අරුණෝද හා වූ මතකයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය බව සිතා කොළඹට ස්ථාන මාරුවක් බලාපොරොත්තුවෙන් උන් නිළධාරිනියක හා සුහද මාරුවකට එකඟ වී අම්පාරට පැමිණියේ, අම්පාරේ කාෂ්ඨක බවට යටත්ව සිත හදාගන්නටය. එහෙත්, පැමිණි දිනයේ සිට සති දෙකක් ඉක්මවන තෙක්ම මහා වැසි විය. කුඹුරු ඉඩම් යට වන තරමේ වැසි විය. සිතට පාලුව සහ තනිකමම දනවන තරමේ සීතලක් විය.
අවසානයේ තනිකම ට හුරු වෙන්නට ඉසිනි සිත හුරු කලාය. සීතල රැයකට ඝණ බ්ලැන්කට්ටුවක් ඔතා ගත්තාය. තමා වටා තද බැම්මක් බැඳගත්තාය.
අද නුරාන්ගේ හමුවීම සමඟ ඉසිනිට දැනෙන්නේ තමා වට වූ බැමි කුඩුපට්ටම්ව ගිය බවය. තමා අතිශය අඳුරු කලු කුහරයක් තුලය වට බවය.
ඉසිනි නවාතැන තුලට විත් යහනට වැටුණාය. නුරාන් මන්දිනු සමරකෝන්, ඔහු ජීවිතයට වට සෞම්‍යම වැස්සක් විය. ඉසිනිට නුරාන් මුණ ගැසුණේ සරසවි ජීවිතය අත් හැරීමට හිත පෙළඹෙමින් තිබියදීය. ඒ පළමු සමාසිකයේ අවසාන දවස් ය. නිවසින් බැහැරව බෝඩිමක ගෙවන්නට සිදුවූ ඒ ජීවිතය ඉසිනිට පහසු වූයේ නැත. සියල්ලටම වඩා බෝඩිමේ උන් අනෙක් සගයන්ගේ ක්‍රියා කලාපයන් ඇයව සුවපහසුවක තැබුවේම නැත. දිනක් දේශන අවසන්ව තනිව බෝඩිම කරා යමින් සිටියදී ඇඳ හැලුණු මහ වැස්ස නිසා ඉසිනි අසල තිබූ බස් නැවතුම්පලට ගොඩ වී බෑගයෙන් කුඩය සෙව්වාය. එහෙත් ඕ කුඩය බෝඩිමේ අමතක කර දමා විත් තිබුණි. ඇමතුමක් දී ගෙන්වාගන්නටද කෙනෙකු එහි නැති වග සිහිවෙද්දී ඉසිනිට හැඬෙන්නට ආවාය. එහෙත්, ඕ සිහියට එළඹෙමින් වැසි අඩු වන තෙක් බස් නැවතුම්පලේ සිටින්නට සිතුවාය.
” මොකෝ …කුඩේ නෑ ?”
එක්වරම ඇසුණු නුහුරු හඬකින් ඉසිනි හිස හරවා බැලුවාය. නිල් පැහැ කොටු කමිසයක් සහ අවුල්ව ගිය කැරලි කොණ්ඩයක් සහිත දැක පුරුදු තරුණයෙකු ඕ අසලින්ම විය.බස් නැවතුමේ සිටි තවත් බොහෝ දෙනා අභිභවා ඒ තරුණයාගේ ඇස් දිලිසෙමින් තිබුණු බව ඉසිනිට දැනුණි.
” ඕ .. අමතක වෙලා…”
මේ තම කණ්ඩායමේ ම, කෘෂි ව්‍යාපාර කලමණාකාරනය පාඨමාලාවේ අයෙකු බව සැනින් සිහියට ගනිමින් ඉසිනි කීවාය.
” දහනායක බෝඩිමේ නේ ඉන්නේ ?”
“ඔව්… කොහොමද දන්නේ ?”
ඉසිනි හිත සීතලෙන් හිරි වැටී යද්දී විමසුවාය.
” ලස්සන ගෑණු ළමයි යන එන දිහාව ගැන ඔක්කොමලා බලාගෙන ඉන්නේ ඉතින් …”
ඔහු කිසිඳු පැකිලීමක් නැතිව කියා දමද්දී ඉසිනි පසෙකට සිනාසුණාය.දෙදෙනා මද වේලාවක් කතා බහ කරමින් උන් හ. එහෙත් වැසි නිම වූයේ නැත.
” ඔයාගේ නම මොකද්ද අනේ ?”
ඉසිනි ඒ මැදදි විමසුවාය.
” නම නුරාන් .. කාර්ඩ් එක ගැබ්‍රෝ…”
ඔහු පැකිලීමක් නැතිවම කීවේය.
” මං ඉසිනි. … කාර්ඩ් එක කොමලි…”
එදින නුරාන්ගේ මුවෙහි වට මන්දස්මිතය තවමත් තමාට අමතක නැති බව ඉසිනි සිහිපත් කලාය. නුරාන් අතැර තමා අරුණෝද හා සමඟි ජීවත් වූවාට, සැබැවින්ම නුරාන් තම අභ්‍යන්තරයෙහි ඇලවී සිට ඇති බව දැන් පිලිගන්නා වෙනවා නොවේද ?
ඉසිනි කෝපි කෝප්පයක් සකසා ගෙන එය හෙමින් තොල ගෑවාය. අරුණෝද හා ජීවිතය පීඩාකාරී වෙද්දී තමා නුරාන් පිළිබඳව සොයා බලන්නට උත්සුක වූ අයුරු ඕ සිහි කලාය.
” අනේ කොමළී මේ.. උඹ දැන් මොකටද ඌ ගැන හොයන්නේ ? උඹ ඒ කොල්ලාව අතෑරලා දොස්තරයෙක් බැන්දේ ඌ එපා නිසානේ.. දැන් ඌට පාඩුවේ ඉන්න දීහං…”
හොඳම මිතුරිය දෙතුන් වතාවම ඇයට දුන්නේ ඒ පිළිතුරය.
” ඈ බං… උඹ දැන් මොන එකකටද ගැබා ගැන හොයන්නෙ ? අනේ මචං මේ.. උඹ හින්දා බං ඌ නොසෑහෙන්න පිස්සු නැටුවා…. දැන් ඌට උගේ පාඩුවේ ඉන්න දීපං මචං…”
නුරාන්ගේ හොඳම මිතුරාද එලෙසින් පැවසූ බව ඉසිනිට මතකය. ඉන් එපිටට අන් කිසිවෙකුගෙන් හෝ නුරාන් පිළිබඳව විමසන්නට තරම් සිත සවියක් නොවූ බවද ඇය සිහිපත් කලාය.
” ජීවිතේ මට මේ සලකන්නේ කොයි විදියෙන්ද කියලා මට තේරෙන්නේ නෑ… නුරාන් ගැන මම කොච්චරක් හිතුවත්, මට ආයේ නුරාන්ව මුණ ගැහෙන්නේම නෑ කියල අඟවන්නයි දේවල් සිද්ද වුනේ…. ජීවිතේ ආයෙම කිසිම බැඳීමක් එපා කියලා හිතාගෙන ජීවත් වෙන්න ගත්තා විතරයි, ආයෙම නුරාන් මගේ ඉස්සරහ …. මං මෙච්චරකල් ජීවත් වෙලා තියෙන්නේ නුරාන්ව මගේ හිතේ හංගගෙන කියලා මට දැන් තේරෙනවා … අරුණෝද එක්ක ජීවිතේ කොච්චරක් අපහසු වුනත්, ආයේ ආයෙම ජීවත් වෙන්න මට බලාපොරොත්තු හදලා දෙන්න ඇත්තේ මගේ ඇතුළේ උන්න ඒ නුරාන්…”
ඉසිනි කෝපි කෝප්පය කණ්ණාඩි මේසය මත තබා කණ්ණාඩිය දෙස බැලුවාය.
ඇගේ අභ්‍යන්තරයෙන් නැඟෙන්ව් සමච්චල් සහහත හඬට ඇහුම්කන් දුන්නාය.
” අනේ අනේ මැඩම් ඉසිනි … හරිම අපූරුවට සාධාරිණීකරනය කරගෙන තියෙන්නේ ඔය…. අම්මලා කොච්චරක් කිව්වත්, ඩොක්ටර් අරුණෝද වෙනුවට නුරාන් මන්දිනුව තෝරගන්න ඔයාට ඕනි හැටියේ ඉඩ තිබුණා. ඒත් ඔයා එහෙම කලේ නැහැ ඉසිනි …. ඔයා හරි ලේසියෙන් නුරාන්ට කිව්වා, ඔයාට ඒ සම්බන්ධේ නවත්තන්න ඕනි කියලා… අවුරුදු දෙකක් යනඔට, අරුණෝදගේ ප්‍රපෝසල් එකට එකඟ වෙලා, ඔයා අරුණෝද එක්ක සෙට්ල් වුනා මැඩම් ඉසිනි … ඔයා අරුණෝද එක්ක සෙට්ල් වුණා…. නුරාන්ව හිතක් පපුවක් නැති ගානට අතෑරියා ඔයා …. ඉන් එහාට මොකක්ද ඔයා තව මේ කරන්නේ ඉසිනි …. මොකක්ද කරන්නේ ? කරුණාකරලා, ඒ කොල්ලාගෙන් ඈතට වෙලා ඉන්න ඉසිනි … ඔයා ආයෙම ඒ කොල්ලාගේ ජීවිතේ අහලකින්වත් යන්න ගැලපෙන ගෑණියෙක් නොවෙන බව තේරුම් ගන්න…”
ඉසිනි වහා කණ්ණාඩියෙන් ඉවත බැලුවාය. තමා ගැනම දැනෙන අනුකම්පාව දරාගන්නට නොහැකි නිසාවෙන්ම අසුනක ට වැටී ගත අඩපණව යන්නට හැරියාය.
තමා තුළින්ම නැඟෙන ඒ හඬ අභිබවා යන්නට නොහැකි තරම් තමා දුර්වලව ඇති බව ඉසිනිට දැනෙයි. සමාජය තුළින්ද මෙවන්ම චෝදනා නැඟෙනවාට සැක නැත.
විසල් ප්‍රේමයක් වරක් අත් හැරි පසු, ජීවිතය යළි අවස්ථා දෙන්නේ නැති බව ඉසිනි සපථ කර ගත්තාය.
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |