වියෝ ගී ගැයෙනා හදේ – 38

0
2581

“අම්මියි වලාකුලු අංකලුයි මාව බීච් එක්කන් ගියා” කියා පෙත්මලී අයිස්ක්‍රීම් කන ගමන් කියද්දී චිරත් ඒ වචන දරාගෙන උන්නෙ හිතට කොච්චර වේදනාවක්, දුකක්, තරහක් ආවත් ඒ කිසිත් හැඟීමක් අහිංසක දරුවෙක් පිටින් යවන්න පුලුවන් කමක් නැති හන්දාය. 

“මොනවද ඉතින් ඔයාලා බීච් ගිහින් කලේ?” කියා අහද්දී තමන්ගේ කටහඬේ වේදනාවක මෙන්ම අමනාපයක සේයාවක් ගෑවි තියෙන බව චිරත්ට  නොතේරුනා නොවේ. 

“මම සෑන්ඩ් කාස්ටල් ගොඩක් හැදුව තාත්ති. ප්‍රින්සස් එල්සගෙ කාස්ට්ල් එක වගේ එකකුත් හැදුවා. මම මගෙයි තාත්තිගෙයි නමත් ලිව්වා සෑන්ඩ් එකේ”

“අම්මියි වලාකුලු අංකලුයිත් උදව් උනාද බබීට සෑන්ඩ් කාස්ට්ල් එක හදන්න?”

“නෑ, අම්මියි වලාකුලු අංකලුයි බීච් එකේ වාඩිවෙලා කතා කර කර හිටියා. අම්මි නාන්න ආවෙ නැතුව හිටියෙ. වලාකුලු අංකල් මාව වඩාගෙන මූද මැදටම එක්කරගෙන ගියා තාත්ති”

“ඔයාට මතකද තාත්තිත් ඔයාව වතාවක් එහෙම එක්කරගෙන ගියා”

“ඔව් මම වලාකුලු අංකල්ටත් කිව්වා තාත්තිත් ඉස්සර වලාකුලු අංකල් වගේම බබීව වඩාගෙන මූදෙ එක්කරගෙන යනවා කියල. ආහ් මම තව කිව්වා තාත්ති ඉස්සර මූදෙ ගියාම ක්‍රොකඩයිල් කෙනෙක් වෙලා මාව බොරුවට කන්න එනවා මම දුවගෙන දුවගෙන යනවා කියලා”

“ඉතින් වලාකුලු අංකලුත් ක්‍රොකඩයිල් කෙනෙක් වෙලා ඔයාව කන්න ආවද?”

“නෑ වලාකුලු අංකල් කිව්වා මූදෙ ක්‍රොකඩයිල් ලා නෑ කියල. මූදෙ ක්‍රොකඩයිල් ලා නැද්ද තාත්ති?”

“ක්‍රොකඩයිල්ලා ගොඩක් ඉන්නෙ ලේක්ස් වලනෙ බබී. ඒ උනාට ලේක් එක දිගේ පීනං ඇවිල්ලා සමහර ක්‍රොකඩයිල්ලා මූදට එනවා”

“අපි ඊලඟ පාර මර්මේඩ් කෙනෙක් වෙලා සෙල්ලම් කරමු. මම ලිට්ල් මර්මේඩ් වෙන්නම්, තාත්ති ශාක් කෙනෙක් වෙලා මාව කන්න එන්න” කියා පෙත්මලී හුරතල් තාලයට කියමින් අයිස්ක්‍රීම් එකෙන් බිඳක් ගෙන තමන්ගේ දෙතොල් මතින් තියද්දී ඒ අයිස්ක්‍රීම් වල ගෑවි තිබුන සීතල හිතේ තිබුන වේදනාවේ උණුසුම මදක් අඩුකර දැමූ බව චිරත්ට තේරුණේය.වලාකුලුත් මේධාවිණීත් කරන්න හදන්නේ පෙත්මලීව තමන්ගෙන් ඈත් කරන්නට වගේම පෙත්මලීව වලාකුලුට ලං කරවන්නට බව තේරුණත් තමන්ට එයට එරෙහි වෙන්නට හැකියාවක් නැති බව චිරත් නොදන්නවා නොවේ. මේධාවිණී එක්ක හොඳටම තරහා ගිය වෙලාවක පෙත්මලීව තමන් භාරයට ගන්න හිතුවත් තමන්ට තියෙන වැඩ රාජකාරි එක්ක කාර්‍යබහුලත්වය එක්ක තමන්ට නිතර දෙවෙලේ පෙත්මලී සමග රැඳෙන්නටවත්, ඇයගේ වැඩ කටයුතු සඳහා යන්නට බැරිබවත් දැන දැනම එවන් තීරණයක් ගන්න එක තමන් පෙත්මලිට කරන ලොකුම ලොකු වරදක් බව චිරත් නොදන්නවා නොවේ. එහෙත් හිත ඇතුලේ තිබුන වේදනාව පොඩ්ඩක් විතර හෝ එලියට එන එක නවත්තගන්න පුලුවන්කමක් චිරත්ට දරුවා ඉස්සරහදිවත් තිබුනේ නැත.

“වලාකුලු අංකල් ශෝයි නිසා බබීට මාව එපා වෙයිද?” කියා අහද්දී තමන්ගේ වචන වෙව්ලන බවක් දැනුනද කිසිවක් නොකියා අච්චර ආසාවෙන් කකා උන්නු අයිස්ක්‍රීම් එක පැත්තක දා තමන්ව බදාගත් කෙල්ලගේ සිඟිති අත් දෙක මැද්දේ චිරත්ට මහා හයියක් දැනුණි.

මේධා උන්නේ එදා වලාකුලු කිව්ව කතාවට දිය යුතු පිළිතුර කුමක්ද කියා හිතාගන්න බැරුව වගේම මේ කතන්දරය කියා කාගෙන් හෝ උදව්වක් ඉල්ලගන්නවත් කතාව කියන්න පුලුවන් විදියේ සමීප යාලුවෙක් නැතුවය. ආලෝකා එක්ක කුමනාකාරයේ ප්‍රශ්නයක් ගැන කතාකරන්න පුලුව්නකමක් තිබුණද වලාකුලු සම්බන්ධ දෙයක් කතාකරන්න බැරි අන්දමේ කුමක් හෝ ප්‍රශ්නයක් තියෙන බව මේධාවිණීටම තේරුණාය.

වලාකුලුට තාත්තාට සල්ලි ප්‍රශ්නෙ කියා විසඳුමක් ලබාගන්න පුලුවන්කම තිබ්බත් එහෙම කියන එක තාත්තාගේ හිතේ ඔහු ගැන යම් කිසි අකමැත්තක් ඇතිවෙන්නට හේතුවක් විය හැකි බව දන්න හන්දාම මේධා ඒ ඔප්ශන් එක ගැන වලාකුලු එක්ක ඇත්තටම කතා කරේම නැති තරම් ය.

“මං ඇත්තටම අංකල්ට මේ සීන් එක කියන්න අකමැති එකම හේතුව ඒක මට ඔයාව ලබාගන්න බැරි කරවන එක හේතුවක් වෙන්න පුලුවන් කියන එකම විතරයි. ඔයා කියල කෙනෙක් මෙතන නැතුව මම සම්පූර්ණයෙන්ම අංකල්ගෙ බිස්නස් පාට්නර් කෙනෙක් විතරක් උනා නම් මම ඇත්තටම අංකල්ට ඕක කියන්න දෙපාරක් හිතන්නෙ නෑ මේධා.

ඒ නිසා මං හිතුව දේ තමයි තව ටික කාලයක් විතර මෙහෙම ඉඳල අවුරුද්දකින් වගේ සල්ලි ටිකක් එකතු කරගෙන අංකල් එක්ක ආයෙ ඔය ගැන කතාකරනව කියල. අංකල්ට හදිසි නම් වැඩේ පටන් ගන්න මම නැතුව උනත් ප්‍රොසීඩ් කරන්න පුලුවන් නෙ. කොහොමත් මම අංකල්ට ඔයා ගැන කියන්න අහන්න ඉන්නෙ ඕක පටන් ගත්තට පස්සෙ. මොකෝ නිකන්ම ඇවිල්ලා ඉල්ලනවට වඩා අංකල්ට මම ඇත්තටම කොයි වගෙ මනුස්සයෙක්ද කියල පෙන්නල ඔයාව ඉල්ලන එක මට කන්ෆිඩන්ට් මේධා. මම එතකොට පෘව් කරලනෙ තියෙන්නෙ මම ඇත්තටම හාඩ් වර්කින් මනුස්සයෙක්, මට ඔයාවයි බබාවයි දෙන්නවම හොඳට බලාගන්න පුලුවන් කියලා”

“අවුරුද්දක් කියන්නෙ සෑහෙන ලොකු කාලයක්” කියා මේධා කියද්දී වලාකුලු මේධා දෙස බලා මෙහෙම කිව්වේය.

“ඔව් මං දන්නවා. ඒත් ඒ අවුරුද්දක කාලෙ ඇතුලත අපිට අපිව තව අඳුරගන්න පුලුවන් නෙ. අනික මම කොහොමත් ඔයා එක්ක ෆියුචර් එකක් ගැන හිතන්නෙ නෑ මේධා පෙත්මලී ඇත්තටම හන්ඩ්‍රඩ් පසන්ට්ම මට කැමති වෙනකම්. මොකෝ ඒ දරුවගෙ ඇඟේ දුවන්නෙ කාගෙ ලේ උනත් මම ඔයාව මගෙ කියල හිතනව වගේම එයත් මගෙ කියල හිතන්න ඕන. ඒ වගේම එයත් ඒක එහෙමම හිතන්න ඕන. මට ඕන නෑ මේධා පොඩි දරුවෙක්ගෙ හිත රිද්දල ඒ ළමයගෙ අම්මව මගෙ කරගන. මට ඕන ඔයාල දෙන්නගෙම වෙන්න, ඔයාලා දෙන්නවම මගෙ කරගන්න”

“නෑ මම කිව්වෙ ඒක ගැන නෙවෙයි මම කිව්වෙ බිස්නස් එක පටන් ගන්න අවුරුද්දක් බලන්න ඉන්නව කියන එක ලොකු කාලයක්නෙ, ඒ වෙද්දි ඔය වගේ අයිඩියා එකක් අපි එක්සිකියුට් කරන එක තේරුමක් නැතිවෙන්න පුලුවන්. සමහරවිට වෙන කෙනෙක් අපිට කලින් ඒ අවුරුද්ද ඇතුලත ඒ අයිඩියා එක එක්සිකියුට් කරන්න පුලුව්න. එහෙම උනොත් අපි මිස්කරගන්නෙ ලොකුම ලොකු වටින චාන්ස් එකක්”

“ඔව් ඒක මං පිලිගන්නව. ඒත් මට මේ වෙලාවෙ  කිසිම විදියකින් ඒකට සල්ලි දාන්න විදියක් නෑ මේධා. අනික පොඩි ගාණක් නෙවෙයිනෙ. වන් මිලියන් විතර දාන්න වෙනවා. එකපාර ඒ වගෙ ගාණක් හොයාගන්න බෑනෙ. මට ලෝන් එකකට යන්න බෑ මම ඕල්‍රෙඩි අපෙ ස්ටුඩියෝ එක හදන්න ගත්ත ලෝන් එක ගෙවන් යන හන්දා තාම. කාරෙකේ ෆිනෑන්ස් එකත් තියෙනවා”

“මම ඔයාට ඔප්ශන් එකක් දුන්නොත් ඔයා ඒකට කැමති වෙනවද?”

“මොකද්ද?”

“මේක තාත්ති දැනගන්න ඕන නෑ. ඔයාවත් මමවත් කිව්වොත් මිසක තාත්ති මේක දැනගන්නෙ නෑනෙ. මගෙ සේවින්ස් එකේ සල්ලි ටිකක් තියෙනව. මට ඔයාට වන් මිලියන් දෙන එක ඉශූ එකක් නෑ. ඇත්තටම මම ඒක කවදහරි පෙත්මලීට මොකක් හරි දේකට ගන්න කියල හිතාගෙන කාලයක් තිස්සෙ සැලරි එකෙන් ඉතුරු කරපු සල්ලි වගයක්. ඒ නිසා ඔයා ආයෙ පුලුවන් දවසක මට ඒ සල්ලි ඔයා දෙන්න.  මම ඒක ඔයාට දෙන්නම්. ඔයා ඒ සල්ලි ටික දාලා තාත්ති එක්ක බිස්නස් එක පටන් ගන්න තව ඕක කල් දාන එකෙන් පාඩුව වෙන්නෙ අපිටමනෙ. තාත්ති දන්නෙ නෑනෙ කවුද සල්ලි දුන්නෙ කියන එක. ඔයා පුලුවන් පුලුවන් වෙලාවට මට පොඩ්ඩ පොඩ්ඩ ඒක ගෙවන්නකො. අපි ආයෙ ඒක ෆිල් කරාම කතාව ඉවරනෙ” කියා වලාකුලු උන්නේ තමන් මේධාට දිය යුතු පිළිතුර කුමක්ද කියා හිතාගන්න බැරුවය. මේධා විසින් අරගෙන ආවේ ඇත්තටම පිළිගත හැකි මට්ටමේ උත්තරයක් උනත් තමා විසින් ඒක භාරගත යුතුද නැතිද කියන කතාව වලාකුලුගේ හිත ප්‍රශ්නයක් කර නගමින් උන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here