මල්සර හී සර – 7

0
2619

“කොහොමද ඕකි කිව්වේ, යාලුකම් වටිනවා ඔක්කොටම වඩා. ඒ හන්දා කීයටවත් ඔය චාන්ස් එක භාරගන්නෙ නෑ. අම්මයි දුවයි මෙතන ඇවිල්ල නැලවිලා කියපු හැටි මතකද අම්මට? ආ මතකද? දැන් මොකද්ද වෙලා තියෙන්නෙ? මේ මේ දාලා තියෙන්නෙ ෆේස් බුක් එකේ අගේට වසන්ත කලුආරච්චි අධ්‍යක්ශණය කරන සමුද්ර මාකලන්ද නිශ්පාදනය කරන අලුත්ම කතාව අලුත් මුහුණකින් සැරසේ කියලා ඒකිගේ මූණ මෙහෙක් කරගෙන ඉන්න ෆොටෝ එකකුත් එක්ක. 

අම්මත් කිව්වා උන් එහෙම කරන්නෙ නෑ කියල. අන්තිමේ බලන්න වෙච්ච දේ” කියාගෙන උදේ පාන්දරම මල මූසලකමට මාලවී නිදන කාමරයෙන් අඬාගෙනම එද්දිත් කාන්තිලතා උන්නේ නයිටිය පිටින් කුස්සියට වී තේ හදන්න සූදානම් වෙන ගමන්‍ ය. මාලවී කියන එක ඇත්තකි. පහුගිය දවස් ටිකේ ඔය කියන විදියට නන්දාවත්, සප්තමීවත් පේන්න හිටියෙ නැත්තෙත්, වැඩිය මූණ දෙන්න ආවෙ නැත්තෙත් මේ හේතුව හන්දා වෙන්න පුලුවන් කියන එක කල්පනා කරන ගමන් කාන්තිලතා හිතුවේ දැන් මේකි වැලපෙන්න පටන් ගත්තම ඒක පරක්කරගන්නෙ කොහොමද කියා හිතමිනි.

“පුදුම අම්මණ්ඩිලා තමයි, බලහංකො එදා ගෙදරටම ඇවිල්ලා අච්චර තඩි කෙප්පයක් ඇද බාලා යස අගේට දැන් මේ ෆේස්බුක් එකේ ඉන්න හැටි විතරක්. මං අල්ලගන්නම්කො නන්දව වෙලාවක. හිමිජ්ජි වගෙ උන්නට මං නොදන්නවය නන්දගෙ තරම. දූව පෙන්නල රජකම අරගන්න වෙන්නැති ඒකි හිතන් ඉන්නේ”

“නෑ නෑ දැන් අම්මා යන්න ඕන නෑ උන්ගෙ රෙද්ද අස්සෙ එක එක ඒවා අහගෙන. මං කරන්නම්කො ඕකුන්ට ඇඬෙන වැඩක්. මට මෙහෙම කරානම් මං අඹරන්නම්කො ඊට වඩා හොඳ ගුලියක් අම්මටයි දුවටයි දෙපිටින් යන්න” කියන ගමන් එක අතකින් කම්මුල්වල තැවරිච්ච කදුලු පිහිදාන ගමන් මාලවී පිස්සුවෙන් වගේ ෆෝන් එකට ඇනගෙන ඇනගෙන යනවා කාන්තිලතා දැක්කා.

“මොකද්ද දැන් ඔය උඹ කරන්න හදන්නෙ? කාටද කතාකරන්න හදන්නෙ? සප්තමීටද? නිකන් හිටහං බං උන් ඉස්සරහ පීචං වෙන්නෙ නැතුව. උඹෙත් මහ ලොකු යාලුවා. කෝ යාලුවා නිකමටවත් කිව්වද මෙහෙම දෙයක් වෙනවා කියලා” කියලා අම්මා කිව්වට මාලවී නම් හිටියෙ එහෙම ලේසියෙන් මේකට අතෑරෙන්න ඉඩ දෙන්නෙ නෑ කියලා හිතාගෙනමයි.

“මං මොකටද ඒකිට කෝල් කරන්නෙ?මං හින්දනෙ ඒකිට ඔය චාන්ස් එක ආවෙ. මං කතාකරේ නැත්ත, ඒකි ඔය ඔඩිශන් එකක් තියෙන පැත්ත පලාතක යනවද? එහෙම එකේ මං මොකටද ඒකිට කතාකරන්න යන්නෙ. මම කතාකරන්නෙ වසන්ත කලුආරච්චි ට. මං කියන්නම්කො උන්දැට ඔය තෝරගත්ත මහ ලොකු නිලියට රඟපාන්න තියා තාලෙට අඩියක්වත් තියන්න බෑ කියලා” 

සමුද්රගෙ ෆෝන් එකට වසන්තගෙ කෝල් එක එද්දිත් සමුද්ර උන්නේ “සංසාර පාරමිතා” ටෙලිඩ්‍රාමා එකේ මංගල කතාබහේදි අරගත්ත පින්තූර අස්සෙන් සමුද්ර හරි පරිස්සමට ෆෝන් එකේ හංගගෙන උන්න සප්තමී හිනාවෙන පින්තූරයක් දිහා බලාගෙන. තමන්ට නොතේරෙන මොකක් හරි මාරම මැජිකල් දේකෙන් මේ සප්තමී කියන කෙල්ලව තමන්ගෙ හිත අස්සෙ ඕනවටත් වඩා තදට මැවිලා තියෙනවා නේද කියල හිතෙද්දි සමුද්රට ඇත්තම හිනත් එක්ක.

ආන් ඒ කල්පනා කතන්දර අස්සෙ තමයි වසන්ත කලුආරච්චි කියන නම සමුද්ර මාකලන්දගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක උඩ වැටුණෙ.

“හෙලෝ කියන්න වසන්ත මහත්තයා” කියල සමුද්ර ෆෝන් එකට එද්දිත් වසන්ත උන්නෙ හිත අස්සෙන් සමුද්රට මෝඩයා කියලා බණින ගමන්. ඒකට හේතුව උනේ ඊට පැයකට විතර කලින් නොහිතපු විදියට ආව කෝල් එක.

“වසන්ත සර්ලා ඔඩිශන් තියල හැමෝටම එන්න කියල අන්තිමේ කිසිම ටැලන්ට් එකක් නැති මිනිස්සුන්ව මේ ටෙලිඩ්‍රාමා වලට තෝරගත්ත එක වැරදියි නේද?” කියලා ගෑණු කටහඬක් ෆෝන් එක එහා පැත්තෙ ඉඳන් අහද්දි වසන්තට මුලින් හිතාගන්න පුලුවන් උනේ නෑ. 

“කවුද මේ කතාකරන්නෙ කියලා මට දැනගන්න පුලුවන්ද?” කියල වසන්ත ඇහුවෙ ආන් ඒකයි. මාලවීට එතකොට තමයි මතක් උනේ තමන් කෝල් එක කනෙක්ට් වෙච්ච වෙලාවෙ ඉඳලා කරේ කියවගෙන යන එක මිසක්කා තමන් කවුද කියලවත් මේ මනුස්සයට කියලා උන්නෙ නෑනෙ කියන එක.

“මම මාලවී සපරමාදු. මමත් එදා ආව මහත්තයල නුගේගොඩ තිබ්බ ඔඩිශන් එකට. මම පොඩි කාලෙ ඉඳ්අල රඟපෑමට ඇවිල්ලා තියෙනවා අර 2000 අවුරුද්දෙ ආව කුසුම් නිම්නය අවුරුදු කතාවෙ වසන්ති චතුරාණිගෙ පොඩි කාලෙ චරිතෙ කලේ මම. 2002 ආව එලිෆන්ට් හවුස් ඇඩ් එකේ හිටියෙත් මම. මං වගේ එහෙම එක්ස්පීරියන්ස් තිබ්බ ළමයි තව ඕන තරම් හිටියා. මං කියන්නෙ මහත්තය මාව තෝරගත්තෙ නැති එක වරදක් කියලා නෙවෙයි, කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති රඟපෑම ගැන මෙලෝ දෙයක් නොදන්න කෙනෙක්ව තෝරගන්න නම් ඇත්තටම අපිට එන්න කිව්ව එක වැරදිනෙ මහත්තයා”

“මාලවී සපරමාදු කියන්නෙ අර මම හොඳයි කිව්ව ළමයා නේද? කොණ්ඩෙ ටින්ට් කරලා හිටියෙ” කියල වසන්ත කලුආරච්චි කියද්දි නම් මාලවීට පොඩ්ඩක් විතර සන්තෝසත් හිතුනා මොකක් උනත් මේ යකාට මාව තාම මතකයිනෙ කියලා. 

“සර්ට මාව මතකයි නේද එහෙනම්?” කියල මාලවී අහද්දි වසන්ත තමන්ගෙ පැණි හිනාව ෆෝන් එකේ එහා පැත්තෙ ඉඳන් මාලවීට ඇහෙන්න සැලැස්සුවා.

“ආයෙත් අහලා. මට අමතක වෙනවද ළමයො ඔයාව? ඔයාව අමතක උනත් මට අමතක වෙනවද ඔයා එදා ඔඩිශන් එකේදි කරපු පර්ෆෝර්මන්ස් එක. මං එච්චර හොඳ පර්ෆෝමන්ස් එකක් ඇත්තටම මේ මෑත කාලීනව ආව කිසිම ඇක්ට්‍රස් කෙනෙක්ගෙන් දැකලා තිබ්බෙ නෑ. ඔයාගෙ හිනාවෙ, කතා බහේ, වචන හසුරුවන විදියෙ එහෙම මාරම ජනකාන්ත ගතියක් තියෙනවානෙ”

“ඒ වුනාට ඔය දැන් ඔහොම කිව්වට සර් මාව නෙවෙයිනෙ තෝරගත්තෙ, සප්තමීව නෙ”

“සප්තමී කියන්නෙ ඔය ඔයා එක්ක එදා ආව අනිත් ගර්ල් නේද?”

“ඔව්, එයා තමයි”

“ඇත්තටම මට නෙවෙයි මාලනී…මාලනී නේද නම කිව්වේ?”

“මාලනී නෙවෙයි අනේ මම මාලවී”

“ආහ් මාලවී, බලන්න ඉතින් ඔයාගෙ නමෙත් තියනවනෙ අර නිළි රැජිණකගෙ ලක්ශණ. ඔය සප්තමී කියන ළමයව ඇත්තටම තෝරගන්න උවමනා උනේ සමුද්‍රට. මං ඒත් සමුද්‍රට කිව්වා ඒ ළමයා ට තව ඩිවලොප් වෙන්න සෑහෙන දේවල් තියෙන එකේ එහෙම ළමේක්ව අරගන්නවට වඩා අර ඔයා වගේ ඇත්තටම ඇඟේම නිළිකම තියෙන කෙනෙක්ව ගමු කියලා. ඒ ළමයා ඇත්තටම එන්න බෑ කියලත් කිව්ව වෙලාවෙ මම මුලින්ම ලිස්ට් එකේ තියාගෙන හිටියෙ ඔයාව. ඒ වුනාට මේ සමුද්‍රය කොහොමහරි කෝල් කරලා ඒ කෙල්ලව කැමති කරගෙනනෙ වැඩේට.

ඒකෙන් උනේ ඇත්තටම ඔයාලා වගේ දක්ශ ළමයිට තැනක් නැතිවෙච්ච එක තමයි”

“දැන් ඉතින් එහෙම කිව්වට කරන්න දෙයක් නෑනෙ සර්. කොළඹට කිරි ගමට කැකිරි කිව්වලු” කියල මාලවී දුකෙන් වගේ කියද්දි වසන්තගෙ හිත පොඩ්ඩක් රිදිච්ච විත්තිය කියන්නම ඕන.

“ම්ම්ම්ම් මං යෝජනාවක් කරන්න ඔයා කැමතිවෙයිද දන්නෙ නෑ?” කියලා වසන්ත කියද්දි මාලවීට ඇත්තටම හිතාගන්න බැරිවුනා මොකක් ගැනද මේ වසන්ත කියන්න යන්නෙ කියලා. සප්තමීව ටෙලි ඩ්‍රාමා එකට අරගන්න ඕන උනේ සමුද්‍රට නම් ඉතින් සල්ලි ගෙවන්නෙ සප්තමීව අයින් කරලා තමන්ව ඔය ඩෙලි ඩ්‍රාමා එකට අරගන්න පුලුවන්කමක් වසන්තට නැති බව නොදන්න එකක් ය.

“මොකක්ද?”

“දැන් ඔය ඔයා එක්ක සප්තමී කියන ළමයා ආවා නේද ඔඩිශන් එකට?”

“ඔව්”

“හරි, ඒ වගේ දැන් ඔය අපේ අලුත් ටෙලියෙ වැඩ ටික පටන් ගන්නවා තව මාසෙකින් විතර. ඒ දවස් ටිකේ ඔයා ඔය සප්තමී එක්ක හොඳටම බ්‍රැකට් එක දාගෙන ඉඳලා, ටෙලි ඩ්‍රාමා ශූටින් වලට යද්දි සප්තමී එක්ක එන්න හදාගන්නකො. කොහොමත් ඔය වගේ අලුත් නිලියෙක් ටෙලියකට එද්දි මුලින්ම අම්මා හරි තාත්තා හරි කවුරුහරි එක්කනෙ එන්නෙ. සප්තමී එක්ක ඔයා එන්න වැඩේ සෙට් කරගන්න. කොහොමත් මේකෙ ශූටින් එහෙම වෙන්නෙ ටිකක් දුර පලාතක. දවස් කීපයක් නතරවෙන්න වෙනවා” 

“ඉතින් එහෙම ඇවිල්ලා මොකද්ද වෙන්නෙ? මං නිකන් ඒකිගේ සර්වන්ට් වගේනේ”

“ඕකනෙ ඉතින් බැරි. සමහර වෙලාවට ළමයො තමන්ට හරි තැන ගන්න පොඩි පොඩි රඟපෑම් කරන්න වෙනවා. කුස රජ්ජුරුවොත් පබාවතීගෙ මූණ ටිකක් බලාගන්න හිතාගෙන රජ මාළිගාවේ කුස්සියෙත් වැඩ කරා කියලා අහලා නැද්ද?”

ඒකිගෙ මෙහෙකාරකම් කරන්න මම කුස ඒකි පබාවතීද කියල අහන්න හිතුවත් මාලවී වසන්තගෙන් ඒක ඇහුවෙ නෑ. මිනිහව මෙහෙම ශේප් කරගෙන හිටියොත් විතරයි තමන්ට රඟපාන්න චාන්ස් එකක් ලැබෙන්නෙ කියල දන්න හන්දම මාලවී හිතෙන ඒව ඔක්කොම හිත අස්සෙම හංගගෙන හිටියා.

“එහෙම ආව කියල මට අඩුම ගානෙ ටෙලියක පොඩි කෑල්ලක් හරි සෙට් කරගන්න පුලුවන් වෙයි නේද?” කියල මාලවී ඇහුවෙ ආන් ඒක හන්දා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here