සුදු පැහැස ස්ලැක් කලිසමකට සුදු පැහැ දිගු ටොප් එකක් හැඳගත් ඉසිනි, කොණ්ඩය ගෙතුවාය.
” කොමලී .. ඔන්න ඔහොම කොණ්ඩේ ගොතනවා හලෝ.. හෙනම හැඩයි…”
ප්‍රේම සම්බන්ධයක් ඇරඹීමට පෙර කාලයේ නුරාන් එලෙස පැවසූ ස්වරයක් හිටි හැටියේම මතුව ඇයව ඒ හැසිරීමට ඇද දැමුවා මිසෙක, අසිනි කොණ්ඩය ගොතා දමා නිවෙසිn එළියට ගිය කාලයක් ඇයට මතකවත් නැත. අරුණෝදට ඇගේ දිගු කොණ්ඩය පිළිබඳව වූයෙ නොපහන් හැඟීමකි.
” අනේ එක්කෝ ඔය කොණ්ඩේ කොටට කපා ගන්නවකෝ ඉසිනි.. ගමනක් යන්න ලෑස්ති වුනාට පස්සේත් ආයේ පැයක් විතර යනවාමේ ඔයාට කොණ්ඩේට සත්කාර කරගන්න…”
අරුණෝද එහෙම කිව්වේ පුරුද්දට මෙන් කට පාඩමින් ය.
ඉසිනි සුසුමක් හෙලුවාය. සෝමා සූදානම් වී පැමිණ ඇති හඬ ඒ සමඟම ඇසුණි.
” අම්මේ.. අපේ නෝනේගේ පින් පාට…”
සෝමා එලෙසින් පවසද්දී ඉසිනි අසීරුවෙන් සිනාසුනාය.
” හිත නිදහසෙන් පූජාවට සහභාගී වෙලා මේ දුක් කරදර ඔක්කොම සුන්නද් ධුලි වෙලාම යන්න කියලා තමුන්ම තමන්ටම ආශිර්වාද කරගන්න නෝනේ… තමන්ගේ ආශිර්වාදේ තමයි තමන්ට හොඳටම යාදෙන්නේ…. “
සෝමා එලෙසින් කීවේ මෝටර් රිය තුලදීය. තම සිත තුළ ඇත්තේ කිනම් අදහසක්දැයි දන්නා නිසා ඉසිනි එයට පිළිතුරු දෙන්නට ගියේ නැත. පූජාවකට සම්බන්ධ වීමක් තුන් හිතකවත් නැත. ඊයේ මඟැර ආවාට අවැසි අද යළිත් නුරාන් දැකගන්නටය.
” ආ නැන්දේ ..?”
” නෝනේ…?”
” නැන්දාගේ දුව කොහේද වැඩ කරන්නේ ? මොනවාද කරන්නේ එහේ ?”
“මන්දිනු මහත්තයාගේ ඔපිස් එකේ නෝනේ..”
“ඒ ඔෆිස් එකේ මොනවාද කරන්නේ ඉතින් ?”
“හත්තිලව්වේ.. නෝනේ ඒ විස්තර් හරියට දන්නේ නැහැ නේන්නම් ….”
ඉසිනි කිසිවක් නොපවසා වාහනය ගෙන ගියාය.
” ඉමන්දි කියලා හතු හදන පැක්ටේරියක් තියෙනවා මන්දිනු මහත්තයාට…. දැන් අවුරුදු හතරකකට කිට්ටුයි ඒ පැක්ටේරිය දාලා… ඔක්කොම මෙහෙ ගෑණු පිරිමි තමයි ඒකේ වැඩ…. ඒ පැක්ටේරියේ හතුත් හදනවා, හතු වලින් කෑමත් හදනවා…. එව්වා ඔක්කොම රට යවන්නේ… අපේ කෙලී ඉන්නේ නෝනේ ඒ රට යවන ජාති බලන ඔපිස් එකේ… ඉංග්‍රීසි එහෙම හොඳට පුලුවන් නිසා මන්දිනු මහත්තයා කෙල්ලව තෝරගත්තේ… තව දහ දෙනෙක් වැඩ කෙලී එක්ක.. ඒ හැමෝටම මන්දිනු මහත්තයා ඉගෙනගන්නත් මාර්ග හදලා තියෙන්නේ.. අපේ කෙලීත් ඔය ඔන්ලයින් එකෙන් මොකක්දෝ එකක් කරනවා…. මේ ගමටම අලුත්ම එලියල් ගෙනාවේ මන්දිනු මහත්තයා…. මුලු ගමම දැන් එක මිටට වැඩ …. ඒ පිනම ඇති ඒ රන් කඳට විඳින දුක් අඩු වෙන්න….”
සෝමාගේ වචනයක් ගානේ නුරාන් ගැන වන දයාව සහ සෙනෙහස අසා උන් ඉසිනි සෝමාගේ අවසන් වචන කිහිපයෙන් තිගැස්සුණාය. ඇය එක්වරම තිරිංගද පෑගුවාය. සෝමාද ඇය දෙස බැලුවේ කලබලයෙනි.
“නෝනේ…?”
“ලේ..ලේනෙක්ද කොහෙද පැන්නා..”
“ආහ්.. ඔය ලේන්නු ඕමමයි.. ඕං මෙහෙට යනවා
..දඩිං ගාලා ආයේ එහෙට හැරෙනවා…”
සෝමා කීවාය. ඉසිනි යළි මෝටර් රිය ධාවනය කලාය.
” ඇයි දුක් විඳින කතාවක් කිව්වේ නැන්දේ ..?”
ඉසිනි විනාඩි කිහිපයකට පසු වචන ගලපා ගත්තාය.
” නෝනේට කිව්වට මොකද නෝනේ… විස්ස විද්‍යාලේදී මන්දිනු මහත්තයා හරි ආදරෙන් ඉඳපු නෝනා කෙනෙක් ඉඳලා… නෝනා කෙනෙක් නෙවෙයි ඒක තේ උඩිච්චියක්… මන්දිනු මහත්තයාව වශී කොරෝලෝ කොරෝලා අන්තිමේ දොස්තර කෙනෙක් බැඳගෙන පැත්තකට වෙලා… මන්දිනු මහත්තයා කන්න බොන්නත් බැරුව සෑහෙන්න කල් දුක් විඳලා…. එහෙ මාතර විස්ස විද්‍යාල් යාළුවෝ තමයි මන්දිනු මහත්තයා ව ගොඩ දාලා තියෙන්නේ.. එතකල් අපේ මෙහෙ මහත්තයලෑ මුකුත්ම දන්නේ නෑ.. පස්සේ මෙහෙ ඇවිල්ලා තමා මේ විස්ස කර්ම වැඩ ඔක්කොම කලේ…ඒ කාලේ ඉඳන්ම යාලුවෝයි, මන්දිනු මහත්තයාගේ නෑනයි තමා ඉතින් මහත්තයා ගොඩ දාගන්න වෙහෙසුණේ… රත්තරන් කොල්ලා වුනාට, හිත හය්ය නෑ.. එහෙම නොවෙන්ම තමන්ව එපා කියලා දාලා ගියපු ගෑණි මත්තේ මෙච්චරකල් නැහේවිය… ඒ උඩිච්චි දැන් දන්නවා නම් මන්දිනු මහත්තයා ඉන්න හරිය, උඩින් ඇවිල්ලා එල්ලේවී කරේ…… තුණුරුවන් සරණයි ඉතින් ඒ රන් කඳට….”
සෝමා එක හුස්මට කියාගෙම ගොස් නැවතුණාය. යලි ඇරඹුවාය.
” කතරගම දෙයියොත් බට දලු කෑවලුනේ නෝනේ අපල කාලේ.. මන්දිනු මහත්තයේ ජීවිතෙන් අපලයක් තමා ගෙවෙන්න ඇත්තේ ඒ…..ඒ වගේ රත්තරන් මනුස්සයෙක්ට පිටුපාලා ගොහින් ඒ තේ උඩිච්චි යහතින් නම් ඉන්නවා වෙන්න බෑ.. ඔය විස්තරේ සහසුද්දෙන් දැනගත්තම මෙහෙ උන්ම කොච්චරක් සාප කරන්න ඇතිද ? ඒ විතරක් යැ අපේ කෙලී කිව්වේ කොළඹින් එහෙම එන මහත්තයාගේ යාලුවෝත් ඒ තේ උඩිච්චි එක්ක පුදුම කෝපෙකින් ලූ ඉන්නේ… කිසි කෙනෙක් කතා බහක් නෑලු…. ඔය සල්ලිකාර පවුල් වල කෙල්ලොන්ගේ හැටි වෙන්නැති නෝනේ.. කොල්ලොන්ට එහානේ දැන් කෙල්ලෝ…විස්ස විද්‍යාලේ වැඩ පාඩුවට මන්දිනු මහත්තයා රවට්ටගෙන උන්නා… ආයේ වැඩ ටික අරගෙන අත පිහපු කොලේ විසි කරන්න වගේ විසි කරා….”
ඉසිනි වේගවත්, කෙටි හුස්ම මඟින් සන්සුන් වන්නට උත්සාහ කලාය. මේ සාප වැදෙද්දි තමා මෙතරමින් හෝ සිටීම පුදුමයකැයි සිතුවාය. අභ්‍යන්තරයෙන් නඟෙන ගින්න අසීරුවෙන් මැඩ ගන්නට උත්සාහ කලාය.
” හැබැයි ඉතින් අපි මොක කිව්වත් , මන්දිනු මහත්තයා ගේ ආලේ වෙනසක් වෙලා නෑ.. ඉම හතු පැක්ටේරියට ඉමන්දි කියලා දාලා තියෙන්නෙත් ඒ උඩිච්චිගේ නමේ අකුරකට මහත්තයාගේ නමේ ඒ උඩිච්චි කැමතිම කෑල්ල එකතු කරලාය කියලා අපේ කෙලී කියන්නේ… ඒ තියා , ඒ උඩිච්චි ගේ උපන්දිනේට මෙහෙ පූජාවකුත් කරා ගිය අවුරුද්දේ… එහෙව් බෝධිසත්ව ආදරයක් ඉතින් ඒ.. ඒ වුනාට ලබලා නෑ.. එහෙව් කතන්දර තියෙනවානේ නෝනේ….”
සෝමා නොනවතින බව වැටහුනත්, ඉසිනිට ඇය නවතාගන්නට විදියක් තිබුනෙ නැත. ඇයට සෝමාව නවතාගන්නට දැඩි ලෙසින්ම අවශ්‍යද විය.තව වෙලා ඇයට සවන්දුන්නොත් තම ළය පැලී යාවියැයි ඕ සිතුවාය.
“කතන්දර වල නම් කමක් නෑ… ඒත් ඇත්ත ජීවිත වල එහෙව් බෝධිසත්ත්තයොන්ට ආං අර වගේ චපල ගෑණු මුලිච්චි වුනාම ඉතින් මේ ලෝකෙ සර්ව සාධාරණයි කියලා හිතන්නත් බෑනේ නෝනේ…මං අපේ කෙලීටත් කියන්නේ, සල්ලි බාගේ නෙවි මනුස්සකම තියෙන ඉළන්ධාරියෙක් හොයාගනින් කියලා.. සල්ලි හොයන එක දෙන්නාට එකතු වෙලා යස අපූරුවට කරගන්න පුලුවන් නෝනේ…..”
සෝමා දැන උගත් තැනැත්තියක මෙන් කියවද්දී, ඉසිනිට දැනුනේ තමා නූගත් ගැහැණියක ලෙසින් ය.
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |