හසාර තම සොයුරිය හා සියල්ල පැවසූයේ සවසය. ඇයත් ඇගේ සැමියාත් ධනංජය ගැන සොයා බලන බවට හසාරාට පොරොන්දු විය.
“ හැබැයි නංගි ඔයා කියනවා වගේ මේක යුතුකමක් විතරක් කරගන්න ඕනේ. අවුරුදු ගානක් ආදරය කරලා මිනිස්සු එක වහලක් යටට යන්නේ හිතුණු ගමන් දාලා යන්න නෙමෙයි. ඔයා එයාට උපරිමයෙන්ම ආදරය කරපු බිරිඳක්. ඔයා එයා වෙනුවෙන් කරපු කැපවීම් ගැන එයා සමහරවිට දන්නෙත් නැතුව ඇති. තාවකාලිකව හරි ඔයා අම්මා තාත්තා සහෝදරියෝ අතෑරියේ එයා නිසා. ඔයා ලංකාව ඇතුලේ තමන්ගේ කියන්න කාත් කවුරුත් නැතුව තනිවුනේ එයා නිසා..ඒ ධනංජයව විශ්වාස කරලා. අපි දෙන්නත් හරි කාර්යබහුලයි. මේ රටේ ජීවත් වෙන්න සල්ලි ගොඩක් හම්බ කරන්න ඕනේ. ඒ ගමනෙදි අයියට මාව මගහැරෙන තැන් මට අයියව මගහැරෙන තැන් අනන්තවත්. ඒ උනාට අපි අපි ගැන අපැහැදීමක් ඇති වෙනකොට කතා කරනවා නංගී. අපි කතා කරලා ඒ අපැහැදීම නැති කරගන්නවා. දහසක් වැඩ අස්සේ අපි, අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගන්නවා. අම්මයි තාත්තයි මෙහේ හිටියට එයාලට පුළුවන් තරම් අපි නිදහස ලබා දෙන්න උත්සාහ කරනවා. නංගි අපේ ගෙදර වැඩ චාමික අයියා මම කියලා බෙදාගෙන කරන්නේ නෑ. සමහර වෙලාවට අපි දෙන්නා මේ ගේ ඇතුලෙදි නිදහසේ හම්බවෙන්නේ සතියකට එක දවසයි. ගොඩක් දවස්වලට එයා ඔෆිස් එකට යද්දි මම ගෙදර ඉන්නවා. එහෙම නැත්තං මම ඔෆිස් එකට යද්දි එයා ගෙදර ඉන්නවා. අපි එහෙම කරන්නේ දරුවොත් එක්ක අපි කවුරුහරි ඉන්න ඕන හින්දා..ශක්තිමත් බැඳීමක් තියෙන දෙන්නෙක්ට තමන්ම බැලන්ස් කරගන්න අමුතු වෙන් ඉගෙන ගන්න ඕනෙ නෑ නංගී..ඒකයි පවුල් ජීවිතය කියන්නේ..”
සොයුරිය කියවා ගෙන ගියේ මදක් උස් හඬින්ය. තමා ධනංජය ගැන කතා කරනවාටවත් ඇය කැමති නැත.
“ දරුවෙක් හදන්න ඔයාටවත් ධනංජයටවත් අඩුපාඩුවක් තියෙනවා කියලා ඩොක්ටර්ස්ලා කිව්වෙ නෑ. ඒක සාධාරණ නොවුනත් එහෙම කිව්වනං එයාට ඔයාව දාලා යන්න හේතුවක් තියෙනවා. ඔය දෙන්නා ඒ දේටවත් හරියට ට්‍රීට්මන්ට් එකක් කළේ නෑ. මං ඔයාට කිව්වා තව ටිකක් බලලා අනාත නිවාසයකින් චූටි පැටියෙක් ගන්න කියලා. අපි අපේ ළඟ ආදරයක්, කරුණාවක්, රැකවරණයක් දීලා හදාගත්තට පස්සේ ඒ දරුවා තමන්ගේ දරුවෙක් මිසක් පිට දරුවෙක් වෙන්නෙ නෑ. ඒක ඔය දෙන්නට උතුම් පුණ්‍යකර්මයක්. අනිත් පැත්තෙන් බැලුවහම සතුටක්..ඔතන පැහැදිලිවම තියෙන්නේ ධනංජයගේ ඉරිසියාව. එයාට ඔයාව දරාගන්න බැරි වෙච්ච එක. එයා ඒ හැමදේම පැත්තකින් තියලා තනියෙන් ගියානං ඒකත් අපිට දරාගන්න තිබුණා. මොකද එහෙම දේවල් මිනිස්සු අතින් වෙන්න පුළුවන්.”
ඇය යළිත් පැවසූයේ හසාරාට කතා කරන්නට ඉඩක් ලබා නොදෙමින්ය.
“ නංගී….මැරේජ් එකක් ඇතුලෙදි පිරිමියෙන් ගෑනියෙක්ව අයින් කරන්නෙත් ගෑනියෙක් පිරිමියෙක්ව අයින් කරන්නෙත් හේතුවක් ඇතුව. ලංකාව වගේ දකුණු ආසියාතික කලාපෙක ජීවත් වෙන මිනිස්සු එහෙම ලේසියෙන් ඩිවෝස් එකකට යන්නේ නැහැ. තමන්ගේ පවුල රැක ගන්න බැරිම තැනකදි එහෙම තීරණයක් ගන්නවා මිසක්. ධනංජය මුලින්ම ගත්තේ අන්තිමට ගන්න ඕන තීරණය…”
එසේ පැවසූයේ ශානකය. හසාරා තවමත් නිහඬ වූ ගමන්ය.
“ ශානක එයා එහෙම ගියේ තනියම නං අපිට මේ හැම දෙයක්ම එක පැත්තකින් හරි බලලා සාධාරණීකරණය කරන්න පුළුවන්. හැබැයි එයා ගියේ තනියම නෙමෙයි. මාස ගානක් ඇතුළත ඔයාල අතරේ ඇතිවෙච්ච ඒ පොඩි හිස්තැන පුරවන්න එයා කෙනෙක් හොයා ගත්තා. ඒක තමයි ශානක සමාව දෙන්නම බැරි තැන..අවුරුදු ගානක සම්බන්ධකම් මිනිස්සු එක තත්පරෙන් බිඳලා දාන එකයි වරද…”
හසාරා කිසිවක් නොකියා අසා සිටියාය. එහා පස සොයුරියත් ඇගේ සැමියාත් දෙදෙනාම වේ. දෙදෙනාම පවසන්නේ තවදුරටත් ධනංජය මේ සිතෙහිවත් තබා ගැනීම වරදක් බවයි.
“ මං කියන්නේ නෑ නංගී මිනිස්සුන්ට වැරදි හදාගන්න බෑ කියලා. වැරදි හදාගන්න පුළුවන්. හැබැයි ඔයාලගේ ජීවිතේ තව ලොකු කාලයක් ඔයාලා දෙන්න එකතු වෙලා ගෙවන්න තියෙනවා. ආයේ කොතනකදි හරි මේ ප්‍රශ්නෙ මේ විදිහටම ඇතිවෙන්න පුළුවන් නංගී. ඔයාට හැමදේම නැති වෙන්න ගියේ හරි පුංචි කාලයක්. හැබැයි ඔයා ශක්තිමත්ව ඉක්මනට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගත්තා. ඇත්තටම මමයි ඔයාගේ අක්කයි දෙන්නම රෙක්ස්ෆෙක්ට් කරනවා ඔයාගේ ඒ හයියට…ඒ ගොඩනගා ගතපු දේවල් ආයේ විනාශ වෙලා යන්න ඉඩ දෙන්න එපා..ඔයාගේ ඒ වටිනාකම හෑල්ලු වෙන්න ඕනේ නෑ…”
“ නංගි…අයියා කියන දේ ඇත්ත..ඔයාගේ ජීවිතේට කෙනෙක් ළං වෙන්න පුළුවන්. හැබැයි ඒ ධනංජයම වෙන්න ඕනෙ නෑ. හැමදේකටම කාලයක් තියෙනවා. අපි ඒ කාලයට ඉඩ දෙමු..”
“ නෑ අක්කේ.. මං මේ වෙලාවේ ධනංජයව බේරගන්නවා විතරයි. එයාට මේ හිතේ ආදරයක් නෑ තැනක් නෑ කියලා මට බොරු කරන්න බෑ. අයිය කිව්වා වගේ ගොඩනගා ගතපු දේවල් ආයේ විනාශ වෙලා යන්න ඕනෙත් නෑ. අහම්බෙන් හරි මං අද ඇවිත් නතර වෙලා ඉන්නේ හොඳම තැනක.. එදා වගේ මට ආපහු හැරෙන්න බෑ. මාව බලාපොරොත්තුවෙන් මාව විශ්වාස කරගෙන මේ ලංකාවේ දහස් ගණනක් දරුවෝ මාත් එක්ක ඉන්නවා අක්කේ… මට ඒ දරුවන්ගේ හීන මරලා දාන්න බෑ..ඉන්දුමා කියනවා වගේ දෙවියෝ මාව යම්කිසි හේතුවකට තෝර ගතපු කෙනෙක් වෙන්න ඇති. ධනංජය ඒ විදිහට මාව දාලා ගියාට පස්සේ හැමෝම මට කිව්වේ අම්මයි තාත්තයි ඉන්න තැනකට යන්න කියලා. මං මෙහෙට ආවේ ඉන්දුමා එක්ක දවස් දෙක තුනක් ඉඳලා මගේ හිත හදාගන්න. මං තීරණය කරලා තිබුනෙත් ඔයාලා ලඟට එන්න…ඒත් ඒ තීරණය වෙනස් කරන්න හේතුවක් මට මෙහිදී හම්බවුණා. ධනංජය නිසාවත් මං ආයෙ නතර වෙන්නෙ නෑ අක්කේ.”
එවර හසාරා පැවසූයේ විශ්වාසයෙන්ය. මින් සතියකට පමණ පෙර රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට යද්දී එහි සේවය කරන අය හිනැහෙමින් පැවසූයේ තමාට එන ලිපි කන්දරාව තබා ගන්නට තවත් කාර්යාල ගොඩනැගිල්ලක් අවැසි බවය. දෙසතියක් පමණ කාලයකදී එකතු වී තිබූ ලිපි දැක හසාරා පවා දෑස් විසල් කර ගත්තාය. ඇය විසින් සම්පාදිත ‘ඉංග්‍රීසි උගනිමු’ පොත් මාලාවට පොත් හල්වලින් ලැබෙන ඉල්ලුම අධිකය. හසාරා විවේකයක් ලද සෑම මොහොතකම අන් රටවල ඉගැන්වීම් ක්‍රමවේද අත්හදා බලන්නට වෙහෙස වූවාය. ලෝකප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ දේශනවලට සවන් දුන්නාය. තම දැනුම වැඩි කර ගනිමින් ඒවා ගුරු මුෂ්ටියක් තබා නොගෙනම ශ්‍රී ලාංකීය දරුවන් අතරේ බෙදා හරින්නට උත්සාහ දැරුවාය.
වැඩිහිටියන් වෙනුවෙන් ආරම්භ කළ ඉංග්‍රීසි කතා කිරීමේ පාඨමාලාව මේ වන වනවිට බොහෝ ජනප්‍රියව තිබිණ. ඒවාට අනුග්‍රාහකත්වය දක්වන්නට ලංකාව පුරා විවිධ සමාගම් ඉදිරිපත් වී සිටියහ. හසාරාගේ සතුට වී තිබුණේ දරුවන්ගේ දියුණුවය. රටේ විවිධ ප්‍රදේශවල පාසැල් වලින් විදුහල්පතිවරුන්, ගුරුවරුන් කතා කරමින් ඇයට ස්තූතිවන්ත විය. සැබැවින්ම ඈ සිටියේ සතුටින්ය. ඒ සතුට තවකෙකු අපේක්ෂාවෙන් ලබන සතුට නොව වෙහෙස මහන්සි වී යමක් කර ලබන සතුටය. වටිනාකමින් වැඩි ඒ නිසාය.
ඉඩ ලැබෙන සැදෑවක ඈ බොහෝවිට කාලය ගත කළේ මුහුදු වෙරළ අසලය. කොහොමටත් ත්‍රිකුණාමලයට වූයේ දර්ශනීය වෙරළ තීරයකි. ඕ බොහෝ සැන්දෑවන්වල සිමෙන්ති බංකුවකින් අසුන්ගෙන ඉර බැහැගෙන යන ගැඹුරු මුහුද දෙස බලා උන්නාය. හදවතෙහි ඇතිව තිබෙන ඒ හිස්තැන ගැඹුරු හුස්මකින් පුරවා ගන්නට ඒ බොහෝවර ඈ සමත් වූවාය.
බොහෝ ගැහැණු ජීවිත පරාජය වන තැන විවාහයයැයි ඇයට සිතිණ. මිනිසුන්ගේ සතුට වන්නේ තේරුම් ගැනීම තුළත් ඉවසීම තුළත් බැව් විශ්වාසය. යහපත් සමාජ සංස්ථාවක් තුළ ගැහැණිය සැමියාගේ යටත් වැසියෙකු විය යුතුදැයි ඕ ප්‍රශ්න කලේ තමාගෙන්මය. තම විවාහය ආරක්ෂා කර ගැනීමට ඕනෑම ගැහැණියකට බලාපොරොත්තුවක්, සිහිනයක් වන බව විශ්වාසය. දියණියක වන, බිරිඳකවන, මවක වන ගැහැණිය තම යුතුකම් වගකීම් ඉටු කරන්නට උත්සාහ දරන්නේ උපරිමයෙන්මය.
“ හසාරා…..”
බලාපොරොත්තු නොවූ මොහොතක ඇසුණු ඒ හඬින් තිගැස්සී ගිය හසාරා පිටුපස හැරුනේ කලබලයෙන්ය.
“ මං මෙතනින් යන ගමන් ඔයාගේ වාහනේ තියෙනවා දැක්කා. ටිකක් ස්ලෝ කරලා බලද්දි ඔයා මෙතන ඉන්නවත් දැක්කා. තනියම නිසා බැහැල ඇවිල්ල කතා කරන්න හිතුනා. මං ආපු එක ඔයාට කරදරයක්ද දන්නෙ නෑ..”
සිනහමුසුව ඇය පිටුපසින් සිටගෙන සිටියේ බුවනෙකය. ඔහු තද නිල් පැහැ ඩෙනිම් කලිසමට ලා කොළ පැහැති කමිසයක් ඇඳගෙන උන්නේය. සැබැවින්ම ඒ කඩවසම් පිරිමි රුවකි. දෙඅත් කලිසම් සාක්කු තුළ රුවාගෙන ඔහු බලා සිටියේ හසාරා දෙසය.
“ කරදරයක් නෑ මං ගොඩක් හැන්දෑවල්වල මෙතනට එනවා.ඒත් සර් මේ කොහේ යන ගමන්ද…”
උයන පිහන බඩු ඔක්කොම ඉවර වෙලා හසාරා. මං මේ ටවුන් එකට ආවා. ඒ ගමන් මං හිතුවා කෝවිලට ගිහිල්ලා එන්න ඕනෙ කියලා. මේ ඒ යන ගමන්…”
බුවනෙක තනිවම කුඩා නිවසක් කුලියට ගෙන ජීවත් වේ. දැනහැඳුනුම්කමක් මාර්ගයෙන් හෝ තම ගම් පළාතට මාරුවක් සාදා ගැනීමට හැකිව තිබුණත් ඔහු එසේ නොකරන්නට මේ පාසලේ දරුවන් නිසා බැව් විශ්වාසය. කාලයක් තිස්සේ කළ ඔහුගේ ඉල්ලීමට කන්දෙමින් පාසලට ඒ ලෙවල් පන්ති කාමර දෙකක් ලැබුණේ ඊයේ පෙරේදාය. ඒවාට අවැසි ගුරුවරුන් දෙදෙනෙකුත් පාසලට පැමිණියේ දෙසතියකට පමණ ඉහතදීය. සාමාන්‍ය පෙළින් පාසල් අධ්‍යාපනය අත්හරින දරුවන් වෙනුවෙන් ඔහු ඒ කලේ මහඟු පුණ්‍යකර්මයකි.
බොහෝ දෙනෙකුට සේ හසාරාගේ ජීවිත කතාව බුවනෙකටද අමුත්තක් වූයේ නැත. ඉන්දුමාගෙන් ඉඳහිට යමක් ප්‍රශ්න කළත් ඔහු කිසිවිටකත් හසාරාගෙන් ඒ පිළිබඳව ඇසුවේ නැත.
“ ත්‍රින්කෝ ආපු මුල් කාලේ මටත් ලොකු පාළුවක් තනිකමක් දැනුනා. මමත් ඒ වගේ වෙලාවට ඇවිල්ලා බීච් එකට වෙලා වාඩි වෙලා ඔහේ බලාගෙන හිටියා. මනුස්සයෙකුට තමන්ගේ පාළුව තනිකම නැති කරගන්න මොනතරම් දේවල් තියෙනවද.මේ මුහුදු හුළඟ කියන්නේ ඇබ්බැහියක්…”
බුවනෙක කියවාගෙන ගියේ ඈත ක්ෂිතිජය දෙස බලාගෙනය. හසාරා නැගී සිටියේ ඔහුගේ රූපය දුටු පළමු තත්පරයේමය. දැන් දෙදෙනා උන්නේ එකිනෙකට සමාන්තරව සිටගෙනය.
“ පස්සේ මට ලොකු ඕන කමක් තිබුණා මේ ඉර බැහැගෙන යන සීනරි එකේ ෆොටෝස් ගන්න. මං ඒ වෙනුවෙන්ම කැමරාවක් ගත්තා හසාරා..ඊට පස්සේ මට උවමනාවක් තිබුණා ඒ දර්ශනය අඳින්න. මං ඒකත් කළා… තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හැල්මෙ දුවන මිනිස්සුන්ට මොන තරම් ලස්සන දේවල් මග හැරිලද කියලා මට වෙලාවකට හිතෙනවා..”
“ ඒකනං ඇත්ත සර්….”
හසාරා පැවසූයේත් ඈත ක්ෂිතිජය දෙස බලාගෙනය. මිනිස් ජීවිත පුදුමාකාරය. ඒවා හිමිවීම් අහිමිවීම්වලින් පිරී පවතී.
( යළිත් හමු වෙමු ආදරයෙන්….)