මම මගේ උපරිම උත්සහය දරනව කියල මං කියනවා” කියා වලාකුලු මේසය මත ඔහේ වැතිර තිබුන තමන්ගේ අත මත ඔහුගේ අත තබද්දී මේධා තප්පරේකට ගැස්සුණ එක ඇත්තකි.ඒත් ඒ තිගැස්සීම විලිබර සිනාවකට හරවාගෙන වලාකුලුගේ අත එක්ක තමන්ගේ අත පටලා ගන්න මේධාවිණීට තවත් කාගෙවත් අවසරයක් උවමනා උනේ නැත.
“ඔයා සමහර විට ඔහොම දෙයක් අහන්න තීරණය කලේ මං කිව්ව කෙරුව ඔයා එක්ක කතාබස් කල දේවල් වලින් මම ඔය වගේ දේකට දෙන උත්තරේ ඔයා ඕල්‍රෙඩි දැනගෙන උන්න හන්දා වෙන්නැති. ඒත් මම ඒ උත්තරේ දැන් දෙන්නෙ නෑ වලාකුලු. මාත් එක්ක තරහා වෙන්න එපා. මම ඒ උත්තරේ දැන් දෙන්නෙ නැත්තෙ කලබල වෙලා ගත්ත ඔය වගේ තීරණේකින් මං මගේ තරුණ කාලෙ හොඳම අවුරුදු කීපයක් විනාස කරගත්තා. ආයෙ කලබල වෙලා ඒ වගේම දෙයක් කරොත් මේ පාර දුක් විඳින්නෙ මං විතරක් නෙවෙයි පෙත්මලීටත් දුක්විඳින්න වෙනවා. අනික මම කොච්චර ආදරේ කරන්න, ආයෙ සන්තෝසෙන් ඉන්න ආස උනත් මට දැන් ජිවිතේ ඉස්සරහ කාලෙ දිහා මං කියල විතරක් තනියෙන් බලන්න බෑ. මගේ ජිවිතේ අනාගතේටයි වර්තමානෙටයි දෙකටම දැන් පොඩි දරුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. මං ඉස්සරහට ජිවිතේ ගෙවන්න කෙනෙක්ව තෝරගන්නව නම් එයා මට විතරක් ගැලපෙන කෙනෙක් වෙන්න බෑ වලාකුලු. අම්මල තාත්තලා කෙසේ වෙතත් මම මටයි පෙත්මලීටයි දෙන්නටම ගැලපෙන කෙනෙක් තමයි තෝරගන්න ඕන. අපි දෙන්නවම ආදරෙන් බලාගන්න පුලුවන් කියල කියන, ඒක ඔප්පු කරල පෙන්නන කෙනෙක් තමයි වලාකුලු හොයාගන්න ඕන.
ඔයාට පුලුවන් නම් මට ඔප්පු කරල පෙන්නන්න ඔයා මගේ හස්බන්ඩ් වෙන්න සුදුසුයි කියන එක වගේම ඔයා පෙත්මලීට තාත්තා කෙනෙක් වෙන්න සුදුසුයි කියන එක. ඒ මත තමයි වලාකුලු මම ඔයා ගැන නෙවෙයි කවුරු ගැන උනත් ගන්න තීරණේ ඩිපෙන්ඩ් වෙන්නෙ” කියා මේධාවිණී කියද්දී වලාකුලු මේධාගේ අත වඩා තදින් අල්ලාගෙන “මං කොහොමහරි ඔයාට ඒක කරල පෙන්නනවා. ඔයාට විතරක් නෙවෙයි ඔයාටයි පෙත්මලීටයි දෙන්නටම මං හොඳ පාට්නර් කෙනෙක්, ෆාදර් ෆිගර් එකක් කියල ඔප්පු කරල පෙන්නනවා” කියා කියද්දී චිරත් උන්නේ ඒ දෙස බලාගෙන හිත අස්සේ “ආයෙ කවද හරි දවසක මේධාව මට හිමිවෙයි” කියා හිතුව අන්තිම සිතුවිලි රැහැනත් බිඳ ගනිමිනි.
ඉතින් මේධා ආයේ එන්නෙ නැතැයි කියා හිතද්දී එලිමහන් අවන්හලේ එක පැත්තක ගිටාරයක් වාදනය කරමින් උන් තරුණයා අලුත් ගීතයක් පටන් ගත්තේ පරණ මතක අලුත් කරමිනි.
“හිත් ඇතුලේ පිරීලා යයි පෙම් බස්
මතකේට එන්නේම ඔය ඇස්
අපි ආසාවෙ හැදු මාලිගා අහස්
මුහුණ දැකගන්න ඉවසුම් නැතී හවස්.
මෙහෙමයී අපෙ ආදරයේ මුල් දවස්…
මෙලෙස පෙම් කොදෙවුවේ
නුබ මගේ තුරුල්ලේ
පනට පන දී
වෙනසක් නොවී
හිඳීවිද මගේ වී?”