ජීවිතය කවියක් නොවේ – 46

0
5121

ප්‍රංශයේ ජීවත්වන කසුන්ගේ මිතුරාත් ශානකගේ සොහොයුරෙකුත් ධනංජය ගැන තොරතුරු සොයමින් සිටියේය.  ඔහු වෙනුවෙන් කඳවුරට ගිය නීතිඥවරයා හා කතා කරන්නට හසාරාට අවස්ථාව ලැබුණේ කසුන්ගේ මාර්ගයෙන්ය. කඳවුර පුරා පැතිර ගිය උණ රෝගයක් නිසා ධනංජය රෝහල් ගත කර ඇති බවත් ඔහුගේ තත්ත්වය තරමක් අසාධ්‍ය බවත් පැවසූයේ නීතිඥවරයාය. ශානකගේ මිතුරා නීතිඥයා හා සම්බන්ධ වී ඉදිරි කටයුතු පිළිබඳව සොයා බලනවායැයි හසාරාට පොරොන්දු විය.

ඔහුව නිදහස් කර ගැනීමට අවශ්‍ය ලියකියවිලි සැකසීම සඳහා දින කිහිපයක කාලයක් ගතවන බව ඔහු තවදුරටත් පැවසුවේය. ඒ සඳහා වැය වන මුදල හසාරා ප්‍රංශයේ ජීවත්වන ශානකගේ මිත්‍රයාගේ ගිණුමට බැර කළේ සවසය. 

අසනීපයෙන් පසුවන ඔහුව ලංකාවට රැගෙන ඒම පිළිබඳව වෛද්‍යවරුන්ගේ අදහස විමසිය යුතු බවද ඔහු පැවසීය.

“ අන්තිමට මේ යකාට කාත් කවුරුවත් නැති මනුස්සයෙක් විදිහට ඒ රටේදි මැරිල යන්න වෙයිද  මන්දා…”

කසුන් එසේ පවසද්දී රිදුම් දුන්නේ හසාරාගේ පපුවය. ඇය මේ සියල්ල නොවලහා ධනංජයගේ සොයුරියට පැවසීය.

“ එතකොට අර ගෑණි මගේ අයියව දාල ගිහිල්ලද  අක්කේ..”

අවසන ඇය ඇසුවේ හැඬුම්  මුසු හඬකින්ය. 

“ ඒ ගැන හරියටම කියන්න දන්නේ නෑ නංගී. හැබැයි නිර්මිතා එයා ඉඳපු කඳවුරෙන් රිලීස් වෙලා තියෙනවා. මං දන්නෙ නැහැ ඒ කොහොමද කියලා.”

“ අපේ අයියට තමන් කළ වැරදි දැන්වත් තේරෙයිද මන්දා..අන්තිමට අක්ක විතරයි අපිට හිටියේ..”

අවසන ඇය පැවසූයේ ඒ බිඳී ගිය හඬින්මය. සතුටක් දුකක් නොව හසාරාට දැනෙමින් තිබුණේ හිස් හැඟීමකි. ඇය කිසිවිටකත් ධනංජයට වරදක් වන්නයැයිි නොපැතුවාය. සාප නොකළාය. මිනිසුන් ජීවත්වීමට කැමති සතුටෙන්ය. තමා ප්‍රිය නොකරන ජීවිතයක රැඳී සිටීමෙන් මානසික වද වේදනා විඳීම අනවශ්‍ය යැයි හසාරා විශ්වාස කළාය. එනිසාම මෙම හැර යාම  ඔහුගේ මානසික සතුට වෙනුවෙන් සිදුකළ එකක්යැයි සිතන්නට තරම් ඈ පරිණතව සිටියාය. 

කාලය ගෙවී ගියේ වේගයෙන්ය. මිනිස් ජීවිතවල අපූරු වෙනස්කම් සිදු කරන්නට ඒ ගෙවී යන කාලයට හැකියාව ඇතැයි හසාරා විශ්වාස කළාය. මහ හඬින් හඬා වැටෙන්නට වුවමනා වූ තැන්වලදීත් ඕ  දරා ගනිමින් උන්නාය.මිනිසුන් පරිණත මිනිසුන් බවට පත්වන්නේ සිය අත්දැකීම් වලින්ය. දැන් ඈ දුකත් සතුටත් සම සිතින් පිළිගන්නට සූදානම්ය.

පැයෙන් පැය කතා කරමින් හඬා වැටෙනා ධනංජයගේ සොයුරිය ගැනත් ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලා සිටිනා ඔහුගේ සොයුරා සේම කිසිවක් නොදැන තම ලොකු පුතා එනතුරු මග බලා සිටින මව පියා ගැනත් ඇගේ සිතෙහි වූයේ සැබෑම දුකකි. ප්‍රියයන්ගේ වෙන්වීම තරම් මිනිස් සිත් සංවේගයට පත් කරවන අන් හැඟීමක් නැති බව ඇය තේරුම් ගනිමින් උන්නාය.

ඔහු සියල්ල හැරදා ගියේ තමාට නොලැබුණු ජීවිතයක සතුටක් සොයාගෙනය. එහෙත් ඔහු බලන්නට රෝහලට ගිය මිතුරනුත් නීතිඥවරයාත් පවසන පරිද්දෙන් ඔහු මෙවේලෙහි සිටින්නේ සිය ජීවිතය පිළිබඳවවත් විශ්වාසය නොමැති තැනකය.තමාගේයැයි කාත් කවුරුවත් නොමැති වූ රටක ඒ අයුරින් අසරණවීම දැරිය නොහැකි අයුරේ දුකක්බැව් හසාරා දැන උන්නාය. පැතිර ගිය වෛරස් උණ රෝගය හේතුවෙන් එම කඳවුරෙහි ආරක්‍ෂාව ලැබූ විදේශිකයන් කිහිප දෙනෙකුම ඒ වන විටත් මිය ගොස් තිබිණ.

නිර්මිතා ඇය උන් කඳවුරෙන් පිටව ගොස් තිබුණත් ඉන්පසු ඇයට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිවෙක් නොදනී. ධනංජය ලංකාවට ගෙන්වා ගත් පසුව ඇය පිළිබඳවත් සොයා බැලිය යුතු යැයි හසාරා සිතුවාය. ඔවුන් සොයා ගිය සතුට ලැබ හොඳින් ජීවත් වූවානම් මේ තරම් දුකක් නොවන බව විශ්වාසය. එය හිතට සැනසීමකි.

හසාරා සේවය කළ පාසල දැන් වෙනදාට වඩා දියුණු මට්ටමක පවතී. අලුතින් ගොඩනැගිල්ලක් ඉල්ලා කාලයක් තිස්සේ කළ ඉල්ලීම්වලටට අනුව ගොඩනැගිල්ලක් සෑදීමේ කාර්‍යය ආරම්භ කෙරුණේ ඊයේ පෙරේදාය. ප්‍රථම වරට පාසලේ තෑගි උත්සවයක් පවත්වා දරුවන් ඇගයීමේ කටයුත්තක්ද ඊට පසු අවුරුද්ද සඳහා අවශ්‍ය කරන අභ්‍යාස  පොත් කට්ටල ලබා දීමේ කටයුත්තද සිදු කෙරුණේ ගිය සතියේය. ඒ සඳහා බූවනෙකගේ මිතුරන් කිහිප දෙනෙකු මූල්‍ය ආධාරය සැපයීය. 

හසාරා කලින් සේවය කළ දුරකථන සමාගමේ මිතුරන් පිරිසක් එක්ව ත්‍රිකුණාමලයට නෑගම් පැමිණියේ පාසලේ දරුවන් සියලු දෙනාම සඳහා අවශ්‍ය කරන පොත් බෑග්, නිල ඇඳුම් රෙදි හා සපත්තු මේස් රැගෙනය. විදුහලේ අනිකුත් ගුරු මණ්ඩලයට ද ඔවුන්ගෙන් තෑගි බෝග ලැබිණ.

 ගුරු මණ්ඩලයේ සාමාජිකයන් පවා සේවය කරන්නේ වෙනදාට වඩා වැඩි සතුටකින්ය. ඔවුන් තුළ වූයේ හසාරා පවා මින් පෙර නුදුටු උනන්දුවකි. 

පාසල් පැමිණෙන දරුවන්ගේ ප්‍රමාණය වැඩි වී තිබිණ. 

“ බුවනෙකලා  වගේ උනන්දුවෙන් හොඳ සිතුවිලි වලින් වැඩ කරන මිනිස්සු හැම තැනකම ඉන්නවනං අපේ රට මීට වඩා තිබුණු වේවි.”

බොහෝ දෙනකු එසේ පවසනු හසාරාට ඇසී තිබිණ. එසේම එම ගම්මානයේ වූ ගොවි නියාමකවරයා, ග්‍රාම සේවක මහතා සේම දිසාපතිතුමාත් මිනිසුන්ට සේවය කිරීමේ සැබෑම උවමනාවකින් රජයේ සේවයට සම්බන්ධ වූ අයවලුන්ය. ඒ සියල්ලන්ගේ එකතුවෙන් පාසල පමණක් නොව ගම්මානයද යම් මට්ටමක දියණුවකට පත්ව තිබිණ.

පුතණුවන් අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා ඉන්දුමා දින දෙකක නිවාඩුවක් ලබාගෙන තිබිණ. හසාරා සිතා සිටියේ සවස ඇගේ නිවසට යන්නටය. ඇය නොවූවානම් මේ අයුරෙන් සිත හදා ගැනීම කල නොහැක්කක් බව විශ්වාසය.එකොළහ වසර පංතියක් සඳහා ඉංග්‍රීසි පාඩමක් උගන්වමින් උන් ඕ  නැගී සිටියේ පාසල අවසන් කරන සීනු නාදයට අවනතවය.

ගුරු විවේකාකාරයට පැමිණුනු ඈ අනෙකුත් සහෝදර ගුරුවරුන්ගෙන් සමුගෙන තම කුඩා වාහනය නවතා ඇති තැනට පැමිණියාය. ඇය මධ්‍ය මහා විද්‍යාලයට පැමිණි දා සිටම ඉන්දුමා  උදෑසන පැමිණියේත් සවස නිවසට ගියේත් හසාරා සමගින්ය. ඒ ගමනේදී දෙදෙනාට කතා කරන්නට සිනහසෙන්නට ඕනෑ තරම් දේ විය. 

දෙතුන් වරක්ම  පණ ගන්වන්නට  උත්සාහ  කළ බුවනෙකගේ  කළු පැහැ ඇල්ටෝ වර්ගයේ කාරය එක තැන නතර වන අයුරු හසාරා බලා සිටියේ පැති කන්නාඩියෙන්ය. එනිසාම ඕ  විනාඩි කිහිපයක් පමා වූවාය. 

තවත් දෙතුන්  වරක් ඔහු උත්සහ දරණා  අයුරුත් වාහනයෙන් බැස එන්ජිම පරීක්ෂා කරන අයුරුත් ඈ බලාගෙනය. දරුවන් සියල්ලෝම පාහේ පාසලින් පිටව ගොස් තිබිණ. බසයක් අල්ලා ගැනීමට මද දුරක් පයින් යා යුතු වූ නිසා සමහර ගුරුවරුන් පාසලෙන් පිටවන්නේ සීනුව නාද කළ හැටියේමය. තවත් ගැහැනු ගුරුවරු කිහිප දෙනෙකු ස්කූටර් වර්ගයේ යතුරුපැදි භාවිතා කළාය. පිරිමි ගුරුවරු පැමිණියේම යතුරුපැදි වලින්ය.හසාරා තවත් තත්පර කිහිපයකට පසුව රියදුරු අසුනෙන් බැස ගත්තේ බූනෙක එසේ සිටියදී තමා පිටත්වීම යුතු නොවේ යැයි සිතුණ නිසාය.

“ ඇයි සර් මොකද්ද ප්‍රශ්නේ…”

“ දවස් කීපයක ඉඳලා ස්ටාර්ට් වෙන්නේ නැති  පොඩි ගැටලුවක්වක් තිබුණා. ඇත්තටම වාහනේ ගරාජ් එකකට දාලා චෙක් කරන්නවත් මට වෙලාවක් තිබුණේ නෑ. අද නං හොල්ලන්න බැරි වෙන පාටයි.”

“ හරි වැඩේ මොකද දැන් කරන්නේ?….”

“ ගරාජ් එකකට කතා කරලා ගෙනියන්න බලන්න ඕනේ.”

“ අපි එහෙනම් ගරාජ් එකකට කතා කරමු. බුවනෙක  සර් දන්න තැනක් තියෙනවද..එහෙම කතා කරලා මගේ වාහනේ යන්න පුළුවන්..”

“ අනේ හසාරා ඒක  අමතර කරදරයක් නේද..”

“ මොන කරදරයක්ද සර්..මං කොහොමත් යන්නේ ටවුන් එකටනේ..”

“ හසාරට ප්‍රශ්නයක් නැත්නම් ඒක මට ලොකු උදව්වක්. මොකද අද මගේ යාළුවෙක් එනවා. මිනිහා කොළඹින් පිටත් වෙච්ච වෙලාව බලද්දි තව පැය භාගයක් වගේ ඇතුලත ටවුන් එකට එයි.” 

“ එහෙනම් සර් මමත් එක්ක යමු. අපිට රගුනාදන්ට කියන්න පුළුවන්නේ ගරාජ් එකෙන්  ආවොත් වාහනේ  යතුර දෙන්න කියලා..”

රගුනාදන් යනු පාසලේ මුරකරුවාය. ඔහු එම සේවය පටන් ගත්තේත් මෑතක සිටය. පාසලේ සංගීත කාමරයට සේම ඉගැන්නුම් ක්‍රියාවලියට අවශ්‍ය නවීන උපකරණ රැසක් ප්‍රධානයන්  ලෙස ලැබුණේ මෑතකදීය. ඒවා ආරක්ෂා කර ගැනීමට නම් මුරකරුවෙකු සිටිය යුතුමය. ඒ සියල්ලට වඩා අයාලේ යන සතුන්ගෙන් පාසැල් වත්ත ආරක්ෂා කර ගැනීමේ උවමනාව කලෙක සිට තිබූ එකකි. 

“ එහෙනම් එහෙම කරමු..ඉන්න හසරා මං ගරාජ් එකට කෝල් එකක් දෙන්නම්…”

බුවනෙක  මදක් එහාට වූයේ එසේ පවසමින්ය. හසාරා ඔහු වෙත තම වාහනයේ  යතුර දිගු කළේ  ගරාජය හා කතා කරමින් සියල්ල පිළිවෙලක් කළ පසුවය.

“ කමක් නෑ හසාරා ගන්න…”

ඔහු එසේ පැවසුවත් හසාරා යළිත් යතුර ලබා ගත්තේවත් ඔහු ලබා දුන්නේවත් නැත. අවසන බුවනෙක රියදුරු අසුන පසින් නගිද්දී හසාරා වම් පසින් වාහනයට නැඟුනාය.

“ හසාරා  ජීවිතේ ගැන මොන වගේ තීරණයක් අරගෙනද ඉන්නේ..මං කිව්වේ ඔයාගේ ඉදිරි අනාගතේ  ගැන..දිගටම අපි එක්ක ඉන්නවද..”

ඔහු එසේ ඇසුවේ මද  දුරක් පැමිණියාට පසුවය. පෙනෙන තෙක් මානයක වූයේ තණකොළ  වැවී තිබූ හිස් ඉඩමකි. මේවා යම් සංවර්ධන ක්‍රියාවලියක් සඳහා යොදා නොගන්නේ මන්දැයි ඇයට  සිතුණු වාර ගණන අනන්තය. එසේම පුරන් වූ කුඹුරු මග දෙපස ඕනෑ තරම්ය. රටෙහි මේසා  ප්‍රශ්න තිබියදීත් ප්‍රයෝජනයක් ගත හැකි ඉඩම් යායවල්  අතහැර තබා තිබීමම අපරාධයක් යැයි  ඕ සිතුවාය.

“ එහෙම විශේෂයක් නෑ බුවනෙක සර්..එන විදිහකට ජීවිතේට  මුහුණ දෙනවා.දැනට මං මේ කරන වැඩ ටික හරි ආසාවෙන් කරනවා….”

“ ගෑණු කෙනෙකුට එහෙම ඉන්න ටිකක් අපහසුයි නේද..”

“ ඒ කිව්වේ…සර් ඔය කතා කරන්නේ  ගෑණු කෙනෙක්ගේ ශක්තිය ගැන නොදැන. ඇයි ගෑනු කෙනෙක්ට එහෙම ඉන්න බැරි..” 

හසාරා පැවසුවේ මුව මත මද සිනහවක් තබාගෙනය.

“ නෑ මං ඒ විදිහට අවතක්සේරු කරලා කතා කළා නෙමෙයි. ගෑනු කෙනෙක්ට තියෙන ශක්තිය ගැන කතා කරන්න මට වෙන එක්සාම්පල් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒකට  හොඳම උදාහරණය තමයි ඔයා. මං අදහස් කලේ  ඒ දේ නෙමෙයි. හසාරා ආපහු මැරේජ් එකකට යන්න හිතුවේ නැද්ද..” 

“ නෑ සර්…මං ආයේ ඒ ගැන හිතන්නේ නෑ..”

“ හසාරාගේ  ජීවිතේ ඔයාට විඳින්න ලැබුණේ නරක අත්දැකීම් ටිකක්. ඒ නිසා ඔයා හිතනවද මැරි කරපු හැම මනුස්සයෙක්ම දුකෙන් ඉන්නෙ කියලා…”

“ අනේ නෑ සර්..මං එහෙම හිතන්නෙ නෑ..මම දන්න ගොඩක් අය මැරේජ් ලයිෆ් එක ඇතුලේ සතුටින් ඉන්නවා. ඒක තීරණය වෙන්නේ අපිට ලැබෙන කෙනා මතයි..”

“ හසාර ජීවිතේ ගොඩක් දේවල් බැලන්ස් කරන විදිහ මං දැකලා තියෙනවා. ඒ  ගන්න තීරණවල සාධාරණත්වය වගකීම ගැන මං වෙලාවකට පුදුම වෙනවා. ඔයා අනිත් මිනිස්සු ගැන හිතන විදිහ ලෝකයා දිහා බලන විදිහ ..ඒවායේ පුදුමාකාර මානුෂීය හැඟීමක් තියෙනවා..ඉතින් ඇයි ඔයාට ජීවිතේ වැරදුනේ…”

“ ඒක මම අදත් සමහර වෙලාවට මගෙන්ම අහනවා  බුවනෙක සර්..අපි වැරදියි  කියලා නොහිතා අපේ අතින් සිද්ධ වෙන සමහර දේවල් අනිත් කෙනාට වැරදි විදිහට වැටහෙන්න පුළුවන්..”

“ මිනිස්සු තමන්ගෙකම්  වලට තමන්ගේ සම්බන්ධකම්වලට හරි ලෝබයි. ඒ නිසාම අනිත් කෙනාගෙන්  උපරිමය තමන් වෙත ලැබිය යුතුයි කියලා විශ්වාස කරනවා. හැබැයි අපි අනිත් කෙනාගේ සතුට ගැන හිතන්නේ හරි අඩුවෙන්. අන්න එතන තමයි ගොඩක් මිනිස්සුන්ට ජීවිතේ  වැරදෙන තැන.”

“ ඔව්….ලැබුණු දේවල් වලින් සතුටු නොවෙන මිනිස්සු නොලැබුණු දේවල් පස්සේ හැමදාම දුවනවා. අන්තිමට එයාලා හති වැටිලා නතර වෙනකොට තමන්ට හිමි වෙච්ච දේවලුත් අහිමිවෙලා.” 

“ ඒ ලෝක ධර්මතාවය ඔයාටත් මටත් හැම කෙනෙක්ටමත්  පොදුයි..”

 “ මං බුවනෙක සර්ගෙන් ප්‍රශ්නයක් අහන්නද මාව වරදවා හිතන්න එපා.”

“ එහෙම නෑ හසාරා ඔයා,  ඉන්දුමා දැන්මට මගේ යාලුවෝ වගේ.”

“ ඇයි බුවනෙක  සර් මැරේජ් එකක් ගැන නොහිතන්නේ…”

“ මං නොහිත හිටියේ නෑ හසාරා..මට තිබුණා එෆ්ෆෙයාර්  එකක් ඒ ලෙවල් කරන කාලේ ඉඳලා. එයාට කැම්පස් යන්න බැරි වුණා. මං කැම්පස් ගියා..ඒ උනාට අපි දෙන්නගේ ආදර කතාව හරි ලස්සනට ගලාගෙන ගියා. මං ඉස්සරත් මේ වගේමයි හසාරා. මට උවමනාව තිබුණා හැමතිස්සෙම කාට හරි උදව්වක් කරන්න. මගේ සතුට තිබුණේ එතන. ඒත් එයාට උවමනාවක් තිබුණා එයාගේ යාළුවන්ට වඩා එයාගේ නෑදෑයන්ට වඩා එයාගේ ගමේ මිනිස්සුන්ට වඩා ඉහළින් ජීවත් වෙන්න. මම ටීචින් තෝර ගනිද්දි එයා ෆනෑන්ස්  කම්පැනි එකක එකවුන්ටන් කෙනෙක් විදිහට වැඩ  කළා. ඇත්තටම මගේ සැලරි එකට  වඩා ලොකු සැලරි එකක් එයාට ලැබුණා..එයාගේ හීන ගොඩක් ලොකු ඒවා..මං ඒ හීන හැබෑ කරන්න පරක්කු වෙනකොට එයා ඒකට කේන්ති ගත්තා. මට මං ගැන හිතනවට වඩා යුතුකම් තිබුණා මගේ අය වෙනුවෙන් කරන්න. මගේ අම්මා මං වෙනුවෙන් සෑහෙන්න දුක් විඳපු කෙනෙක්. මං තේරුම් ගත්තා එයා එක්ක එකතු උනහම මට ඒ යුතුකම් ඉටු කරන්න බෑ කියලා..මට ඕන උනේ ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට ඉස්සරහට යන්න. අන්තිමට එයාගෙ ජීවිතේට එයාගේ හීන හැබෑ කරන්න පුළුවන් කෙනෙක් ආවා. අපි දෙන්නා  සංසන්දනය කරද්දි එයාට හිතෙන්න ඇති හොඳම තැන තෝරගන්න ඕනේ කියලා..අද එයා දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. මං හිනාවෙලා එයාගේ අත අතෑරියා..”

“දුක හිතෙන කතා අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා බුවනෙක සර්. ..”

“ එයා සතුටින්..එයාගේ හිතේ තිබුණු විදිහටම ලොකු ගෙයක් හදන්න එයාට පුළුවන් වුණා, එයා ආස කරන විදිහේ  වාහනයක්  ගන්න එයාට පුළුවන් වුණා..මං විශ්වාස කරනවා හසාරා ආදරේ කියලා කියන්නේ අපි ආදරය කරන කෙනාගේ සතුට දකින එක කියලා. අදටත් ගමේ ගියපු වෙලාවට මට ඉඳලා  හිටලා එයාව  හමුවෙනවා. එයා මගෙන් අහනවා ඇයි බුවනෙක  ඔයා මැරි කරන්නේ නැත්තේ කියලා…සමහරවිට ඒ ගැන පසුතැවීමක් එයාගේ හිතේ ඇති..”

“එතකොට සර් මොකද කියන්නේ…. “

“ ඔයාට ඔයා පතපු ජීවිතේ ලැබිලා තියෙනවා වගේම මට මං ප්‍රාර්ථනා කරපු ජීවිතෙත් ලැබිලා තියෙනවා. ඉතින් මට මැරේජ් එකක් අවශ්‍යම නෑ කියලා..ප්‍රාර්ථනා කරපු ජීවිතය ගැන හිත හිතා හූල්ලනවට වඩා ලැබුණු ජීවිතේ සතුටින් ගෙවන්න උත්සාහ කරන එක තමයි වැදගත් වෙන්නේ. අපේ සතුට අපිමයි හොයාගන්න ඕනේ හසාරා. ඒ සම්බන්ධෙදී මම තේරුම් ගත්ත එකම දේ තමයි අපේ සතුට තව කෙනෙක්ගේ ඇස්වලින් හොයන එක තේරුමක් නෑ කියල..”

හසාරා ඔහු දෙස බැලුවේ මද සිනහවක් මුහුණේ තබාගෙනය. ඊයේ පෙරේදා ඇයට ඇති වූයේත් මේ සිතුවිල්ලමය.

සමහර මිනිසුන්ගේ ජීවිතවල වන්නේ පුදුම කථාය..ඒවා එකිනෙකට වෙනස් කතාය.

හසාරා එසේ සිතුවේ පසුකරගෙන යන නිලාවේලි මුහුදු තීරය දෙස බලාගෙනය..

( යලිත් හමුවෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here