“උඹ ඇයි චිරත්ට එන්න කිව්වේ?” කියා පිටිපස්සෙ සීට් එකේ වාඩි වී ඉදිරිපස රියදුරු අසුනට එහා පැත්තේ වාඩි වී බර කල්පනාවක ගිලී ඉන්න චිරත් දෙස බලමින් මේධා ඇසුවේ ආලෝකාගෙනි. ඒ වදන්වල තරහක්, අමනාපයක් තැවරී නොතිබුන වග මේධාට ස්ථිරය. හිතට තිබුන එකම බර විවාහයෙන් වෙන් වීමෙන් පසුවවත් චිරත්ට තමන්ගේ කරදර වලින් ගැලවෙන්නට බැරි වීමය.
මේධා ඊයෙ රැයේ තමන්ව අමතා විස්තර සියල්ල කිව්වයින් පස්සේ ආලෝකා මුලින්ම කලේ චිරත්ව අමතක කරන එකය. එදා ඉස්පිරිතාලයෙදි චිරත් මොන දේ කිව්වද මෙවන් අවස්තාවකදි චිරත් කිසිසේත්ම පිටුපාන්නෙ නැති බව දන්න හන්දාම, චිරත් වැනි විශ්වාසවන්ත පිරිමියෙකු සමග මෙවන් ගමනක් යෑම වඩා උචිත බව ආලෝකා හිතට කිව්වාය. ඇමතුම අරගත්තේ ඒ සිතුවිල්ල අනුවය.
“මම දන්නෙ නෑ ආලෝකා ඔය ගමන යන්න මම එන එකෙන් වැඪක් වේවිද කියල. අනික ඔය මනුස්සය කොහොමත් මොකක් හරි හේතුවකට මාත් එක්ක අවුලෙන් ඉන්න හදන්නෙ මාව මේධයි ඔයයි එක්ක එතනදි දකින එක ඒ මනුස්සයට තව අපි එක්ක වෛර බැඳගන්න හේතුවක් වෙන්න පුලුවන් නේද? මිනිහ මගෙන් ඇහුවොත් මම අරගත්තෙ උඹේ සල්ලි නෙවෙයිනෙ කියල මොකද්ද මම කරන්නෙ? මොකද්ද මම කියන්නෙ? මට නිකන් ඌ ඉස්සරහ ලැජ්ජ වෙන්න තමයි වෙන්නෙ අනුන්ගෙ ප්‍රශ්නෙකට” කියා කිව්වද චිරත් අන්තිමේ මේධා වෙනුවෙන් ඒ ගමන යන්න ආ එක ආලෝකට ඇත්තටම සහනයක් විය.
“මං ඇත්තටම ඔයාට එන්න කිව්වෙ මට ශුවර් නෑ වලාකුලු මොන වගේ ගේම් එකකටද රෙඩි වෙලා ඉන්නෙ කියන්න.පිට වෙන එක්කරගෙන යන්න විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් නැති හන්දයි චිරත්ට මම කෝල් කලේ. මේධා උනත් ඔයාට කතා කතා කරලා මෙහෙම එන්න නොකිව්වට ඔයා එයා එක්ක යන්න ආවොත් ඇත්තටම ඒක එයාගෙ හිතටත් ලොකු හයියක් වේවි” කියා ආලෝකා කියද්දි චිරත් උන්නේ ඇත්තටම තමන් කල යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරුවය.
මේධා තමන්ව දමා ගියේ තමන් නිසා ඇගේ ජීවිතේ විනාශ වෙන බව කියාය. ඇය තමන්ගෙන් වෙන් වූ පසුව ඉතාම සුඛෝපබෝගී ජීවිතයක් ගෙවන්න වරප්‍රසාද හොයාගත්තද අන්තිමේ එයත් නැතුව මේ වෙන මිනිහෙක් නිසා දාහක් ඔලුවෙ ප්‍රශ්න දාගත්ත එක තමන්ගේ හිතට වදයක් බවදන්නවා උනත් අනුන්ගෙ ප්‍රශ්න වලට ඔලුව දාන්න ගොස් අන්තිමේ නරක මනුස්සයා වෙන්නෙ තමන් කියන යතාර්ථය චිරත්ට අමතක වී තිබුනේ නැත.
“අන්තිමේ ඒගොල්ලො මේගොල්ලො යාලුවො වෙයි. හැමදාම ඉතින් එයාලගෙ ගෙදර අයට අන්තිමේ නරක මනුස්සය උනේ මමනෙ” කියා හිතට කියාගත්තද තමන් ආදරේ කල ගෑණි ප්‍රශ්නෙක පැටලි ඉද්දි කරබාගෙන ඉන්න මිනිහෙක් වෙන්න චිරත්ගේ පිරිමිකම චිරත්ට ඉඩ දුන්නේ නැත. චිරත් ආලෝකා එන්න කියූ තැනට පික් මී එකක් දාගෙන ගියේ ඒ අනුවය.
“මං චිරත්ට එන්න කිව්වෙ උඹ මෝඩයා වගේ ඔය වලාකුලු කියන මිනිහව විශ්වාස කරාට මට එහෙම කරන්න බැරි හන්දා. අනික උඹේ තාත්තා කීයටවත් මෙහෙම ගමනක් අරුගෙ දෙපතුල් ලඟට යන්න එන්නෙ නෑ කියන එක හොඳටම දන්න හන්දා. ගෑණු දෙන්නෙක්ට ගිහින් විසඳගන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේධා මේ කට්ට කයිරාටික මිනිහෙක් එක්ක කරන සල්ලි ගනුදෙනුවක් කරන්නෙ. අඩුමගානෙ උඹ උගේ නෑයෙක් කියලවත් එකෙක්ව අඳුරනවද නෑනෙ.එහෙම එකේ මේ සර්පයෙක් වගේ මිනිහෙක්ව හම්බුවෙන්න තනියෙන් යන්න උඹට බය නැතුවට මට උඹයි මමයි දෙන්න ගැනම බයයි. ඒකයි චිරත් ට එන්න කිව්වෙ. හරිනම් ඕන මගුලක් කරගනින් කියල තනියෙන් උඹට යන්න දෙන්නයි ඕන උඹ කරගන්න, විහින් ඔලුවෙ දාගන්න මල විකාර හන්දා. මං ආවෙත් අර මොක උනත් උඹ මගේ යාලුවා හන්දයි මගෙ තියෙන මනුස්සකමටයි” කියා ආලෝකා තමන් ඇසූ ප්‍රශ්නයට උත්තර දෙද්දී මේධා කලේ කාරයේ ඉස්සරහ අසුනක වාඩි වී දුරකතනය දිහාවම බලාගෙන ඉන්න චිරත් දිහාව බලමිනි.
කාරය වලාකුලුගේ කාර්‍යාලය වෙත යනතුරුම කාරය ඇතුලේ තිබුනේ පුදුමාකාර නිහඬ බවකි. ඒ නිහඬතාවය බිඳින්නට ආලෝකාවත් චිරත්වත් මේධාවත් උත්සහ කලේ නැතුවද තුන්දෙනාගෙම සිතුවිලි තිබුනේ විවිධ සංඛ්‍යාතවලින් දොඩමලු වෙමිනි. මේධා වලාකුලු මොනවා කියාවිද කියා සිත අස්සෙන් විවිධ විවිධ දේවල් හිතද්දි චිරත් උන්නේ මේධා අවුරුදු ගණනක් ආදරය කල තමන්වත් මෙච්චර විශ්වාස කලේ නෑ නේද කියන කතාව හිතට වඩ අහොඳින් පැහැදිලි කර දෙමින් ය. ඒ පැහැදිලි කිරීමම, මේ තේරුම්ගැනීමම ජීවිතේ ඉදිරි කටයුතු වඩා හොඳින් කරන්නටත්, මිනිස්සුන්ව වඩා හිඳින් තේරුම් ගන්නටත් තමන්ට කමටහන් වන බව චිරත් දැන උන්නේය.
වාහනය විත් වලාකුලුගේ පර්ඩක්ශන් හවුස් එක ලඟ නතර උනේ මේධාත් චිරතුත් හිත අස්සෙන් හිතමින් උන් සියලුම සිතුවිලිවලට මද විරාමයක් ලබා දෙමින් ය. ප්‍රඩක්ශන් හවුස් එක ඇතුලේ වැඩ වෙන බවටත් මිනිසුන් ඉන්න බවටත් මේධාටත් ආලෝකාටත් චිරත්ටත් පැහැදිලි උනේ ප්‍රඩක්ශන් හවුස් එකේ එලියේ වාහන නවතා තිබෙනු දැකීමය. ඒ අනුව වලාකුලුත් මෙහි ඉන්න බව හිතාගන්න චිරත්ට අපහසු උනේ නැත. මේධා හැදුවේ කාරෙකෙන් එලියට බැස ප්‍රඩක්ශන් හවුස් එක ඇතුලට ගොස් වලාකුලුව හමුවන්න උනත් චිරත් ඊට පෙර වාහනයෙන් එලියට බැස්සේ කුමක් හෝ කියන්නට නොතේරෙන යමක් තේරුණ හන්දාය.
“ඔයාලා දෙන්න බහින්න එපා. ඇතුලට ගිහිල්ල අනිත් මිනිස්සු ඉස්සරහ අපිට ඔය සල්ලි ප්‍රශ්න කතා කරන්න බෑනෙ. මම ඉස්සෙල්ල ඇතුලට ගිහින් වලාකුලු එක්ක එලියට එන්න,. අපි මෙතන එලියෙ ඉඳගෙන ඕක කතාකරමු නිකන් වෙන මිනිස්සු ඉස්සරහ ඔය යකා සද්දයක්වත් දැම්මොත් අන්තිමේ අපි හැමෝටම ලැජ්ජ වෙන්න තමයි වෙන්නෙ” කියා චිරත් කියද්දි ආලෝකා හිස වනමින් එය පිලිගනිද්දි මේධා නිහඬවම උන්නේ චිරත් කියන දෙයක් අහගෙන එයාකාරව කරන එක වඩා හොඳ විය හැකි බව හිත කිව්ව නිසාවෙන් ය.
චිරත් වාහනයෙන් බැස ප්‍රඩක්ශන් හවුස් එක ඇතුළට යද්දී ආලෝකා මේධා දෙස බලා යමක් කියන්න කට හැදුවාය
“අරූ දැන් චිරත්ව දැකල මෙතන ඇවිත් සද්දෙ දාන්න ගත්තම ගොනා වගේ උගෙ පැත්ත ගන්න එපා. අඩුම මේ මනුස්සය මෙහෙම ගමනක් තමන්ට කිසිම අදාලත්වයක් නැතුව ආවනෙ කියන එකවත් මතක තියාගන්නවා”
“ආයෙ වලාකුලුගෙ පැත්ත ගන්න මට පිස්සු කියල හිතුවද?”
“පිස්සු කියල හිතන්න දෙයක් නෑ ආයෙ අමුතුවෙන්. කරන වැඩ දැක්කම
මට පිස්සු කියල තේරෙනවා” කියා ආලෝකා ආයෙම වතාවක් කාරෙකේ වීදුරුවෙන් එළිය බලද්දි මේධා කරේ සුසුමක් හෙළන එකය. එපා කියා තමන් විසි කර දැමූ පලා මිටිය අද බේතකට උවමනා වී තිබෙන බව ඇත්තකි. මේ දෛවයද එහෙම නැත්තම් කර්මයද කියා මේධාටවත් පැහැදිලි නැත. ආලෝකාත් එක්ක කාරෙකේ වාඩිවෙලා ඉන්න අතරවාරෙත් මේධා විටෙන් විට ඔලුව උස්සා කාර්‍යාලය ඇතුලට ගිය චිරත් දැන් දැන් ආයේ එතැයි බලාපොරොත්තුවෙන් උනත් හිතූ තරම් ඉක්මනින් චිරත්ගේ රුව ඒ දොරකඩෙන් මතුවනු දකින්නට මේධාට පුලුවන් උනේ නැත.
“වලාකුලු නැද්ද දන්නෙ නෑ චිරත් මෙච්චර පරක්කු” කියා මේධා නිහඬතාවය බිඳිමින් කිව්වද ආලෝකා එයට දුන්න උත්තරය උනේ “නැත්තම් ඉතින් මෙච්චර පරක්කු වෙන්න හේතුවක් නෑනෙ, වලාකුලු දේශනාවක් දෙනවද දන්නෙ නෑ චිරත්ට” කියා කියද්දිම චිරත්ගේ රුව ප්‍රඩක්ශන් හවුස් එකේ දොරටුවෙන් මතුවනු මේධා දුටුවාය. චිරත් පිටිපස්සෙන් වලාකුලු මතුවනු බලා උන්නද වලාකුලුගේ හෙවණැල්ලක්වත් එහි නැති තැන “එයා මාව හම්බෙන්නවත් කැමති නැද්ද?” කියන හැඟීම හිත රිද්දනු මේධාට දැනුනි.
චිරත් මේධාත් ආලෝකත් ඉන්න තැනට ආවේ නිකට අතගාමින් විසල් කල්පනාවක ගිලීය. ඔහුගේ මුහුණේත් ඉරියව් වලත් ඇඳී තිබුණ ප්‍රශ්නාර්තයක ලකුණු මේධා මෙන්ම ආලෝකාද දුටුවහ.
“වලාකුලු මොකද කිව්වෙ?” කියා මේධා අහද්දි චිරත් ඇගේ දෙනෙත් දිහා මද වෙලාවක් බලාගෙන උන්නෙ මේ කතාව කොහොම කියන්නද කියල හිතාගන්න බැරුවය.
“පොඩි කේස් එකක්”