වියෝ ගී ගැයෙනා හදේ – 43

0
2591

“චිරත් මේ ඩිවෝස් එකෙන් පස්සෙ ගෑණිගෙ ගෙදරට ඇවිත් ඒ ගෑණිට සද්ද දාලා යන්න ලැජ්ජ නැද්ද මනුස්සයෝ?” කියමින් වලාකුලු තමන්වෙතට එද්දි පමණක් චිරත් සහ මේධා දෙදෙනාම එකවරම වලාකුලු දෙස හැරී බැලුවේ කලින් කතාකරගත්තාක් මෙනි.  වලාකුලුට එච්චර කෝප ගන්න දෙයක් මෙතන උනේ නැති උනත් ඔහු මේ පෙන්නන්නට යන්නෙ මනුර සුමතිපාලගේ නිවස පරිශ්‍රයේ ඔහුට තියන පවර් එක පෙන්වන්න වගේම තමන්ට වඩා අයිතියක් මේධා ගැන ඔහුට තිබෙන බව පෙන්වන්නට වග චිරත්ට නොතේරුනා නෙවෙයි. 

එහෙත් මේ ඔහුට කලබල වෙන්න, මෙහෙම කෑගහන්න අවස්තාවක් නොවන වග මේධාගේත් චිරත්ගේත් සිත්තුල සිතුවිල්ලක් ඉපදුනේ නැත්තේ නැත. 

“වලාකුලු…” කියා චිරත් මද වෙලාවක් කතා නොකර සිටියේ හිත අස්සේ ඉපදෙන තරහ අඩුකරගෙන ඊලඟ වචන පේළිය කියන බලාපොරොත්තුවෙනි. ඒ ඉවසීම වනාහී චිරත්ට නුපුරුදු හැඟීමක් උනත් පෙත්මලී වෙනුවෙන් මේ වෙලාවේ පෙත්මලී ඉන්න තත්ත්වය නිසාවෙන් ත්මන් කෝපය, තරහව සහ දුක යනාදී සියලුම හැඟීම මැඩපවත්වාගන්නට උවමනා කරන බව චිරත් දැනගෙන සිටියේය. 

“වලාකුලු මට ඩිවෝස් කරපු වයිෆ් පස්සෙ ඇවිත් රණ්ඩු දාගෙන යන්න උවමනාවක් නෑ. මොකද මගේ ලයිෆ් තියරි එක තමයි මාව එකපාරක් එපා කිව්ව කිසිම කෙනෙක්ව ආයෙ තවදුරටත් මගේ ජීවිතේ තියාගන්නෙ නැති එක. එහෙම එකේ මට ඔය නෝන්ඩි වෙන්න මාව දාලා ගිය ගෑණු පස්සෙ යන්න උවමනාවක් නෑ”

“එහෙනම් මේ විටෙන් විටේ ඇවිල්ල මේධාගෙ ඔලුවට කරදර දාල යන්න හදන්නෙ ඇයි?” කියා වලාකුලු තවත් අඩියක් ඉස්සරහට තබා චිරත් දිහාවට එද්දි මේධා ඇත්තටම මේ දෙදෙනා අතරෙ ගැටුමක් ඇතිවේය කියන බය හන්දාම වලාකුලුගේ උරහිසේ එල්ලී හඬා වැළපෙන්න පටන් ගත්තාය.

“අනේ ඔයා වැරදියට හිතන් ඉන්නෙ වලාකුලු. චිරත් ආවෙ පෙත්මලී ඉස්කෝලෙ වැඩ කරන්නෙ නෑ, වෙනදා වගේ නෙවෙයි පොඩි ස්ට්‍රෙස් එකක ඉන්නෙ කියල ටීච කිව්ව කතාව ඇත්තක්ද කියල මගෙන් අහන්න” කියා මේධාවිණී වලාකුලුගේ ඇඟේ එල්ලී කියද්දී චිරත්ට තරහ ගියේ මේධා ඇඟේ එල්ලිච්ච එකට නොවේ. තමන්ට නොකියා ඉන්න හිතුව පෙත්මලීගේ ප්‍රශ්නය ගැන කතාව මේධා වලාකුලුට කියා තිබෙන බවට හිතුන එකය. 

“මං ආවෙ තමන්ගෙ අම්මා කලබල වෙලා අරගත්ත ඩිවෝස් එක හන්දයි, ඉන්පස්සෙ ඔෆිස් එකේ වැඩයි අරකයි මේකයි කියල අම්මා බිසී වෙද්දි අම්මට දරුවව පේන්නේ නැතුව, දරුවා ඉන්නෙ ස්ට්‍රෙස් එකක කියල පේන්නෙ නැතුව ගිය හන්දයි දරුවට වෙච්ච ප්‍රශ්න ගැන කතා කරන්න. ඒ නැතුව මේ ඔයා හිතන විදියට මේධාව ආපහු මගෙ ගෙදරට එක්කරගෙන යන්න නෙවෙයි” කියා චිරත් කියා සමච්චල් සහගතව හිනාවෙද්දි මේධා උන්නේ “අනේ චිරත් ප්ලීස් මෙතනින් යන්නකො” කියා කියාගන්න ලතවෙමිනි. තමන්ගේ ඇඟේ එල්ලී ඉන්න මේධාව එක් අතකින් එහාට කරමින් අනෙක් අතින් චිරත් දිහාවට  ඇඟිල්ල දික් කරමින් තර්ජනය කරන්න වලාකුලුව පෙළඹුවේ චිරත්ගේ වචන නොවේ.ඒ වචන අවසානයේ චිරත් විසින් දෙතොල් අතර ඇඳගත් සමච්චල් සහගත හිනාවය.

“එක්කන් යන්න ඉතින් කොහොමත් උඹට ගෙයක් නෑනෙ බං” කියා චිරත්ට රිදෙන තැනකට කියා වලාකුලු පහර දුන්නත් ඒ වචන වලින් උනෙත් චිරත්ගේ දෙතොල් අතර ඇඳී තිබුන සමච්චල් සහගත හිනාව තවදුරටත් පුලුල් වෙන එක විතරය.

“අනේ ඔව් වලාකුලු. මට තාම මටම කියල ගෙයක් ගන්න සල්ලි නෑ. තව අවුරුද්දක්වත් යාවි මට බිස්නස් එක සක්සස් කරගෙන මගෙම කියල ගෙයක් ගන්න. කොළඹ ඉතින් ගෙවල් දොරවල් එහෙම මිලයිනෙ මචං. අනික උඹ වගේ මට ප්ලෑන් නෑ තිබ්බෙත් නෑ තියෙන්නෙත් නෑ සල්ලිකාර ගෑණුන්වයි උන්ගෙ තාත්තලයිව රවට්ටගෙන ඒ සල්ලිවලින් ගොඩයන්න” කියා සමච්චල් සහගත හිනාව එක්ක චිරත් එක එල්ලේ තමන් දිහා බලාගෙන කියද්දි වලාකුලු උන්නේ කෝපය පාලනය කරගන්නට විදියක් හිතාගන්න බැරුවය. ඒ කෝපය මත්තේ චිරත්ට තව දෙයක් කියන්න කට අරින්න හැදුවද අත ඔසවා ඒ අදන් නැවතූ චිරත් තමන්ගේ කතාව අවසන් කරන්න වලාකුලු දෙස එක එල්ලේ බලාගෙන මෙසේ පැවසුවේය.

“මගේ හිඟනකම මට හොඳයි මචං අනුන් ගෙ සල්ලිවලින් රජවෙන්න හිතනවට වඩා” කියා එතනින් යන්නට පෙර එක මොහොතකට මේධාවිණී දෙස බලා “ඔයාට මේ ප්‍රශ්නෙ කොච්චර සීරියස් ද කියල තේරෙනවද කියන්න මම දන්නෙ නෑ. හැබැයි ඔයා මේක සති කීපෙක ඉඳල දැනගෙන ඉඳලත් කිසිම රියැක්ශන් එකක් නොගත්ත එකේ මම චයිල්ඩ් කවුන්සලර් කෙනෙක්ව හොයල කතාකරන්නම්. පෙත්මලී විතරක් නෙවෙයි මාත් එක්ක ඔයත් එන්න ඕන කවුන්සලර් හම්බුවෙන්න යන්න” තිරව කියා චිරත් එතනින් පිටවයද්දිත් මේධා කලේ වලාකුලුගේ ඇඟේ එල්ලී තමන්ට පිටුපා යන තමන් කිසිම දිනෙක දැක නැති, වෙනස්ම ඉවසීමක්, සං‍යමයක් එක්ක අලුතෙන් හැදි උන් චිරත් දිහා බලමින් කල්පනා කරන එකය.

“පුදුම බල්ලෙක් නෙ මූ. දැක්කද අර කිව්ව බලු කතාව, මම මේ ඔයා එක්ක යාලුවෙල ඉන්නෙ ඔයාගෙයි ඔයාගෙ තාත්තගෙයි සල්ලිවලට කෑදරකමේ කියල. උට ඔයාලගෙ සල්ලි වලින් ආතල් ගන්න බැරිවෙච්ච එක මිස් වෙච්ච හන්දා දැන් මේ අපි දෙන්නට ඉරිසියා කරනවා. ඔයා මගෙ ඇඟේ එල්ලිලා ඉඳියෙ නැත්තම් මම දනී ඕකට කරන දේ. මං අර ඉවසගෙන ඉඳියෙ මොක උනත් ඔයාලගෙ තාත්තල ඉස්සරහ මං එහෙම දෙයක් කරලා මෙතන පිස්සුවක් කෙලින්න උවමනාවක් නැති හන්දා. ඌට පුදුම ඉරිසියාවක් තියෙන්නෙ මං උට වඩා සක්සස්ෆුල් විදියට ජීවත්වෙන එක ගැන” කියා කියද්දිත් හිත අස්සෙන් “චිරත් කියන්නෙ එහෙම අනුන්ගෙ දියුණුවට ඉරිසියා කරන, අනුන්ගෙ සල්ලිවලින් ගොඩයන්න බලන මනුස්සයෙක් නෙවෙයි” කියා කිව්වත් මේ ඒ වචන දෙතොල් අස්සෙන් එලියට දාන්න හොඳම වෙලාව නොවන බව දන්න හන්දාම මේධා වලාකුලු කියන දෙයක් අහගෙන කල්පනා කරේ එකම එක දෙයක් ගැන පමණකි.

“චිරත් මේ පොඩි කාලෙට එච්චර ගොඩක් වෙනස් උනේ කොහොමද?” කියන හැඟිම අස්සේ චිරත් විසින් සමච්චල් සහගත හිනාවක් එක්ක කියන්නට යෙදුණ “වලාකුලු මට ඩිවෝස් කරපු වයිෆ් පස්සෙ ඇවිත් රණ්ඩු දාගෙන යන්න උවමනාවක් නෑ. මොකද මගේ ලයිෆ් තියරි එක තමයි මාව එකපාරක් එපා කිව්ව කිසිම කෙනෙක්ව ආයෙ තවදුරටත් මගේ ජීවිතේ තියාගන්නෙ නැති එක. එහෙම එකේ මට ඔය නෝන්ඩි වෙන්න මාව දාලා ගිය ගෑණු පස්සෙ යන්න උවමනාවක් නෑ”

කියන කතාව විස පෙවූ ඊතලයක් මෙන් පපුවේ ඇණී හිත අස්සට විස පොවන්න, ඒ විස නිසා හිත ඔත්පල කරන්නට හේතුවෙච්ච එක බව මේධාවිණීට තේරුණත් ඈ එය පිළිගන්නට කැමති උනේ නැත. 

“නෑ මං අහන්නෙ මේධා ඔයා බලන්නකො ඔයාට උනත් එක තප්පරේකට උනත් හිතෙන්න පුලුවන්නෙ මේ මූ මගේ ඇඟේ එල්ලෙන්න හදන්නෙ, මාව යාලුකරගන්න හදන්නෙ සල්ලිවලට කියල”

“මං ඔයා ගැන කවදාවත් එහෙම හිතන්නෙ නෑ කියල ඔයා දන්නවනෙ”

“නැ ඔයා හිතන්නෙ නැති එක ඇත්ත. ඒ උනාට එක වචනෙකට පුලුවන්නෙ මිනිහෙක් තව මිනිහෙක් ගැන හිතන එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දාන්න. මට පුදුම තරහක් ආවේ. මහ පිස්සු මිනිහෙක්නෙ. ඔයා කිව්වට ටිකක් විතර ඇග්‍රෙසිව් කියල මම ඇත්තටම හිතුවෙ නෑ ඔහොම පිස්සෙක් කියල” කියලා වලාකුලු කියවගෙන කියවගෙන යද්දිවත් මේධා උන්නේ ඇත්ත කුමක්ද කියා වටහාගන්න බැරුව හිත ඇතුලෙන් සිතුවිලි දහසක් එක්ක පොරබදමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here