හද සාගරේ – 43

0
2709

මල්ෂා ගෙන් සමුගෙන ආදියා දෙව්රම් ගේ රියට ගොඩ වූයේ කාර්යාල පරිශ්‍රයෙන් පිටත පාරේදී ය. ඇතුළතදී එසේ කිරීම අනවශ්‍ය කතාවක් ඇති වීමට තුඩුදිය හැකි බැවිනි. දෙව්රම් මල්ෂා ට ද ඇරයුම් කොට සිටියාට ඈ රියට නැගුණේ නැත.

“අද ඔහොම යන්නකො. හැබැයි ඉතිං අපිටත් සලකන දවසක්නං තියෙන්න ඕනෙ තමයි”

මිත්‍රත්වයේ සැබෑ අරුතක් සමස්ථ ඇගේ ඉරියව් වල තිබිණ.

යන්නේ කොහේදැයි ආදියා විසින් ඇසූ පැනයට දෙව්රම් ගේ පිළිතුර සිනහවක් ම විය. එබැවින් ඇය ඒ ගැන හාර හාරා විමසන්නට ගියේ ද නැත.

“ජීවිතේ කියන්නෙ අපිව එක එක විදිහට ටෙස්ට් කරල බලන තැනක් කියල පහුගිය දවස්වල මං හොඳටම තේරුං ගත්ත ආදියා. දෛවය මේ සැරේ මොන විදිහෙ පරීක්ෂණයක් කරන්න යනවද කියල හිතාගන්න බැරුවයි මං හිටියෙ. බබා නිසා ඔයා මගෙන් ඈත් වෙද්දි හිතාගන්න බැරි වුණා මං කොහොමද ඒකට රිඇක්ට් කරන්න ඕන කියල. සමහර විට ඔයාවත් අත්ඇරිල යයි කියන රෙඩ් ලයිට් එකේ හිතේ පත්තු වෙවී තිබුණා වෙන්න ඕනෙ”

රිය පදවන ගමන් දෙව්රම් එසේ කීවේ මඳහසක් මුහුණේ තියාගෙනයි. ඒ මඳහස යටින් වුව එකී අවිනිශ්චිත බව දැකිය හැකි විය.

“මං හිතාමතා කිසිම දෙයක්  කළේ නෑ. මං දන්නෑ මට මොනා වුණාද කියලත්. හොස්පිට්ල් එකේදි බබා ගැන ඇතිවෙච්ච අනුකම්පාවත් එක්ක… එයාව තනි කරන්නෑ කියන හිතිවිල්ල විතරයි මට තිබුණෙ”

“ඔයාගෙ අම්ම කියන විදිහට සාරධාට දැන් ගොඩක් දුරට හොඳයිනෙ. දිනේශ් නිදහස් වෙලා ආවහම අපි මිනිහව මොකක්හරි පිළිවෙළක් කරන්න බලමු”

“අම්මෝ… ඔය මනුස්සයවනං ලං කරගන්නෙපා. හිතාගන්න බැරි තරං විසකුරු සතෙක්  වගේ මිනිහෙක් ඒ”

“විසකුරු සර්පයින්ගෙත් විස දළ ගලවල දාන්න පුළුවන් ආදියා. අපි බලමු හොඳම විදිහට හැමදේම කරගන්න”

ඔවුන් ගමන් කරමින් සිටින්නේ දෙව්රම් ගේ නිවහන වෙත බව ආදියා ට දැනුණේ ගුරු පාරට රිය හරවත්දී ය.

“මේ ගෙදරද යන්නෙ… අනේ   අම්මලත් ඉන්නවනෙ”

ඇය ක්ෂණිකව කලබල වූවා ය. නමුත් දෙව්රම් ගේ සිනහව සන්සුන් ය.

“අම්මල නෑ. මං තනියම ඉන්නෙ. ඒකනෙ මේ අරං ආවෙ”

ඔහු තොල පිට පෙරළුවේ ය.

“එන්නෙපා හරිද…”

ආදියා ඔහු ගේ කන් පෙත්තක් මිරිකුවේ ය. ඔහු රියෙන් බැස අනිත් පැත්තෙන් එත්දීත් ඇය ගල්ගැසීගත් වන බලා සිටියා ය.

“එන්න”

“අම්මල මොනා හිතයිද…”

“හිතන්න දෙයක් නෑ. මං කියල තියෙන්නෙ. එන්නකො”

ඔහු ඇගේ අතක් අල්වාගත්තේ ය. ආදියා ඔහු ට ලංව, මඳක් පසුපසින් පිය නැගුවේ දෙගිඩියාවෙනි. දෙව්රම් ගේ රියෙහි හඬ ඇසුණු නිසා නාලිනීත් ඈ පසුපසින් සාලියත් ගෙදොරකඩට එමින් සිටියහ.

“ආ… මෙන්න මෙයත් ඇවිත්”

ආදියා මූණ රතු කරගෙන දෙව්රම් ගේ උරහිස පිටුපස මුවහ වූවා ය. ඔහු ඇය වෙත හෙලු බැල්මේ තැවරී තිබුණේ වසං නොකළ ආදරයයි.

“බෑ කිය කිය ආවෙ අම්මල ඉන්න නිසා බයයි කියල”

“හරි වැඩක්නෙ. බය වෙන්නෙ මොකටද… කවදහරි එන්න ඉන්න ගෙදරනෙ ඉතිං. එහෙනං ඔන්න අපේ ලේලි පොඩ්ඩව ආදරෙං පිළිගන්නව”

නාලිනී ආදියා ගේ රෝස කොපුල් සිපගත්තා ය. නමුත් තව දුරටත් යුවතිය මඳ අපහසුතාවයක් පෙන්වූවා ය.

“යං යං. ගෙට ගිහිං තේ එකක් බිබීම කතා කරමුකො”

කියමින් සාලිය ආදියා ගේ උරහිස මත අතක් තබා ඇරයුම් කළේ ය. දෙව්රම්, අතින් අල්වාගත්වන ඈ ගෙතුළට කැඳවාගෙන ආවේ ය. නාලිනී ඉක්මනින් තේ පිළියෙළ කළා ය.

“පුතා තනියම මෙහෙ ඉන්න නිසයි අපිත් ටික දවසකට හරි ආවෙ. ඔය දෙන්න ඉක්මනට පිළිවෙලක් වෙනවනං ඒක අපේ හිත් වලටත් නිදහසක්. අපිට ගමට වෙලා අපේ වැඩක් කරගෙන හිතේ සැනසිල්ලෙ ඉන්න පුළුවන්. නේද අනේ…”

තේ බොන ගමන් නාලිනී ඒ ප්‍රකාශය කළේ සාලිය ව ද ඊට හවුල් කර ගනිමිනි.

“හ්ම්. ඒක ඇත්ත. එ වුණත් ඒව මේ දරුව එක්ක නෙවෙයිප අපි කතාකරන්න ඕනෙ නිශ්ශංකල එක්කයි”

“ඔව් ඔව්. එහෙම කතා බහ කරන්නෝනෙ තමයි”

“නිශ්ශංකල මේ බව දන්නෙ නැත්තං… අද මේ දුවත් මෙහෙ ආපු එකේ මේක අපි හිතේ තියං ඉන්න එක මන්නං කියන්නෙ ඒ තරං හොඳ නෑ”

“තාත්තෙ මං තාත්තලටත් කියල… ආදියාගෙ හිතේ මේ ගැන තියන බයත් නැති වුණාට පස්සෙ මේ ගැන අංකල්ල එක්ක කතා කරනව කියලයි හිතං හිටියෙ”

“ඒ වුණාට අපිට දැනුංදීල ඒ අයට නොකියා හිටිය කියල දැනගත්තහම… අපිත් දැනගෙන එයාල නොදැන හිටියයි කියන එක ඒ තරං හොඳ නෑ. දැනගත්තට දවසක නිශ්ශංකලගෙ හිත් රිදෙන්න වුණත් පුළුවන්. ඒක නිසා මං කියන්නෙ… අපි අද මේ දුවත් එක්කම ගිහිං මේ කාරණාව ගැන නිශ්ශංකල එක්ක කතා බහ කරන එක හොඳයි”

සියල්ල හදිසියේ ම තීරණය වූයේ එසේ ය. ආදියා ඒ කිසිවකට සූදානම් වී නො සිටියෙන් තිගැස්මක් ඈ තුළ නොවූවා නොවේ. නමුත් එහෙම වෙන එක ගැන අකමැත්තක් ද ඇය වෙත නො විණ.

“එහෙනං ඉතිං අම්මයි තාත්තයි ලෑස්ති වෙන්න. අපි මේ ගමංම එහෙ ගිහිං මේක කතා කරල ඉවරයක් කරගමු”

“හ්ම්. එහෙම හොඳයි”

නාලිනී වහ වහා තේ බීම අවසන් කොට සාලිය සමගින් ම කාමරයට ගියේ ගමනට සූදානම් වීමට ය. දෙව්රම් ආදියා ව මතු මහල වෙත කැඳවාගෙන ගියේ ය. එය දැඩි නිශ්චලත්වයක පැවතිණ.

“ඔයා වොශ් දාල එන්න. මං මෙහෙං ඉන්නං”

කියමින් ආදියා මතු මහලේ ආලින්දයේ රැඳෙන්නට හැදුවා ය. නමුත් දෙව්රම් ඇගේ අතින් අල්වා කාමරය තුළට ඇද්දේ ය. ඈ නතර වූයේ ඔහු ගේ පපුව මතයි. දෙව්රම් ඈ සිය දෑතින් තවත් ඔහු වෙතට සමීප කොට ගත්තේ ය. දවස අවසානයක ආදරේ ම පිරිමියෙකු වෙතින් හමනා වෙහෙසක සුවඳ ඇයට දැනිණ. වඩාත් සමීපව පෙනුණ ඒ ඇස් වල ආරාධනයක් විය. කේශාන්තයේ සිට පාදාන්තය තෙක් ම විදුලියක් ඇදී යනු ඇයට දැනිණ.

“කවුරුත් එයි අනේ”

කියවෙත්දී ම ඇගේ රතදර සීතල ග්‍රහණයකට හසු විය. ආදියා මොහොතකට නෙතු පියවෙන්නට හැරියා ය. ඇගේ අතක ඇඟිලි තුඩු ඔහු ගේ කෙටි කෙහෙ රැල් අතරේ මෘදු සරාගයක් තැවරී ය. මේ මොහොත කල්පයක් තරම් දිගු වෙනවා නම් යයි සිතෙත්දී ම ඔහු සිය ග්‍රහණය ලිහිල් කළේ ය. ආදියා ඒ වසත් පපුතුර මුහුණ හොවාගත්තා ය. බොත්තම් කිහිපයක් විවර කළ කමිසය තුළ සුවදායී කලාපයක් වූයේ ය. ඇසිල්ලකින් ඈ දෝතින් ගත් ඔහු, මල් පියල්ලක් සේ ඈ ගෙනැවිත් සිය යහන මතින් තබා ඉතාම ඉවසීමෙන් ඒ කොපුලක් සිපගත්තේ ය.

“සුවඳයි”

ආශාවක්, බියක්, ලැජ්ජාවක් ආදියා තුළ එහෙ මෙහෙ වෙත්දීත් දෙව්රම් යහනෙන් නැගී සිට අවසන් ය.

“මං ඉක්මනට ලෑස්ති වෙන්නං”

ඔහු නාන කාමරයේ දොර වසාගත්තේ ය. ආදියා තවත් මොහොතක් ඒ සිහිනය තුළ අවදි නොවී සිටියා ය. නමුත් දෙව්රම් දිය නාගෙන කාමරයට එන විට ඈ සිටියේ ආලින්දයේ උස ප්‍රංශ ජනේලයෙන් ටෙරසයෙහි පෙම් ගී ගයනා විහඟුන් දෙස බලාගෙනයි.

“යං”

දෙව්රම් ඇගේ බඳ වටා වමත යවා ඈ ඔහු වෙතට ලං කොට ගත්තේ ය. හදවතට දැනුණා වූ හැඟුමන් සමුදාය පෙරපර ගළපා ගන්නට ඇයට කිසි දාක නො  හැකි වනු ඇත. කවදාවත් එක මොහොතකට හෝ ඔහු වෙතින් දුරස් වී නො සිටි ලෙසක් ඇයට හැඟිණි. සංසාරේ එක භවයකට හෝ ඔහු වෙතින් ඈත් විය නො හැකි සෙයක් දැනිණ.  

“යන්න හිතෙන්නෑ”

පුංචි වචන දෙකකින් ඕ ඇත්ත ම කියාගත්තා ය. දෙව්රම් ඒ කොපුලක හදිසි හාදුවක් තැවරී ය.

“මටත් යවන්න හිතෙන්නෑ තමයි. ඉක්මනට මේ දුර ඉවර කරගමු. ම්… ඊට පස්සෙ ඔයා මං ළඟම”

පියගැට පෙළ අවසානයේ දී, අත්හරින්නට ලෝභකමින් තදින් අල්වාගෙන උන් ඔහු ගේ අත අත්හරින්නට ඇයට සිදු විය.

ඒ සැඳෑව සදානුස්මරණීය එකකි. හැම හිතක ම තිබුණේ සතුටයි. ජිනාදරී රෑ කෑම පිළියෙල කරන්නට හැදුව ද දෙව්රම් ඊට ඉඩ නොදී පිටතින් කෑම ඇනවුම් කළේ ය.

“දරුවො සතුටෙන් ඉන්න එක තමයි ඉතිං අපේ සතුට. ඒ දෙන්න තීරණය කරල තියනවනං එක ගමනක් යන්න පුළුවං කියල… අපි මොකටද විරුද්ධ වෙන්නෙ… පුළුවන් සහයෝගයක් දෙනව මිසක”

නිශ්ශංක ගේ හෘදයාංගම අදහස එය විය.

“නිශ්ශංක අයිය ඔහොම කියනකං මන්නං කොච්චර වුණත් දෙගිඩියාවෙං හිටියෙ. පුතා කිව්වෙත් එයා කලින් බැඳල ඩිවෝස් වුණ කෙනෙක් නිසා…”

“කලින් බැන්දත් දැන් ඩිවෝස්නෙ. ඒ කියන්නෙ දැං තනිකඩනෙ”

කියමින් නිශ්ශංක සැහැල්ලු ලෙස සිනහ වූයේ ය.

“අනේ ඇත්තමයි අක්කෙ. දෙව්රම් පුතා වගේ පුතෙක් අපිට ලැබෙනවයි කියන්නෙ… මං දන්නව චූටි දූව විතරක් නෙවෙයි දවසක අපිව තනිකරන්නෙත් නෑ පුතා”

ජිනාදරී නෙතු කඳුළක් පිසගත්තා ය. ආදියා අම්මා ගේ  උරහිස මත නිකට රඳවා ගත්තේ හිත පැළෙන්නට යත්දී ය.

“මොකට තනි වෙනවද… මේ අපි ඔක්කොම ඉන්නෙ දැන්”

ආදියා සිය බැල්ම දෙව්රම් වෙත පා කොට හැරියා ය. ඔහු දෑසින් ඈ සිම්බේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here