ජීවිතය කවියක් නොවේ – 48

0
3575

ගතවූ හෝරාවකට පමණ පසුව හසාරාගේ දෑස් ගැටුණේ රෝද පුටුවක තබාගෙන ගුවන්තොටුපල ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් ඉදිරියට තල්ලු කරගෙන එන ධනංජයගේ රුවය.  හැකිතාක් සන්සුන් වන්නට සිතාගෙන සිටියත් තවදුරටත් ඒ සන්සුන්කම රැක ගැනීමට හැකියාවක් ඇයට වූයේ නැත. අඩියට දෙකට ඕ ධනංජය වෙතට දිව ගියාය. ඔහු පසුපස වෛද්‍යවරයෙකුයැයි සිතිය හැකි පුද්ගලයෙකුද විය. රෝද පුටුව ඉදිරිපස නතර වූ හසාරා අදහන්නට නොහැකි කමකින් සේ තත්පර කිහිපයක් ගතව යනතුරු ධනංජය දෙස බලා උන්නාය. ඈ දුටුවේ අවසන් වරට මේ ගුවන් තොටුපොලේදීම දුටු කඩවසම් පිරිමි රුව  නොවේ. ඔහු බොහෝ සේ කෘෂව උන්නේය. ධනංජය සිය හිස ඔසවා හසාරා දෙස බැලුවේ අපහසුවෙන්ය. පැය කිහිපයක ගුවන් ගමන නිසා ඔහු තවත් විඩාවට පත්ව උන්නේය. හිස ඔසවන්නටවත් නොහැකි ආකාරයෙන් මුළු ගතම රිදුම් දෙමින් තිබිණ. දෑස් විසල්  විසල්කරගෙන  තමා ඉදිරිපස සිටිනා ඒ ගැහැණු රුව හඳුනාගත් ධනංජයගේ දෑස් වලට කඳුළු පිරී යන්නට ගත වූයේ ක්ෂණයකි. ඒ කඳුළු කොපුල් දිගේ ඔහේ රූරා වැටෙද්දීත් ධනංජය උත්සාහ කලේ  අපහසුවෙන් හෝ සිය මුව මතට  සිනහවක් නගා ගන්නටය. එහෙත් ඒ වෑයම අසාර්ථක වී අවසන ඔහුට හැඬුම් ආවේය.

 හසාරා ඒ දෙපා මුල දණ ගසා ගත්තාය. කෑ ගසා හඬන්නට වුවමනාව  වුවත් ඇගේ කඳුළු ගල්ව තිබිණ. 

“ හ…සා….රා.”

ඒ උගුරෙන් වදනක් පිට නොවූ තරම්ය. දිගු සුසුමක් මුදාහළ හසාරා යළි නැගී සිටියේ කසුන් පැමිණ ඇගේ එක් උරයකින් අල්ලා ගත්තාට පසුවය. ඒ ස්පර්ශය තමාට නැඟී සිටින්නයැයි කරන සංඥාවක් බව ඈ හැඳින්නාය. 

එවේලෙහි ධනංජය හිස ඔසවා කසුන් දෙසත් තම සොයුරා දෙසත් බැලුවේ මාරුවෙන් මාරුවටය. කිසි දිනක නොදුටු අසරණකමක්  ඒ දෑස්වල ලියැවී තිබිණ.

“ උඹ රජෙක් වගේ ඉඳපු එකෙක් මල්ලි. මේ විදිහට දකින්න අපේ ඇස් පව් කරලා තියෙනවා..”

කසුන් එසේ පැවසූයේ දෑඟිලි  වලින් සිය දෑස් මුල තද කරගෙනය. ධනංජයගේ සොහොයුරා ඉකිබිඳිමින් හැඩුවේය.

“ මැඩම් කවුද මිස්ටර් ධනංජයගේ…”

“ මම….”

“ මේ ඉන්නේ ධනංජයගේ මල්ලි..බාරකාරයා විදිහට මෙයා අත්සන් කරයි..”

හසාරා පිළිතුරක් සොයන්නට කල් ගනිද්දී ඉස්සර වූයේ කසුන්ය. ඒ අනුව වෛද්‍යවරයා අත වූ අත්‍යාවශ්‍යය ලියකියවිලි කිහිපයකට අත්සන් තැබුවාට පසුව ඔහුව මීගමුව රෝහල කරා යොමු කරන්නට කටයුතු කෙරිණ. ඒ සඳහා සූදානම්ව ගිලන් රථයක් ගුවන් තොටුපළ පිටත විය. වෛද්‍යවරයා සමග ගිලන් රථයේ යාමට හැකි වූයේ එක් අයෙකුට පමණි.  සොහොයුරා ඉදිරිපත් වූයේ කැමැත්තෙන්මය. ධනංජය තමා දෙස බලා ආපසු බිම බලා ගන්නා ආකාරය හසාරා දුටුවාය. මෙවේලෙහි ඔහුව තනිකරන්නට සිතක් ඇයට වූයේත් නැත. එහෙත් ‘මම යන්නම්…’ යැයි සොහොයුරාට පවසන්නට තරම් ශක්තියක් ඇයට වූයේත් නැත. අවසන ධනංජයව ඉස්සර කර ගනිමින් සියල්ලෝම ගුවන්තොටුපොළ මගී පර්යන්තයෙන්  පිටතට පැමිණියහ.

“ කසුන් අයියේ අපි ඉක්මනට හොස්පිට්ල් යමු..මට ධනංජය මෙහෙම ඉන්නවා බලන් ඉන්න බැහැ. අඩුම තරමේ එයාට තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්න තිබුන අයියේ..”

හසාරා ඔහුව ගිලන් රථයට නංවා ගන්නා අයුරු බලා සිට පැවසූයේ කසුන්ට ළං වෙමින්ය. ඒ දෑස් වලින් නොනවත්වා  ගලා ගිය කඳුළු පිස දා ගන්නටවත් ඇයට වුවමනාවක් වූයේ නැත. මේ දුක කඳුලක්ව හෝ පිටව යා යුතුය. එසේ නොමැති වුවහොත් තමා ලය පැලී මිය යාවියැයි හසාරාට සිතිණ.

කසුන්ගේ උපදෙස් අනුව ඒ වන විටත් ධනංජයගේ නැගණිය ඇතුළු පිරිසත්,  බුවනෙකත්, ඉන්දුමාත් මීගමුව රෝහලට පිටත්ව ගොස් සිටියහ. ගුවන් තොටුපළ පරිශ්‍රයෙන්ම කුලියට ලබාගත් වාහනයකින් කසුනුත් හසාරාත් රෝහල් භූමිය වෙත ගියේ ගිලන් රථය පිටු පසින්මය.

“ මිනිස්සුගේ පවට පින දෙන්න බෑ කියලා අහලා තිබුණට අද තමයි නංගි ඒක අත්දැකීමෙන්ම දැනගත්තේ. ධනංජය කියන්නේ ඉල්ලගෙන කරදරේ වැටුණු කෙනෙක්. අන්තිමට තමන්ට තිබුණු සේසතම නැති කරගෙන  මිනිහා නතර වුණේ කාත් කවුරුත් නැති ගානට. නංගී පවුල් ජීවිතවල ආරවුල් නිසා මිනිස්සු ඕන තරම් වෙන් වෙනවා ඒ උනාට මේ වගේ ගිනි ගොඩක් කියල දැන දැන ඒ ගිනි ගොඩට පනින්නේ නෑ..කැම්පස් ගියාට ඩිග්‍රි එකක් කලාට මිනිස්සුන්ට ජීවත් වෙන්න ප්‍රායෝගික බුද්ධිය ඕනේ නංගී..ඇත්තටම කිව්වොත් ධනංජය කියන්නේ මහ බයගුල්ලෙක්.. මං මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. තමන්ව දරාගෙන ජීවත් වෙන්න බැරි මිනිස්සු තමයි මේ තත්වෙට පත්වෙන්නේ…”

කසුන් දිගින් දිගටම කියෙව්වත් හසාරා කිසිවක්ම නොකීවාය. මින් විනාඩි කිහිපයකට ඉහතදී දුටු ඒ දසුන අමතක කිරීමේ හැකියාවක් ඇයට වූයේ නැත. තම සිරුරේ ඇටකටු ඉලිප්පෙන්නට තරම් ඔහු කෘෂව උන්නේය. ජීවිතයේ අනිත්‍ය සිය දෑස් ඉදිරිපිට දුටුවා සේ හසාරා උන්නේ කළකිරීමෙන්ය. හිස ඔසවා බලන්ටවත් ඔහුට වාරුවක් වූයේ  නැත. දින කිහිපයක් නොව මාස කිහිපයක් කුසගින්නේ පසු වූ මිනිසෙකුගේ විලාසයක් ඔහුගෙන් විද්‍යාමාන විය. එපමණක් නොව ගෙවී ගිය මාස අටට මාස විසි අටකින්  වැඩිමහල් වූවාවන් පෙනුමක් ඔහුට විය..

“මං මෙහෙම මේ අවස්ථාවේ කියන එක හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ නංගී. ඒ උනාට මට හංග හංග කතා කරන පුරුද්දකුත් නෑ. මටත් දුකයි තමයි. මොකද මම ධනංජයව  ආශ්‍රය කරේ සහෝදරයෙක් විදිහට මිසක් යාළුවෙක් විදිහට නෙමෙයි. ධනංජය මොන තත්වෙ හිටියත් එයා ගැන මෙතනින් ඉස්සරහට එයාගේ අය බලා ගනියි. මොකද ඒ මිනිස්සු යමක් කමක් කරගන්න බැරි නූගත් මිනිස්සු නෙමෙයි. ආයෙම සැරයක් උඹේ ගමන නතර වෙන්න බෑ නංගි..එහෙම වුණොත් ඒක මේ මුළු ලංකාවටම අපරාධයක්. ජීවත්වෙන අන්තිම තත්පරේත් විඳව විඳව මැරිලා යන්න හේතුවක් හොයාගන්න එපා. කොටින්ම කිව්වොත් ධනංජය ඔයාව ඩිවෝස් කලා. මිනිහෙක් නිර්දෝෂී ගෑනියෙක්ව ඩිවෝස් කරනවා කියන්නේ ඒ ගෑනිට දෙන්න පුළුවන් උපරිම කායික, මානසික වේදනාව දුන්නා කියන එක. මොනම ප්‍රශ්නෙකට හරි ධනංජය උඹව ඩිවෝස් නොකර මේ ගමන ගියානං මං උඹට කියනවා නංගි මිනිස්සු අතින් තමයි වැරදිවෙන්නේ දැන් ඔන්න ඕකව පිළි අරගෙන සතුටින් ජීවත්වෙයන් කියලා..නංගී අද මං  උඹේ එක කුසේ උපන් සහෝදරයෙක් වගේ ආදරෙන් කියන්නේ උඹ ආයෙත් ධනංජය ගාව නතර වෙන්න ඕන නෑ..එහෙම උනොත් උඹට ජීවිතයක් නෑ. මේ උඹව කුණු මාළු කෑල්ලක් වගේ විසිකරලා තවත් ගෑණියෙක් අරගෙන රට පැනපු එකෙක්. අපි ඌට අනුකම්පා කලාට අන්න ඒක තමයි ඇත්තම කාරණය කියලා ඔලුවෙ තියාගන්න ඕනේ…”

හසාරා කසුන් දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. ඔහු  මේ සා තදින් කතා කරන අයුරු ඈ කිසි දිනකවත් දැක තිබුණේ නැත. සාමාන්‍යයෙන් ඔහු අතිශය නිහඬ පුද්ගලයෙකි. අවසන හසාරා එක් දෙයක් වටහා ගත්තාය. ඒ සා දැඩිව වදන්වලින් එළියට පනින්නේ ඔහුගේ සිතෙහි තමා කෙරෙහි වන ලෙන්ගතු බවය.

ගිලන් රථය පසු පසින් ගිය වෑන් රථය නතර වූයේ රෝහල් භූමියේය. ඒ වන විටත් අන් සියල්ලෝම රෝහල් භූමිය තුළට පැමිණ අවසන්ය. හසාරා තමා අසලට ආ ඉන්දුමාට වාරු වූයේ හඬමින්ය. තමාට මෙවේලෙහි ඇති ආරක්ෂිතම  ස්ථානය ඒ උණුසුම බව හසාරා හැඳින්නාය.

“ මං කිව්වනේ කෙල්ලේ එහෙන් පිටත් වෙද්දිම මොන දේ වුනත් හිත තද කරගෙනම ඉන්න ඕනේ කියලා. එහෙම තමයි මිනිස්සුන්ට තමන් බලාපොරොත්තු නොවන දුක්වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඔයයි මමයි දෙන්නම දන්නවනේ ධනංජය ආපහු එන්න හිතාගෙන ගියපු ගමනක් නෙමෙයි ඒ කියලා..වාසනාවකටද එහෙම නැත්නම් කරුමෙකටද මන්දා ධනංජයට ආපහු එන්න සිද්ධ වුණා..”

“ එයා දිහා බලන්න බෑ ඉන්දු..ඇත්තටම එයා දිහා බලන්න බෑ..එයා අපි දැකපු ධනංජය නෙමෙයි..ඔයාට පුදුම හිතෙයි  ඉන්දු..අපි කැම්පස් එකේදී දැකපු ඒ ලස්සන ධනංජය නෙමෙයි..”

“ එහෙම තමයි කෙල්ලේ මිනිස්සුන්ගේ ජීවිත..මේ උන් හිටි ගමන් මිනිස්සු මැරිලා යන්නේ..ධනංජය වගේ මිනිස්සුන්ට තමන් කරපු පව් මේ ආත්මෙම පලදුන්න වෙන්න පුළුවන්. ඒත් කුරා කූඹියෙකුටවත්  වරදක් නොකරපු මිනිස්සුත් හිටිහැටියේ  අසනීප වෙන්නේ..හිටිහැටියේ මැරිලා වැටෙන්නේ..අපි මොන තරම් අපේ හිත් රවට්ට ගන්න උත්සාහ කලත් මේ ස්වභාව ධර්මය  අපි දිහා බලාගෙන ඉන්නවා.අපිට බෑ හසාරා සොබාදහම රවට්ටන්න…”

ධනංජයව ගිලන් රථයෙන් පිටතට ගත්තේ සියල්ලෝම බලා සිටියදීය. සොහොයුරියට වාරුව උන් ඔහුගේ මව මහා හඬින් හඬමින් සිය දෑත් වලින් පපුවට ගසා ගත්තාය. තාත්තාගේ වියපත් දෑස් වලින් කඳුළු ගලා යමින් තිබිණ. ඔහු හැරදා ගියේ තම ආත්මයෙන්ම ඔහුට ආදරය කළ පිරිසකි. 

“ අක්කට පුළුවන්ද මමත් එක්ක ඇතුලට එන්න…”

රෝද පුටුව තල්ලු කරගෙන මද දුරක් ඉදිරියට ගිය ධනංජයගේ සොහොයුරා ආපසු හැරී හසාරා දෙස බැලුවේ එසේ පවසමින්ය. යාන්ත්‍රිකව සේ  ඒ දෙපා ඉදිරියට ඇදුණි. හසාරා මද දුරක් ඇවිද ගොස් ආපසු හැරුනේ කොට බිත්තිය අහවර වන තැනදීය. ඒ කෙටි බැල්මේදී ඇගේ දෑස් නතර වූයේ බුවනෙකගේ  දෑස් මතය. පුදුමය ඒ දෑස් තුළ වූයේ සන්සුන් සිනහවකි.

( යළිත් හමුවෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here