මල් පිපුණිද හිම කැළයේ – 01

0
1767

පෙබරවාරියේ අග හෙයින් දිවා එළිය හවස හතරහමාරටත් මැකී නොයා තිබේ. දරාගන්නට අපහසු සීතල දවස් ගෙවී ගොස් අවසානය.දුරකතනයේ කාලගුණ දත්ත වලට අනුව පිටත උෂ්ණත්වය තවමත් සෙල්සියස් අංශක එකොළහක මට්ටමේ ඇති බව නිලංගා තහවුරු කරගත්තේ කාමරයෙන් පිටතට බසින්නට පෙරාතුවය.උණුසුම් ඇඟලුම් තට්ටු ගණන මඳක් හෝ අඩුවීම එක් අතකට මහා පහසුවකි.

කාමරයේ දොර අගුළු ලා නිවසේ ප්‍රධාන දොරෙන් පිටතට පිය තබන්නට පෙර නිලංගා මොහොතකට නැවතී පිටත බලා උන්නාය.කුඩා මිදුලේ කෙළවර පත් සිඳුණු චෙරි ගසේ කුඩා පොහොට්ටු මතුවෙමින් ඇත. ඒ අතුපතරේ එහා මෙහා පනිමින් ගී ගයන්නේ රොබින් කුරුල්ලෙකි. බොහෝ දිනයන්හි නිලංගා කාමරයේ කුඩා කවුලුව විවෘත කොට ගෙන රොබින් කුරුලු හඬ අසා සිටින්නීය.සමහරක් දාට කුඩා පීරිසියක තැබූ ධාන්‍ය අහුරක් ජනෙල් පැනලය මත තබා සැඟවී බලා ඉන්නීය.තැඹිලි පාට මුසු දුඹුරු පැහැ ගන්නා පුංචිත්තා හොරෙන් මෙන් පැමිණ ධාන්‍ය ස්වල්පයක් ගෙන වහා ඉගිල යයි.සමහරක් මොහොතවල් වලදී ජීවිතයට සතුටක් ගෙන එන්නට එවන් අහම්බයන්ද ප්‍රමාණවත් බව නිලංගා අත්දැකීමෙන් උගත්තාය.

මාවත එතරම්ම කාර්‍යබහුල නොවන්නේ බ්‍රහස්පතින්දාවක් හෙයින් විය යුතුය. සිකුරාදා හවසත් සති අන්තයත් මේ පාරවල් වාහනවලින් , ඇවිදයන මිනිසුන්ගෙන් පිරීයයි. නිලංගා අරමුණක් නොමැතිවම ඇවිද ගියාය.එතරම් ජනාකීර්ණ නොවූ පරිසරයක ඇති නිවහනේ සිට කුඩා කෝපිහලක් ඇති දිශාවට විනාඩි පහළොවක පමණ ඇවිදයාමක් ඇත.

අත ඇති මුදල් අරපිරිමැස්මෙන් පාලනයක් ඇතිව වියදම් කළ යුතු අවධියක තමා දැන් පසුවන බව  නිලංගා දැන උන්නාය. ලබන මාසය වන විට දැනට ඉන්නා කාමරයෙන් නික්ම යා යුතුය.නවාතැන් හිමිකරු පෙර දිනයේ ඒ බව යළි සිහිපත් කළේ ඇයගේ තීරණය ගැන දැනගන්නටය. තවත් පවුම් පනහක් මාසික කාමර කුළියට වැය කරගන්නට නිලංගා අසමත් ය. දැනට ඇති ඉලක්කය රැකියාවක් සොයා ගැනීමත් නවාතැනක් සොයා ගැනීමත් පමණි.කුඩා කාමරය තුළ සිට කල්පනා කරන්නට ගිය හොත් අවසානයේ ඉතිරිවන්නේ අධික හිස කැක්කුමක් පමණි. අඩුම තරමේ නැවුම් සුළං පොදක් සමගින් උණුසුම් පානයක් සිත ඉල්ලන්නේ එහෙයිනි.

Coffee Garden 66 පේනමානයේ තද දුඹුරු පැහැයෙන් නිලංගා එන මගට දිස්වෙයි.තද දුඹුරු පැහැ ලීයෙන් කළ දොර දෙපසින් දුඹුරු ගඩොල් බිත්තිය. වහලේ සිට පහළට එල්ලෙන කුඩා විදුලි බල්බ වැල් තව පැය බාගයකින් දැල්වෙනු ඇත.තද දුඹුරු පැහැයට එක්වෙන ලා කහ බල්බ වල එළි මවන්නේ උණුසුමැති හැඟීමකි.නිලංගා අවන්හල තුළට ඇතුළු වී සිය කෝපි බඳුණේ ඇනවුම ලබා දී සුපුරුදු කෙළවර මේසය වෙත ඇවිද ගියාය. සතියකට වතාවක් කෝපි කෝප්පයක් බොන්නට පැමිණෙන ඇයගේ මේ සුපුරුදු අසුන බොහෝවිටක ඇය වෙනුවෙන් ඉතුරුවී තිබුණි.

උඩු කබාය පුටු ඇන්දට දමා ඉඳගත් ඇය ජංගම දුරකතනය පසෙක තබා මොහොතක් අවන්හල සිසාරා බැල්මක් හෙලුවාය.මේ වේලාවට එතරම් සෙනගක් අවන්හලේ නැත. මේස දෙකකට එහා වයස්ගත මහතෙකි.ඔහු අතවූ පොතක් කියවමින් සිටී.කෝපි බඳුනද අඩක් අවසන් කල කුමක් හෝ කෙටිකෑමක් ද ඔහු ඉදිරිපසය.ඉදිරිපස මේසයේ තරුණයන් දෙදෙනෙකු සහ යුවතියකි. එයින් යුවතිය ආසියානු පෙනුමක් ඇත්තියකි.කේරළ හෝ ඉන්දියානු සම්බවයක් බඳු පෙනුමක් ඇතද ඇයගේ හැඩරුවට යුරෝපීය ලක්ෂණද එක්ව ඇතුවා සේය. ඇය සමග ඉන්නේ සුදු ජාතිකයෙකි.ඔව්න් බැලූ බැල්මටම පෙම්වතුන් සේය.උණුන් වැළඳගැනීම් ,ඇස් බැලුම් සිපාචාර ඉඳහිටක හසාරාගේ ඇස ගැටෙයි.අනෙකා ඔවුන් ගැන වගක් නැතුවා සේ දුරකතනයේ ගිලී ඇත. ඉඳහිටෙක අනෙක් තරුණයා යමක් ඇසූවිටද නොසැලකිලිමත් මුහුණෙන් උත්තර දී යළි දුරකතනයට එබෙයි.නිලංගාගේ ඇස් බැල්ම ඔවුන් වෙත පැවතුණ වේලාව සීමාව ඉක්මවූ බව ඇයට වැටහුණේ ඒ තරුණයා ඇය දෙස දැඩි බැල්මක් හෙලූ හෙයිනි. නිලංගා ජංගම දුරකතනය අතට ගත්තේ මඳ ලැජ්ජාවක් ඇතිවය. තමන්ගේම වැඩක් බලාගැනීම අවධානය හැම අතම විහිදෙන්නට පෙරාතුව කළ යුතුව තිබුණි.

අවන්හල් සේවක පිරිමි ළමයෙකු නිලංගාගේ කෝපි බඳුන ඇය ඉදිරිපස තබා සුබපතා නික්ම ගියේය.නිලංගා ප්‍රති සුබ පැතුම පතා ජංගම දුරකතනය ගෙන පෙරදා අයැදුම් කල රැකියා සම්බන්ධ  ප්‍රතිචාරයන් නිරීක්ෂණය කලාය.අවාසනාවකට කිසිදු ආයතනයකින් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත.

මේ ගෙවී යන්නේ රැකියාවක් බලාපොරොත්තුව ගෙවී යන තුන්වැනි සතියය.පශ්චාත් උපාධියට පසු රැකියාවක් කරන්නට හැකි කාලය වසර දෙකකි. ඉන් පසුව ජීවිතය කෙසේ ගොඩනගා ගන්නටද යන්න සැලසුම් කරන්නට කාලය ඕනෑතරම් ඇත.රැකියාවක් සහ නවාතැනක්….මේ වන විට ඇති එකම හා ලොකුම අවශ්‍යතාවයයි.ඇය නිවාස සහ කාමර කුළියට ලබා දෙන වෙබ් අඩවි වෙත පිවිසෙමින් තමන්ගේ මුදල් සීමාව තුළ ඇති නවාතැන් සොයමින් විද්‍යුත් මේලයන් යවන්නට පටන් ගත්තාය.

වේලාව ගතව ගියේ නොදැනීමමය.එකිනෙකා අවන්හල තුළට පැමිණෙමින් තිබුණි.තව දුරටත් රැඳී ඉඳීම සුදුසු නොවන්නේ තවත් කෝපි බඳුනකට වියපැහැදම් කරන්නට හිත ඉඩනොදෙන හෙයිනි. කාලය ගතව යද්දී ඉදිරිපස අසුනේ ඉන්නා යුවල සහ තරුණයා නික්ම යාමට නැගී උන් හ.නිලංගා නෙත් ඔසවා ඔවුන් දෙස බැලුවාය.ඒ යුවතිය නිලංගා දෙස මුදු බැල්මක් හෙළා පෙම්වතා සමගින් නික්ම ගියාය.නමුත් අනෙකා නිලංගා දෙස හෙලුවේ නොසැලකිලිමත් බැල්මකි. එය හා එක්ව  උපහාසයක්ද අපහාසයක්ද කියා වෙන්කර ගන්නට අපහසු සිනහවක් නොවන මුව ඇදවීමක්ද විය. නොදන්නා මිනිසුන්ගේ ඉරියව් ගැන වද නොවී තමාද නික්ම යායුතු හෙයින් ඇය නැගී උන්නේ උණුසුම් කබායද ගතලා ගනිමිනි.පිටතට නික්ම යන්නට පියවර තබනා මොහොතේ පෙර යුවල උන් තැන බිම වැටී තිබූ කුඩා මුදල් පසුම්බියක් නිලංගා දුටුවාය.කාන්තා අත් පසුම්බියක් වූ එය එකත් එකටම ගැහැණු ළමයාට අමතකව යන්නට ඇත.  වහා එයද රැගෙන අවන්හලෙන් පිටතට පැමිණියාය.අවන්හලේ දොර අසළ මඳ අවහිරතාවයක් වූයේ කිහිප දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් එතුළට එමින් උන් හෙයිනි.නිලංගා ඔවුන් ඇතුළට පැමිණි වහාම රථගාල සහ අවට පරිසරය දෙස බලමින් ඔවුන් සොයාගන්නට උත්සාහ කළාය.
නමුත් රථගාලේ හෝ මාවතේ ඔවුන්ගේ ඡායාවක් හෝ නැත.මේ මුදල් පසුම්බිය නැවත අවන්හලට බාරදෙන්නට පෙර විවෘත කොට හෝඩුවාවක් ගන්නට ඇය තීරණය කළාය.

අත් පසුම්බියේ එක්පසෙක යුවතියගේ කාර්‍යාල හැඳුණුම්පතක් බඳු කාඩ්පතක් විය.
“මාලිකා සිරිනන්ද..”
එසේ නම් ඇය ඉන්දියානු යුවතියක් නොවේ.ශ්‍රී ලාංකික යුවතියකි.නිලංගාගේ සිතට සතුටක් එක්ව ආවේ සැණෙකිනි.කාඩ්පතෙහි ඇති ඇමතුම් අංක දුටු වහාම ඇය එම පෞද්ගලික ජංගම දුරකතන අංකයට ඇමතුමක් ගන්නට තීරණය කළාය.

දුරකතනය වරක් දෙකක් නාදවී නිහඬ විය.නිලංගා තවත් වතාවක් උත්සාහ කළාය.මේ උත්සාහය අසාර්ථක වුවහොත් අවන්හලට ආපසු ගොස් පණිවුඩයක් තබා ආ යුතුය.දෙවන වරදී ඇමතුම සම්බන්ධ වූයේ සැණෙකිනි.

“හෙලෝ..ගුඩ් ඊව්නින්.මේ අයි නෝ හූ ඉස් ස්පීකින් දෙයා…”
අනෙක් පසින් ඇමතුමට සම්බන්ධ වූයේ මිහිරිම ස්වරයකි.

“හෙලෝ ගුඩ් ඊව්නින් මිස් මාලිකා සිරිනන්ද…අයෑම් නිලංගා මැදගොඩ…”
නිලංගා මොහොතක් නැවතුණාය.

“ම්ම්…නෙලංගා…නෙල්…..මට එහෙම කෙනෙක් මතක නෑනෙ..අනේ…”
ඉංග්‍රිසි උරුවකින් සිංහල උච්ඡාරණයක් පිළිතුරක් ලෙස පැමිණියේය.

“නෑ මිස් මාලිකා…අපි දන්න අය නෙවෙයි.මම දැන් coffee garden 66 එකේ බිම තිබිලා ඔයාගේ පර්ස් එක ඇහින්දා…ඒක කියන්න ගත්තේ….”
එහා පසින් ..”Oh My God…my wallet….it was there….”
යැයි කෑගසනු ද ඇසිනි…

“මම එතන කා පාර්ක් එකේ තවම ඉන්නේ…ඔයාට එන්න පුළුවන් ද ඒක ගන්න…”
නිලංගා විමසුවාය.

“අනේ තෑන්ක්ස් නෙලාංකා…නෙලා…සොරි …අනේ නම කියවුනෙ නෑ correctly…අපි එනවා දැන්ම …Wait Brian, we need to go back…please..”
කලබල හඬකින් ඇය පිළිතුරු දුන්නාය.

“වට් ද හෙල්…මෙලා…you are wasting my time too..”
ඉතා ගැඹුරු හඬකින් යමෙක් දොස් පවරන ආකාරය මෙහා ඉමටද ඇසුණි.එකත් එකටම මාලිකාගේ පෙම්වතා විය යුතුය. නිලංගා රථගාලේ පසෙක වූ ගල් බැම්ම මත ඉඳගත්තාය.ඔවුන් මේ වන විට කෙතරම් දුරක් ගොස් ඇත්දැයි හිතාගන්නට නොහැක.නමුත් තමන්හට කාල වේලාව ඕනෑතරම් ඇති හෙයින් ඔවුන් එනතෙක් බලා ඉන්නට ඇය තීරණය කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here