ඒ අති දුෂ්කර හා සංකීර්ණ සිදුවීම් දාමයකි. සාරධා පශ්චාද් ප්‍රසව විශාධයට උග්‍ර ලෙස ගොදුරු වී සිටි අතර ඊට පෙර සිට ම ඇය මානසික අක්‍රමිකතා වලින් පෙලී ඇති බව වෛද්‍ය නිගමනය විය. ඒ අනුව අලුත් බිළිඳා සාරධා සමග තනිව තැබීම අනාරක්ෂිත සේ සැලකිණ. අනිත් අතට සාරධා අම්මා කෙනෙකු ගේ දයාවෙන් බිළිඳා දෙස බැලුවේ හෝ නැත. ඇය දරුවාට මව් කිරි දීම ප්‍රතික්ශේප කළා ය. යන්තම් මප් කිරි බිඳක් පොවාගත්තේ වදයෙන් පොරයෙනි. එය බිළිඳා ගේ කුස පිරෙන්නට ප්‍රමාණවත් නොවුණෙන්, මව් කිරි දොවා පොවන්නට නිර්දේශ විය. සාරධා ගේ තත්වය මත රෝහල් වාට්ටුවේ සිටි ඇතැම් හොඳින් මව් කිරි තිබූ නාඳුනන මව්වරු පවා බිළිඳිය වේලකට දෙවේලකට හෝ පෝෂණය කළහ.
ආදියා මේ සියල්ල බලා සිටියේ හදවත පැලෙන්නට එත්දී ය. ඇය වූ කලී අම්මා කෙනෙකු නොවේ. නමුත් අලුත උපන් බිළිඳුන් ගේ වාට්ටුව තුළ දී ඕ අම්මලා ගේ මව්වත් සුවඳ ඉතා තදින් ආඝ්‍රාණය කළා ය. ඔවුන් ගේ දෑස් වලින් දෝරෙ ගලනා මව්වත් බැලුම් වල උණුහුම නොමඳව දුටුවා ය. අම්මලා බිළිඳුන් සිපගත්දී ඔවුන්ගෙන් වෑහෙන මාතෘත්වය, ආදරය, දයා කරුණාව හදවතින් අවශෝෂණය කරගත්තා ය. ඈ ඔවුන් ගේ අලුත් රෝස මල දෙස බැලුවේ දරා ගත නො හැකි වේනාවකිනි. ඇය කිසිවක් ම නො දැන ලෝකයට ඇවිත් කෙතරම් නම් අසාධාරණයකට ලක් වී සිටිනවා ද? ඇය ආවේ කිසි සේත් ඇගේ උවමනාවට නොවේ. ඇගේ දෙමාපියන්ගේ අවශ්‍යතාවයකට හෝ ආශාවකට හේතු වී ය. පිළිසිඳගන්නට පෙර පස්මහ බැලුම් නො බැලූ පාපයට වැදූ මව විසින් ම ඇය මහල් ගොඩනැගිල්ලකින් පිටතට විසි කරන්නට සූදානම් වූවා ය. දෙවියනි එසේ වූවා නම් මේ මොහොත! දැන් ඇගේ මව් ඇයට මව්කිරි දීම ප්‍රතික්ශේප කරමින් හිඳී. බබෙකුගේ අයිතියක් වූ මව්කිරි පවා ඇයට සිඟන්නට සිදුව තිබේ. මේ ලේකැටි බිළිඳිය කෙතරම් නම් පව් ද?
දැරිය වෙනුවෙන් සිය ළැම කිරෙන් කෙසේ වතුදු ස්නේහයෙන් බර වෙනවා ආදියා අත්වින්දා ය. ඒ වූ කලී ලේ මස් විනිවිද ගියා වූ බන්ධනයකි. ඇය දැරිය ළැමට තුරුලු කරගෙන සිටියේ දස මසක් කුස හොවා හිඳ බිහි කළා මෙනි. ඇස් පියාන කිරි උරනා ඉරියව්වෙන් දෙතොල් උල් කරනා බිළිඳිය ආදියා තුළ අලුත් උපතක් සිදු කරමින් තිබිණ. ඇය තුළ අම්මා කෙනෙකුගේ හදවතක් ප්‍රතිස්ථාපනය වෙමින් තිබිණ. කවුරුන් හෝ අම්මා කෙනෙකු ලවා බිළිඳිය ගේ කුස අල්ප වූ හෝ මව් කිරි ප්‍රමාණයකින් පුරවා ගන්නට ඇය වෙහෙසුණා ය.
“කිරි ටිකක් දෙන්නකො අක්කෙ. පව් හිතෙන්නැද්ද ඔයාට… එක කිරි බින්දුවක් දෙන්න. මේ ටික දවසට විතරන් දෙන්න. ලෝකෙ තියන හොඳම පිටිකිරි කීයක් ගෙවල හරි අරං ඇවිත් මේ පැටියට පොවන්න මට පුළුවං. ඒත් අපි චුට්ට දවසක්හරි එයාට ඔයාගෙ කිරි ටිකක් දෙමුකො අක්කෙ. මං ඔයාට වැඳල කියන්නං… මං වෙනුවෙන් ඔයා ඒක කරන්න”
ආදියා සාරධා ඉදිරියේ හඬා වැටුණා ය. ඇගේ හදවත අක්කා ගේ කුසින් බිහි වූ දියණිය වෙනුවෙන් විලාප නගා හඬමින් තිබිණ. ජිනාදරී වෙනුවට දරුවා අස රෝහලෙහි නවතින්නට ඇයට උවමනා විය. නමුත් කිසිවෙකු ඊට ඉඩ දුන්නේ නැත.
“ඔයා තාම එහෙම වගකීමක් ගන්න පුළුවන් තරං අත්දැකීම් තියන ළමයෙක් නෙවෙයිනෙ චූටි දුව. අම්ම බබා එක්ක හොස්පිට්ල් එකේ හිටපුදෙන්. බබා ගෙදර ගෙනාවහම ඔයා එයාව බලාගන්නකො”
එසේ කියමින් ආදියා ගේ හිත හැදුවේ නාලිනී ය. නමුත් ඒ දවස මඳින් මඳ පසුපසට ගියේ ය. ඒ සිඟිත්තිය ට අවශ්‍ය ප්‍රමාණයට මව්කිරි නොලැබේය යන සැකය මතයි. සාරධා ව මානසික ප්‍රතිකාර වලට යොමු කරමින් ම අම්මාත් බබාත් දෙදෙනාව දෙසතියක් ම රෝහලෙහි රඳවා තබාගැනිණි. බබා කහ වන්නට ගත් විට ඇයව විශේෂ ළදරු කුටියෙහි රඳවා තැබිණි. සාරධා ගෙන් මව් කිරි දොවා ගෙන ගොස් දැරියට පොවන්නට සිදු විය. ජිනාදරී මේ දුෂ්කර දෙසතිය දැඩි චිත්ත ශක්තියකින් යුතුව ගෙවා ගත්තා ය.
අම්මාත් බිළිඳියත් ගෙදර ගෙන එන්නට අවසර ලැබුණ දා හැම හදවතකට ම දැනුණේ සැනසිල්ලකි. ගෙවී ගිය දෙසතියක කාලය සිහිනයක් සේ ය. ගෙදර ළිපක් දැල්වුණා නම් ඒ නාලිනී අතිනි. නිශ්ශංකටත් ආදියාටත් හැම ආහාර වේලක් ම නාලිනී ගෙදර උයාගෙන පැමිණියා ය. ජිනාදරී හා සාරධා වෙනුවෙන් රෝහලට කෑම යැව්වා ය. නමුත් යන්තම් කුස රවටා ගත්තා මිසෙක කිසිවෙකු ගේ කුස් වෙනදා සේ පිරුණා නොවේ. දවස් ගෙවී ගියේ අවිනිශ්චිත සෙවණැලි අතරේ සරමිනි. ඉරණම කෙසේ විසඳෙන්නට නියමිත ද කියා කිසිවෙකු හරියට දැන සිටියේ නැත. එහෙව් හෝරාවක, ගෙදර යන්නට රෝහලෙන් අවසර ලැබෙනවා කියන්නේ ම සැනසීමකි.
ජිනාදරී අසීමිතව නිදිවරා සිටියා ය. එබැවින් අම්මා ට විවේක ගන්නට ඉඩ දී ආදියා බිළිඳියගේ වගකීම් ඈ වෙත පවරා ගත්තා ය. වෙලාව බලමින් දැරිය මව්කිරි හෝ පිටිකිරි වලින් පෝෂණය කළා ය. ජිනාදරී ගේ හෝ නාලිනී ගේ හෝ උදව්වෙන්, වෙනිවැල්ගැට දමා තැම්බූ ඇල්මැරුණ දියෙන් දැරිය සේදුවා ය. සුදු මල්පීස් කමිසයක් ද නැපියක් ද අන්දවා ඕඩිකොලෝන් වලින් සුවඳවත් කොට ඇය නිදිගැන්වූවා ය. නිදිගන්වන්නට ඒ තරම් කව් ගී මතකයේ කොතැන තිබුණේ ද කියා හෝ ඈ දන්නේ නැත. කිසිදු අපුලකින් තොරව බිළිඳිය ගේ මළ මුත්‍ර සහිත නැපි සෝදන්නට තරම් ඇය හදවතින් මවක වෙමින් සිටියා ය. සාරධා හොඳින් නිදත්දී දැරිය සමගින් නිදි වැරුවේ ආදියා ය. ඇගේ ඉසිහින් කෙඳිරියකට පවා වහා නෙතු හැර දැරිය දෝතින් ගත්තේ ආදියා ය. කිසිදු කන්කෙඳිරියකින් තොරව ඇය අම්මා කෙනෙකු වෙමින් සිටියා ය.
“දැං මාව මතකත් නෑ”
හැන්දෑවක, බරාඳයේ දී ඇය තනි කරගන්නට ලැබුණ වෙලාවක දෙව්රම් මිමිණුවේ ය. ඔහු ගේ දෑස් මත උපේක්ෂා සහගත ඉවසිලිවන්ත කමක් විය. ආදියා බිම බලාගෙන සිනහවක් පෑවා ය.
“ඇත්තටම පහුගිය ටිකේ මට මාවත් අමතක වෙලා තිබුණද කියල හිතෙනව”
“ඒකට කමක් නෑ. දැං ඉතිං හැමදේම හෙමිහිට සෙට්ල් වෙයිනෙ. සාරධාට ට්‍රීට්මන්ට්ස් කෙරෙනවනෙ. ඒකනෙ වැදගත්ම”
“ඒ වුණාට අක්ක බබා ගැන කිසි ආදරයක් නෑ වගේ ඉන්නකොට මගෙ පපුව දාල පිච්චිල යනව”
“අක්කලගෙ බබාල අඬනකොට නංගිලට කිරි එරෙනව කියල කතාවක් අහල තිබුණට ඒක දැක්කෙ ඔයාගෙන්”
“අනේ ඇත්තටම එහෙම කිරි හැදෙනවනං කොච්චර දෙයක්ද…”
ආදියා රැකියාවෙන් එක දිගට නිවාඩු ගත්තා ය. ඇය මොහොතක් ගානේ දැරිය වෙත කෙතරම් බැඳෙමින් සිටියේ ද යත් ඇය දමා රැකියාවට හෝ යත නො හැකි මානසිකත්වයක් ගොඩනැගෙමින් තිබිණ.
“ඔහොම ගිහින් ඔයාට මාවත් එපා වෙයිද දන්නෑ”
දෙව්රම් එසේ කීවේ කැමැත්තකින් නොවේ. දින ගණනක් ඒ ගැන සිතීමෙන් පස්සේ ය. ආදියා තිගැස්සී ගියා ය.
“එහෙම නෑ”
“සමහර විට එහෙමත් වෙන්න පුළුවං”
“එයා හරි පව්. මට එයාව දැක්කහම දැනෙන දුක වචන වලින් කියන්න තේරෙන්නෑ. බලන්න කොච්චර අසරණයිද… කාත් කවුරුත් නෑ වගේනෙ අම්මත් එයා දිහා බලන්නෑ කියන්නෙ”
“සාරධා සනීප වුණාම ඒ ඔක්කොම හරියයි ආදියා”
“ඒත්… මන් දන්නෑ අක්ක එයාට ආදරේ වෙයිද කියල. එහෙම එකපාරටම ආදරයක් ඇති කරගන්න පුළුවන් වෙන්නෙ නෑනෙ. එහෙම වුණොත් මෙයා පව්. ඒකයි මට හිතෙන්නෙ කාට එපා වුණත් මං එයාව බලාගන්නව කියල. මට පුළුවන්නෙ ඉතිං එයාව හදාගන්න. එයා වෙනුවෙන් කැපවෙන්න… එයාට අම්ම කෙනෙක් වෙන්න…”
දෙව්රම් බලා සිටියේ දෑස් වල වන විශ්මය සඟවා ගත නො හැකිව ය.
“ඒකයි මං කියන්නෙ… ඔයාට එහෙම බෑ කියල මං දන්නව. ඔයාටනං ඕන වෙලාවක ඕන ගෑනු ළමයෙක්ගෙ කැමැත්ත ගන්න පුළුවන්. කොයි ගෑනිද අකමැති වෙන්නෙ ඔයා වගේ පිරිමියෙක්ව ලබන්න… ඒත්… මෙයාට අම්ම වෙන්න පුළුවන් අක්කට නැත්තං මට විතරයි නේද…”
“ආදියා… මොනාද ඔයා මේ කියන්නෙ…”
නමුත් ආදියා ගේ දෑස් කඩදාසියක් සේ හිස් විය.
දෙව්රම් තුළ නො සන්සුන් බවක් ඇති වූයේ ඉනික්බිතියි. සාලිය හා නාලිනි හමුවේ, ආදියා කෙරෙහි ඔහු තුළ වන කැමැත්ත ගැන ඔහු ඍජුව කතා කළේ එදා රාත්‍රියේ ය.
නාලිනී ගේ මුහුණේ සිනහවක් ඇඳිණි.
“මට කොහෙද පුතා ඔයා බොරු කරන්නෙ… මං ඕක මුල ඉඳංම දැනං හිටිය”
“දැනං හිටිය කියන්න එපා සැක කළා. ඔයාට එහෙම සැකයක් තිබුණ”
සාලිය පුතා ගේ පැත්තේ සිටියේ ය.
“හරි ඉතිං ඔය කෝකත් එකයි. වචන විතරයි වෙනස්”
“අම්මෙ ඒත් මේ බබා නිසා ආදියා වෙනස් වෙයි කියල මට බයයි”
නාලිනී සිනහ වූයේ සැහැල්ලුවට ය.
“ඔයා හම්බ වෙලා ටික දවසක් යනකොට… මං ඔයා එක්කම ඉන්නකොට… ඔයාගෙ වැඩම කරනකොට… මීට අවුරුදු තිස් ගාණකට කලින් ඔයාගෙ තාත්තටත් ඔය ඊරිසියාව තිබුණ. ඒක නිසා පුතා මට ඔයාගෙ හිත ගැන තේරුං ගන්න පුළුවං”
“ඔය කිව්වෙ කතාවක්”
සාලිය නො මනාපය පල කළේ ය.
“ඒක මනුස්සයො වෙච්චි අපේ හිත් වල ස්වභාවය. තමන්ගෙම දරුවෙක් තමන්ගෙ වයිෆ්ගෙ තුරුල්ලෙ ඉද්දි ඒ තාත්තට වුණත් එහෙම හැඟීමක් එන්න පුළුවන්. ඔය ගැන හිතට වද දීගන්න ඕන නෑ පුතා. ආදියා ඒ දරුවට පණ ඇරගෙන තමයි. හැබැයි ඒ එයා ඔයාට තියන ආදරේ නෙවෙයි දෙන්නෙ. ඒ වෙනම ආදරයක්. මේ වෙලාවෙ බබාගෙ අසරණකමත් එක්ක… ඒ සිද්ධ වෙච්ච දේවල් එක්ක ඇති වෙච්ච බැඳීමක්. මේ ගැන ඔය දෙන්න අතරෙ ප්‍රශ්නයක් හදාගන්න එපා. මේ දවස් ටික එහෙ මෙහෙ වුණාට පස්සෙ අපි මේ දේවල් නිශ්ශංක අයියලත් එක්ක කතා කරල පිළිවෙළක් කරගන්න බලමු”
දෙව්රම් පසු වූයේ දෙගිඩියාවකයි. එහෙව් මොහොතක අම්මා ගේ වචන ඔහු ට දිව ඔසුවක් සේ විය.