නීතිඥවරයා පැවසූ තොරතුරු සියල්ලටම අදාලව ධනංජය විසින් සකස් කර තිබූ ලියකියවිලි වලට හසාරා අත්සන් තැබුවේ කිසිවක් නොඅසාමය.විවාහයක් තුළ වුවද බලහත්කාරයෙන් කිසිවෙකු නවතා ගැනීම සුදුස්සක්යැයි හසාරා විශ්වාස කළේ නැත.සිතෙහි වන දුකට වේදනාවට ඒ තුළම මියැදෙන්නට ඕ ඉඩ දෙමින් සිටියාය.නීතිඥවරයා පවා ඇගේ මේ සෘජු බව දෙස බලා සිටියේ පුදුමයෙන්ය.ඇයට වූයේ තරුණියකට කලාතුරකින් පිහිටන ආකාරයේ පෞරුෂයකි.එවන් ගැහැණියක් අහිමි කරගන්නට ධනංජය ඉක්මන් වූයේ මන්දැයි සුරංජිත් පවා සිතුවේ මවිතයෙන්ය.සාමාන්‍යයෙන් එදිනෙදා තමාට ලැබෙන දික්කසාද නඩු වල අසාමාන්‍ය ස්වරූපයේ නඩුවක් වුවහොත් සිය බිරිඳ සමග කතා කිරීම සුරංජිත්ගේ සිරිතය.ඇය කාන්තා පාසලක ගුරුවරියකි.
“ හසාරාට තියෙන්නේ සාමාන්‍යයෙන් ගැහැණියක්ට කලාතුරකින් පිහිටන විදිහේ පර්සනලිටි එකක්.ලොකු පොඩි කියලා බේදයක් නෑ. මිනිස්සු හසාරා කියන දේවල් අහන් ඉන්න හරි කැමතියි.ඒ රූපෙටයි මිනිස්සු කැමති.සමහර විට අන්න ඒ නිසාම එයයි එයාගේ හස්බනුයි අතර ප්‍රශ්න නැතිවෙන්න ඇති.හසාරගෙ හස්බන්ඩ් මේ සමාජේ ජීවත්වෙන සාමාන්‍යය පුද්ගලයෙක්.හසාරාට තියන ප්‍රසිද්ධත්වය එයාට නෑ.එහෙම දෙන්නෙක් අතර ලොකු තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ…විශේෂයෙන් හසාරාගේ හස්බන්ඩ් ලග ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ..”
සියල්ල අසා සිටි පසු ඇගේ නිගමනය වූයේ එයයි.සුරංජිත් තම සේවා දායකයන්ගේ පුද්ගලික ජීවිතයේ අහුමුළු අවුස්සන්නේ නැත.ඔහු තමාගේ රාජකාරිය උපරිමයෙන් ඉටු කරන්නට අවැසි කරුණු කාරණා පමණක් ඔවුන් හා කතා කරන්නේ නීතිඥ භූමිකාවේ සිටය.එහෙත් හසාරාත් ධනංජයත් ඔහුට අමුත්තන් නොවේ.ඒ කිහිප වතාවක්ම නීතිමය කටයුතු සඳහා දෙදෙනා තමා හමුවට පැමිණි නිසාය.හසාරා සේවය කල ආයතනයේත් සමහර නීතිමය කටයුතු සඳහා මැදිහත් වූයේ සුරංජිත්ය.
“ හසාරා මම මෙය අහන්නේ පුද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.නමුත් මේ සිටුවේෂන් එක හරි වෙනස්.මම විශ්වාස කරන්නේ නැහැ හසාරා වගේ කෙනෙක්ගෙන් ධනංජයට ඩිවෝස් වෙන්න තරම් අඩුපාඩුවක් උනා කියලා.මේක මගේ රාජකාරිය..නමුත් මගේ හිතේ ලොකු කුතුහලයක් තියෙනවා මේ සම්බන්ධව. මගේ කිසිම බල කිරීමක් නැහැ හසාරා කැමතිනම් මොකක්ද සිද්ධ උනේ කියලා කෙටියෙන් හරි මමත් එක්ක කතා කරන්න..ඇයි ඔයාලා මේ විදිහේ තීරණයකට යන්න කලින් ඒක වලක්වා ගන්න කිසිම දෙයක් නොකලේ..”
“ මට සුරංජිත් එක්ක ඒ ගැන කතා කරන්න බැරි වෙන්න හේතුවක් නැහැ.සමහර වෙලාවට අපි වරදක් කියලා නොහිතන දේ තවත් කෙනෙකුට වරදක් වෙන්න පුළුවන්.විශේෂයෙන් අපේ සමීපතමයන්ට.අපිට ආදරේ කරන අයට.අපෙන් ආදරේ බලාපොරොත්තු වෙන අයට.මට දැනුනෙත් නෑ මගේ අතින් වරදක් උනා කියලා.ඒත් ඇත්තටම අපි අතරේ කාලයක් තිස්සේ පුංචි පුංචි නොහඳ නෝක්කාඩු ඇතිවුණා.”
“ ඉතින් ඒවා කතාබහ කරලා විසඳ ගන්න උත්සාහ කලේ නැද්ද.මං මේ එහෙම අහන්නේ ඔය දෙන්නා ජීවත් වෙච්ච විදිහ මම දැක්කා..කෙනෙක් ජජ් කරන එක මගේ වෘත්තිය නෙමෙයි.මම මේ දේවල් හසාරාත් එක්ක කතා කරන්නේ මගේ වෘත්තියෙන් පිට ඉඳලා.”
“ කතා කරන්න සමහර දේවල් ගැන මම දැනගෙන හිටියෙත් නෑ සුරංජිත්.හැබැයි මගේ අතින් එහෙම වෙලා තිබුණා.අපේ සමීපතමයන් ළඟදී අපි හරි පරිස්සම් වෙන්න ඕනේ.ඒ පරිස්සම මගේ ජීවිතේ තිබුණේ නෑ..”
“ ඒක ඇත්ත ඒක මං විශ්වාස කරනවා.සමහර දික්කසාඳ නඩුවලට හේතුවක් වෙන්නේ කාලයක් තිස්සේ හිතේ පැසව පැසවා තිබුණුු අපැහැදීම.හැබැයි මිනිස්සු ඒ දේවල් ගැන විවෘතව කතා කරන්නේ නෑ.එහෙම විවෘතව කතා කරනවනම් ප්‍රශ්න ඇතිවෙන්නෙත් නෑ.මං හැමදාම විශ්වාස කරන දෙයක් තමයි ගොඩක් අය ජීවත් වෙන්නේ තමන්ව හංගගෙන.රට මේ තරම් දියණු වෙලා තියෙද්දිත් මිනිස්සු නොදියුණු උනහම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අපිට බෑ..”
“ සම්බන්ධකම් පවත්වාගෙන යන්න මිනිස්සුන්ගේ හැඟීම් ගැන හරි හැටිම අවබෝධ කරගන්න ඕනේ සුරංජිත්.අපි කරන්නේ මානසික ගණුදෙනුවක්.හිත් බිඳෙන්න තියෙන හේතු වැඩියි.හිත් බිඳෙන්න තියෙන අවස්ථා වැඩියි..”
හසාරා පැවසූයේ සිනහ මුසුවය.ඒ සිනහව ආයාසයකින් මවා ගත් එකක් නොවන වග විශ්වාසය.දික්කසාදය බලාපොරොත්තුවෙන් තමා හමුවට පැමිණෙන කාන්තාවන් බොහෝවිට පැමිණෙන්නේ අඬමින්ය.එසේත් නොමැති නම් කෝපයෙන් පුපුරු ගසමින්ය.එසේත් නැතිනම් කලකිරීමේ උපරිමයේම සිටියදීය.එහෙත් හසාරාගේ ස්වරූපය ඒ සියල්ලන්ටම වඩා වෙනස් එකක් විය.ඒ දෑස් වල වූයේ හිස් බවකි.ඒ වදන්වල වූයේ නිවුණු බවකි.ඒ සිනහවේ පවා වූයේ නිවීමකි.සිත තුළ කොතරම් කුතුහලයක් වුවත් සුරංජිත්ට තවත් යමක් නොඅසන්නට සිතුනේ එනිසාය.
“ සමහර විට තවත් දෙතුන් පාරක්ම හසාරාට එන්න වෙයි. එහෙම එන්න අපහසුකමක් තිබුනොත් මම හසාරාගේ ගෙදරට ඇවිත් යන්නම්.මොනවා හරි ගැටලුවක් තිබුනොත් ප්‍රශ්නයක් තිබුනොත් මට කතා කරන්න.මං හසාරාට සුභ පතනවා මේ සිත් තැවුල් කරදර ඉක්මනින්ම නිමාවෙලා ජීවිතේ යහපත් විදිහට ගත කරන්න ලැබේවා කියලා..ජීවිත් වෙනවා කියන්නෙම අභියෝග වලට මුහුණ දීමක් තමයි ඒක මට වඩා හොඳට හසාරා දන්නවනේ..”
එවර නීතිඥවරයා පැවසූයේ ඇයට ලබා දිය යුතු සියලු ලියකියවිලි අඩංගු ෆයිල් කවරය ඈ වෙත දිගු කරමින්ය.යළිත් හසාරා ඔහු දෙස බැලුවේ සුපුරුදු මන්දස්මිතය මුව මත රන්දාගෙනය.
ධනංජය අනියම් සම්බන්ධතාවයක පැටලී ඇත්දැයි ඔහු නොඇසුවේය.තමා ඉදිරිපස මෙම පුටුවේ අසුන් ගන්නා බොහෝ ගැහැණුන් දරා සිටීමේ අන්තයේම සිටි බව ඔහු දැන උන්නේ පුරුද්දෙන්ය.එනිසාම හසාරා මෙතරම් සන්සුන්ව පිළිතුරු දෙන ආකාරය පිළිබඳව සුරංජිත් ගේ සිතෙහි මවිතයක් නොතිබුණා නොවේ. එහෙත් ඔහු හසාරාගේ මේ පිළිවෙලට කැමති වූයේය.විශ්වාසයක්, ආදරයක් හෝ එකිනෙකා කෙරෙහි ගෞරවයක් නොමැතිව එක වහලයක් යට ලෝකයා සනසනුවස් ජීවත් වීම තමාගේම ජීවිතයට කරගන්නා හානියක්යැයි ඔහු විශ්වාස කළේය.ඇණුම්පද , චෝදනා, බැණ අඬගැසීම්, ගුටිබැට හුවමාරු මැද සමහර මිනිසුන් ජීවත් වන්නේ ඒවා ජීවිතවලට හුරු කරගෙනය.
“ බොහොම ස්තුතියි සුරංජිත්.අපේ හැම ලීගලි වැඩ කටයුත්තකදී වගේම මෙතනදීත් ඔබතුමා අපිට යාළුවෙක් වගේ වුණා.”
සමුගැන්මට නැගී සිට ඇය පැවසූයේත් ඒ හුරු පුරුදු සන්සුන්කමින්මය. අනතුරුව නීතිඥ කාර්යාලයෙන් එළියට බැස්සේ දික්කසාදයකට කැමැත්ත පළ කළ ගැහැණියක විලසින්ය.තමා උසාවියට නොගෙන්වාම ඒ කටයුත්ත නිම කිරීමට උත්සාහ ගන්නා බවස සුරංජිත් පැවසීය. මඟුල් පෝරුවේදී ධනංජය පැළඳ වූ රන් මුදුව තවමත් ඇගේ වමතෙහි දිළිසෙමින් තිබිණ.කොහොමටත් ආභරණ අවමයෙන් පාවිච්චිකළ හසාරා වමතෙහි පළදින්නේ ඒ මංගල මුදුව පමණි.තත්පර කිහිපයක් ඒ දෙස බලා උන් ගැහැනිය නීතිඥ කාර්යාලයෙන් පිට වූයේ වාහනයක් ගෙන්වා නොගෙනමය.ඕ දැඩි අව් රශ්මියක් වූ දහවලේ කුඩයක්වත් නොමැතිව මහ පාරේ ඇවිද ගියාය.ඒ කොපමණ දුරක්දැයි අදහසක් හසාරාට වූයේ නැත.වසර කිහිපයක සිට ඈ අව්වට වැස්සට නිරාවරණය නොවූ තරම්ය.සිය නිවසේ නිදන කාමරය පවා වායුසමීකරණය කර තිබුණේ ධනංජයගේ කැමැත්තටය.සැබවින්ම ඔවුන් ගෙවමින් සිටියේ සුඛෝපභෝගී ජීවිතයකි.අඩ හෝරාවක් පමණ ඉක්ම යද්දී ඇගේ ඉහිං කනින් දහඩිය වැගිරෙන්නට විය.ශ්වේත වර්ණයක් වූ මුහුණ රතු වී තිබිණ.
අවසන ඕ පාරේ ගිය ත්‍රී රෝද රථයක් නවතා ගත්තේ ක්ලාන්ත ගතියක් දැනෙද්දීය.
දහවල ආහාරයට සයිවර් කඩයකින් තෝසයකුත් උළුඳු වඩයකුත් මිලදීගෙන හසාරා යළි නිවසට පැමිණියේ හෙම්බත්වය. ඉබි යතුරු දමා ගේට්ටුව වසා දැමූ ඕ ඉන් පසුව නිවසෙහි ප්‍රධාන දොරත් ඒ ආකාරයෙන්ම වසා දැමුවාය.ඔහු හා පැවති සියලු බැඳීම් නිමා වූයේ ඒ අයුරින්ය.කෑ ගසා හඬන්නට සිතුණු සිතුවිල්ල අපහසුවෙන් වාවාගත් හසාරා වතුර වීදුරු දෙකක් පානය කළේ එක හුස්මටය.
නාන කාමරයට වැදුනු ඈ කණ්ණාඩියෙන් පෙනෙන තම රුව දෙස විනාඩි කිහිපයක් බලා උන්නාය.මිනිසුන් ජීවිත කාලය පුරාම රැස් කරන්නේ තම ජීවිතය සැපවත්ව ගත කරන්නට අවැසි අඩුම කුඩුමය.නොනවත්වා යන වේගවත් ගමනේදී සතුට අත්හැරෙන අයුරු මිනිසුන් හඳුනා ගන්නේ බොහෝ දේ අහිමි වූවාට පසුවය.බොහෝ කල් ඉක්ම ගියාට පසුවය.
තමා සතුටින් යැයි සිතා සිටියදී ධනංජය තනිවූ බවක් නොවැටහුනේ මන්දැයි හසාරා සිතුවේ තම රුව දෙස බලාගෙනමය.ඔහුගේ මුහුණෙහි වූ සිනහව ව්‍යාජ එකක්යැයි තමාට නොසිතුනේ මන්දැයි ඈ සිතුවාය.සිදුවූ සියල්ලට ඔහුට චෝදනා කරන්නට තරම් තමා නිවැරදිම අයකු නොවූ බව හසාරාට විශ්වාසය.තමා දෙදෙනාම වෙනුවෙන් යැයිසිතා ජීවිතයට බොහෝ දේ ලං කර ගනිද්දී ඔහු ඒ සියල්ල අත්හැර දමා තිබිණ.ඔහුත් මේ නිවස යට දුක , වේදනාව , තනිකම දරන්නට ඇතැයි හසාරාට සිතුනේ එවේලෙහිය.
“ ඇයි ධනංජය අපිට එකම එක පාරක් ඒ ගැන කතා කරන්න බැරි වුණේ..”
සිය දෑස් වල පිරී තිබූ කඳුළුවලට ඔහේ ගලා යන්නට අවසර ලබාදෙමින් හසාරා අසා ගත්තේ තමාගෙන්මය.
“ ගෑනියෙක් වගේ කෑ ගහලා අඬපන් හසාරා..ගෑනියෙක් වගේ ධනංජයට හිතේ දුක යනකල් බැනපං…උඹ නියම ගෑනියෙක් වෙන්නේ නිර්මිතාට සාප කරන්න පුළුවන් උනොත් විතරයි.එහෙම කරන්න ඕනෙ හසාරා.එහෙම නොකලොත් උඹ පුපුරලා යාවි.කාල බෝම්බයක් වගේ ඒ පිපිරිල්ලට උඹව සීසීකඩ විසි වෙලා යාවි.තවදුරටත් උඹට උඹව ඕනනං කෑ ගහලා අඬපං හසාරා..මේ බිත්ති ඒ රහස් මෙතනින් එළියට ගෙනියන්නේ නෑ.උඹට මේ ලෝකෙ තියෙන විශ්වාසවන්තම සුවපහසුම තැන මෙතන.කෑ ගහලා අඬපං හසාරා ..ඇති වෙනකල් අඬපන්…”
එසේ පැවසූයේ කණ්නාඩියෙන් පෙනෙන තමාගේම රුවය.හඬන්නට නිමිත්තක් තිබියදීත් හේතුවක් තිබියදීත් තමා ඒවා ගුලිකර මිරිකාගෙන සිටින්නේ කුමක් නිසාදැයි හසාරාට නොතේරේ. සියල්ල මේ පපුවෙන් ඉවත්කල යුතුය.මේ රිදුම නිමා වන්නේ එවිටය.අවසන ඇද උන් ඇඳුම උනා නොදමාම වතුර මල යටට වූ ගැහැණිය කෑ ගසා හැඬුවේ සිය දෑත් වලින් ලය මිරිකාගෙන.
එහෙත් ඇයට ධනංජයට බැණ වදින්නටවත්, නිර්මිතාට සාප කරන්නටවත් සිතුනේ නැත.ඒ වෙනුවට තමාම වරදකාරියක කරගත්තාය.දෙහෝරාවකට වඩා වැඩි කාලයක් ඒ අයුරින්ම ගෙවී යන්නට ඇත.නාන කාමරයෙන් පිටතට පැමිණියේ පෙර උන් ධෛර්යවන්ත ගැහැනිය නොවේ.පරාජිත ගැහැනියකි.ඒ පරාජිත ගැහැණියගේ දෑස් ඉදිමී කොපුල් රතුව තිබිණ.එහෙත් ඕ යම් තරමකට සන්සුන්ව උන්නාය.සිතෙහි වන පීඩනය පිට නොකරම ජයග්‍රාහී ගැහැනියක වනවාට වඩා ඒ දුක කඳුළක දියකර පරාජිත ගැහැනියකවීම සිතට නිවනක්යැයි ප්‍රථම වරට ඕ අත්දකිමින් උන්නාය.
උළුඳු වඩය පමණක් කා තේ කෝප්පයක් පානය කළ හසාරා සිය ලැප්ටොප් පරිගණකය ළං කර ගත්තේ හදිසියේ ඇතිවූ සිතුවිල්ලකට අනුවය.
තවත් හෝරා දෙකක් පමණ ගතව යද්දී බොහෝ වෙර ගෙන සකස්කරගත් ඉල්ලා අස්වීමේ ලිපිය මෙරට සිටින ප්රධානියාත්, පිටරට ප්රධානියාත් වෙත යැව්වේ ඊමේල් පණිවිඩයක් මාර්ගයෙන්ය.
( යළිත් හමු වෙමු ආදරයෙන් )
ReplyForwardAdd reaction |