Sherlock Holmes ටත් වඩා දක්ෂයෙක්

ශර්ලොක් හෝම්ස් කියන්නේ ලෝකේම ජනප්‍රියම සහ වැඩිපුරම කතා වෙන රහස් පරීක්ෂකයා. ඔහුගේ නම කියන ගමන්ම මතක් වෙන්නේ ඔහුගේ විශ්ලේෂණ හැකියාව, අපූරු තර්ක ශක්තිය, සහ කුඩාම විස්තරය පවා නොඅතහැරෙන නිරීක්ෂණ කුසලතාව.

හෝම්ස් කියන්නේ 1887දී සර් ආතර් කොනන් ඩොයිල් ලියපු A Study in Scarlet නවකතාවෙන් ලෝකයට හඳුන්වාදුන් චරිතයක්. ඔහු 221B Baker Street, London හි තම මිතුරා සහ සහකරු වන ඩොක්ටර් වොට්සන් එක්ක ජීවත් වෙලා විවිධ අපරාධ හා රහස් විසඳනවා. ශර්ලොක් හෝම්ස්ගේ විශේෂත්වය ඔහුගේ අතිශය නිරීක්ෂණ හැකියාව සහ තාර්කික සිතීම. ඔහු පොඩිම ක්ලූ එකක්වත් අතහැරන්නේ නැතිව විශ්ලේෂණය කරලා විසඳුම හොයාගන්නවා. හැම දේම ලොජික් අනුව සිතන ඔහු, ඇත්ත සහ බොරුව අතර වෙනස පහසුවෙන් හොයාගන්නවා. ඔහු විවිධ විද්‍යාත්මක පරීක්ෂණ, රසායන විද්‍යාත්මක ක්‍රියාවලි සහ ආයුධ පිළිබඳ පර්යේෂණයන් කරනවා. පීඩනයක් යටතේවත් හෝම්ස් සන්සුන්ව තීරණ ගන්නවා.

ශර්ලොක් හෝම්ස්ට ඉතා සුළු සලකුණු මත පදනම්ව විශාල නියමයන් පිළිබඳ අනාවරණය කිරීමට හැකියාවක් තිබුණා. පොඩිම අලු සලකූණක් දැක්කාම වත්, ඔහුට පුළුවන් ඒකෙන්ම පසුගිය සිදුවීම් හඳුනා ගන්න. අලු වල වර්ග පවා හොඳටම දන්නවා – කොහෙන්ද ආවද, මොන වර්ගයේ දැල්වීමක්ද, මොන තත්වයක්ද කියලා ඔහුට විනාඩියකින්ම තේරෙනවා.

දුම්වැටි ගැනත් එහෙමයි. කවුරුහරි දුම්වැටි දමා ගියත්, ඒකෙන්ම ඔහුට කියන්න පුළුවන් ඒ දුම්කොළ වර්ගය, ඒක පාවිච්චි කරපු මනුස්සයාගේ පුරුදු ගැන, කොහෙන් ආව කෙනෙක්ද වගේ ගොඩක් දේවල්.

අඩි සටහන් ගැනත් ඒ විදියටම. කෙනෙකුගේ අඩි සලකුණ ඔස්සේ හෝම්ස්ට පුළුවන් එයා ඇවිදලා ආපු මනුස්සයා උස, බර, වේගය ඔක්කොම හඳුනාගන්න.

එයාට අත්අකුරුත් ඉතාම පැහැදිලිව විශ්ලේෂණය කරන්න පුළුවන්. කවුරුහරි ලියපු ලිපියක් දැක්කාම, එයා කියනවා – “මේක ලියපු කෙනා ඉතාම කලබලයකින් ලියලා තියෙන්නෙ. හරියටම බලන්න, අකුරු අතර දුර වෙනස් වෙන විදිය!” මේ වගේ පොඩි-පොඩි දේවල්, කොටින්ම කිව්වොත් වෙන කෙනෙක්ගෙ ඇහැට පේන්නෙවත් නැති දේවල් පවා ශර්ලොක් හොඳටම නිරීක්ෂණය කරනවා.

හැබැයි අද මේ කතාව නම් අපි හැමෝම ආදරේ කරන හෝම්ස් ගැන නෙවෙයි. එයාටත් වඩා සුපිරි වැඩ්ඩෙක් වුණ වෙන කෙනෙක් ගැන.

Sherlock holmesගෙ කාලයෙම ජීවත් වුන, හෝම්ස්ටත් වඩා හොඳට ප්‍රශ්න විසඳුව හැබැයි කවුරුවත් වැඩිය දැනගෙන උන්නෙ නැති රහස් පරීක්ෂකයෙක් ගැන. හොඳටම ශුවර් මෙයා ගැන නම් ඔයාලා අහලා නෑ කියන එක.

ශර්ලොක් හෝම්ස් කියන්නෙ අලු ගැන, දුම්වැටි, අඩිසටහන් වගේ දේවල් ගොඩක් ගැන දන්න කෙනෙක් උනත් එයාටත් මග හැරුණ අපරාධ විද්‍යාවෙ වඩාත්ම වැදගත් දෙයක් තිබුණා. ඒ තමයි ඇඟිලි සලකුණු. එහෙම නැත්තම් Finger Prints. ශර්ලොක් හෝම්ස් කතා මාලාවේ ඇඟිලි සලකුණු මුල් කරගෙන ලිව්ව එකම එක කතාවක් විතරයි තියෙන්නෙ.ඒ 1903 පලවෙන The Adventure of Norwood Builder කියන කතාවෙ. ඒ කතාවෙත් ඇඟිලි සලකුණු ගැන කතාකරන්නෙ හරිම අඩු ප්‍රමාණයක්. සමහරවිට ඒකට හේතුව වෙන්න ඇත්තෙ ඒ කාලෙ ශර්ලොක් පරීක්ෂණ කරනකොට මේ ඇඟිලි සලකුණු විද්‍යාව දියුණු වෙලා තිබුනෙ නැති එක වෙන්න පුලුවන්.

හැබැයි ශර්ලොක් හෝම්ස් කලැලි බහින්න අවුරුදු එකොලහකට කලින් ආජන්ටිනා පොලිසියේ පොලිස් නිළධාරියෙක් ඇඟිලි සලකුණු භාවිතා කරලා ලෝකෙ පලවෙනි ඇඟිලි සලකුණු භාවිතා කරලා විසඳපු මිනීමැරුම් නඩුව විසඳනවා කියල මම කිව්වොත් ඔයාලා උනත් පොඩ්ඩක් පුදුමයට පත්වෙනවා ඇති.

ඉතින් ආන්න ඒ කතාව ගැන තමයි අපි අද ඔයාලා එක්ක බෙදාහදාගන්න යන්නෙ.

මේ පොලිස් නිලධාරියගෙ නම ජුවාන් වුසෙටිච්. ජුවාන් ඉපදෙන්න එවකට ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ කොටසක් වූ ඩල්මැටියා රාජධානියේ හ්වාර් හි වලදි. ඉන්පස්සෙ එයා 1884 දී ආර්ජන්ටිනාවට සංක්‍රමණය වෙනවා. ජුවාන් ෆ්‍රැන්සිස් ගැල්ටන්ගේ අදහස් මත base වෙලා පළමු ඇඟිලි සලකුණු ගොනු කිරීම ආරම්භ කරනවා වගේම මේ ඇඟිලි සලකුණු ඔස්සේ පරීක්ෂණ විසඳීම සෑහෙන දුරට දියුණු කරන්න කටයුතු කරනවා. ජුවාන් බුවනෝස් අයර්ස් හි ඩැක්ටිලොස්කොපි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා බවට පත්වෙන්නෙ ඒ දක්ශතා සහ රහස් පරීක්ෂණ අංශය වෙනුවෙන් කරපු කැපකිරීම් මත පදනම් වෙලා

  ඒ කාලයේදී, එයා ඇඟිලි සලකුණු ගොනු සමඟ බර්ටිලන් පද්ධතිය පටන් ගන්නවා. අපරාධකරුවෙකු පිළිබඳ පළමු ධනාත්මක හඳුනාගැනීම 1892 දී සිදු කරන්න මුල් වෙන ජුවාන්ට ඒ සඳහා උපකාර වන case එක වෙන්නෙ ෆ්‍රැන්සිස්කා රොජාස් එයාගෙම දරුවන් දෙදෙනා මරා දාලා පස්සෙ ඒකෙ වරද වෙන මිනිහෙක් පිට පටවන්න හිතාගෙන තමන්ගෙම උගුර කපාගත්තයින් පස්සෙ.ආර්ජන්ටිනාවේ පොලිසිය වූසෙටිච්ගේ ඇඟිලි සලකුණු වර්ගීකර ක්‍රමය අනුගමනය කලා වගේම ඒක ලොව පුරා පොලිස් බලකායන් වෙත යවන්න කටයුතු කරනවා.

ජුවාන්ට මේ ඇඟිළි සලකුණූ යොදාගෙන විසඳපු ලෝකෙ පලවෙනි මිනීමැරුව විසඳන්න ලැබෙන්නෙ මෙන්න මේ විදියට.

නොකොචියා කියන්නෙ ආජන්ටිනාවෙ තියෙන පොඩි ගමක්. මේ නොකොචියා කියන ගමේ 1892 ජූනි මාසයේදී වෙච්ච අපරාධයක් ආජන්ටිනාවේ අපරාධ පරීක්ෂණ ඉතිහාසය අලුත්ම පාරකට අරගෙන යන්න හේතුවෙනවා. ෆ්‍රැන්සිස්කා රොජාස්කියන අම්මා එයාගේ දරුවන් දෙදෙනා සමඟ ගෙදර ඉද්දි හදිසියෙම ප්‍රහාරයකට ලක්වෙලා එයාගෙ දරුවන් දෙදෙනා මිය යනවා වගේම ෆ්‍රැන්සිස්කාට මරණාසන්න තුවාල වෙනවා. මේ අපරාධය සම්බන්ධයෙන් මුලදී සැකය පෙඩ්‍රෝ රාමන් වෙලාස්කේස් කියන මනුස්සයෙක් වෙත යොමුවෙනවා උනත් ඒ මනුස්සයා දිගින් දිගටම කියනවා තමන් එහෙම දෙයක් කලේ නෑ කියන එක.

පොලිසිය මේ මරණ සිදුවුන ගෙදර පරීක්ෂන කරද්දි පොලිසියට දකින්න ලැබෙනවා රොජාස්ගෙ ගෙදර දොරක ලේ ගෑවිච්ච ඇඟිලි සලකුණක්. මේ ගැන වැඩිදුර පරීක්ශන කරන්න නම් ආජන්ටිනා පොල්සීයෙ එතකොට වැඩ කරපු ජුවාන් වුසෙටිච් කියන නිළධාරියාව මේකට යොදවන්නෙ. ජුවාන් ඒ වෙද්දි ඉඳියෙ ඇඟිලි සලකුණු හඳුනාගැනීමේ නව ක්‍රමවේදයක් සොයාගැනීමට කටයුතු කරන ගමන් නිසා මෙම සාක්ෂිය පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලට අරගන්න ඒක එයාට හේතුවක් උනා. ඒ පරික්ෂන වල ප්‍රතිපල අනුව මේ දොරේ තියෙන සලකුණ මැරිච්ච දරුවන්ගෙවත්, වෙන එලියෙන් ආව අපරාධකාරයෙක්ගෙවත් නෙවෙයි මේ දරුවන්ගෙ අම්මාගෙමයි කියන එක හොයාගන්න ජුවාන්ට පුලුවන් වෙනවා.

ඒ කරුණ ගැන කිව්ව ගමන් ෆ්‍රැන්සිස්කා අපරාධය කර බව පිළිගත්තා. එයාගෙ කතාව අනුව සැමියෙක් නැතුව හිටපු එයාව පිළිගන්න, භාරගන්න කැමති පෙම්වතෙක්ව එයාට හම්බෙලා තිබුනා. හැබැයි ඒ මනුස්සයා එයාව දරුවො එක්ක පිළිගන්න කැමතිවෙලා තිබුනෙ නෑ. ඒ ප්‍රශ්නෙ විසඳගන්න තමන් විසින්ම මේ මිනීමැරුම කල බව ෆ්‍රැන්සිස්කා පොලිසියට පාපොච්චාරණය කරනවා.

මේ case එක තමයි ඇඟිලි සලකුණු මුල් කරගෙන විසඳපු ලෝකෙ පලවෙනි මිනිමැරුම් නඩුව විදියට සලකන්නෙ. ඒ සිදුවීමෙන් පස්සෙ මුලු ලෝකෙම අපරාධ විමර්ශන අංශ වල මේ ඇඟිළී සලකුණු විද්‍යාව ලොකුවටම විශ්වාස කරන්න පටන් ගන්නවා. ජුවාන් එය තවදුරටත් සංවර්ධනය කර, එහි වැදගත්කම ලෝකයට පැහැදිලි කරන්න මුල් වෙනවා. ජුවාන් ජාත්‍යන්තර සංචාරයක නිරත වී, ඇඟිලි සලකුණු ක්‍රමය ගැන දැනුවත් කිරීම සිදුකරන්න කටයුතු කරා වගේම, එය ලන්ඩනයේ ස්කොට්ලන්ඩ්යාඩ් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඉන්දියාවද වහාම අනුගමනය කරන්න පටන් ගන්නවා.

අද වෙද්දි, ඇඟිලි සලකුණු පද්ධතිය අපරාධ පරීක්ෂණ ක්ෂේමභූමය තුල ඉතාම වැදගත් දෙයක් බවට පත්වෙලා තියෙනවා වගේම ඒකෙ සම්පූර්ණ credit එකම වගේ යන්න ඕන මෙන්න මේ ශර්ලොක් හෝම්ස්ටත් වඩා වැඩ්ඩෙක් විදියට හඳුන්වන්න පුලුවන් ජුවාන් වුසෙටිච් ට.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles