ඔබේ හීනවලට ඉඩ දෙන්න.

ඔයා මොකක්ද සඳුනි අර ෆේස්බුක් එකේ දාල තිබ්බ කවිය ? “

” ඇයි සමීර ? මොකක්ද ඒකෙ අවුල? මම කොහොමත් ලියනවනේ ? මම ලියන්න පටන් ගත්තෙ ඔයත් එක්ක යාලු වෙන්නත් අවුරුදු ගානකට කලින් “

” මගුල තමයි . මගේ යාලුවෝ කීප දෙනෙක්ම මගෙන් ඇහුවා අපි දෙන්නා අතර මොකක්හරි රණ්ඩුවක් ද කියලා . මට ලැජ්ජාවේ බෑ “

සමීර නොරිස්සුමෙන් අහක බලා ගත්තත් ඊට වඩා නොරිස්සුමක් සඳුනිගේ හිතේ තිබුණා. සෑහෙන කාලයක ඉඳලා සදුනිගේ හීනයක් වුණේ ලේඛිකාවක් වෙන එක . කවි , නිසදෙස්, කෙටිකතා වගේ දේවල් සඳුනි නිතරම ෆේස්බුක් එක හරහා මිතුරන් අතර බෙදා ගත්ත වගේම නවකතාවක් ලියන්න අවශ්‍ය කටයුතු සඳුනි ඒ වෙද්දි ලෑස්ති කරගෙන හිටියා. පෞද්ගලික ආයතනයක සේවිකාවක්ද වුන සඳුනි සැලකිය යුතු වැටුපක්ද ලැබුවා.

කාලයක් තිස්සෙ තමන්ගෙ ආදරය පතාගෙන ආපු සමීරට , සඳුනි කැමැත්ත දුන්නේ ඔය අතරේ. පිටරට රැකියාවක් කරමින් ඉඳලා ඒක හරිගියේ නැති තැන ලංකාවට ඇවිත් හිටපු සමීර ඒ වෙද්දි රැකියා කීපයකට අයදුම් කරලා තිබුණත් ඒ හැම එකකම ඔහු මොකක් හරි අඩුපාඩුවක් දැක්කා .

” බලන් ගියහම සමීරත් එකයි සමීරගේ යාළුවොත් එකයි.උන් ඔක්කොම හිතාගෙන ඇත්තේ අපි ලියන හැම එකම අපේ ජීවිතේ කියලා වෙන්න ඇති සඳුනි “

ඒ වෙද්දි තමන්ගෙ තුන්වෙනි නවකතාව ලියන්න සූදානමින් හිටපු සඳුනිගේ මිතුරිය උන කල්පනී එහෙම කිව්වේ ඇගේ හීන වලට හැම මොහොතෙම උදව් කරන ඇගේ පෙම්වතාව මතක් කරමින්.

” සමීර කිව්වා පත්තර වලට ලියන්නත් එපා කියලා “

” මොකක් ? “

” හ්ම්ම් “

සඳුනිගේ මූණ අඳුරු වලාකුළු වලින් වැහිල ගිහින් තිබුණා. තමන් අඳින පළඳින විදිහට, හැසිරෙන විදිහට පවා නීති දාන සමීර ඒ හැමදේම කරන්නේ තමන්ට තියෙන ආදරේට කියලා හිතන්න සඳුනිට ඕන වුණා.

” කෝ ඔයාගේ ෆෝන් එක ? “

සමීර එහෙම ඇහුවේ සඳුනිව මුණගැහුනු තවත් දවසක. සඳුනි මොකුත්ම නොකියා අත්බෑගයේ තිබුණු ජංගම දුරකථනය අරගෙන සමීර අතට දුන්නා . රහසක් හොයන රහස් පරීක්ෂකයෙක් වගේ සමීර වහාම සඳුනිගේ ජංගම දුරකථනයේ හැම අස්සක් මුල්ලක් නෑරම පරික්ෂා කරා.

” මේ ඊයෙ කල්පනී එක්ක මොනවද පැය භාගයක් කතා කළේ ? ඔයා මට කිව්වෙ නෑනෙ කල්පනී කෝල් කලා කියලා ? “

” කිව්වේ නැද්ද ? එහෙනම් මට අමතක වෙන්න ඇති සමීර “

” මොනවද එච්චර වෙලා කතා කළේ ? “

” නිකන් ඉතින් . එයා එයාගෙ අලුත් පොත ගැන විස්තර කිව්වා “

” ඒකි තමයි ඔය විකාර ලියන්න තරං තමුසෙගෙ ඔලුව ඔළුව නරක් කරන්නේ “

” පිස්සුද සමීර ?ඔයා දන්නවද කල්පනීගේ පොත් කොච්චර විකිණෙනවා ද කියලා ? අනික එයා ලියන්නෙ වැඩකට නැති දේවල් නෙමෙයි . යාළුවා උනත් මටත් එයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා “

” කෙහෙල්මල. ආයෙ ඕකිත් එක්ක කතාවට යන්න එපා “

” මොකක්? ඒ මගේ හොඳම යාලුවා.මම කොහොමද එහෙම එකපාරටම යාලුවෝ තරහ කරගන්නේ ? “

” තමුසෙට මාවද වටින්නේ ඒකිව ද ? “

සමීරගේ ප්‍රශ්නෙට සඳුනි නිරුත්තර වුණා . එතැන ඉඳලා කල්පනීගේ දුරකථන ඇමැතුම් මග හරින්න අකමැත්තෙන් වුණත් සඳුනිට සිද්ධ වුණා .

” බූට් එකක් කාලා වගේ දුක් අඳෝනාවල් ෆේස්බුක් එකේ දාන්න එපා සඳුනි, ඔයාට ලැජ්ජ නැද්ද ? “

දුරකථනය දිගේ ගලාගෙන ආව සමීරගේ හඬ සඳුනිගේ හිතට එකතු කළේ දුකක්. කොයි තරම් මිනිස්සු තමන්ගෙ නිර්මාණ ගැන හොඳ කිව්වත් තමන්ගේ පෙම්වතාගෙන් ජීවිතයේ කවදාවත් හොඳක් අහන්න නොලැබීම ගැන සඳුනි කම්පා වුණා

” තමුසෙට මාව ඕනේ නං ආපහු කවදාවත් ඔය විකාර ලියන්න එපා “

අන්තිමට සමීර සඳුනිට එහෙම නීතියක් දැම්මා.

සඳුනිව තමන්ගේම කරගන්න හිතාගෙන හිටපු සමීර ඇය ගැන ඔහුගේ දෙමවුපියන්ට කිව්වා .ඊට පස්සේ සඳුනිගේ දෙමව්පියන් මුණගැහිලා කතා කරගන්න ඔහු දවසකුත් දාගත්තා . ඒ වෙද්දි ඔවුන්ගේ සම්බන්ධයට ගෙවිලා තිබුණෙ මාස කීපයක් විතරයි

” මේවා වෙනවා ඉක්මන් වැඩි නැද්ද සමීර ?”

” ඇයි තමුසෙ මාත් එක්ක යාලු වුනේ මාව බඳින්න හිතාගෙන නෙමෙයිද ? “

” එහෙම එකක් නෙමෙයි . මම ඇත්තටම ඔයා ගැන අපේ අම්මලට කිව්වේ ඔයාගේ බලකිරීම හින්දා . නැත්තං ඔයා රස්සාවක් හොයාගෙන ඉවර වුනාමයි මම අම්මලට කියන්න හිටියේ “

” ආ දැන් මට රස්සාවක් නැති එකද මෙතන ප්‍රශ්නේ ? “

සඳුනිගෙයි සමීරගෙයි කතාබහ හැමදාම ඉවර වුණේ ගැටුමකින්.කොහොමහරි හැමදාම අන්තිමට වැරදිකාරයා උනේ සඳුනි.

” අපි පුතාට ඉක්මනින් රස්සාවක් හොයලා දෙනවා ,ඒ නැතත් ඉතින් මෙයාට සල්ලි වලින් අඩු පාඩුවක් නැහැනේ “

සඳුනිලගේ ගෙදර ආව දවසෙ සමීරගේ තාත්තා උදම් ඇනුවේ එහෙම. සඳුනි ව බලන්න සඳුනිලගෙ ගෙදරට ආව ගමනට සමීරගේ අම්මා තාත්තා ඇරුනහම නැන්දලා දෙන්නෙකුත් එකතු වෙලා හිටියා.

” තැන් තැන් වල මුණ ගැහෙන්නේ නැතුව පුතා අපේ ගෙදරට ඇවිත් සඳුනිව මුණගැහෙන්න .ඒකට අපේ අකමැත්තක් නැහැ “

සමීර ගැන ලොකු පැහැදීමක් නැති උනත් සඳුනිගේ කැමැත්තට ඉඩ දෙන්න ඇගේ දෙමව්පියන් ලෑස්ති වෙලා හිටියා .

” සඳුනිගේ එක වැරැද්දක් තියෙනවා, ඒක ගැන මට පුතා කිව්වේ ඊයේ පෙරේදා “

සමීරගේ අම්මා බොහොම බැරෑරුම් මුහුණකින් යුතුව එහෙම කියද්දි සඳුනි තිගැස්සුණා .

” මේ ළමයගෙ මේ ලියන කියන වැඩ වලට සමීරගේ ඒතරම් කැමැත්තක් නැහැ . ඕවයින් සතයක්වත් ලැබෙන්නෙත් නැති එකේ, මෙයත් අකමැති නම් ඕක නතර කළා නම් හොඳයි.සඳුනිට රස්සාවකුත් තියෙන නිසා ප්‍රශ්නයක් නැහැනේ ? “

” ඒක හරි . දුව අපේ ළමයට ආදරේ නම් දුවට පුළුවන් වෙන්න ඕනේ දුව කැමති දෙයක් උනත් නතර කරන්න “

සමීරගේ අම්මා කියපු දේට සමීරගේ තාත්තත් හූමිටි තිබ්බා.

සඳුනිගේ හීනයට යන පාර ඇහිරුණේ එහෙම. දවස් ගානක් තිස්සේ සඳුනි ඒ ගැන කල්පනා කරා . මොළයෙන් තීරණ ගන්නවට වැඩිය තමන් හදවතින් තීරණ අරගෙන තියෙනවා කියලා සඳුනිට ඒ වෙලාවේ වත් තේරුනේ නැහැ .

” මැරි කලාට පස්සේ ඔයාට ජොබ් එකක් කරන්න ඕන වෙන එකක් නැහැ සඳුනි “

සමීරගේ ඊළඟ නීතිය වුණේ ඒක. ඊට පස්සේ සඳුනිට උදේ හවස රැකියාවට යන්න සිද්ධ වුණෙත් සමීරත් එක්ක. ඒ වගේම සමීරගේ අවසරයකින් තොරව කිසිම යහළුවෙක්ව මුණ ගැහෙන්නත් , දුරකථනයෙන් කථා කරන්නත් සඳුනිට බැරි වුණා .

පාසලේ පැරණි මිතුරියනේ සුහද හමුවට සඳුනිට ආරාධනා ලැබෙන්නේ ඔය අතර. අවුරුදු ගානකට පස්සෙ පාසල් මිතුරියන් මුණගැහෙන්න සඳුනි ඇඟිලි ගැන්නා

” යන්න එපා .ආයේ ඉස්කෝලේ යන්නෙ නෑනෙ.ඔය යාලුවන්ගේ මොනවා බලන්නද “

සමීර සඳුනිව නතර කලා. හැබැයි එදා රෑම සමීර ඔහුගේ මිතුරෙකු ගේ උපන්දින සාදයකට ගියා. සඳුනිගේ හිත බිඳුනේ එතනදී .

තමන් ගත කරපු නිදහස් ජීවිතය එන්න එන්නම සීමා වෙනවා කියලා සඳුනිට තේරෙන්න ගත්තා. තමන්ගේ ජීවිතයේ බලන බලන හැම පැත්තකම හිටියේ සමීර විතරක් උනත් සඳුනිට කිසිම සතුටක් දැනුනේ නැහැ .

දවසක් සඳුනිගෙ දුරකථනය පරීක්ෂා කරපු සමීරට සඳුනි නෝට්පෑඩ් එකේ ලියලා තිබුන කවියක් දකින්න හම්බුනා . ඒක සඳුනි කලින් දවසේ රෑ ලියපු එකක්.

” මං තමුසෙට කියලා තියෙනවා නේද මේ මගුල් ලියන්න එපා කියලා ? “

වේගවත් පහරක් සදුනිගෙ කම්මුල මත නතර වෙද්දි සඳුනිට හිටපු තැන අමතක උනා. ඔවුන් හිටපු මුහුදු වෙරළේ කීපදෙනෙක්ම ඔවුන් දිහා හැරි හැරී බලද්දී සඳුනි ලජ්ජාවෙන් මිරිකුනා .

ආපහු ගෙදර ආව සඳුනි පහුවදා එලිවෙන තුරුම කල්පනා කළා . තමන්ගේ හීන පවා අතහැරලා මේ ගෙවන ජීවිතය තමන් බලාපොරොත්තු වුන එක නෙමෙයි කියලා අන්තිමට සඳුනි තේරුම් ගත්තා. උදේ පාන්දරම කල්පනීට දුරකථන ඇමතුමක් අරගත්ත සඳුනි ඇයට හැම දෙයක්ම මුල ඉදන්ම කිව්වා .

” ඔයාට අතහැරුණු හීන වලට ඔයා ආපහු යන්න සඳුනි “

ඇමතුම අවසන් කරන්න මොහොතකට කලින් කල්පනී කිව්වේ එහෙම

සමීරගේ තර්ජනය කිරීම් සහ අපහාසත් , සමීරගේ දෙමවුපියන්ගේ චෝදනාත් මැද්දේ අමාරුවෙන් උනත් සඳුනි ආපහු තමන්ගේ ජීවිතය තමන්ගේම අතට ගත්තා . නිදහස් කිරිල්ලියක් වුණ සඳුනිට හොයාගෙන යන්න හීන ඕනෑ තරම් තිබුණා .

සිය දහසක් නීති මැද්දේ ගෙවුන ජීවිතයට වඩා තමන්ගේ ජීවිතය සහ හැකියාවන් කොයිතරම් වටිනවද කියන එක සඳුනි තේරුම් ගත්තේ ඇගේ පළවෙනි නවකතාව දොරට වඩින දවසේ ශාලාව පිරෙන්න ආව සෙනඟ දැකලා.

සමීරත් එක්ක තවදුරටත් හිටියනම් මේ හීනය තමන්ට කවදාවත් හැබෑ කරගන්න වෙන්නේ නෑ නේද කියලා සඳුනි හිතුවේ ඇස් අග එකතුවෙලා තිබුනු සතුටු කඳුළු පිහිදන ගමන් .

More Stories

Don't Miss


Latest Articles