නින්දට පෙර කතාවක් අහන්න ආසාවෙන් ඉන්න ඔබේ පුංචි පැටියට කියන්න තවත් අලුත් කතාවක් එක්කයි අප නැවත එන්නේ. ඔබ මේ කතාව කියවා රාත්‍රියේදී පැටියට කියල දීම පමණයි කල යුත්තේ. ඒ වගේම ඉතාමත්ම සුන්දර මොහොතක් මේ කතා නිසා ඔබ වටා නිර්මාණය වෙයි. ඒ විතරක්ම නෙවෙයි, රෑ අහපු කතාව මතකයෙන් කියන්නට පැටියව කැමති කරව ගන්නත් ඔබට හැකිවේවි. ඒ විතරක්ද ? ඇයි ඔබ ඔහුට හෝ ඇයට ඉන් චිත්‍රයක් අඳින්න කියන්නේ නැත්තේ ?
ඔන්න එකමත් එක කාලෙක කැලේ හිටියා හා පැන්චියක්. එයා ඉන්න කැලය තිබුණේ කුඩා ගමක් අසල. ඉතින් මේ හා පැන්චිගේ ආසම කෑම වුණේ කැරට්. එයා හැමදාම කැරට් පාත්තිවලින් කැරට් ගලවලා අරගෙන ගියා. ඒත් ටික දවසකින් එයාට කැරට් එකම විදියට කාලා එපා වුණා. ලඟපාත ගමක් තිබුණ නිසා එයා දන්නවා ගමේ මිනිස්සු නම් එක එක විදියට කැරට් හදලා කනවා කියල. ඉතින් එයා හිතුවා ගම ගෙදරට ගිහින් කැරට් උයන හැටි ගම හාමිනේගෙන් ඉගෙන ගන්න .
ඔන්න ඉතින් හා පැංචි හෙමින් සීරුවේ ගියා ගම ගෙදරට. ඒ දවල් වෙලාවක්. ගම හාමිනේ ඒ වෙලාවෙත් කැරට් සුද්ද කරනවා උයන්න. හා පැංචි ගම හාමිනේට කතා කළා විතරයි හාමිනේ ළඟ හිටිය දඩෝරියා කලබල වුණා.එයා බුරාගෙන එලියට දුවගෙන ආවා.ඉතින් මොන කතාද ?හා පැංචි හයියෙන් දුවල ගිහින් යාන්තම් බේරුණා. ඒ දුවන අතරේ එයා හිතුවා එයාලගේ පරපුරේ හාවෙක් ඉබ්බා එක්ක දුවලා පැරදුණු කථාවනම් අලිම බොරුවක් කියලා .
ඉතින් දැන් මොකද කරන්නේ…. එයා සෑහෙන්න කල්පනා කළා. එයාට හොඳ අදහසක් ආවා. එයා කැරට් හොඳට පිරිසුදු කරලා අව්වේ රත් කළා. ඒත් වෙනසක් නැහැ. පරණ රසමයි. එයා ගමේ ගිනි ගොඩකට කැරට් දාලා බැලුවා. තිත්තම තිත්ත රසයි .
ඒත් හා පැංචි නම් ලේසියෙන් පරාජය වන කෙනෙක් නෙවේ. එයා පසුබට වුණේ නැහැ. එයා හැම අස්සක් මුල්ලකම ඇවිදලා පරණ වළඳක් සොයාගත්තා. ගම ගෙවල් වල වගේ ගල් තුනක ලිපකුත් හදා ගත්තා. හට්ටියට වතුර දාලා කැරට් ලිපෙන් තිබ්බා.
ම්ම්ම්ම්ම්ම්ම්ම් ……..ඔය තියෙන්නේ ….
ඉතින් කැරට් උයලා ඉවර වෙලා එයා කෑම මේසය පිළියෙළ කලා. එයා තනියම රස බැලුවේ නැහැ. ඒක ඇත්තටම පුංචි සාදයක්. අලි පුංචා, ලේන් පුංචා, මුව පැංචි, ගිරා හාමිනේ, වඳුරු රාළ, ඉබි නයිදේ වගේ යාලුවෝ ගොඩක් ආවා. හැමෝම පුදුම වෙමින් රසම රසට කැරට් කෑවා.
ඉතින් සමහරවිට හා පැංචි තව තව කෑම ජාති යාලුවන්ට හඳුන්වා දෙන්න පුළුවනි.
බෙඩ් ටයිම් ස්ටෝරි එකට අමතරව පසුදා ඔබේ පුංචි කතා අසන්නාට දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක්ම මේ කතාවේ තිබෙනවා .චිත්‍ර ,කතාවට නමක් පමණක් නෙවේ හා පැංචි ගේ කෑම වට්ටෝරුව ඇසුරෙන් කෑම හදන්නත් අවස්තාවක් පුංචි පැටියාට දෙන්න .අමතක කරන්න එපා හැම රැයකටම කතාවක්, හැම රැයක්ම සොඳුරු රැයක්!
– චම්මි –