48
“හෙලෝ මිස් මම කතාකරන්නෙ මේ බෑන්ක් එකෙන්. මිස් අර ගත්ත ටූ මිලියන් ලෝන් එකේ ඉන්ස්ටෝල්මන්ට්ස් දෙකක් පෙන්ඩින් තියෙනවා. කොහොමද මිස්ට පුලුවන්ද ඇවිත් ඒක පේ කරන්න? එහෙම නැත්තම් අපි මිස්ගෙ අකවුන්ට් එකකින් ඒක හෝල්ඩ් කරගන්නද?” කියා කාර්‍යාලයේ වැඩ දාහක් අස්සේ හිර වී ඉද්දී බැංකුවෙන් ආ ඒ දුරකතන ඇමතුම මේධාව තිගස්සවන්නට හේතු උනාය. ඒ ලක්ශ විස්සක ණය අරගත්තේ වලාකුලු වෙනුවෙන් ය. ඔහු විසින් තාත්තා සමග එක්ව කරන්නට යන ප්‍රඩක්ශන් හවුස් එක සඳහා අවශ්‍ය කැමරා ආම්පන්න මිල දී ගැනීම සඳහාය. ඒ ණය ගන්නට තමන් මුල් උනේ වලාකුලුට ඒ වෙද්දිත් ගෙවන්න ණයක් තිබීමය,. තමන්ගේ නමට ඒ ණය අරගත්තද එය ගෙවන වගකීම එවෙලේ වලාකුලු භාරගත් බව මේධාට අමතක නැත.එහෙත් බැංකුවෙන් මෙලෙස කතා කර කියද්දි වලාකුලු විසින් ඒ වගකීම පැහැර හැර ඇති බව තේරුම්ගන්නට මේධාට අපහසු උනේ නැත.
“අපි ලෝන් එක අරගත්තට පස්සෙ වාරික කීයක් ගෙවලද?” කියා තමන් ඇහුවෙ ආයෙම වතාවක් බැංකුවට වරදක් වී ඇතිදැයි දැනගන්නට වඩා අසරණ වෙච්ච හිත සනසගන්න බව දැන උන්නේ මේධා පමණකි.
“ලෝන් එක ගත්තට පස්සෙ වාරික දෙකක් තමයි මැඩම් මේ වෙද්දි තියෙන්නෙ. ඒ වාරික දෙකෙන් එකක්වත් තාම ගෙවලා නෑ. අපි ලෝන් එක අරගන්න වෙලාවෙ මැඩම්ලා දීපු ඇඩ්‍රස් එකට මතක් කරලා ලෙටර් එකක් එව්වා” කියා කියද්දිත් මේධාට ලෝන් එක අරගන්න වෙලාවේ එයට අත්සන් කලෙ තමන් උනත් ගෙවන්න පොරොන්දු උනේ වලාකුලු හන්දා දුන්නෙ වලාකුලුගේ ගෙදර ඇඩ්‍රස් එක බව මතක් වුනාය. එසේනම් මේ අනුව කියවෙන්නේ වලාකුලු ඒ වගකීම පැහැර හැර ඇති බවය. දහසක් දේ කියා බැංකුවෙන් කතා කල මනුස්සයාට සමාව භජනය කරයින් පස්සෙත් වලාකුලු අමතන්න පෙර මේධා කාර්‍යාල කාමරයේ එහා මෙහා ඇවිදිමින් කල්පනා කලේ “වලාකුලු මට මෙහෙම දෙයක් කරේ ඇයි?” කියන එකය. එහෙත් මේ වනාහී හිත හිත ඉන්න උවමනා අවස්තාවක් නොවේ. තාත්තා මෙහෙම දෙයක් දැනගත්තොත් තමන්ට විසුමක් නොවෙන බව දන්න හන්දාම මේධා උන්නේ බියෙනි. අනෙක් අතට තමන් මින් පෙර කිසිම දවසක ලෝන් එකක් අරගෙන නැත. රෙස්ටුරන්ට් එක හදන වැඩේට පවා ලෝන් එක අරගත්තේ චිරත් විසින් ගොසින් හන්දා තමන්ට ඒ කිසිම දෙයක් ගැන වද වෙන්න හිතන්න කරන්න දෙයක් තිබුනෙ නැති බව ඇත්තකි. එහෙම එකේ අද තමන්ට කිසිම ආකාරයකින් නෑ කමක් නැති මනුස්සයෙක් වෙනුවෙන් තමන් මෙවන් ණයක් බැංකුවෙන් අරගත්ත බව තාත්තා දැනගන්න එකම හොඳටම බැණුම් අහගන්න වෙන කාරණාවක් වෙන බව මේධා නොදන්නවා නොවේ.
මේ ගැන වලාකුලුගෙන් අහගන්න දුරකතන ඇමතුමක් ගත්තද වලාකුලුව සම්බන්ධ කරගන්න හැකියාව ලැබුනේ තුන්වෙනි ඇමතුම් වාරයේදීය. ඒ තුන්වෙනි ඇමතුම වෙද්දී හිත තිබුනේ තරහෙන් පුපුරමින් උනත් මේධා ඇමතුම සම්බන්ධ වූ වහා ඒ ප්‍රශ්නය වලාකුලුගෙන් අහන්න ගියේ නැත.
“කියන්න මේධා” කියා වලාකුලු කියද්දිත් ඒ වචන අස්සේ මීට මාස කිහිපයක පෙර තමන්ව ප්‍රේමයෙන් පුරවන්නට මුසපත් කරන්නට හේතුවෙච්ච හැඟීම තමන්ට නොදැනුන බව මේධාට තේරුණාය. වෙනස් වී තිබෙන්නේ වලාකුලුගේ හඬ ද එහෙම නැත්තම් තමන්ගේ හිතද කියන ප්‍රශ්නය එවෙලෙ හිතුනත් ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න වෙලාව ඒක නොවන බව මේධා දැනගෙන උන්නාය.
“ඔයා කොහෙද ඉන්නෙ වලාකුලු?”
“මම මේ ශූට් එකක් ගැන කතාකරන ක්ලයන්ට් මීටින් එකකට ගිහින් එන ගමන්, ඇයි?”
“වලාකුලු ඔයා අර මම අරගෙන දුන්න ලෝන් එකෙන් ඕන කරන බඩු ටික අරගත්තද?” කියා මේධා අහද්දී ඒ හඬේ යම්කිසි හොරයක් අල්ලන්නට හදන හැටියක් තිබෙන බව තේරුණා සේම වලාකුලුට ඒ ගැන කෝප ගන්නට ඉඩක්ද සකසා දුන්නේය.
“ඔව් ඇයි? ඔයාට මම ඒව අරගත්ත කියල මොකක් හරි ඩොකියුමන්ට් එකක් සයින් කරල දෙන්න ඕනද?” කියා අහද්දිත් ඒ කෝපය තැවරුන සමච්චල් සහගත බවක් වලාකුලුගේ වදන් සහ සිනහව ඔස්සේ අඳුරගන්න මේධාට දුරකතනය ඔස්සේ වුවද වටහාගන්නට අඳුනගන්නට අපහසු උනේ නැත.
“වලාකුලු, ඔයා බෑන්ක් එකෙන් අරගත්ත ලෝන් එකේ ඉන්ස්ටෝල්මන්ට්ස් ගෙව්වද?” කියා මේධා අහද්දි වලාකුලුගේ සවන් වෙත ඇදී ආවේ වෙනදාට මේධාගෙන් ඇහෙන සුන්දර, කන්කලු නාදයවත් ආදරයවත් නොවේ. එයට වඩා එහා ගිය, විමර්ශනශීලී හඬකි. මේධා මෙලෙස අසන්නේ තමන් ඒ ඉන්ස්ටෝල්මන්ට්ස් ගෙවා නැති බව දැනගෙන හන්දා කියන එක දෙතොල් මත ඇඳී තිබුන කෝපය තැවරුන සමච්චල් සහගත හිනාව මකන්න හේතුවක් උනත් ඒ බව මේධාට පෙන්නවන්නට වලාකුලුගේ පිරිමිකම ඉඩක් දුන්නේ නැත.
“ඇයි එහෙම ඇහුවෙ?”
“මං ප්‍රශ්නයක් ඇහුවම ඔයා කරන්න ඕන ඒකට උත්තරේ දෙන එක මිසක් ආයෙ වතාවක් මගෙන් ප්‍රශ්නයක් අහන එක නෙවෙයිනෙ වලාකුලු. ඔයාගෙ ප්‍රශ්නවලට මම උත්තර දෙන්නම් ඉස්සෙල්ලා ඔයා මං අහපු දේට උත්තර දෙන්නම්කො. ඔයා ඒ ඉන්ස්ටෝල්මන්ට්ස් දෙක ගෙව්වද?”
“හරි හරි ගෙව්වෙ නෑ, ඇයි දැන් බෑන්ක් එකෙන් කතාකරාද?” කියා වලාකුලු එය මහා වරදක් නොවන බව අඟවන්නට මෙන් කතා කරද්දි මේධා උන්නේ ඉහවහා යන කෝපය සඟවගන්නට උපරිම උත්සහ දරමිනි.
“ඔව් කතාකරා. මං මේ ඔයාට කතාකරන්න හිතුවෙ ඒ හන්දා. ඇයි වලාකුලු ඔයා මාව ඒ බැංකුවෙ මිනිස්සු ඉස්සරහ එච්චර ලැජ්ජවෙන විදියට වැඩ කලේ. ඔයා දන්නවද මම කවදාවත් කිසිම දවසක ලෝන් එකක් ගන්න තියා ලෝන් එකක් ගන්න හිතාගෙන බැංකුවකට ගිය මනුස්සයෙක් නෙවෙයි. එහෙම එකේ ඔයා දන්නෙ නෑ මට කොච්චර ලැජ්ජ හිතුනද කියලා ඒ මනුස්සය කතා කරලා ලෝන් එක ගත්තයින් පස්සෙ එක ඉස්න්ටෝල්මන්ට් එකක්වත් ගෙවලා නෑ කියද්දි. බෑන්ක් එකෙන් ඔයාට ලෙටර්ස් පවා එවල තියෙද්දි ඔයා ඒක නොගෙව ඉන්නෙ හිතුවෙ ඇයි වලාකුලු? අඩුම ගාණෙ ඔයාට නිකමට හරි මට කියන්න තිබුනා නේද? ඔයාට ගෙවන්න බැරිකමක් තිබුනනම් ඔයාට ඒක මට කියන්න තිබුනා නේද? නැත්තම් ඔයාට ඉන්ස්ටෝල්මන්ට්ස් ගෙවන්න බැරිකමක් තියෙනම් ඒක කලින්ම කියන්න තිබුනනෙ. එහෙම නම් මේ ලෝන් එකකට යන්නෙ නැතුව ඉන්න තිබුනා අපිට. අපේ තාත්තා දැන් මේ විත්තිය දැනගත්තොත්…”
“ඔව් ඔව් තාත්තා දැනගත්තොත් මට වෙන්නෙත් අරූට වෙන එකමනෙ නේද? හිඟන්නෙක් කියල හිතලා අරූට දුන්න ශොට් එකම මටත් දේවි නේද? ඔයාලට ඉතින් ඒව එච්චර පුරුදු නැති වැඩ නෙවෙයිනෙ. චිරත්ව සීන් එකෙන් අයින් කරලා දැම්මා වගේ පුලුවන්නෙ මාවත් සීන් එකෙන් අයින් කරලා දාන්න.” කියා වලාකුලු කියද්දී මේධා උන්නේ ඇත්තටම කියන්න ඕන මොකද්ද කියා හිතාගන්න බැරුවය.
“වලාකුලු මේ කන්න දුන්න අත හපාකන ලෙවල් එකේ වැඩ කරන්න එපා. මොන ලැජ්ජාවක්ද වලාකුලු මේ. අඩුම තරමෙ අඩුම තරමෙ ඔයාට තිබුනා නේද මට කියන්න. ප්ලීස් අදම බෑන්ක් එකට ගිහිල්ලා ඒ මග ඇරිච්ච ඉන්ස්ටෝල්මන්ට්ස් දෙක ගෙවලා දාන්න සහ මෙතනින් එහාට එන ඉන්ස්ටෝල්මන්ට්ස් කරුණාකරල හරියට ගෙවලා දාන්න”
ඒ කතාව කියා අවසන් කර මේධා වලාකුලු අනිත් පැත්තෙන් කිසිවක් කියන්නට පෙර දුරකතනය විසන්ධි කර දැම්මේ වලාකුලු තව මොනවා හෝ කිව්වොතින් හිත ඇතුලේ මෙච්චර වෙලා අමාරුවෙන් පාලනය කරගෙන උන් කෝපය එලියට පනීවි යැයි කියන බයෙනි. ඒ ඇමතුම විසන්ධි කර දැමුවයින් පස්සෙවත් මේධා උන්නේ ඇත්තටම සැනසීමක නොවේ. වලාකුලු තමන්ගේ ජීවිතේට ආවා නොවේ, තමන් විසින් ඔහුව තමන්ගේ ජීවිතය ඇතුලට අරගෙන ආව බවත් මේධාට අමතක නැත. බාගදා මේ අද මෙලෙස විඳවන්නට වෙලා ඇත්තේ එලෙස ගත් ඒ තවත් වැරදි තීරණයක වේදනාබර ප්‍රතිපල වෙන්නට හැක.
“හැමදාම මටම වරදින්නෙ ඇත්තටම මේ හැම තැනකම නරක මනුස්සයා මමද?” කියා හිතෙද්දි ඒ සිතුවිල්ල සමගම ඉකිබිඳ හඬන්නට තිබුනා නම් කොතරම් අපූරුද කියා හිතුනත් මේ කාර්‍යාලයේ තමන්ට එලෙස හඬන්නටවත් ඉඩක් නැති බව මේධා දනී.
වැරදි වෙන්නෙ මිනිස්සු අතෙන් බව ඇත්තකි. වැරදි කරන්නේද වෙන මිනිසෙක් කරන වැරදිවලට සමාව දෙන්නේද මනුස්සයෙකි. මේධා උන්නේද වරදක් කර එයට දුක් විඳිමිනි. එහෙත් ගැටලුව තිබුනේ මේධා අතෙන් වරදක් වීම නොවේ. ඒ වරදට සමාව දී හිත සනසාගන්නට ඉඩක් දෙන්නට මනුස්සයෙක් ලෙස තමා දෙස බලන කෙනෙකු මේධා ලඟ නොමැති වීමය.