වියෝ ගී ගැයෙනා හදේ – 50

0
4384

“අනේ චිරත් බබා වැටිලා එයාට හොඳටම සිහිය නෑ” කියා මේධාගේ දුරකතන ඇමතුම එද්දී චිරත් උන්නේ නවාතැනේ සිට රෙස්ටුරන්ට් එක දක්වා යන්නට සූදානම් වෙන ගමන් ය. මේධා අඬමින් කිව්ව දේ ඇත්තටම චිරත්ට මුලින් පැහැදිලි උනේ නැත. එහෙත් ඒ ඇඬුම්බර වදන් අස්සෙන් බබා කියා කියවෙනු ඇසෙද්දී මේධා හඬන්නෙ පෙත්මලීට කුමක් හෝ වෙලා නිසා බව අඳුරගන්න චිරත්ට අපහසු උනේ නැත.

“ඔයාලා කොහෙද ඉන්නෙ?” කියා මේධා ඉන්නේ පෙත්මලීව රැගෙන රෝහල වෙත යන බව දැනගෙන නවාතැනේ සිට රෝහල වෙත එන්නට චිරත්ට ඇත්තටම ගියේ ඉතාම අඩු කාලයකි. තමන් එතරම් වේගයකින් පාරේ යන වාහනයක්  නතර කරවාගෙන ගිය ගමනකට චිරත්ට මතක තිබුනේ පෙත්මලී ලැබෙන්නට මේධාට අමාරු උන මොහොතේ රෝහලට යන්නට ගිය ගමනය. ගමන යන අතරවාරයේම රෙස්ටුරන්ට් එකට කතාකර මලින්දට තමන්ට එන්නට වෙන්නෙ නැති බව කියා වැඩ ටික බලන්නට කියන්නටත්, සමීරට කතා කර විස්තරේ කියන්නටත් චිරත් අමතක කරේ නැත. මිතුරු සම්පත් අවශ්‍ය වන්නේ මෙවන් කරදර වෙලාවක බව මලින්දට, චිරත්ට සහ සමීරට අමතක උනේ නැත.

“අනේ නෝනා මම අල්ලගන්න එද්දිම තමා බබා වැටුනෙ. මං දන්නෙ නෑ ඇයි බබා එතනට නැග්ගෙ කියලවත්. එතන වෙනදට ඉන්න කුරුලු පැටව් ඉගිලිලා ගිහින් කියල බබාම තමයි මට කිව්වේ. මම සෙල්ලම් කර කර ඉඳල බබා කෝන් ෆ්ලේක්ස් කාපු කෝප්පෙ කුස්සියෙන් තියල එන්න ගිය ටිකට තමා මේ විනාසෙ කරගත්තෙ, අනේ අපේ බබා” කියමින් සෝමා අඬ අඬම පස්සෙන් විත් වාහනයට නගිද්දී ආලෝකා රියේ ඉදිරි අසුනට නැග රියදුරු ගුණරත්නට වාහනය ඉස්පිරිතාලෙ වෙත ගෙනියන්න කියා කියනතුරුම මේධා උන්නේ පෙත්මලීව වඩාගෙන පපුවට තුරුලු කරගෙන අඬමින් සහ කල්පනා කරමින් ය. අම්මාත් තාත්තත් උන්නේ නෑ හිතවතෙකුගේ දියණියකගේ බිග් ගර්ල් පාටි එකකට සහභාගි වන්නට ගොසින් ය. මෙහෙම දෙයක් වෙන දවසක වුනානම් තමන්ගේ දුරකතනයෙන් පලමුවෙන්ම ඇමතුම යන්නේ වලාකුලුට උනත් අද කුමක් හෝ හේතුවකට එහෙම දෙයක් කරන එකෙන් තමන්ව වලක්වා චිරත්ව අමතන්නට තමන්ට හේතු කාරණා සැපයූ හේතුව කුමක්ද කියා මේධාට ඒ අස්සේත් හිතුනාය.

මේධා ආලෝකාගේ උදව්වෙන් පෙත්මලීව රෝහලට ඇතුලත් කර විනාඩි පහලවක් විතර යද්දී රෝහලට එන්නට චිරත්ට හැකිවුණි. පොඩිවෙච්ච කමිසයක් ඇඳගෙන හුලඟ හන්දා අවුල් වූ කෙස් ගස් අතෙන් හදාගනිමින් රෝහලේ කොරිඩෝව දිගේ කලබලයෙන් මෙන් දුවගෙන එන චිරත්ව දකිද්දි ඇත්තටම මේධාවා “මේ ඉන්නෙ මම ඩිවෝස් කරල දාපු මනුස්සයා නේද?” කියන කතාව මතක් උනේ නැත. ඒ වෙනුවට මේ ඉන්නේ පෙත්මලීගේ තාත්තා බවත් අදටත් ඕනම ප්‍රශ්නයකට බය නැතුව කතා කරන්න පුලුවන් එකම මිනිසා මේ බවටත් මතක තිබුනේ අලුත් වෙමින් ය.

“මොකද්ද බබීට උනේ?” කියා චිරත් අහද්දී තමන්ගේ හිතේ තිබෙන වේදනාවේ තරමම චිරත්ගේ මුහුණේ ඇඳී බව තේරුම්ගන්නට, දකින්නට මේධාට ගියේ තප්පර ගාණක් පමණකි.

“ආලෝකා ඇවිත් උන්නෙ ගෙදර, අපි දෙන්න ගාඩ්න් එකේ කතා කර කර හිටියෙ. සෝමා කෑගැහුව පාරට මම ගිහින් බැලුවෙ. අර අපේ සාලෙ උඩ පඩිපෙල ලඟ ලෑන්ඩින් එකෙන් පල්ලෙහ වහලට නගින්න පුලුවන් නෙ. එතන දැන් සති කීපයක් කුරුලු කූඩුවක් තිබ්බා බිත්තර එක්ක. පැටව් ලොකුවෙලා ගිහින් තිබ්බෙ ඊයෙ පෙරේදා. බබී ඕකට කෑම දානව. එයා අද සෝමා එහෙ මෙහෙ වෙනකම් ඉඳලා මං හිතන්නෙ එතනට නගින්න ගිහින් වැටිල. ඔලුව පැලිලා, ලේ එකයි. ඩොක්ටර්ස්ලා තියටර් එකට ගත්තා. සිහිය නැත්තෙ ශොක් එකට වෙන්නැති කිව්වා” කියා අවසන් වෙද්දිත් මේධාට ඉකිගසා ආයෙ පාරක් හැඬුනේ මේ ඉස්පිරිතාලෙ බව මතකයට ඇවිත් අත් දෙකෙන් මුහුණ වසාගන්නට ඉඩ දීය.චිරත් උන්නේ ඇත්තටම කර කියා ගන්නට දෙයක් නැතුවය. වෙන වෙලාවක මේධා මෙහෙම අඬද්දී තමන් කිසිසේත්ම මෙලෙස ඉන්නේ නැති බවත් “අඬන්න එපා” කියා මේධාව පපුවට තුරුලු කරගෙන සනසන්නට කටයුතු කරන බවත් මතක් උනද මේ එහෙම දෙයක් කරන්න පුලුවන් කාලයක් නොවන බව චිරත්ට මතක තිබුණි. ඒ නිසාම ආලෝකා හඬන මේධාව වත්තන් කරගෙන ගොස් ඉස්පිරිතාලයේ බංකුවක වාඩි කර එද්දිත් චිරත් උන්නේ ඇය දෙසම බලාගෙන තමන් කරන්නට ඕන කුමක්ද කියා මතක් කරන ගමන් ය. 

මේධාව මදක් අස්වසා ආලෝකා චිරත් වෙත ඇවිද ආවෙ මොක උනත් මෙවෙලේ දුක එකිනෙකා හා බෙදාගන්න බැරුව දෙදෙනාම ඉන්නෙ හිත අස්සේ දුක හිරකරගෙන බව දන්න හන්දාය.

“චිරත් ඔෆිස් ඉඳලද ආවේ?” කියා ආලෝකා අහද්දි දුක් මුසු මුහුන මත මද හිනාවක් ඇඳගන්න චිරත් තප්පර කීපයක් වෙහෙසුනේය.

“නෑ අද නිවාඩු නෙ. මම ගෙදර ඉඳියෙ, රෙස්ටුරන්ට් එකට යන්න ලෑස්ති වෙලා ඉද්දි තමයි මේධාගෙ කෝල් එක ආවෙ”

“හරිම වැඩක් තමයි උනේ. පොඩි අය ආසනෙ ඉතින් කොහොමත් ඔය කුරුල්ලො එහෙම බලන්න. වෙනදටත් බබා නැගල බලනවලු අද ඉතින් නරක වෙලාවට මෙහෙම දෙයක් උනා”

“මට ඇත්තටම හිතාගන්න බැරි උනා. සිහි නැති උනා කියන්නෙ ඇත්තටම හොඳ නෑ. ඩොක්ටර් මොනව හරි කිව්වද?”

“නෑ ඇත්තටම ඩොක්ටර් එක්ක කතාකරන්නවත් උනේ නෑ. බබාගෙ ඇඳුමත් ලේ එක්ක තෙත්වෙලා තියෙනව දැකල හැමෝම කලබල උනා. ඔලුව පැලිලා හන්ද එකපාර තියටර් එකට ගත්ත මිසක්කා කතා කර කර ඉන්න වෙලාවක් තිබ්බ නෑ. බයවෙන්න එපා. නර්ස් කෙනෙක් තියටර් එකේ ඉඳල එලියට ආවම අපි කතා කරල බලමු. ඔලුව පැලිච්ච ශොක් එකට තමයි කියලා ඉස්සෙල්ල කියනව අපිට ඇහුනා. මේධා හුඟක් කලබල වෙලා හිටියෙ, ඒකයි”

“එයාගෙ ඉතින් කලබලේ තමයි ආලෝකා මේ හැම නස්පැත්තියකටම හේතු උනේ. එයාට කොහොමත් ඉස්සර ඉඳල පුදුම කලබලයක් තමයි තියෙන්නෙ හැම එකටම. හැමතිස්සෙම කලබලේ කලබලේ. අන්තිමේ අපෙ ජීවිතත් විනාස කරල එයා එයාගෙ ජීවිතෙත් විනාස කරගෙන තමයි නතර වෙන්නෙ” කියා කියද්දිත් චිරත්ගේ වදන්වල මෙන්ම මුහුනේ තැවරී තිබුනේ කෝපයක් නොව වේදනාවක, දුකක, අහිමිවීමක සේයාව බව අඳුරගන්නට ආලෝකාට අපහසුවක් උනේ නැත. රෝහලේ ශල්‍යාගාරය ඇතුලේ පෙත්මලී වේදනබර සටනක නියලී ඉන්න බව දන්නවා උනත් මේධාගේ හිත අස්සේ පෙලෙන, කකියන වේදනාවන්ගෙන් බිඳක් චිරත් හා බෙදාගන්න හොඳම අවස්තාව මෙය බව ආලෝකා අමතක කලේ නැත. බිඳුණු විසිරුණු කුරුලු කූඩු ආයෙ පිළිසකර කර දමන එක අමාරු බව ඇත්තකි. එහෙත් මේ කුරුලු කූඩුවක් නොවේ. මනුස්ස කූඩුවකි. දෙයක් කතා කර, විමසා, තේරුම්ගන්නට හැකි මිනිසුන් දෙතුන් දෙනෙකුට ආයෙම වරක් බිඳුණ කූඩුවක් පිළිසකර කරගන්න බැරිකමක් නැති බව ආලෝකා නොදන්නවා නොවේ. 

“චිරත් කියන කතාව වරදක් නැති බව මම දන්නවා සහ ඒක ඇත්තක් බව මම වගේම මේධාත් පිළිගන්නවා. ඔයාල දෙන්නගෙ ඩිවෝස් එක විතරක් නෙවෙයි ඉන්පස්සෙ ගත්ත තීරණ පවා මේධා අරගන්න වගේම, ඒ ඒ තීරණ අරගන්න මුල්වෙච්ච මිනිස්සුන්ව පවා ඕනවට වඩා විශ්වාස කරන්න මේධා ඉක්මන් උනා වැඩියි කියන එක තමයි මගෙ අදහස” කියා ආලෝකා ඈත පේන රෝහලේ තවත් එක බිල්ඩිමක් දිහා බලාගෙන ඉද්දී චිරත් හිස ගස්සා ආලෝකා දෙස බැලුවේ විමතියෙනි. ආලෝකා මේ කියන කතාවේ ඉන්න මේධා විසින් පමණට වඩා විශ්වාස කල මිනිසා වලාකුලුද? එය එසේනම් මේ කියන ප්‍රශ්නය කුමක්ද? මේ කියන ඉක්මන්වීම කුමක්ද කියා දැනගන්නට චිරත්ට තිබුනේ නොඉවසිල්ලකි.

“ඔය කියන්නෙ වලාකුලු ගැනද? මොකද්ද මිනිහා කරල තියෙන්නෙ?” කියා අසන්නට කට අරිද්දීම රෝහලේ ශලයාගාරයේ දොර ඇරෙනුත්, වෛද්‍යවරයා ඉන් පිටතට එනුත් චිරත්, ආලෝකා මෙන්ම මේධාද දැක්කහ. ඒ සියලුම දෙනෙත් වල ඇඳී තිබුනේ එකම එක ප්‍රශ්නාර්තයකි.

“ඩොක්ටර් බබාට කොහොමද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here