ඉසිනි කේක් කැබැල්ලක් ගෙන මිදුලේ කොනකටම ඇවිද ගියාය. උපන්දින සාදයට පැමිණ වුන් අයවලුන්ගේ මෝටර් රථ කිහිපය අතරින් ඕ ඇවිද ගියේ ඉතා ඉක්මනිනි. ඒ කිසිවෙකු තමා පසුපස හඹා එනවායැයි යන දැනීම සමඟින් ය. මිදුලේ කොනේම නැවතුනු ඕ තත්පර කිහිපයකට පසු වහා ආපසු හැරුණාය. සුදු පැහැ තීන්ත පිරියම් කල දෙමහල් නිවසත්, මිදුලේ නවතා තිබූ වාහනත් හැරෙන්නට සජීවි යමක් වූයේ නැත. ඕ සැනසුම් සුසුමක් හෙලන්නට උත්සාහ කලාය. එහෙත් හුස්ම මඟක හිර වූයේ වියළි රිදවීමක් එක්කය.
බලාපොරොත්තු නොවූ ගින්නක් එක්වරම හිස මත ඇවිලෙන බව ඇයට දැනේ. කොළඹ අත් හැර අම්පාරට පැමිණියේ අතීත වසර කිහිපයක මතක වල ලා දමා ජීවිතයට නැවුම් හුස්මක් අල්ලා ගන්නටය. එහෙත් සිදුවූයේ අතීතය බූමරංගයක්ව පැමිණ ඉන් ගෙන ආ ගින්නකින් පුපුරක් තම හිසමත ඔහේ අත් හැරීමය. ඒ ගිණි පුපුර දැන් මහා ගින්නක්ව තමා දවාලන බවට සැක නැත. තත්පරයක්, විනාඩියක්, පැයක්, දිනයක්, සතියක්, මාසයක් පාසාම මේ ගින්න තමා දවාලන බවට සැක නැතැයි ඉසිනි නියතකොටම සිතුවාය. සැලසුම් කර සිතුවාම නොවේ, ඇයට ඉබේම එලෙසින් සිතුණි.
ඉසිනි කේක් කැබැල්ල පතොක් පඳුරක් අස්සට විසි කර දැම්මාය. එය පතොක් කඳක වැදී බිමට වැටුණි. තම ජීවිතයද ඔහේ විසික්ව ගොස්, යමක වැදී බිම වැටී ඇති බව ඇයට දැනෙයි.
” මැඩම් … ඇතුළට එන්න …මැඩම්ට කම්මැලි ඇති අනේ……..”
පැහැසරාගේ හඬ ඇසෙද්දී ඉසිනි ඉතා ඉක්මනින් මුහුණ වෙනස් කරගෙන ආපසු හැරුණාය. පැමිණ විනාඩි දහක්වත් නැත. එනිසාම සාදයට සමුදී යන්නට තරම් කාලයක්ද ගෙවී නැත. දියණිය සමඟ කතා කරන්නට හෝ සමුදෙන්නටද ඉඩක් වූයේ නැත. නොකියාම ගියහොත් දියණිය අමනාප වීම අනිවාර්‍ය්‍යය. තවත් පැය භාගයක්වත් මෙහි රැඳී සිටින්නට සිදුවන බව ඉසිනි වටහා ගත්තාය. ව්‍යාජ , වියළි සිනහවක් පෑවාය. පසුව ඕ පැහැසරා සමඟින් හැරුණාය.
ඉසිනිගේ නිවාඩු දිනය ඇය සාමාන්‍යෙන් නවාතැනෙන් එලියට නොබැසම ගෙවන දිනයකි. එහෙත් අද නොවැලැක්විය හැකි ආරාධනාවක් ඕ සතු විය. ඇය පැමිණියේ ඇගේ කාර්‍යාලයේ කෘෂිකර්ම නිළධාරිනියක වූ පැහැසරාගේ දියණිය වූ නුරාධ්‍යාගේ පස් වැනි උපන්දිනයටය. පාසැල් නිමවීමෙන් පසු කාර්‍යාලයටද එන්නට හුරුව උන් නිසා කුඩා දියණිය ඉසිනිව හොඳින් ඇඳින උන්නාය. කොහොමටත් ජීවිතයේ හිස් තැනක් ලෙසින් කුඩාකෙලි පැංචෙකු උන් නිසා ඉසිනිද ඇයට බැඳුණාය. දෙදෙනා තුළින්ම වූ බැඳීම නිසා එහි යම් තද ඇලීමක්ද දැනුණි.
මාසයක් ගත වන විට ඉසිනිගේ වැටුපෙන් කුඩා නුරාධ්‍යා වෙනුවෙන් නේක විධ දෑ වෙන් විණි. ඉසිනි උන් තත්වය දැන උන් නිසාම පැහැසරාද ඇගේ සෙනෙහස අවබෝධයෙන් දරාගත්තාය.
” වෙනවාට කියනවා නෙවෙයි සරා … දෝණි ඕනිවට වඩා ඒඩී මිස්ට ඇලෙන එකට මම කැමති නෑ .. ඒඩී මිස් වුනත් සමහර වෙලාවට දෝණිව ටූ මච් කන්සර්නින් ….”
ඉසිනි හමුවූ දිනෙක නුරාධ්‍යා ඇගේ උපන්දින උත්සවයට ඉසිනිටද ආරාධනා කර ඇති බව දැනගත් දිනයේ රැයේ ධනුක පැහැසරාට කීවේ එනිසාය. එහෙත් පැහැසරා උන්නේ ඉසිනිගේ අහිමි මවුවත් කම ගැන දුක් වෙමිනි.
” එහෙම හිතන්න එපා ධනුක … ඒඩී මිස් ඩිවෝස් වෙලාම තියෙන්නේ බබාලා නැති ප්‍රශ්නේ එක්ක ..ඉතින්, එයා දෝණිට ආදරේ කරලා හිත හදාගන්නවා ඇති .. අපිටත් පිනක් ඒක.. දෝණිට වුනත් …”
” ඔයා මේක බලන්නේ පපුවෙන් අසිනි … මම මේ කියන්නේ ඔලුවෙන් බලලා … දෝණි ඒඩී මිස් එක්ක ඕනේවට වඩා බැඳෙනවාට මම කැමති නෑ …”
ධනුක එලෙසින් කීවා වුවද, පැහැසරා ඒ පිළිබඳව වැඩිපුර සිතුවේ නැත. ඒ වෙනුවට ඉසිනි සහ දියණිය අතරට බාධාවක් නොවී, අවධානයෙන් සිටින්නට සිතා ගත්තාය.
ඉසිනි පැහැසරා පිටුපසින් නිවෙසට ඇතුළු වූයේය. නිවස සකසා ඇත්තේ තමාගේ සහ නුරාන්ගේ සැලසුම් ලෙසින්ම බව යළි පෙනෙද්දී ඇගේ හද ගැස්ම වේගවත් වූයේය. නිවස තුළට ඇතුලු වෙද්දීම ඇති විශාල බිත්තියේ ඇත්තේ තුන්පත් රෑනක පින්තූරයකි.
” අපි දෙන්නා එක බබයි හදන්නේ තාරා .. හරිද ?… මගේ ලොකු බබා ඔයා, පොඩි බබා එයා… ඔයාගෙත් ලොකු බබා මම .. පොඩි බබා එයා .. හරිනේ ?. අපි තුන්දෙනාගේ ෆොටෝ එකක් ලොකුවට ගහමු බිත්තියේ එක්කෝ අපේ පින්තුරයක් එපා.. අපි ගහමු තුන්පත් රෑනක් … “
නුරාන් නාට්‍යානුසාරයෙන් පැවසූ අයුරු ඉසිනිගේ ඇස් ඉදිරියේ මැවී බොඳවී ගියේය. මේ වසර අටකටත් ඈත අතීතයය. ඒ කිසිවක් අමතක නොවී පවතින්නේ කෙලෙසදැයි කල්පනා කරන්නට ඉසිනිට අවැසි විය. අරුනෝද් සමඟ ගෙවූ වසර පහකට පසුවත්, සෙල් ලිපියක ලියැවුණු යමක් ලෙසින් මේවා මතක් වන්නේ කෙලෙසද ?
ඉසිනි අසුනක හිඳගත්තාය. පැහැසරාගේ සහ ධනුකගේ සමීප හිතවතුන් පමණක් පැමිණ සිටින නුරාධ්‍යාගේ උපන්දින සාදයට තමා නොගැලපෙන බව දැන් ඉසිනිට වැටහෙන්නේය. පැහැසරා හැරුණු කොට කිසිවෙක් තමා දෙස බලන්නේවත් නැත. නුරාධ්‍යා ඉන්නේද ඇගේ වයසේ දරුවන් සමඟ සෙල්ලම් සිහියේය.
උඩුමහලට ගොඩ වන පඩිපෙල අසල පසෙකින් සකසා තිබූ පොත් රාක්ක කිහිපය දෙස තත්පර කිහිපයක් බලා උන් ඉසිනි දෑස් ඉවතක අලවාගත්තේ අසීරුවෙනි.
” බිත්තියටම අල්ල්ලා පොත් රාක්ක ටිකක් හදන්න ඕනි නුරාන් … ග්ලාස් දාලා .. එතකොට ඉඩත් පිරිමැහෙනවා… නීට් …”
තමාගේම හඬ සිත තුළින් ඇසෙද්දී ඉසිනි අවධානය වෙනස් කරගන්නට හැකි යමක් සෙව්වාය. ඒ වෙනුවට, නුරාන් තමා දැකීමෙන් පසු කොහේකට අතුරුදහන් වූයේදැයි යන සිතුවිල්ල ක්ෂණයෙන් සිතට නැඟුණේය. ඔහු තමා දෙස බලා උන්නේ යක්ෂණියක දුටුවාක් ලෙසින් බිරාන්තව ගොස් බව ඉසිනි සිහි කලාය.
” ඇයි මටම මෙහෙම ?…”
ඕ තමාගෙන්ම විමසා ගත්තේ නිවස තුල සතුටු සාමිචියේ යෙදෙන මිනිසුන්ගේ සිනහවන් බලෙන් තමා වෙත අලවා ගන්නට උත්සාහ කරමිනි.
පැහැසරා යළි විත් ඉසිනි සමඟ මද වේලාවක් කතා කරමින් උන්නාය. ඉසිනි සිටින්නේ යම් කලබලයක බව ඇයටද වැටහී තිබුණි.
” දෝණි කට්ටිය එක්ක සෙල්ලමට වැටිලා ඒඩී මිස් … මං කතා කරගෙන එන්නම් ..”
” නෑ නෑ පැහැසරා මිස් .. එහෙම ඕනි නැහැ….”
” ඒඩී මිස් ඩිනර් ඉඳලාම යනවා නේද ?…”
” අනේ නෑ පැහැසරා මිස් .. මම තව ටිකකින් යන්නම් .. මට රෑ වෙලා ඩ්‍රයිව් කරන්නත් එහෙමට හුරු නැහැ …”
ඉසිනි ලද අවසරයෙන් එලෙස පැවසුවාය. පැහැසරා එය ඉක්මවා යන්නට කිසිත් කීවේ නැත. තේ පැන් සංග්‍රහය වෙනුවෙන් ඉසිනි සහභාගී වූවාය.
” ධනුක .. මල්ලී කොහේ ගිහින්ද බලන්නකෝ .. ෆෝන් එක ආන්සර් කරන්නේත් නෑ .. ටව්න් එකට ගිහින් එන්න කියලා මම පණිවිඩයක් කිව්වා .. ඒකෙ වගක්වත් නෑනේ …”
එලෙසින් ඇසෙද්දි ඉසිනි යමක් ගලපා, වටහා ගත්තාය. නුරාන් පැහැසරාගේ හෝ ධනුකගේ සොයුරාය. නැත, පැහැසරාගේ සොයුරා නොවේ. නුරාන් ධනුකගේ සොයුරාය. නුරාන්ට උන්නේ වැඩිමහල් සහෝදරයෙකි. ඔහු කෘ ෂිකර්ම විද්‍යාලයක ඩිප්ලෝමාධාරියෙක් බව නුරාන් පැවසු බව ඉසිනි සිහි කලාය.
” ඩිප්ලෝමා ඩිග්‍රී කියලා බෙදෙන්න දෙයක් නෑ ..ඔක්කොමලා ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ යහපතට වෙහෙසෙනවා නම් .. අවුල අපේ අය වැඩ පටන් ගන්නේම බෙදිලා නේ …”
කෘෂිකර්ම උපාධි සහ කෘෂිකර්ම ඩිප්ලෝමා පිළිබඳව නුරාන් සහ තමා අතරේ වූ වාදයකදී නුරාන් එලෙසින් පැවසූ උජාරුව ඉසිනිට ළඟ ළඟ මෙන් ඇසුණේය.
දෛවය තමා සමඟ මෙතරම් කුරිරු ලෙසින් සෙල්ලම් කරන්නේ ඇයිදැයි ඉසිනිට වැටහෙන්නේ නැත. ඕ පිරිසේ දැන උන් තිදෙනාට සමුදී වහා පිටත් වූවාය. ඇගේ හිස මත ඇවිලුණු ගින්නෙන් ශේෂවූ අඟුරු කැබලි හදවත තුළ දැවෙමින් රිදුම් තනන්නේ, එක්වරම තමා දැකීමෙන් කලබලව අතුරුදන් වූ නුරාන්ව යළි දකින්නට නොපැමිණි නිසාවෙන්දැයි ඉසිනිට නිශ්චිත අදහසක් වූයේ නැත. එහෙත්, නුරාන්ව යළි දකින්නට ලැබීම මිසෙක දකින්නට නොලැබීම තම හදවතට වේදනාවක් තනඅන්නේ කෙලෙසදැයි ඉසිනි යළි තර්ක කලාය.
වෙනදා හුරු පුරුදු මාර්ගයේ වුවද, ඉසිනි වාහනය ගෙන ගියේ ඉතා අඩු වේගයකිනි. ඒ අතරමඟ ඕ කල්පනා කලේ තමාගේ තීරණ තුළ තම ජීවිතය ඒ මේ අත විසිව ගිය අයුරුය. අවසානයේ තමා සුළඟේ ගසාගෙන යන පරඬැලක් සේ නොවේදැයි ඉසිනි කල්පනා කලාය.
පාසැලේ, විශ්ව විද්‍යාලයේ උන් මිතුරියන් ඔවුන් වෙහෙසී තනා ගත් කුරුළු කූඩු වල ඉතා සුවපහසු ජීවිත ගෙවන බව දකිද්දී ඉසිනිට තමා පිළිබඳව ආත්ම අනුකම්පාවක් ඇතිවේ. ඔවුන්ගෙන් ඇතැමෙක් විවාහ වූයේ ඉදිකෙරූ නිවසක්වත් නැතිවය. නිවසක් තියා ඉඩමක්වත් නොතිබූ උන් බොහෝ වුහ. ඔවුන් ගේ සිත් තුල අනාගතය ගැන අවිනිශ්චිත හැඟීම් වූ බව ඉසිනි සමඟම ඔවුන් පවසා ඇති වාර අප්‍රමාණ බව ඇයට මතකය.
එහෙත් කාලයාගේ අවෑමෙන් ඒ බොහෝ දෙනා එක් වී ජීවිත ගොඩ නඟාගෙන ඇත. නිවෙස් ගොඩ නඟාගෙන ඇත. වාහන මිලයට ගෙන ඇත. දරු පැටවුන් සමඟ සැහැල්ලු කුටුම්භ සරසවාගෙන ඇත. අනාගතය ගැන ඔවුන් දකින සුභ සිහින වල ඉඟි මුහුණු පොතේ වරෙන් වර ඉසිනිට පෙන්වන්නේය.
තමා ඔවුන් මෙන් නොව, කිසිඳු අඩුපාඩුවක් නැතිවම අරුණෝද සමඟ විවාහ වූ තැනැත්තියකි. නිවෙස්, වාහන , මිල මුදල් අඩුපාඩුවක් වූයේ නැත. විවාහ වීමත් සමඟම රැකියාවද සහකාර අධ්‍යක්ෂකවරියක ලෙසින් ලැබුන නිසා අරුණෝදගේ පවුලේ අය කෙරෙන්ද තමාට පිළිගැනීමක් වූ බව ඉසිනිට මතකය. තෙමහල් නිවසද, තමාටම වෙන්වූ වාහනයද, වෛද්‍ය සැමියාද, විධායක ශ්‍රේණියේ රැකියාවද නිසා තමා උන්නේ මිතුරියන් අතරේ කැපී පෙනෙන නමක් සමඟ බවද ඇයට මතකය.
” උඹ ඉතින් ලක්කාරි .. මොනවාගෙන් අඩුවක්ද ?…”
විවාහයට පසුව මිතුරියන් බොහෝ දෙනා මන්ත්‍ර සේ ජප කලේ ඒ වැකියය. එහෙත් තමාට ඇස් වහ වැදුණාදැයි සිතෙන තරමට සියල්ල සියල්ල අවසන්ව ගොස් ඇත. අරුණෝද ඉල්ලූ දික් කසාදයට එකඟවූ දිනයේ රාත්‍රියේ තමා සිය දිවි නසාගන්නටද සිතූ බව ඉසිනි සිහිපත් කලේ නෙත් තෙත්ව යද්දීය. එහෙත් මිතුරියකගේ උපකාරයෙන් උපදේශන සේවාවකට යොමු වූවාට පසු සිත ශක්තිමත් කරගන්නට හැකි විය. අරුණෝදගෙන් දික්කසාද වී, උසාවියෙන් නික්ම බෙල්ලන්විල පන්සලට ගිය ගමන, ඉසිනි ජීවිතයේ ගිය අපහසුම ගමනය.
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |