සුහදිනි – 46

“මම කවදාවත්ම හිතුවේ නෑ මේ වගේ ඔප්පු කරන්නත් බැරි දේකට ඔයා මාව දාලා යයි කියලා.”

අහස්ගේ හඬෙහි චෝදනාවක් නොවේ.නමුත් ළතැවිල්ල පිරී තිබේ දැයි සකී සිතුවා ය.ඔහු සමග එකම ගමනක් යන්නට තීරණය කළ දවසේ අනන්ත බාධා සහ දුක් කම්කටොලු දරා ගන්නට ඇය පිළිණ දුන්නා ය.ඇගේ අතිශය අසීරු දවස් කිහිපයක් ඇය පහසුවෙන් ගෙවා ගත්තේ අහස් හන්දා ය.ඔහු මැදිහත් නොවුණා නම් තාත්තා සුවකර ගැනීම සිහිනයක් වන්නට ද ඉඩ තිබිණි.ඒ සියල්ල අමතක කර දමා මහත් ආත්මාර්ථකාමීකමකින් හැසිරීම ගැන ඇයට ඇය ගැනම ලැජ්ජාවක් ඇති වෙමින් තිබිණ.

“ඔයාගේ ෆස්ට් ලව් එකනෙ.මට ඉසේ කෙස් ගාණට ලව් තිබ්බට.පොඩ්ඩක් ඩාං වෙලා ඩූම් වෙන්න පුලුවං.ගණන් නොගෙන ඉමු.”

අහස් ඒ කතාව වහා අමතක කර දමන්නට එකඟ විය.නමුත් මෙවැනි සිදුවීම් හදවතින් ඉක්මනින් මැකී නොයන බව සකී සිතුවා ය.

“මං දැක්කා ඔයා හරිම දුකින් අවුලින් ඉන්න හීනයක්.ඒත් මං ඔයාට ඒ ගැන කිසිම දෙයක් කියන්න ගියෙ නෑ නේ.එහෙම කිව්වනම් මොකක්හරි කරදරයක් ළඟපාතක එනවා කියලා අපිට පරිස්සම් වෙන්න තිබුණ.ඔයා මං ගැන හැමතිස්සෙම විපරමින් හිටියට මම එහෙම ඉන්නේ නෑ.ඇත්තටම මගෙ වරදක් තිබුණු නිසා ඔයා මාත් එක්ක තරහා උනාට කමක් නෑ.”

අතිශය සංකීර්ණ ගැටළු වලට මැදිහත් වන්නේ ඔහු ය.තාත්තා බරපතල ශළ ශල්‍යකර්මයකට ලක් කර ගෙවී යන්නේ තවම දින කිහිපයක් හන්දා ඔහු ඒ සිහිනය තරමක් බරපතල ලෙස කියවා ගන්නට ඇති බව සකි සිතුවා ය.එවැන්නක් ගැන කතා කිරීම පහසු නොවේ.කොහොමටත් දුවෙකුට තාත්තා කෙනෙකුට එහා වීරයෙකු ඇත්තේ නැත.සකී ගැන බියජනක සිහිනයක් දුටුවේ තාත්තා හන්දා වන්නට ඇතැයි කීම ගැන අහස් සිය වතාවක් වත් සිතන්නට ඇතැයි සකී සිතුවා ය.

 “එහෙම දෙයක් නෑ.මම තමයි ඔයාව කැත විදියට සැක කරේ.”

සකී අපහසුවෙන් කියා ගත්තේ ඒ සිදුවීමට ඇය එතරමට වෛර කරන නිසා ය.

“සකී,මං හරිම බිසී කෙනෙක්.හරියට බැලුවම මම වැඩිපුර ලංකාවෙ ඇත්තෙත් නෑ.ඒ දේවල් එහෙම වෙනකොට මං ඔයා තරමට උගත් නෑ කියලා මට හිතෙන්න පුලුවන්නෙ.මගෙ පාර වෙනස් එකක් හින්ද මම කැම්පස් ගියේ නෑනෙ.”

අහස් කියන්නේ කුමක්දැයි සකී පුදුමයෙන් අසා සිටියා ය.සරසවියක අධ්‍යාපනය ලබන්නට නොලැබීම ඔහුට ඒ තරමට ගැටලුවක් වන්නට ඇතැයි ඇය කිසි දිනෙක සිතා තිබුණේ නැත.

“මෙතන පරිසරේ හරි වෙනස්.ඇත්තටම අපි ගත කරන ජීවිතේ ට වඩා ඔයාලගේ ඒ ජීවිතේ නිදහස්.අපිට සමහර වෙලාවට සෝෂල් මීඩියා යූස් කරන්න වුණත් නීති තියනවා.එතකොට ඉතිං ඔයාගේ ජීවිතේට වඩා මගේ ජීවිතේ වෙනස්.”

අප වඩාත් සුන්දරයැයි සිතන තැන්වල රැඳෙන්නන්ට අප ජීවත් වන තැන් සුන්දර බව දැනෙන පාඩම තේරුම් ගන්නට සකී උත්සාහ කළා ය.

“ඉතින් එතකොට ඔයාගෙ ලෝකෙයි මගේ ලෝකෙයිත් වෙනස්.එකපාරට මට සියුම් කිව්වොත් ඔයාට කැම්පස් එකේ කෙනෙක් එක්ක සම්බන්දයක් තියනව වගේ කියලා.”

එය ඕපාදූප වෙබ් අඩවියක පළ වන පුවතකට වඩා වෙනස් යමකි.අහස් වඩාත් තදින් විශ්වාස කරන්නා සහ වඩා සමීපම පුද්ගලයා සියුම්‍ ය.සියුම් අභිබවා යන්නට තවම ඇයට පවා හැකි වූයේ නැති බව සකී සිතුවා ය.එසේ තිබියදී සියුම් එවැන්නක් පැවසුවහොත් අහස් එය අවිශ්වාසයට ගන්නේ නැත.

“මම මේ කියන්නේ වෙන්න පුලුවන් නරකම දේවල් සකී.ඒත් සියුම් එහෙම දෙයක් කිව්වත් මම කරන්න ඕන ඒක හොයල බලන එක.මම සියුම් කියන දේවල් පවා හොයලා බලන්න ලෑස්ති නම් ඔයා නමක් ගමක් නැති ඕපාදුප විස්වාස කරන එක හරිම වැරදියි නේද?”

අහස් පිටියේ දී ආක්‍රමණික වන අන්දම සකීට සිහි විය.ඉතා පහසුවෙන් විසඳිය හැකි සමහර ගැටලු පවා ඔහු ඔහුගේ ආකාරයට විසඳන්නට යද්දි කණ්ඩායම් සගයන් මැදිහත් නොවන්නේ නම් ඒවා ඉතා නරක ආකාරයට විසඳෙන්නට ඉඩ තිබූ බව සකී සිහි කළේ ය.

“නපුරුයි වගේ පෙන්නුවට අහස් ඇත්තටම නපුරු නෑ.අහස්ගේ කේන්තිය එන තරමට ඉක්මනට ආපහු යන කේන්තියක්.”

කණ්ඩායම් නායකයා නිරන්තරයෙන්ම ඔහු ගැන එසේ කියන්නේ ඇයිදැයි සකීට දැන් හොඳින් වැටහේ.ඇතැම්විට සකී නිශ්ශබ්ද වී හිඳියදී අහස් ද ගුණයක්වත් කතා නොකරන්නට ප්‍රවේසම් වන්නට ඇත්තේ ඔහුගේ සිතේ ඇති කෝපය සිඳී යන තුරු බව දැන් ඇයට වැටහේ.එහෙත් වෙනත් රටවල හදිසි කේන්තිකාරයින් සමඟ වහා ගැටුම් ඇති කරගන්නා ඔහු මේ මොහොතේ මේ ප්‍රශ්නය විසඳන අපූරු ආකාරය සකී රසවිඳින්නට වූවා ය.

“මූණ දිහා පිස්සෙක් වගේ බලාගෙන ඉන්නේ,ඔය ගෑනු ළමයා මං කියන දේවල් අහගෙන ද ඉන්නේ?”

අහස් එසේ අසන තුරුම සකී කන්වලට අගුල් වැටෙන්නට ඉඩ හැර ඔහුගේ මුහුණේ හැඟීම් ප්‍රකාශන නැරඹී ය.ඔහු එක් එක් අවස්ථා දරා ගන්නා අන්දම ගැන ඇයට දැනෙන්නේ අපූර්ව සැනසීමකි.කා සමග ගැටුම් ඇති කර ගත්තද ඔහුට සකී සමඟ තත්පර කිහිපයකට හෝ තරහ වන්නට නොහැකි ය.

“ඉස්සරහටත් මේ වගේ කතා කොච්චර අහන්න වෙයි ද කියලා මට කියන්න බෑනෙ සකී.ඒත් ඒ හැම වෙලාවෙම ඔහොම අවුල් වෙන්න එපා.මිතුලි කියන්නෙ මෙහෙම අපේ ප්‍රශ්නවලට මැදිහත් වෙන සීමාවේ ඉන්න කෙනෙකුත් නෙමෙයි.ඒ මනුස්සයගෙ මොකක්ද හොඳකට එයා අපි ප්‍රශ්නෙට මැදිහත් වුණා.එහෙම නොවුණානම්?”

එසේ නොවුණානම් සාරණ්‍යා ඇගේ නිහීන බොරුව නොනවත්වාම රසවිඳිමින් හිඳින්නට ඉඩ තිබිණ.සකී ඒ ගැන සිතන්නට අකමැති ය.

“තවත් කෙනෙක් ඇවිල්ලා හරි කියලා ඔප්පු කරනකම් මේ විදිහට ඔයාව රිද්දුවට මට සමාවෙන්න.ඒත් අන්ධ විදියට විශ්වාස කරන්නත් මම කැමති නෑ.”

සකීගේ කෙලින් කතාවට අහස්ට සිනා ඉපැදිණ.කොහොමටත් ඇය මෝඩ කෙල්ලක නොවේ.හිටිහැටියේ ක්‍රීඩාංගනයේ දිස් වන විවාහ යෝජනා රැගත් පුවරු ඔහුට සිහි වේ.අතීතයේ සාරණ්‍යා සමඟ ඔහු ඒවා ගැන කතා කළේ අතිශය ආඩම්බරයකිනි.මුළු රටේම සිටින තරුණයන් සිටින තමන්ට වශි වී බව කියන සාරන්‍යා ට ඉඳහිට රිද්දන්න ට ඔහු එවැනි දේවල් පාවිච්චි කළේ ය.නමුත් එවැන්නක් දුටු විට මුහුණ පුම්බා ගන්නට ඉඩ ඇති කුඩා කෙල්ලක තමන්ගේ පෙම්වතිය වී සිටින බව සිහි වෙද්දි අහස්ට සිනා නැඟේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles